SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බන්දුල චන්ද්‍රසේකර විසින් රචිත 'අසූවේ පරපුරෙන් සන්නද්ධව' කෘතිය

පසුගිය දා මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී ජනගත කිරීම අරබයා අනිද්දා පුවත්පතේ මාධ්‍යවේදී කේ. සංජීව විසින් සිදුකරන ලද සම්මුඛ සාකච්ඡාවයි.

 

ban 4

මම දැනගන්න ආසයි අසූව දශකයේ දේශපාලනයට පිවිසෙන ඔබට ඔබගේ ගම වුණ බොරලැස්ගමුවේ රත්තනපිටිය කොහොමද බලපෑවේ කියලා.

 

ඔව්, මගේ ගම කැස්බෑව ආසනේ රත්තනපිටිය. මේක කාලයක් කෝට්ටේ ආසනයටත් සම්බන්ධයි. රත්තනපිටිය කියන්නේ සමසමාජ ව්‍යාපාරයේ බලකොටුවක්. ඔබ දන්නවා කැලණිමිටියාවත කියලා කියන්නේ ඒ කාලේ සමසමාජ ව්‍යාපාරයට ප්‍රසිද්ධ තැනක්. රොබට් ගුණවර්ධන තමයි ඒකාලේ මෙහේ සමසමාජ ව්‍යාපාරයේ නායකත්වය දැරුවේ. බොරලැස්ගමුවේ ජී.එච් පෙරේරා කවියා ගැන අපි හැවෝම අහලා තියෙනවා, ඔහු තමයි ඒ කාලේ සමසමාජ රැස්වීම් අවසන් කරන වේගවත්ම කථිකයා. ඔහුගේ දේශපාලනය මේ ප්‍රදේශයේ බුද්ධිමත් තරුණයන්ට විශාල බලපෑමක් වුණා. ඒ හින්දාම 1953 හර්තාලයේදී බොරලැස්ගමුව තීරණාත්මක කාර්‍යභාරයක් සිද්ධ කළා. මගේ මාමා (අම්මගේ අයියා) ටී.එන් පෙරේරා, නන්දපාල අයියා කියලා තමයි හැවෝම කීවේ, ඔහු ඉතාම දැඩි සමසමාජ ක්‍රියාධරයෙක්, ඔහුගේ බලපෑම තමයි මට ලොකුවටම දැනුනේ.

1964 සමසමාජ ව්‍යාපාරෙය සභාග ආණ්ඩුවකට ගියාම වමේ ව්‍යාපාරය අස්සේ ලොකු බෙදීමක් ඇතිවුණා. ඒ අවස්ථාවේ මගේ මාමා, එඩ්මන් සමරක්කොඩි, බාල තම්පෝ, මෙරිල් ප්‍රනාන්දු කණ්ඩායමත් එක්ක සමසමාජ පක්ෂයෙන් අයින් වෙලා විප්ලවවාදී පක්ෂය කියලා පක්ෂයක් හැදුවා. පස්සේ ඒක විප්ලවීය මාක්ස්වාදී පක්ෂය වුණා. අති-වාම ට්‍රොස්කිවාදී ව්‍යාපාරයක් වුණ ඒ දේශපාලන පක්ෂය හතරවෙනි ජාත්‍යන්තරය එක්ක තමයි වැඩ කළේ. ඉතිං මේ දේශපාලනය නිසාම මගේ මාමා ගමේ ප්‍රසිද්ධ චරිතයක්. ඔහු අවුරුදු 21ක් අඛණ්ඩව ගම් සභාව නියෝජනය කළා. සමසමාජෙන් කැඩුණට පස්සේ ස්වාධීනව තරඟකරලත් ඔහු ගම්සභාවට පත් වුණා. ඒ කාලේ මිනිස්සු එහෙමයි තමන්ගෙ ඡන්දය භාවිතා කළේ.

 

ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය තිබුණේ අල්ලපු වැටේ?

