SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"මේ මනුස්සයා නම් මාරයි" කියලා පාඨලී චම්පික රණවක ගැන හිතුනේ මීට අවුරුදු 25 කට විතර කලින්.

ඩෙනිමක් ඇඳ ගෙන අප සිටි හොස්ටල්වලට ඇවිත් උතුරේ ගැටළුව, විසඳුම් මෙන්ම යුද්ධයේ අභ්‍යන්තර තතු ගැන ඔහු කතා කළා. ඒ සෑම විටම දැඩි හා ඍජු බවක් ඔහුගෙන් දුටුවා.

 

චම්පික රණවක දැමුනු, නිවුනු සහ පරිස්සම්සහගත ලෙස අදහස් පළකිරීමක් කලෙකින් දුටුවේ සන්නස්ගල  සමග පැවති සංවාදයේදි පමණයි. ඒ වගේම මිනිහෙකුට කරදරයකින් තොරව ග්‍රහණය කරගත හැකි ලෙස සන්නස්ගල සාකච්ඡාව මෙහෙයවීමත් අගය කළ යුත්තක්. ආරාධිතයා අඹරා, මිරිකා අදහස් උදුරා ගැනීමට කඩා පනින රූපවාහිනී සම්මුඛ සාකච්ඡා මෙහෙයවන්නන්ට එය පාඩමක්.

 

පාඨලී හිටපු අමාත්‍යවරයා අද කොහේ ඉන්නේද කොහේ යන්නේද පැහැදිලි නැහැ. ඒ වගේම ඔහුට තැනක් නිර්මාණය වේද නැද්ද යන්නත් අවිනිශ්චිතයි. ආරම්භයේ සිටම ප්‍රධාන පක්ෂයක ස්ථානගත නොවීම වගේම සිය චරිතයේම පවතින ගූඩ බවක් ඔහුගේ ඉදිරි ගමනට බධාවක් බව හැඟෙනවා.

 

එසේ නොමැති නම් මේ අවස්ථාවේ ජනාධිපතිවරණයට හොඳම අශ්වයන් දෙන්නා වන්නේ අනුර දිසානායක සහ පාඨලී චම්පික බව අවිවාදිතයි. ඒ වගේම අනුර - චම්පික හවුලක් ඇති වන්නේ නම් රටට මහත් බලාපොරොත්තුවක් එක්කරනු ඇති.

 

"පාඨලී චම්පික කියන්නේ කවුද?" කියන එකට වටින් ගොඩින් මා දන්නා පොඩි උදාහරණයක් දෙන්න කැමතියි.

 

2015 යහපාලන ආණ්ඩුව එන්න කලින් ගෝඨාභය රාජපක්ෂ, ධම්මික පෙරේරා වගේ අය කොළඹට යෝජනා කරලා තිබුණේ මොනෝ රේල් ව්‍යාපෘතියක්. පසුව පාඨලී මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය ධූරය දරණ සමයේ එය යළිත් කරළියට ආවත් ඔහු එයට තදින්ම විරුද්ධ වුනා.

 

ඔහු කියා තිබුණේ ලෝකයේ අභාවයට යන තාක්ෂණයකට අප ණය නොවිය යුතු බවයි. මේ අතර එවක ජපාන අගමැති ෂින්සෝ අබේ මෙකී ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට යම් බලපෑමක් කර තිබුණේ සිය විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් යම් ගැටළුවකට ඔහු මුහුණ දෙමින් සිටියදීයි.

 

චම්පික රණවක අමාත්‍යවරයා වැඩේට අකමැත්ත පළ කර තිබූ හෙයින් අගමැතිවරයා සිය හිතෛෂියෙකු වන දැනට කැනඩාවේ වාසය කරන අපගේ සහෝදරයෙකු වන සරත් අමරකෝන් ට කියා තිබුණේ ලංකාවට පැමිණ කෙලෙස හෝ පාඨලී චම්පික ඇමතිවරයා එකඟ කරගන්නා ලෙසයි.

 

ඒ අනුව ඔහු කිහිප වතාවක් ලංකාවට පැමිණි අතර එහිදී ඇමති පාඨලී සමග පැවති හමුවීම් පිළිබඳ යම් යම් දෑ දැන ගැනීමට මටද හැකියාව ලැබුණා.

 

පළමු දිනම ඔහුට පාඨලී කියා තිබුණේ "මොනෝ රේල් එක කරන්න ඕන නම් ගිහින් ලොක්කත් එක්කම කර ගනින්" යන්නයි.

