SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

80 විය ලැබීමට මාස කිහිපයකට පෙර නලින් ද සිල්වා මියගොස් ඇත. ඔහු පිළිබඳව ලාභ විරෝධයක් දක්වන්නන් විසින් ජාතිවාදියා, ෆැසිස්ට්වාදියා, දෙමල ලේ පිපාසිතයා යනුවෙන් ආමන්ත්‍රණය කරමින් ඔහුට පරිභව කරනු පෙනේ.

ඔහුගේ ගෝලයින් ද ඊට නොදෙවැනිව නලින් මහින්ද රාජපක්ෂ සමග සිටින ඡායාරූප පළකරමින් ඊට සහය දක්වනු පෙනේ. නලින් ද සිල්වා ලාංකීය සමාජය විසින් භාරගෙන ඇති ජනප්‍රිය ස්ථානය එයයි.

 

නලින් ද සිල්වාගේ දේශපාලනය ආරම්භ වන්නේ ට්‍රොස්කිවාදියෙකු ලෙස ලංකා සම සමාජ පක්ෂයෙනි. පසුව ඔහු වික්‍රමභාහු සමග නව සම සමාජ පක්ෂයට පැමිණියේය. නලින් මාක්ස්වාදයෙන් නික්මයාම ආරම්භ වන්නේ 80 දශකයේ මුලදීය. "මාක්ස්වාදයේ දරිද්‍රතාවය" කෘතිය ලියමින් ඔහු මාක්ස්වාදය නියතිවාදයක් ලෙස දකිමින් එය ප්‍රශ්න කොට සිටී (මේ ප්‍රශ්න කිරීම් වෙත කිසිඳු මාක්ස්වාදියෙකු විසින් පිළිතුරු ලබා දී නොමැත). ඒ ඊට සමාන අකාරයකින් මාක්ස්වාදය ප්‍රශ්න කරන 1985දී නිකුත් වූ ඒනස්ටෝ ලක්ලාව්ගේ සහ ශාන්තාල් මූෆ්ගේ "Hegemony and Socialist Strategy" කෘතිය නිකුත් වීමට වසරකට පමණ පෙරය. ඉන් පසුව නලින් විසින් "සමාජවාදයට නව අර්ථකතනයක් අවශ්‍යයි" යනුවෙන් ලිපි පෙළක් ලිවීය. "සිංහල බෞද්ධ ජාතිකත්වය" යන සංකල්පය ඔහු විසින් ගෙන එන්නේ ඉන් පසුවය. එය ඔහුගේ සමාජවාදය ලෙස සැලකිය හැකිය.

 

පසුගිය සිංහල අවුරුදු දින අවසන් ගමන් ගිය රොහාන් පෙරේරා ද මාක්ස්වාදයට නව අර්ථකතනයක් දෙමින් පැමිණෙන්නේ 80 දශකයේ මුල් භාගයේය. ඒ අනුව සමාජවාදයට නව අර්ථකතනයක් අවශ්‍ය බව පවසමින් සහ මාක්ස්වාදයට නව අර්ථකතනයක් දෙමින් 80 දශකයේ මුල ආරම්භ වූ සම්ප්‍රදායන් දෙකෙහිම නියමුවන් දෙදෙනාම මසක් ඇතුලත අපෙන් සමුගෙන ඇත.

 

රොහාන් සම්බන්ධයෙන් නලින් විමසා සිටි ප්‍රශ්නය වූයේ රොහාන් තම මුස්ලිම් අනන්‍යතාවය වෙනස්කර ගත්තේ ඇයි ද යන්නයි. ඔහු කිහිප වරක් කියා සිටියේ කිසිවෙකුත් ඊට පිළිතුරු ලබා දී නොමැති බවත්, ඒ සඳහා තවත් පැය 24ක් ලබා දෙන බවත්ය (මුලින් පැය 48ක කාලයක් ලබා දීමෙන් අනතුරුව). නමුත් නලින් ද සිල්වා විසින් අවසාන වශයෙන් එම කාලය ලබා දුන් අප්‍රේල් 21 වෙනිදායින් පසු මිය යන තුරුම රොහාන් ගැන කිසිවක් නැවත ලිව්වේ නැත (ඔහුගේ අවසාන පෝස්ටුව මයි 1 දිනය).