 

ඔව්, මම ඉපදුනේ 1965 අවුරුද්දේ, ඒකට මට 1971 කැරැල්ල මතකයි. ඒකට හේතුව තමයි ඒ කාලේ විශ්ව විද්‍යාල පරීශ්‍රය භාවිතා කළේ මේ කැරලිකරුවන් රඳවලා තියන්න. ඉතිං හමුදාව හිටියා. හමුදා වාහන තිබ්බා. ඒවා තමයි මතක. මම මුලින් සාන්ත ජෝෂෆ් විද්‍යාලයට ගියා. පස්සේ ශිෂ්‍යත්යෙන් පාස්වෙලා කොළඹ රාජකීය විද්‍යාලයට ගියා. 1985 අවුරුද්දේ ගෙදර ළඟම තිබුණ ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුල් වුණා.

 

විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන්න කළින් 1983 කළුජූලිය හොඳට මතකයි. ඊටපස්සේ එජාපය 5/6ක බලයක් ගත්ත 1977 මැතිවරණය මතකයි. මේ මැතිවරණය මට විශේෂ වෙන්නේ මාමා ස්වාධීනව කැස්බෑවෙන් ඡන්දය ඉල්ලුවා. බාලා තම්පෝ, විජයානන්ද ජයවීර, ඩබ්ලිව්. ජයසිරි, එච්. ඒ සෙනෙවිරත්න වගේ අය මාමාට උදව් කළා. මේ මැතිවරණයට දෙහිවල ආසනයෙන් උපාලි කුරේ ඉල්ලුවා. කැලණියෙන් එච්.ඒ සෙනෙවිරත්න ඉල්ලුවා. වර්නන් විජේසිංහ උතුරු කොළඹින් ඉල්ලුවා. ඔවුන් අන්ත පරාජයක් තමයි ලැබුවේ. හැබැයි මට ඒ ඡන්ද සටන මතකයි.

 

අවිවාහකව මුලු ජීවිතේටම දේශපාලනයට කැපකරපු මාමා නිසා තව ගොඩක් දේවල් ජීවිතේට ලැබුණා නේද?

 

ඔව්, ඒකාලේ අපේ මාමලා ජනහඬ කියලා විකල්ප පත්තරයක් කළා. කපිල කුමාර කාලිංග, රෙජී වීරමන්, ජසුමන ධර්මබන්දු වගේ අය තමයි ලිව්වේ. මමත් ඒකට සම්බන්ධ වුණා. ඒ කාලෙම වෙනස කියලා තව පත්තරයක් තිබුණා, මගේ මාමා තමයි ඒ පත්තරේ නිත්‍ය දේශපාලන විශ්ලේෂකයා. චන්ද්‍රරත්න බණ්ඩාර, සත්‍යපාල ගල්කැටිය වගේ මේ පත්තර දෙකෙන්ම කලා විචාරකයින් රැසක් බිහිවුණා. කපිල කුමාර කාලිංග තමයි ඇත්තටම ප්‍රමුඛයා වුණේ.

 

ඒ කාලේ අපේ මාමා රාජ්‍ය නොවෙන සංවිධානයක ආධාරයෙන් සීආර්සී කියලා මුදනාලයක් පටන් අරගෙන ක්‍රියාත්මක කරමින් හිටියා. ඒක තවමත් මේ ගෙදර පිටිපස්සේ තිබෙනවා. දයා පතිරණ ඝාතනය කරපු අවස්ථාවේ ස්වාධීන ශිෂ්‍ය සංගමය රටපුරා අලවපු පෝස්ටර් එක ගැහුවෙත් අපේ ප්‍රෙස් එකෙන්. ඒකෙන් කියවුණේ යූඑන්පී - ජේවීපී ෆැසිස්ට් සන්ධානය තමයි මේ ඝාතනය කළේ කියලා. මේ පෝස්ටරේ ගාල්ලේ අලවනකොට ඒ අලවමින් හිටපු අය අත්අඩංගුවට අරගෙන ඊටපස්සේ ප්‍රෙස් එක වටලලා මගේ මාමත් අත්අඩංගුවට ගත්තා. එතකොට මම විශ්ව විද්‍යාලයට ඇතුල්වෙලා සිටි නිසා මාමා බලන්න පොලීසියට ගියාම මගෙනුත් ප්‍රශ්න කළා.

 

විශ්ව විද්‍යාලයට ගියාම තගා කියලා කාඩ් එකක් වැදුනේ කොහොමද?

