SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

1983 වර්ෂයේ මාර්ග සංවර්ධන අධිකාරිය පිහිටුවන්නේ එවකට පැවති රජයේ වැඩ දෙපාර්තමේන්තුව වසා දැමීමෙන් අනතුරුවය.

ජාතික මහාමාර්ග සහ ඊට අදාළ පාලම් නඩත්තුව සහ සංවර්ධනය කිරීම එහි ප්‍රධාන අරමුණ වූ අතර 1989 , 13 වන ආණ්ඩුක්‍රම විව්‍යස්ථාව අනුව මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ජාතික මහා මාර්ග හා අධිවේගී මාර්ග සහ ඊට අදාළ පාලම් නඩත්තුව සහ සංවර්ධනය කිරීම පවරා ඇත.

 

මාර්ග සංවර්ධන අධිකාරියත් ප්‍රතිව්‍යුහගතකරණයට!

 

අසූව දශකයේ විවෘත ආර්ථික ක්‍රියාවලිය තුල පැවති රාජ්‍ය ආයතන පුද්ගලීකරණ රැල්ලේ එක් දිගුවක් ලෙස රජයේ වැඩ දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් වූ අතර ඉන් දශක හතරක් අවසානයේ මාර්ග සංවර්ධන අධිකාරියට ප්‍රතිව්‍යුහ ගත කිරීමක් සම්බන්ධව කණින් කොනින් ආරංචි ගලා එමින් ඇත.

 

පසුගිය වසර හතරක කාලය තුල මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අධිවේගී මාර්ග පද්ධතියක් හා ඉතා ඉහල ගුණාත්මක භාවයක් සහිත මහාමාර්ග පද්ධතියක් රටට දායාද කොට ඇත.

 

රටේ ස‍ංවර්ධනය මනින ප්‍රධාන මිම්මක් ලෙස මාර්ග පද්ධතිය ඉදිකිරීම ස‍ංකේතීයව පැවති කලෙක, කලින් කලට බලය හොබවන ලද ආණ්ඩුවල දේශපාලණ උවමනාවන් වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය එ ආණ්ඩුවල මැති ඇමතිවරුන් ගේ උවමනාවන් වලට මෙහෙයවන ලදී. දූෂිත දශකය ලෙස සැලකෙන 2005 - 2015 කාල සීමාව තුල රුපියල් බිලියන සිය ගණනක ව්‍යාපෘති සාර්ථකව නිම කරන ලද්දේ එවකට රජයේ ආර්ථික පදනම වූ පස්, ගල්, වැලි ආර්ථිකය පෝෂණය කරමිනි. දේශපාලන අධිකාරියේ දූෂිත කලු පැල්ලම මාර්ග සංවර්ධන අධිකාරිය මතට කඩා පාත් වන්නේද මේ කාල සීමාව තුලය.

 

කෙසේ වෙතත් සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් හා සාර්ථකව නිම කිරීම අතින් මාර්ග සංවර්ධන අධිකාරිය ඉහලින්ම පවතින ආයතනයක් බව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අවිවාදයෙන් පිළිගැනෙන කාරණාවකි. රටේ ප්‍රවාහනය සඳහා මනා මාර්ග පද්ධතියක් නඩත්තු කිරීමේ සහ සංවර්ධනය කිරීමේ වගකීම ඉතා සාර්ථකව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පසුගිය දශක හතරක කලයක් තුල ඉටු කරමින් පවති.

 

රටේ ආර්ථිකයට ගැළපෙන මනා මාර්ග පද්ධතියක් නඩත්තු කිරීමත් සහ සංවර්ධනය කිරීමේත් සැලැස්මක් මෙන්ම එය, ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාවක් ද සහිත දක්ෂ ඉංජිනේරුවන්ගෙන් සමන්විත මාර්ග සංවර්ධන අධිකාරිය වල පල්ලට යැවීමේ සැලැස්මක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය පරිපාලන සේවයේ සහයෙන් ආණ්ඩුව විසින් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී.