 

පහතින් දක්වා ඇත්තේ අප්‍රේල් 21 දින ඔහු විසින් ලියන ලද ලිපියේ කොටසකි.

 

"ෆස්ලි නිසාර් මුස්ලිම් වූයේ ඔහු ඔය කියන විධියට අඩු තරමෙන් අවුරුදු දහහතක් වන තුරු හැදුණේ වැඩුණේ මුස්ලිම් සංස්කෘතියක බැවින්. ඉන්පසු ඔහුගේ ජීවිතය හරිහැටි දන්නා කෙනකු ඉන්න බවක් දැනගන්න නැහැ. ඒ ගැන අපි පසුව කතා කරමු. මගේ ප්‍රශ්නය වූයේ ඊබ්‍රාහිම්ලා කබීර්ලා මොහොමඩ්ලා කලීල්ලා මුස්ලිම් අනන්‍යතාව වෙනස් කර නොගත් රටක ෆස්ලි රොහාන් වුණේ ඇයි ද යන්නයි. පඬි නැට්ටන් විවිධ කතා කියා තිබුණා. මා මගේ කේරළ අනන්‍යතාව සඟවා ගෙන ඉන්න බව කිවුවා. මට ඇති කේරළ අනන්‍යතාවක් නැහැ. මට රාජස්ථාන සම්භවයක් නම් තියෙනවා. මා එය කිහිප වරක් කියා තියෙනවා. ඒ රාජස්ථාන සම්භවය අප හංගා නැහැ. ඨකුර හා ඔහුගේ මුණුබුරන් වූ අර්ථ දේව, ආදීත්‍ය ආදීන්ගෙ නම් අපේ වාසගමේ තියෙනවා. එක් පඬි නැට්ටකු මගේ නම ඉංගිරිසියෙන් ද කොහේ ද කියවා ලින්ඩාමුලගේ නලින් කුමාර් ඩි සිල්වා කියා ලියා තිබුණා. නැහැ මගේ සම්පූර්ණ නම ථකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ලිඳමුලගේ නලින් කුමාර් ද සිල්වා. පඬි නැට්ටන්ට නම් නලියා. මගේ ජාන හා ඨකුරගේ ජාන අතර සමානකමක් තිබිය හැකි නමුත් සිංහල වන්නේ ඨකුර නොව මායි. මට හංගන්න කිසිවක් නැහැ. ඔස්කා වයිල්ඩ්ට හංගන්න තිබූ දේ මට නැහැ."

 

පසුව මා රොහාන් විසින් ලියන ලද "දඩයමයි සාහිත්‍යයි අතර දුර" ලිපිය කියවන ලෙස පවසා එහි සබැඳිය නලින් වෙත ලබා දෙන ලදී. ඔහු විසින් එය කියවා රොහාන්ගේ තවත් ලිපි ඇත්තනම් ඔහු වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

 

පහතින් දක්වා ඇත්තේ සයිමන් නවගත්තේගමට අදාලව රොහාන් ලියා තිබූ ලිපිය කියවා ඔහු විසින් මා වෙත දැක්වූ අදහසයි.

 