 

මම විශ්ව විද්‍යාලයට යනකොට ලොකු රාජ්‍ය මර්දනයක් ක්‍රියාත්මක වුණා. එජාපේ මැරයෝ යොදාගෙන තමයි විශ්ව විද්‍යාලයට ගැහුවේ. ඒ මැරයෝ ගොඩක් වෙලාවට ආවේ අල්ලපු ගමෙන්. ඉතිං විශ්ව විද්‍යාලය ඇතුලේ හිටපු ශිෂ්‍යයෝ ගමේ මේ මැරයන්ට කිව්වේ තගාලා කියලා. ඉතිං මම විශ්ව විද්‍යාලයට යනකොට නවක වදය තිබුණත් මම අල්ලපු ගමේ නිසා ඒක මට බලපෑවේ නෑ. අනික මගේ මාමාගේ ක්‍රියාකාරීත්වය නිසා සහ මම ඒ වෙනකොට මාමා එක්ක කරමින් හිටිය දේශපාලන කටයුතු නිසා විශ්ව විද්‍යලයේ මතයක් තිබුණා මම ජවිපේ විරෝධී කියලා. ඒ නිසා ඇත්තටම මට ශාරීරිකව හිංසා කරන්න ආවේ නෑ. හැබැයි මම විශ්ව විද්‍යාලය ඇතුලේදී කිසිඳු මතවාදී වෙනසක් නැතුව මර්දනයට විරුද්ධව පෙනී හිටියා. සටන් කළා.

 

88/89 මර්දනය එක්ක ජීවිතේ වෙනස් වෙනවා නේද?

 

ඔව්, ඔය කාලේ වෙනකොට විශ්ව විද්‍යාලය වහනවා. එහෙම වහනකොට විශ්ව විද්‍යාලයට කොටුවුණ ගාමිණී මාරසිංහ, වෙනුර වගේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් අපේ ගෙදරට ඇවිත් රැකවරණය පැතුවා. ඔවුන් දැනගෙන හිටියා මාමාට ගමේ තියෙන තත්ත්වය එක්ක අපේ ගෙදර ආරක්ෂිතයි කියලා. පස්සේ ගමේ ගිය වෙලාවක මාරසිංහ ඝාතනය කළා. එහෙම අපි එක්ක සම්බන්ධතා තිබුණ ගොඩක් ශිෂ්‍යයෝ ඝාතනය වෙනකොට මාමා මම ගැන බය වුණා. ඊටපස්සේ මාමා මාව එංගලන්තයට යැව්වා. මම එහෙම ගිහිං සතියක් විතර යනකොට තමයි විජේවීර ඝාතනය වුණේ.

 

කැරැල්ල අවසන් වුණ ගමන් අම්මා මට කිව්වා එන්න කියලා. මම ආවා. මාස 7ක් වගේ තමයි රට හිටියේ. පස්සේ විශ්ව විද්‍යාලය පටන් ගත්තා. ඊටපස්සේ අපි ශිෂ්‍ය සභා එහෙම පිහිටෝලා ආයෙත් වැඩකරන්නට පටන් ගත්තා. මාලික විමලසූරිය, කරු පරණවිතාන වගේ පිරිසක් එක්ක එකතුවෙලා අන්තර විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩය නැවත පිහිටවන්න අපි පෙරමුණ ගත්තා. 1992 වෙනකොට අපි විශ්ව විද්‍යාලයෙන් පිට වුණා.

 

මාමා පටන් ගත්ත ප්‍රෙස් එක කියන්නේ වෙනස් තැනක් එතනට උතුරු නැගෙනහිර වැඩකරපු දේශපාලන නායකයෝ පවා ආවා ගියා. මාක්ස්වාදී නායකයෝ, වෘත්තීය සමිති නායකයෝ පවා එටතනට ආවා ගියා. එහෙම තත්ත්වයක් තිබියදී කොහොමද ජාතික චින්තනය පැත්තට යොමුවෙන්නේ?

 

1980 වර්ජනය වෙලාවේ නලීන් ද සිල්වා හිටියේ නසපේ දේශපාලන මණ්ඩලයේ. මේක මර්දනය කිරීමත් එක්ක ඒක නලීන්ට විශාල ප්‍රශ්නයක් වුණා. ඔහු ඇහුවා මේ වැඩවර්ජන තීන්දුව ඇත්තටම කම්කරුවෝ ගත්ත එකක් ද නැත්තං වෘත්තීය සමිති නායකයෝ ගත්ත එකක් ද කියලා. ඒ සංවාදය අජිත් සමරණායක අයිලන්ඩ් පත්තරේට ලිව්වා. එතනින් තමයි මට හිතෙන්නේ අපිට බලපෑම සිද්ධවෙන්නේ. ඊටපස්සේ තමයි අනන්‍යතා දේශපාලනය කියන දේ එන්නේ. එහි ප්‍රථිපලය විදිහට තමයි පාඨලී චම්පික රණවක, අසෝක අබේසිංහ, රතන හාමුදුරුවෝ අපි එකතුවෙලා ජනතා මිතුරෝ 1992 දී ආරම්භ කරන්නේ. මාතරින් තමයි ජනතා මිතුරෝ පටන් ගන්නේ. ඒ එක්කම තමයි දකුණේ පළාත් සභා ඡන්දය එන්නේ. ඒ ඡන්දයේදී අපි අමරසිරි දොඩංගොඩ මහ ඇමති කරන්න ජනතා මිතුරෝ විදිහට විශාල කාර්‍යභාරයක් කළා.

 

එදා අපේ ප්‍රධාන අපේක්ෂාව වුණේ පැවති යූඑන්පී පාලනය අවසන් කරලා ප්‍රජාතන්ත්‍රවාදය රට අස්සේ නැවත ස්ථාපනය කිරීම. අපි දකුණේ මැතිවරණ ව්‍යාපාරය අස්සේ, අසිපත කියලා අපි ඒ දවස්වල මුද්‍රනය කරපු පත්තරේ, 50000ක් විතර විකුණන්න ඇති. ඊටපස්සේ බස්නාහිර පළාත් සභා මැතිවරණයේදීත් අපි චන්ද්‍රිකාට තමයි උදව් කළේ. ජනාධිපතිවරණයේත් අපි ඇයට වැඩ කළා. දවසක් බීබීසීයේ හිටපු එල්මෝ මට කිව්වා ඔයාලගේ ජනතා මිතුරෝ ගැන තානාපති කාර්‍යාල කලබල වෙලා ඉන්නේ, ඔයාලා තමයි දකුණේ ඡන්දයට විශාලම වැඩකොටස කළේ කියලා. ඇත්තටම අපි තමයි බස් හෝල්ට්වල මිනිස්සු ගැවසෙන පොදු ස්ථානවලට ගිහිං යූඑන්පීය පරාජය කරන්න ඒ කාලේ බය නැතිව කතා කළේ.

 

ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය පටන් ගන්නේ කොහොමද? ඒ මතවාදීමය වෙනස සිද්ධවෙන්නේ කොහොමද?

 

මේ කාලේ වෙනකොට එල්ටී.ටී.ඊ සංවිධානය උතුරු නැගෙනහිර තනි බලයක් ගොඩනගාගෙන තිබුණේ. එහේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණේ නෑ. වාමාංශික පදනමෙන් අයින් වෙලා ඔවුන් බෙදුම්වාදය මත පදනම් වෙලා ත්‍රස්තවාදී වැඩ කරමින් තමයි හිටියේ. ශ්‍රී මහා බෝධියට පහරදීම වගේ දේවල් නිසා සිංහල ජාතිකවාදී බලවේගයක් හැදුනා. මධ්‍යම පාන්තිකයෝ බොහෝ දෙනෙක් හිතුවා මේ බෙදුම්වාදය, ත්‍රස්ත්‍රවාදය එක්ක රටට ඉදිරිගමනක් නෑ කියලා. ඒකේ ප්‍රථිපලය තමයි ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය කියලා කියන්නේ. ඇත්තටම ඒකම තමයි සිහල උරුමය, හෙළ උරුමය විදිහට ඉස්සරහට එන්නේ. බෝම්බ ප්‍රහාරයකින් මරදානේ ගෝතමී බාලිකාවේ ශිෂ්‍යාවන් දෙදෙනෙක් ඝාතනය වුණා, ඒක තමයි ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය ආරම්භ කරන්න ආසන්නතම හේතුව.

 

ඒ කාලේ විශාල තරුණ පිරිසක් ඒකට ආකර්ෂනය වුණා. හැබැයි අපි දෙමළ ජනතාවට විරුද්ධව ජාතිවාදී මතවාදයක් අරගෙන ගියේ නෑ. අපි ජාතිවාදය අවුස්සන්න ඉඩ දුන්නෙත් නෑ. අපි ආණ්ඩුවට බලපෑමක් තමයි කළේ. ඒක යුධවාදී දේශපාලනයක් වෙන්න පුලුවන්. සාම සාකච්ඡාවන් සාම ප්‍රයත්නයන් සියල්ල අසාර්ථක වුණා, වෙනම රටක් හැදෙන මට්ටමටම ගියා. ඒ අස්සේ තමයි අපේ දේශපාලනය ක්‍රියාත්මක වුණේ. හැබැයි ඒක බහුතර දෙමළ ජනතාවට විරුද්ධව කරපු සටනක් නෙවෙයි. ඒක ත්‍රස්තවාදයට විරුද්ධව කරපු සටනක්.

 

Bandula aiya 2

 

මේ සියල්ල අස්සේ ඔබ තුළ වෘත්තීය සමිති නායකයෙකුත් හිටියා නේද?

 

මම ඇත්තටම මේ සියල්ලටම වඩා සක්‍රීයව ක්‍රියාත්මක වුණේ පරිසර ව්‍යාපාරයේ සහ වෘත්තීය සමිති ව්‍යාපාරය එක්ක. ජීවිතය හා පරිසරය සුරැකීමේ ජාතික ව්‍යාපරය එක්ක එහි මහාචාර්‍ය ශ්‍රියානන්ද එක්ක වෛද්‍ය රාජා විජේතුංග එක්ක වගේ ගොඩක් පරිසර ක්‍රියාකාරිකයෝ එක්ක වැඩකළා. ඒ එක්කම බාල තම්පෝගේ සීඑම්යූ එකේ නියෝජ්‍ය ලේකම් විදිහට අධ්‍යාපන සහ පුහුණු අංශය භාරව කටයුතු කළා. ඒ කාලේ අපි කම්කරු බලය කියලා සඟරාවක් කළා. ඒ දවස්වල සීඑම්යූ එක කියන්නේ කම්කරුවෝ 25000ක් විතර හිටිය තැනක්. බාල තම්පෝ කියලා කියන්නේ සුවිශේෂ චරිතයක්. මම ඔහුගෙන් සෑහෙන්න දේවල් ඉගනගෙන තියෙනවා. ඇත්තටම ඔහු හොඳ වෘත්තීය සමිති වාදියෙක්. ඒනිසාම ඔහු 1980 වර්ජනයට සම්බන්ධ වුණේ නෑ. සහාය දුන්නේ නෑ. ඔහු දැක්කා මේක මර්දනය වෙනවා කියලා. කෙනෙක්ට මේක පාවා දීමක් කියලා කියන්න පුලුවන්. ඔහු සටනක් මෙහෙයවන්න කලින් ඒ සටන කරන්න තමන්ට ශක්තියක් තියෙනවාද කියලා තක්සේරු කරලා බලලා තමයි සටනට ගියේ.

 

සෝම හාමුදුරුවන්ගේ මරණය එක්ක ඔබලා භික්ෂූන් දේශපාලනයට අරගෙන එන්න තීරණයක් ගන්නවා. ඇයි එහෙම තීරණයක් ගත්තේ?

 

සෝම හාමුදුරුවන්ගේ මරණයට කළින් එප්පාවල පොස්පේට් සටන අස්සෙත් අපි විශාල වැඩකොටසක් කරනවා. ඒ සටනට නායකත්වය දුන්නේ එප්පාවල ජනතාව එක්ක මහමංකඩ පියරතන හාමුදුරුවෝ. අපි ඒ සටනින් දිනනවා. ඒ එක්කම තමයි සිහල උරුමය නිර්මානය වෙන්නේ. ඒකෙන් බලාපොරොත්තු වුණ ඡන්ද පදනම ලබන්න බැරිවුණා. පුද්ගලික සීමාකම් නිසා ගැටුම් ඇතිවුණා. මට කාලයක් තිබුණේ නෑ විශාල වශයෙන් මැදිහත් වෙන්න. හැබැයි 2002 එජාප ආණ්ඩුවත් එක්ක විශාල සමාජ මතයක් ආවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බටහිර මිශනාරි ආණ්ඩු එක්ක වැඩකරනවා කියලා. කන්සවේටිව් පක්ෂයක් වුණ එජාපය ඒ කාලේ වෙනකොට ජාතික වාදයෙන් ඉවත්වෙලා තමයි හිටියේ. ඒ වෙනකොට ඔවුන් සමග හිටපු සුළු ජාතික නායකයින් පවා වෙනත් පක්ෂ හදාගෙන එජාපයෙන් ඉවත්වෙලා ගිහිං තිබුණා. මේ අර්බුදය එජාපය අස්සේ පවා තිබුණා. රනිල් වික්‍රමසිංහ දිගටම නායකත්වයේ ඉන්නකොට නායකත්ව අර්බුදයක් විදිහට එළියට එන්නෙත් මේ අර්බුදය.

 

ඔය සියලු තත්ත්වයන් අස්සේ තමයි සෝම හාමුදුරුවෝ අපවත් වෙන්නේ. ඒ වෙනකොට උන්වහන්සේ ලංකාවේ බෞද්ධයෝ අතරේ සෑහෙන්න ජනප්‍රියයි. මේ මරණය ඝාතනයක් විදිහට දැක්ක අය හිටියා. එහෙම සැකසංකා තිබුණා. මේ සියල්ල එක්ක තමයි හෙළ උරුමය නිර්මානය වෙන්නේ. මම මේ පොතෙත් මේක ලියලා තියෙනවා, අපි අවන්හලක කරපු සංවාදයක ප්‍රථිපලයක් විදිහට තමයි හෙළ උරුමය කියන එක බිහිවෙන්නේ.

 

හෙළ උරුමය බිහිවෙලා මැතිවරණයට තරඟ කරනකොට අපිට වැඩියෙන්ම උදව් කළේ එජාපේ අය. ඔවුන් හිතුවා හෙළ උරුමය නිසා ශ්‍රීලනීපයේ ඡන්ද කැඩෙයි කියලා. ඒත් ඇත්තටම වුණේ එජාපයේ අය තමයි අපිට ඡන්දය දුන්නේ. එජාපයේ හිටිය සාම්ප්‍රදායික ජාතිකවාදී අදහස් දරපු අය අපිට ඡන්දය දුන්නා. ඒනිසා මහරගම කැස්බෑව වගේ ආසන වල අපි එජාපය පරාජයට පත්කරලා දෙවෙනි තැනට ආවා. අන්තිමට අපේ මතවාදයත් එක්ක ජවිපෙට තමන් දරපු මතයත් වෙනස් කරගන්න වුණා. ඔවුන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය හදලා කළේ ඒක.

 

2005 මහින්දට සාහය දෙන්න තීරණය කළේ ඇයි?

 

2005 වෙනකොට නෝර්වේ මැදිහත්වීමත් එක්ක ඒ සාම ගිවිසුම් එක්ක එල්ටීටීඊ එක නිල නොලත් වෙනම රාජ්‍යයක් නඩත්තු කළා. අපි හිතුවා නෝර්වේ මැදිහත්වීමත් එක්ක මේක මෙහෙම ගියොත් මේ රට දෙකඩ වෙනවා කියලා. ඒකට මුහුන දෙන්න පුලුවන් නායකයා කවුද කියලා හිතනකොට තමයි හිතුනේ මහින්ද ඒකට හොඳයි කියලා. ඒ වෙනකොට මහින්ද ශ්‍රීලනීපයේ දක්ෂිණාංශයේ තමයි හිටියේ. චන්ද්‍රිකා හිටියේ මධ්‍ය වාමාංසයේ වගේ. අනෙක් පැත්තෙන් මහින්ද පක්ෂයෙන් පිටත වාමාංසික බලවේගත් එක්කත් සම්බන්ධතා පැවැත්වූවා. අනෙක් පැත්තෙන් ඔහුට දේශපාලන මතයක් තිබුණෙත් නෑ. ඒ සියලු දේවල් එක්ක තමයි අපි මහින්දට සහාය දෙන්න තීරණය කරන්නේ.

 

භික්ෂුව දේශපාලනයට එක්කරලා විශාල ප්‍රශ්නයක් නිර්මානය කළා කියලා හිතෙන්නේ නැද්ද?

 

භික්ෂුව දේශපාලනයට ඒම පස්සේ කාලේ වෙනකොට විශාල ව්‍යාධියක් වුණා. ඒක ඇත්ත. ඒකට හේතුව ඔවුන් පුද්ගලික න්‍යායපත්‍ර මත වැඩකරන්න යෑම. අනික් පැත්තෙන් මහින්ද රාජපක්ෂ අපි අතේ තිබුණ කොඩිය ඔහු අතට ගන්න සූක්ෂම විදිහට භික්ෂුව පාවිච්චි කළා. ඒක ඔහු අපිට සහ ජවිපෙට විරුද්ධව කරපු වැඩක්. මහින්ද රාජපක්ෂ බුද්ධි අංශ පවා යොදාගෙන මේ වැඩේ කළා. ඒ සියල්ලේ අවසානය තමයි දැන් මේ තියෙන්නේ. ඒකත් එක්ක අපි ගෙනාපු බලවේගය වොයිස්කට් බලවේගයක් වුණා.

 

එල්ටීටීඊය යුද්ධමය විදිහට පරාජයට පත්වුණාට පස්සේ ඔබලාගේ මතවාදයත් අර්බුදයට යනවා නේද?

 

හොඳ ප්‍රශ්නයක්. එල්ටීටීඊය පරාජය කළාට පස්සේ අපි හිතුවේ රට ආර්ථික වශයෙන් ගොඩදාන්න දැන් කාලය හරි කියලා. මොකද යුද්ධය වගේම වංචාව දූෂණය වගේ තත්ත්වයන් නිසා රටේ ආර්ථිකය තිබුණේ අපි බලාපොරොත්තු වුණ තැන නෙවෙයි. ඉතිං යුද්ධය අවසන් වීමත් එක්ක මේ සියල්ල නිවැරදි කරලා රට නියම මාර්ගයට ගන්න හොඳම අවස්ථාව උදාවුණා. ඊට පස්සේ අපේ දේශපාලනය වුණේ ඒක. රට නිවැරදි මාර්ගයට ගන්න එක. ආර්ථික පැත්තෙන් රට නිවැරදි දිශාවට ගන්න එක. අපි මහින්ද රාජපක්ෂට 2010දී සහාය දෙන්නෙත් ඒකට.

 

හැබැයි ඔහුට රටට වඩා පවුල සහ යාළුවන් ලොකු වීම නිසා ඒ තත්ත්වය අත්පත් කරගන්න බැරි වෙනවා. ඒනිසා තමයි අපි ඔහුගෙන් අයින් වෙලා 2015 යහපාලනය ගේන්න මැදිහත්වෙන්නේ. 2015 වෙනකොට අපි සියට සීයක් අපෙන් අනික් පැත්තේ හිටපු සිවිල් සංවිධාන එක්ක එකට වැඩ කරන්න පටන් ගන්නවා. ඒකට හේතුව තමයි අපිට යුද්ධයෙන් පස්සේ අවශ්‍ය වුණේ මේ රට සංවර්ධනය කිරීම. මේක මෙහෙම ගියොත් බංකොලොත් වෙනවා කියලා අපි කලින්ම කිව්වා. අපිට අවශ්‍ය වුණේ සහචරවාදය පිටුදකින යහ ආණ්ඩුකරණයක් එක්ක ඉස්සරහට යන වංචාවෙන් දූෂණයෙන් තොර නීතිගරුක රටක්. අපි දැනුත් ඒ වෙනුවෙන් තමයි වැඩ කරන්නේ. ඉතිං මම මේ පොත හරහාත් කියන්නේ වර්තමාන පරපුර වුණත් දේශපාලනය කරනකොට මේ අසූවේ පරපුර මඟහැරලා යන්න බෑ කියන දේ. ඔවුන්ගෙන් විශාල දැනුමක් ලබාගන්න පුලුවන් කියන දේ.

 

ban3

 

සංවාද සටහන - කේ.සංජීව

උපුටා ගැනීම - අනිද්දා පුවත්පත - 2024/05/12

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි