SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් සිය එක්දින සංචාරය නිමා කර ඊයේ (20) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණි.

මෙරට සංචාරයේ නිරතවූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර කොටුව ජනාධිපති මන්දිරයේ පැවති නිල හමුවෙන් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡාවල ද නිරතව ඇත.

 

බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනම් කර ජනතාවට එහි ප්‍රතිලාභ උදාකරදීම පිළිබඳව අවධානය යොමුවී ඇති බව සඳහන් ය.

 

බලශක්ති සම්බන්ධතාව සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය, දෙරට අතර ඉදිකිරීමට යෝජිත ඛනිජතෙල් නළ මාර්ගය සහ තෙල් හා ගෑස් ගවේෂණ ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමුවී තිබේ.

 

සාම්පූර් සූර්ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් ලබන මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවට එහිදී සාකච්ඡා වී ඇති බව ද  ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 

එසේම ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක යාපනය ගුවන්තොටුපොළ සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සහ මෙරට ඩිජිටල්කරණයේ මූලික පියවර ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකාවට අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනම් කිරීම පිළිබඳව ද අදහස් හුවමාරු වී ඇතැයි වාර්තා වේ.

 

මේ අතර ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් සහ මෙරට දෙමළ පක්ෂ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පවත්වා තිබුණි.

 

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් පැවසුවේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසට ඉන්දීය විදේශ අමාත්‍යවරයා වෙත දැනුම් දුන් බවය.

 

එසේම කඳුකරයේ දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජෙයිශංකර් දැනුවත් කළ බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් පැවසීය.

 

adaderana