 

ඔහු ඊට හේතු ඉදිරිපත් කර තිබුණා. මොනෝ රේල් කළහොත් ජපානය හැර වෙනත් රටක අළුත් තාක්ෂණයක් යොදාගත නොහැකිවීම ඉන් ප්‍රධානයි. එහෙත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් (LRT) ක්‍රියාත්මක කළහොත් මුල් අවුරුදු පහෙන් පසුව ලෝකයේ නවීන හා තරඟකාරී භාණ්ඩ ගෙනවිත් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු දුම්රිය සේවාවක් පවත්වා ගෙන යා හැකි බව අමාත්‍යවරයා පෙන්වා දී තිබුණා.

 

අවසන LRT කරන්න ජපානය එකඟ වුනා. එහෙත් පාඨලී අමාත්‍යවරයා ඊටද කොන්දේසි පිට කොන්දේසි දමා තිබුණා. ජපානය වැඩි කාලයක් ගැනීම ඊට එක් හේතුවක්.

 

වැඩේට Mitsubishi, Kawasaki, Hitachi වැනි කම්පැනි ඉදිරිපත් වී සිටියා. Hitachi සමාගමේ CEO ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මුණගැසීමට පැමිණි අතරවාරයේ ලංකාවටද පැමිණියේ ජනපති හා අගමැති හමුවීටයි. එම අවස්ථාවේම ඔවුන්ට පාඨලී ඇමතිවරයා මුණගැස්වීමට සරත් මැදිහත්ව තිබුණා.

 

"චම්පික ඇමතිතුමාගේ ගෙදරටම ගොස් ඔවුන් ප්‍රසන්ටේෂන් එකක් කළා. ඔහු ඉතා සාවධානව බලන් හිටියා. අවසානයේ ප්‍රශ්න කිහිපයක් ඇසුවා. Hitachi සමාගමේ මුල, මැද, අග මෙන්ම ජපානය මේ ආකාරයෙන් කර තිබූ ව්‍යාපෘතිවල සාර්ථක අසාර්ථකභාවයන් ගැන පාඨලී කිව්වා. Hitachi එකේ ඉහළ පෙළේ නිළධාරීන් අන්දුන් කුන්දුන්. ඔවුන්ට පුදුම හිතුනා ඔහු ළඟ තිබූ තොරතුරු සහ දැනුම ගැන. ව්‍යාපෘතිය කෙරුනා නොකෙරුනා වුනත් අපේ මිනිහෙකු ගැන ආඩම්බරයක් හිතුනා" සරත් සහෝදරයා එදා හමුවෙන් පස්සේ කිව්වේ එහෙම.

 

පසුව කැබ්නට් අනුමැතියෙන් LRT ව්‍යාපෘතිය දියත් කිරීමට තීරණය කෙරුනා. 0.1% පොළියට ණය අනුමත වුනා.. සක්‍යතා අධ්‍යයන සිදුවුනා.

මේ අතරේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සිටි Hitachi සමාගම, ඉතාලි සමාගමක් විසින් මිලදී ගනු ලැබ තිබුණා. ඒ අනුව ඔවුන්ගේ තාක්ෂණික කණ්ඩායම් ලංකාවට පැමිණියා. ජපාන සහ ඉතාලි ෆැක්ටරිවල ලංකාවේ තරුණයන් 500 කට පුහුණුව ලබාදීමටත් පාඨලී අමාත්‍යවරයා එකඟතාව අරගෙන තිබුණා.

කෙසේ හෝ ව්‍යාපෘතිය ආරම්භ කර තිබියදීයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බොරුවක් නිර්මාණය කර අත්තනෝමතික ලෙස එය අතරමග නතර කර දැමුවේ.

 

වාසි අවාසි ගැන කතා කළ හැකි නමුත් කොළඹ වාහන තදබදයට යම් විසඳුමක් එහි තිබෙනවා.

 

කවරක් වුවද ප්‍රදර්ශනාත්මක නගර අලංකරණයෙන් ඔබ්බට ගොස් නුතනයට ගැළපෙන වාණිජ නගර (Economic Hub) නිර්මාණය කිරීමේ දැක්මක් සහ ඒ වෙනුවෙන් වැඩකිරීමේ හයියක් පාඨලී ඇමතිවරයාට එදා තිබුණා. කොළඹ ඇතුළු සියලු නගර නිර්මාණය සඳහා ඔහුට තිබුණේ ඉතා හොඳ දැක්මක්.

 

දේශපාලනයේ සහ රාජ්‍ය පාලනයේ සෑම පැත්තක්ම ඉතා හොඳින් කියවාගත හැකි පාඨලී වැන්නෙකුගේ කාලය අපතේ යාම මා නම් දකින්නේ අපරාධයක් ලෙසයි.

 

@මහින්ද රුබසිංහ

marrikkar

නවතම ලිපි