 

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අනවබෝධයෙන් තනතුරු පිහිටුවීම 

 

දැනට මහජනතාව වෙත සෘඡුව සේවා සැපයීමට රට පුරා විහිද පවතින විධායක ඉංජිනේරු කාර්යාල 54ක් සදහා වන විධායක ඉංඡිනේරු තනතුරු 54, 25කට අඩු කරමින් හා දිවයින පුරා විහිද පවතින සියලු ඉංජිනේරු සැලසුම් නිර්මාණ කාර්යාල වල ප්‍රධාන ඉංජිනේරු තනතුරු අහෝසි කරමින් නව තනතුරු සංඛාව හා බඳවා ගැනීමේ පටිපාටියක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරනුයේ මාර්ග සංවර්ධන අධිකාරියේ පැවති අතිරේක අධ්‍යක්ෂක ජනරාල් තනතුරු කීපයක් ද පරිපාලන සේවයට කොල්ල කන අතරතුරය. මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යුහය, ක්‍රියාකාරීත්වය ගැන කිසිදු තාක්ෂණික අවබෝධයක් නොමැති කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මෙලෙස අත්තනෝමතික පවතින තනතුරු සංඛ්‍යාව වෙනස් කරනුයේ මාර්ග සංවර්ධන අධිකාරිය කොටසින් කොටස පුද්ගලික අංශය වෙත පවරා එහි බර ජනතාව මතටත්, ලාභය ව්‍යාපාරිකයන් වෙතටත් පැවරීමේ සැලසුමේ කොටසක් ලෙසද යන්න සැක සහිතය.


දැනට ජාතික මාර්ග පද්ධතිය සඳහා මාර්ග පාදම් , පාලම් , පැති බැමි වැනි සියලු ඉංජිනේරු නිර්මාණ සැලසුම් කිරීමේ හැකියාව මාර්ග සංවර්ධන අධිකාරිය සතුව පැවතුනත්, මෙම අලුත් තත්වය යටතේ එකී ඉංජිනේරු නිර්මාණ කාර්යාල වැසී යන තත්වයක් ඇති වී ඇත තවද බහුතරයක් තරුණ ඉංජිනේරුවන් තමන් පසුගිය වසර ගණන තුල ලබාගත් දැනුමත් අත්දැකීමුත් සමග රට අතහැර යාමේ තත්වයක් ද උද්ගත වී ඇත. මෙසේ රටේ මාර්ග පද්ධතිය තව දුරටත් මනාව නඩත්තු කර ගෙන යාම සඳහා අවශ්‍ය අවම තනතුරු සංඛාවවත් මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අසමත් වන්නේ එම දෙපාර්තමේන්තුවේ මන්දබුධික භාවය ප්‍රදර්ශනය කරමිනි.

 

මෙම ප්‍රයත්නයට එරෙහිව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය ප්‍රමුඛ ව සමස්ත සේවකයන් වෘත්තීය අරගලයක් ක්‍රියාත්මක කරමින් සිටිය දී ආණ්ඩුව මැතිවරණය ඉලක්ක කරමින් කඩිනමින් කිලෝ මීටර් 1500ක ( මීට පෙර කිලෝ මීටර් ලක්ෂයක් ලෙස ගෙනා සංවර්ධන බොරුව මේ වන විට 1500ක් බවට පත්වී ඇත ) ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් ගෙන එන්නේ නිවැරදි තාක්ෂණික ඇගයුම් අනුව නිසි නිර්මිත සහිත ඉදි කිරීම් කිරීමට ඇති ඉඩ හසරද අවුරවමිනි.

 

මෙම ග්‍රාමීය මාර්ග ව්‍යාපෘතියෙන් ඉදිකිරීම් වලින් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් ඉවත් වන්නේ සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳීමට පරිපාලනය අපොහොසත් වීමෙන් අනතුරුවයි.

 

ඊනියා කමිටු සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ තවත් රැවටිල්ලක්?


තවද මෙම නව බඳවා ගැනීමේ පටිපාටිය මාර්ග සංවර්ධන අධිකාරිය ඉදිරියට පවත්වා ගෙන යාම ගැටලු සහගත බව අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ද පිළිගත් අතර ඒ පිළිබඳ අමාත්‍යංශ ලේකම් තුමා මෙන්ම අමාත්‍යවරයා ද දැනුවත් විය.


එම කරුණු සලකා බලා අමාත්‍යවරයා විසින් ගැටලුව විසඳිම සඳහා පරිපාලන නිලධාරීන් තුන් දෙනෙකුගෙන් සමන්විත කැබිනට් අනුකමිටුවක් පත් කරන ලදී.

 

සේවකයන් රටවා ව්‍යාපෘති කරගෙන

ඡන්දයට ජනයා රැවැට්ටවීමේ උපාය

 

එම අනුකමිටුව හරහා අදාළ ගැටලුවලට සාර්ථක විසඳුමක් සති දෙකක් ඇතුළත ලබා දෙන බවට අමාත්‍යංශ ලේකම්වරයා ලිඛිත පොරොන්දුවක් ලබා දෙමින් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් රැවටීමට ලක් කරන්නේ මැතිවරණයට පෙර ව්‍යාපෘති නිම කර ආණ්ඩුවේ මැතිඇමතිවරුන්ට ජනයා රැවටවීමට ඉඩ ලබාදීමටය. තවද මෙම ලේකම්වරයා විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරය සහ සභාපතිවරයා ඉවත්කරන බවට අනියමින් තර්ජනය කොට ඇති බවට ආරංචි ලැබී ඇත. යට කී ලිඛිත පොරොන්දුව මත අදල වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් අධිකාරියේ සේවකයන් ඉවත් වූ අතර සුපුරුදු පරිදි රාජකාරි කටයුතුවල නිරත විය.



සති දෙකක කාලයක් තුල අදාළ කැබිනට් අනු කමිටුව විසින් ඉදිරිපත් කරන ලද සියලු නිර්දේශ සහ නිගමන කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී . එහෙත් කණගාටුවට කරුණ නම් එකී අනුකමිටුව අදාළ ගැටලුව විසඳීමට ප්‍රවේශයක් නොගෙන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කල, ගැටලුවට මූලික වූ, තනතුරු සංඛාව හා බඳවා ගැනීමේ පටිපාටිය සාධාරණීකරණය කිරීම කර තිබීමයි.

 

එසේ තිබිය දී අමාත්‍යංශ ලේකම්වරයා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ සේවකයන් දිගින් දිගටම රැවටීමට ලක් කරන්නේ කැබිනට් මණ්ඩලය විසින් සියලු නිර්දේශ අනුමත කොට ඇති බවත්, ගැටලුව විසඳී ඇති බවත් පවසමිනි. තවද කැබිනට් වාර්තාව ලැබී දින කීපයක් යන තුරු එහි මූලික ඇමිණුමක් වූ කැබිනට් අනුකමිටු වාර්තාව සඟවන්නේ නිර්ලජ්ජිත ආකාරයෙන් තම වෘත්තිය දේශපාලකයන් ඉදිරියේ ගණිකා සේවයේ යොදවමිනි.

 

මෙම අදූරදර්ශී පරිපාලනය විසින් මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරිය බරපතළ අර්බුදයකට යමින් පවතින අතර දේශපාලන උවමනාවන් වෙනුවෙන් රජයේ සම්පත් හා නිලධාරීන් මෙහෙයවන පරිපාලනයකින් මිදී ස්වාධීනව රටේ අවශ්‍යතාව වෙනුවෙන් නිවැරදිව කටයුතු කල හැකි කාර්යක්ෂම මාර්ග සංවර්ධන අධිකාරියක් ගොඩ නැගීම වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය ප්‍රමුඛ සියලු සේවක සංගම් ගෙනයන අරගලය ජයග්‍රහණයෙන් කෙළවර කර ගැනීමට අප සුබ පතන්නනෙමු.

 

@වෘත්තික අරගල කේන්ද්‍රය

 

නවතම ලිපි