"මා මෙය කියවා තිබුණේ නැහැ. මෙය කියවන විට මට කරුණු දෙකක් සිහියට ආවා. එකක් බටහිර මතවාදවලට අනුව සමාජය තේරුම් ගැනීමට යෑමේ දී මතුවන ප්‍රශ්න. පළමු කොට ම ඒ සඳහා සිංහලෙන් වචන හොයා ගන්න වෙනවා. මේ ලිපියේත් වෙනත් අය ලියන ලිපිවලත් වැඩකට නැති සිංහල වචන තනාගෙන මංමුළා වීමක් දැක ගන්න පුළුවන්. ඔය ලිපි ලියන අයටවත් කියවන අයටවත් හරිහැටි තේරෙන්නේ නැහැ. අපට සිංහල වචන තනාගන්න බැරි අප හරිහැටි සිංහල සංස්කෘතියේ නැති කමයි. අපට සංස්කෘතෙන් වචන තනා ගන්න වෙනවා. සංස්කෘත තේරෙන අය ඉන්නෙ කී දෙනා ද? දෙවැන්න හරි හැටි ඉංගිරිසි නොදැනීම. අපට බටහිර සංකල්ප ගැන නිරවුල් අවබෝධයක් දැන් ලැබෙන ඉංගිරිසි අධ්‍යාපනයෙන් ලබා ගන්නත් බැහැ. අද සිංහලෙන් උගන්වන මුළු මහත් බටහිර විද්‍යා දැනුම ම විකාරයක් බවට පත් වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඊනියා පාරිභාෂික වචන.

දෙවැන්න සයිමන් නවගත්තේගමට අධ්‍යාපනය නිසා වූ වින්නැහිය. ඔහු ආණමඩුව පැත්තේ ගැමියෙක්. එහෙත් අධ්‍යාපනය නිසා මා හිතන්නේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය හා පේරාදෙණි මොටාව හරහා ඔහුට ගැමිකම නැති වුණා. එහෙත් අප බොහෝ දෙනාට වෙන පරිදි බටහිරයකු වෙන්නත් බැරි වුණා. ඔහු දෙලොවක් අතර මංමුළා වුණා. ඔහුට ඊනියා අධියථාර්ථවාදයක්වත් ජාතක කතා ශෛලියවත් උකහා ගන්න බැරි වුණා. මෙය මාර්ටින් වික්‍රමසිංහගේ සිට දැක ගන්න පුළුවන්. මාර්ටින් වික්‍රමසිංහ ජාතක කතාවේ නැති යථාර්ථවාදී රීතියක් දුටුවා. කොග්ගල ගැමියා ප්‍රාඥයා බවට පත්වීමේ දී ගැමි කම නැති කළා.

මා රොහාන් පෙරේරාගේ ලිපි කියවා නැහැ. හැකිකමක් තියෙනවා නම් තව ලිපි කිහිපයක් එවන්න. ඔහු ගැන දැන ගැනීමට ඒ ප්‍රමාණවත් වේවි. මා දැනට ඉන්නේ ඔහු එක්තරා විධියක කාලෝ ෆොන්සේකා කෙනකු යන මතයේ. එය වෙනස් වෙන්න පුළුවන්. කාලෝ බුදුදහමට අනින්න හිතාගෙන බුදුදහම ඉගෙන ගත් අයෙක්. ඔහු පාලි හා බෞද්ධ අධ්‍යතනයෙන් පශ්චාත් උපාධියක් ද ලබා ගත්තා. එහෙත් ඔහු මියන තුරු ම කතෝලිකයෙක්. ඔහු සංසාරය ප්‍රතික්‍ෂෙප කළා. ඊනියා යථාර්ථවාදයක් පිළිගත්තා. ඒ අතර ස්වර්ගය ගැන ද විශ්වාසය තැබුවා. ඔහු කිසි දා අදේවවාදියෙක් වුණේ නැහැ. හැකි තැන සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දුන්නා.

රොහාන් පෙරේරා ද එසේමයි. ඔහු සිංහල සංස්කෘතියට හා පොදුවේ (මුස්ලිම් නොවන) පෙරදිග සංස්කෘතියට පහර දීම සඳහා ඒ ගැන යම් හැදෑරීමක් කරන්න ඇති. එහෙත් කාලෝට මෙන් ම ඔහුටත් ඒ අවබෝධ කරගන්න බැරි වුණා. ඔහු සයිමන් ගැන කියවන්නේ විකාර. සයිමන් ගම අහිමි කරගත් නගරය හිමිකර ගන්න බැරි වුණු මංමුළා වූ මිනිහෙක්. එහෙත් රොහාන්ට නම් තම මුස්ලිම්කම නැති වී නැහැ. ඔහු මුස්ලිම් කාලෝ කෙනෙක්. ඔහුට මුස්ලිම් අවමගුලක් ලැබුණා."

 

ඉහත සටහනේ නලින් විසින් පවසන වැදගත්ම කාරණය වන්නේ ඉංග්‍රීසි (ඉංග්‍රීසියෙන් ඇත්තේ වෙනත් භාෂාවකින් ලියන ලද පරිවර්තනයන් ද විය හැක) වචන වෙත යම්කිසි සිංහල වචනයක් තනා යෙදූ පමණින් එම වචනයෙන් අදාළ ඉංග්‍රීසි වචනයේ ඉංග්‍රීසි අර්ථය හැඟවුම්කරණය නොවන බවයි. වචනයක සාරයක් ඇති බවක් හැඟී යන්නේ සහ අර්ථවත් වන්නේ එම වචනය අදාළ භාෂාව තුල අනෙකුත් වචන වලට ඒ වචනයේ ඇති සම්බන්ධය තුල මිස වචන සතුව එහිම වූ සාරයන් හෝ අර්ථ නොමැත. යම් භාෂාවක් ඊට අදාළ සංස්කෘතික සමස්තයෙන් වෙන් කල නොහැක.

 

නලින්ගේ "මගේ ලෝකය" කෘතියේ අන්තර්ගතය සෝශියර්, පියර්ස් වෙතින් මූලාරම්භ වන ව්‍යුහවාදය බව කෙනෙකුට පැවසිය හැකිය. නමුත් නලින් එම කෘතිය ලිවීමේදී සොශියර් වැන්නන් පිළිබඳව, සොශියර් හෝ පියස්ගේ යෙදුම්, වචන හෝ බටහිර ව්‍යුහවාදී සම්ප්‍රදායේ කිසිඳු ඉදිරිපත් කිරීමේ ආකෘතියක් භාවිතා නොකරමින්, සිංහල සංස්කෘතිය තුල පිහිටා, සිංහල සංස්කෘතිය තුලින් සංකල්ප ගොඩනගමින් නිර්මාණාත්මකව පැහැදිලි කිරීම සිදු කරයි. ඉතාම අසීරු කාර්ය වන්නේ එයයි. නමුත් බොහෝ දෙනෙකු මෙය තේරුම් ගෙන නොමැත.

 

රොහාන් සම්බන්ධයෙන් නලින් ද සිල්වා විසින් විමසන ලද ප්‍රශ්නයට ඔහු ලබා දීමට නියමිතව තිබූ පිළිතුර ඉහත සටහනේ ඇත. නමුත් මා විසින් රොහාන්ගේ තවත් ලේඛන සහ දේශනයක් යැවූ පසු ඔහු රොහාන් සම්බන්ධයෙන් ලිවීම අත්හිටුවන ලදී. ඒ රොහාන් සම්බන්ධයෙන් තිබූ ඔහුගේ පූර්ව අදහස ඉන් පසු වෙනස් වූ බැවිනි (රොහාන් සම්බන්ධයෙන් තම අදහස ඉදිරියේදී වෙනස් විය හැකි බව ඉහත සටහනේ ද ඔහු විසින් දක්වා ඇත).

 

ඉහත සටහනේ නලින් පවසන්නේ සයිමන් නවගත්තේගම අධ්‍යාපනය නිසා විනාශ වූ බවයි. නවගත්තේගමට ද අනුව එය එසේය. ඔහු ද එයම එලෙසම පවසා තිබුණි. මාටින් වික්‍රමසිහගේ ස්ථාවරය ඊට හාත්පසින්ම වෙනස්ය. නමුත් ඔහුගේ නවකතා කෙටි කතා තුලින් සිංහල සංස්කෘතියේ මිනිස් සබඳකම් බටහිර අධ්‍යාපනය තුල සහ එතුලින් ගොඩනැගෙන සබඳතා තුල විනාශ වී යන අකාරය පෙන්නුම් කෙරේ (විශේෂයෙන්ම "කළුවර ගෙදර" නවකතාව තුල). නලින්ගේ දේශපාලන ස්ථාවරය ඉහත ඡේදය තුලින් ප්‍රකට වේ. එනම්, බටහිර ආක්‍රමණයට පෙර පැවති සිංහල සංස්කෘතික ජීවන ලෝකයයි. නමුත් මේ වන විට එය ලංකාව තුල නොමැති බව ඔහු දනී. එහෙත් ඔහුගේ ස්ථාවරය වූයේ පවතින "සිංහල බෞද්ධ ජාතිකත්වය" ඉස්මතුකර ගැනීම තුලින් වන නව දේශපාලන ගමන් මගක් හරහා යන ගමනකින් මිස වෙනත් අකාරයකින් අර්බුධකාරී, ව්‍යසනකාරී, අසහනකාරී මෙම වින්නැහියෙන් මිදිය නොහැකි බවයි. එම ස්ථාවරය බොහෝ දුරට සමාන වන්නේ පශ්චාත් මාක්ස්වාදී ස්තාවරයටය. නලින් විසින් ඒ සඳහා ඔහු විසින්ම නිර්මාණය කරන ලද "අවශෝෂණය" නමැති සංකල්පයක් ද හඳුන්වා දෙන ලදී. එම සංකල්පයට අනුව වෙනත් සංස්කෘතික නිර්මාණයන් සංස්කෘතික යටහත්භාවයට ලක් නොවී "අපේ සංස්කෘතිය" තුලට උකහාගත හැකිය.

 

ඔහු "විද්‍යා කතන්දර" පොතේ පෙරවදනේ මෙසේ පවසයි:

 

"අද බටහිර දැනුම අප මත පටවන්නේ බලයෙනි. එහි ඇත්තේ බලහත්කාරකමකි. බටහිර දැනුමෙන් අපට අවශ්‍ය ප්‍රමාණය අපට අවශ්‍ය ආකාරයට ගැනීමට, අපේ සංස්කෘතිය තුලට අවශෝෂණය කර ගැනීමට අපට නිදහසක් ඇත. බටහිර දැනුම බටහිරයන්ට අවශ්‍ය ප්‍රමාණයට අප ලබාගත යුතු වෙයි. සියලු මිනුම් දඬු තීරණය කරන්නෝ බටහිරයෝ ය. අපට ඇත්තේ ඔවුන් අප ලබා ගත යුතු යැ යි සිතන දැනුම ඉගෙනගැනීම හා ඉගැන්වීම පමණකි. මෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපනය පමණක් නො ව පාසල් හා පෙර පාසල් අධ්‍යාපනය ද සකස් වන්නේ එංගලන්තයට (පණ්ඩිතකුට අවශ්‍ය නම් බිරිතනිය හෝ එක්සත් රාජධානිය හෝ යැ යි කිව හැකි ය) හා ඇමරිකා එක්සත් ජනපදයට අවශ්‍ය අන්දමට ය."

 

බටහිර නිර්මාණය වන දැනුම එම දැනුම නිර්මාණය වන රටවලට අවශ්‍ය ප්‍රමාණයට බෙදාහරින බව සහ ලබාගත යුතු බව සත්‍යයකි.

එම කෘතියේ පෙරවදනෙහි මෙසේ ද සඳහන්ව ඇත: "බටහිර භෞතික විද්‍යාව සිංහල බෞද්ධ සංස්කෘතිය තුලට අවශෝෂණය කරන ආකාරය මතු කරගැනීම මේ පොතෙහි ප්‍රධාන අරමුණක් වෙයි."

 

නලින් ද සිල්වා විසින් මෙම "අවශෝෂණය" නමැති ඔහුගේ න්‍යාය ගෙන එන්නේ 90 දශකයේ අග භාගයේදීය. ඊට පෙර ඔහු ශුද්ධ බටහිර විද්‍යා විරෝධියෙකි (නලින්ගේ අනුගාමිකයින් ලෙස පෙනී සිටින්නන් මෙය පිළිගැනීමට අකමැත්තක් දක්වයි). ප්‍රශ්නය වන්නේ මෙය (අවශෝෂණය) සිදු කරන ආකාරය කෙසේද යන්න පිළිබඳවයි.

 

නලින්ගේ ගෝලයින්, ඔහුගේ උග්‍ර විවේචකයින් මෙන්ම ඔහුට ඉබාගාතේ දමා ගසන්නන් ද නලින් අදාළ කිරීමට කැමැත්තක් දක්වනුයේ රාජපක්ෂ දේශපාලනය වෙතටය. නලින් විරෝධීන් ඔහු ට පහරදීමේ පහසු මග ලෙස ද නලින්වාදීන් විසින් ඔහුට උපහාර දැක්වීමට පහසු මග ලෙස ද එය තෝරාගෙන ඇත. ඉන් සිදුවන්නේ සංවාදයට ලක්කළ යුතුව ඇති නලින්ගේ ඉදිරිපත් කිරීම යටපත් වීමයි. ඔවුන් මගහරිනුයේ ධනවාදයේ පදනම වන නූතන විද්‍යාව, එනම් නිරීක්ෂකයාගෙන් ස්වායත්ත වාස්තවික යථාර්තය තුල දැනුම පිළිබඳව නලින්ගේ ඉදිරිපත් කිරීම් වල පදනමයි.

 

සියලු දෙනා මගහරින සංවාදය අප සමග සිදු කිරීම සඳහා නලින් ද සිල්වා සිය කැමැත්ත පලකරන ලදී. එය දිගින් දිගටම ප්‍රමාද වන විට ඔහු ඒ පිළිබඳව දැඩි උනන්දුවකින් වැඩේ ප්‍රමාද ඇයි දැයි දිගින් දිගටම විමසා සිටින ලදී. එම සංවාදය ප්‍රමාද වීමට හේතු වූයේ ඊට පදනම සකස් කරන අප විසින් ලියා පල කිරීමට නියමිත ලේඛනය ප්‍රමාද වීම සහ අපගේ සගයින් එය කියවා නිම කොට නොතිබීමයි.

 

නලින්ගේ බයිපාස් සැත්කම, දරුවන් විද්‍යා අධ්‍යාපනය ලබා ඇමරිකාවේ ජීවත්වීම, වැනි ස්ථාන වලින් ඔහුව ප්‍රශ්න කරමින් නූතන විද්‍යාව ඉදිරියේ නලින් මුග්ධයෙකු බව පෙන්වා දීමට උත්සාහ දැරූ අය නොදන්නවා වුව ද ඔහු මිය යාමට හේතු වූ කේශ නාලිකාවක ලේ කැටියක් හිරවීම සඳහා ද ඔහු ඇමෙරිකාවේ දී ප්‍රතිකාර ලබා ගත්තේ ගිය මාසයේය. පසු ගිය කාලයේ ලිපි ලියුයේ ඉන් සුවය ලබා සිටියේදීය. ඔහු එකල ලංකාවේ ජීවත් වූයේ නම් අදාළ ප්‍රතිකාරය කල නොහැකි බව ද ඔහු පවසා ඇත. වෛද්‍යවරුන් ඔහු වෙත උපදෙස් දී තිබුනේ කිසි ලෙසකින් කේන්ති නොගන්නා ලෙසය. නමුත් ඔහු සුවය ලබමින් සිටියදී ද ඔහු ලියන ලේඛන වලට ලැබෙන ප්‍රතිචාර සම්බන්ධයෙන් කේන්තියෙන් යුතුව ක්‍රියා කොට ඇත.

 

නලින් විසින් කරන ලද ගොඩනැංවීම ඔහු බලාපොරොත්තු වූ පරිදි ඉදිරියට ගෙනයාමට ඔහුගේ අනුගාමිකයින් කිසිවෙකුත් නොමැත. අනුගාමිකයින් ලෙස පෙනී සිටින්නන් හට ඊට වඩා බොහෝ වැඩ ඇත. සියලු දෙනා කාර්ය බහුල වී ඇත. ඒ තම තමන්ගේ නොනවතින උන්නතිකාමය, තම උන්නතිකාමී දරුවන්ගේ අනාගතය, ධනවාදී වෙළඳපොල සහ ෆැන්ටසි වසංගතය තුල අතරමන් වීම, ඔවුනගේ මිනිස් සබඳතා යනු එකිනෙකාගේ වටිනා කම් නඩත්තු කරනා සම්බන්ධකම් වීම (අඩුම තරමින් තම බිරිඳ සමග සම්බන්ධය පවා එසේ නොමැතිව පවත්වාගත නොහැකි යථාර්තයක් නිර්මාණය වී ඇත. රොහාන් විසින්, එම සම්ප්‍රදායේ ආරම්භකයා ලෙස, ප්‍රශ්න කොට සිටියේ මෙවැනි මිනිස් සබඳතාය), ඒවා නැවතත් අධ්‍යාපනයට සහ වෙළඳපොළට දිගින් දිගටම ගැටගැසී තිබීම වැනි තත්වයන් තුලය. මුල් කාලයේ ඔහුට "චින්තන පර්ෂදය" වැනි කණ්ඩායමක් හෝ ගොඩනගා ගත හැකි වූයේ එකල තත්වය මෙතරම්ම සංකීරණ නොවූ බැවිනි. නමුත් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන ධනවාදයේ ෆැන්ටසි වසංගතයට සමාජය ගොදුරුවෙත් දී, ඔහු සමග සිටි අයට පවා ඉන් ගැලවිය නොහැකි වී තිබිය දී, ඒ සියල්ල එසේ කැඩී බිඳී ගිය පසු ද, මරණය දක්වාම ඔහු තම සටන අත්නොහැරියේය. යුගයේ ස්වභාවය මෙයයි.

 

පහතින් දක්වා ඇත්තේ එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී නලින් විසින් කරන ලද ප්‍රකාශයකි.

 

ප්‍රශ්නය - ඔබ ගණිතය පිලිබඳ මහාචාර්ය වරයෙක්. ඇයි මේ දෙවියන් අදහන්නේ?

නලින්.- ඔව් මම දෙවියන් අදහනව තමයි. ඒක අන්ධ භක්තියෙන් නෙමෙයි දැන් ඔබ මෙතනින් එලියට බැහැල බලන්න ඔය මම දෙවියන් අදහනව කියල මට හිනාවෙන මහාචාර්යවරුන්ගෙ වාහන දිහා.

මගේ වාහනේ ඇර පුළුවන් නම් දෙහි ගෙඩියයි මිරිස් කරලයි එල්ලපු නැති වාහනයක් හොයා ගන්න..." ඔහු කීවේය.

ප්‍රශ්න ඇසූ කෙනා මෙසේ ලියා ඇත:

"මම ආපසු එන ගමනේ ඔහු කී සේම එම වාහන දෙස බැලිමි.

සැබෑවකි.

බොහොමයක දෙහි ගෙඩියයි මිරිස් කරලයි එල්ලෙමින් තිබිණි."

 

"නීල්ස් බෝර් තම ගම්බද නිවසේ දොරට ඉහළින් අශ්ව ලාඩමක් එල්ලා තිබෙනු දැකීමෙන් පුදුමයට පත් වූ ඔහුගේ මිතුරු විද්‍යාඥයෙක් අශ්ව ලාඩම් යක්ෂ ආත්මයන් පලවා හරී යන මිථ්‍යා විශ්වාසය තමා පිළිනොගන්නා බව බෝර් වෙත ප්‍රකාශ කරන ලදී. බෝර් විසින් පෙරලා ප්‍රකාශ කරන ලද්දේ, "මමත් ඒක විශ්වාස කරන්නේ නැහැ... නමුත් කෙනෙක් එය විශ්වාස නොකරන විට පවා එය ක්‍රියාත්මක වන බව මට පවසා ඇති බැවින් එය මා එසේ එල්ලා තිබේ." යනුවෙනි.

 

මේ අද දවසේ දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන ආකාරයයි.

 

@මාධව රුවන්පතිරණ

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි