ලක්දේශයට අයත් පෘථිවිය මත්තට කොයි යුගයේ ඉපදුන මනුස්ස දරුවකුට වුණත්, කුඩා කාලෙ ඉඳං වැඩිහිටියන් විසින් අනාගතය ගැන දෙනු ලබන ආදර්ශ රූපකය වන හරි සහ හොඳයි කියල පිළිගත් ජොබ් එකකින්, විවාහයකින්,
ප්‍රසිද්ධ කලාකරුවෙක් හෝ දේශපාලකයෙක් වීම වගේ දේකින් කෙලවර වන ජීවිතයක් තමයි, ඒ දරුවන්ගේ උරුමය විදියට නළලෙ ලියවිලා තිබිය යුතු සලකුණ ලෙසින් පිලිගන්වන්නෙ.
ඒ හින්ද ඕන ම පරම්පරාවකට කලින් පරම්පරාවල උදවිය හැමවිට ම අලුත් පරම්පරාවට කැට තියල කියල දෙන සූත්තරයක් තමයි,
“මේ වන විටත් තියෙනව, ඒ හින්ද මහන්සිවෙලා
අත්පත්කරගන්න විතරයි තියෙන්නෙ” කියල.
මං දන්න කියන කාලෙ ඉඳන්, ඒක තමයි රටේ සමාන්‍ය විදිහ විදිහට හරගතවෙලා තිබුණ නොකියා කියන සම්මුතිය හෙවත් වහල ගහන කොලේ.
ඉතිං කවුරුහරි දරුවෙක්, “මොනවද තියෙන්නෙ” කියල ප්‍රශනාර්තයෙන් ඇහුවොත්, වැඩිහිටියන්ට දෙන්න තියෙන උත්තරෙත් යට කියපු ආදර්ශ-රූපකයකට අදාළව “මෙන්න මේ වගේ කෙනෙක් වෙන්න පුළුවන්කම තියෙනව” හෙවත් “මෙන්න මේ වගේ වෘත්තීය අනන්‍යතාවක් බවට පත්වෙන්න පුළුවන්කම තියෙනව ඔයාට” කියන එක යි.
නමුත්, මෙහෙම “තියෙනව, තියෙනව” කියල වැඩිහිටි උදවියගෙ ඔළුවල මානසික චිත්‍රයක් හෙවත් සිතුමක් (Signified) තිබුණ පලියට සහ එයාලගෙ දරුවන්ගෙන් සෑහෙන ප්‍රමාණයකගේ කණ හරහා මනසට මේ මානසික චිත්‍රය කැමැත්තෙන් හෝ බලෙන් පොවල යුක්ති යුක්ත කරන්න පවා පුළුවනකම තිබුණ පලියට, දරුවනුත් ඩම දාල මහන්සිවෙලා අර අදාළ නොකියා කියන සම්මුතියට අදාළව තියෙන අනන්‍යතාවක් අත්කරගන්නට හැදුව පලියට, සමාජයෙන් නිර්දේශිත ඒ අනන්‍යතා අත්කරගන්න හැමෝට ම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අනික ඒ අනන්‍යතාවය මුළු ජීවිතෙය් හැම පදාසයක් ම නියෝජනය කරන්නෙත් නැහැ.
ලක්දේශය තුළ තීරණාත්මක විභාග වලින් අසමත් වන සහ අධ්‍යාපනය හැර යන දරුවන් ප්‍රමාණ සලකා බැලුවත්, ඒක දැනගන්න පුළුවන්. අනෙක් පැත්තෙන් මේ නොකියා කියන සම්මුතියට අදාළව තියෙන අනන්‍යතා සෙට් ඒකෙන් එකක් අත්පත් කරගන්නට පුළුවන් දරවෙකු වුණත්, අධ්‍යාපනයෙන් පසු ඊට අදාළ වෘත්තීන් වල නියැලෙමින් අවුරුද්දක් දෙකක් යනකොට ම දෙමාපියන් විසින් දරුවන්ට “තියෙනව” යි කියල සපථ කරපු දේවල් “ඇත්තට ම තියෙනවද මන්ද?” කියල ඒ දරුවන්ගේ අවිඥානය ඇතුළෙ ජෙනුයින් සාංකාවක් ඇතිවෙනව.
ඒත්, ඒ වෙත්දි ජීවිතෙන් සෑහෙන කාලයක් දෙමාපියන් නිර්දේශ කරන ක්‍රයාවලියට දන්දීල තිබුණ හින්ද, දත කාගෙන ඉතුරු ටිකත් ඒ විදිහට ම කරගෙන ගිහිං ඔහේ මැරිල යනව. ඒක තමයි ලක්දේශයේ හැබෑ වෘත්තීක බහුතරයකගේ ජීවමාන අයිඩෙන්ටි කාඩ් ඒක.
කිසිම විධිමත් සාමාජ සිස්ටම් එකක් නැති ඉමක වුණත්, තමන්ට මුළින් ම හමුවන දෙමාපියන්ගේ පැවත්ම හරහා පොවන දේ සිස්ටම් ඒක ලෙස භාරගන්න, හැම අතින් ම දෙමාපියන් මත යැපෙන එක බහුතර දරුවන්ගේ සමාන්‍ය විදිහ යි.
ඒත් කවුරු හරි අහඹු දරුවෙක් “මේ වන විටත් තියෙනව, ඒ හින්ද මහන්සිවෙලා අත්පත්කරගන්න විතරයි තියෙන්නෙ” කියල දෙමාපියන්ගෙන් කණට ඇහුණ දේ, එහෙම කියපු පළියට පිළිනොගෙන, “කෝ ඔය තියෙනව කියන දේවල්? ” කියල ප්‍රශ්න කරන්න ගත්තොතින් සහ ඒ සම්බන්ධව අවට සමාජයන් වැඩිහිටියන් පෙන්වූ “තියෙනව” කියන අනන්‍යතා වල “මොකවත් නැහැනේ ?” කියල විචාර කරන්න එහෙම ගත්තොතින්, ඒ දරුවට ගමන් කරන්නට වෙන්නෙ හරිම අසීරු සහ අප්‍රසිද්ධ ජීවිතයක් හරහා.
මොකද ඒක සමාජයේ මහාපොදු සාධකය නොවන නිසා.
මොකද එවැනි දරුවන් විසින් “තියෙන්නෙ මොනවද?,” කියල හොයං යන්න පෙළෙඹනව. ඉතිං එයාල හොයාං ගියහම, මොනවද එයාලට හමුවෙන්නෙ ? එයාලට මේ වන විටත්, “තියෙන්නෙ නෑ!” කියල හමුවෙනව. ඒත් දෙමාපියන් හෝ වැඩිහිටියෙක් “මේ වන විටත් තියෙනව” යැයි කියල දීල තියෙන එක එයාලට අවිශ්වාස නැති හින්ද, එයාල තව තවත් හොයාං යනව ... “ඇත්තට ම තියෙනව ද?” කියල හොයං යනව.
එක සොයායෑමක දී “නොමැත” කියල හෙළිදරව් වුණත්, අන් තැනක “තියෙනව ඇති” ය කියල හිතං තව තවත් හොයං යනව. ඒ කියන්නේ, සිතුම්කාරකයෙන් (Signifier) සිතුම්කාරකයට පැන පැන හොය හොය යනව. මෙහෙම තම ජීවිතයෙන් කාලය ගෙවා දමමින් හොයං යන්න, හොයං යන්න, ඒකේ අතුරුඵලයක් විදිහට, ලැබෙණ තොරතුරු ප්‍රමාණය අනුව එයාගෙ මනසත් විශාල වෙනව. තොරතුරුවලින් මනස විශාල වෙන කෙනා නිරායාසයෙන් ම විශ්ලේෂණයට පෙලඹෙනව.
මෙබඳු දරුවන් බොහෝ විට හමුවන්නේ ඇකඩමීකත්වය දක්වා ඉහළට ගිය අධ්‍යාපනයක් සපයන පරිශ්‍රයන් සහ කතිකාවන් තුළින් නොවෙයි. මෙවැනි දරුවන් හමුවන්නේ, ඇකඩමීකත්වය දක්වා ඉහළට ගිය අධ්‍යපනය සපයන පරිශ්‍රයන් සහ කිතිකාවන්ගෙන් පිටතදී. (ඒ නිසා, ඇකඩමි තුළ වඳ බැහැල ජීවත්වන උදවියට, මං මේ කියන දේ ආගන්තුක වාද-විෂයක් වෙන්නටත් පුළුවන්)
සාමාන්‍යයෙන්, මේ විදිහට “තියෙනව” කියල දෙමාපියන් කෙරෙහි වන තම අවිඥානික විශ්වාසය තබාගෙන, නොමැත්තක් (a Void) හොයං යන දරුවන් බහුල වශයෙන් හොයාගන්නට නැහැ. බහුල වශයෙන් ඉන්නේ, ප්‍රධාන වර්ග දෙක යි.
එකක්, බහුතර මාපියන් නොකියා කියන සම්මුතිය වන “මේ වන විටත් තියෙනව”, කියල හිතං හැල්මේ ගිහිං සමාජයෙන් නිර්දේශිත අනන්‍යතා අත්කරගෙන, ඒ අනන්‍යතා හරහා ජීවිතයට ලැබෙන සාංකාව තම අවිඥානය කරෙගන යටි හිතින් විඳවමින් දිවි සරන උදවිය. අනික් එක, නිර්දේශිත අනන්‍යතා අත්කරගන්නට නොහැකිවීම නිසා හූල්ලමින් ජීවිතය කලකිරීම තුළ නන්නත්තාර කරගත් තම ජීවිතයෙන් ම පළිගන්න ටයිප් ඒකේ හෝ කාගේ හරි අතකොළු බවට පත්වන ටයිප් ඒකේ උදවිය.
දෙමාපියන් “තියෙනව” යි කියල කියන දේ ගෙඩිපිටින් ගිලින්නේ නැතිව, නොමැත්ත (Void) හොයං යන දරුවන් තමයි මේ ඉතිරි සුළුතරය.
රොහාන් පෙරේරා කියන්නේ එබඳු නොමැත්ත හොයං ගිය ලක්දේශයේ සුවිශේෂීය දරුවෙක්.
ඒ විතරක් නෙවෙයි, ඔහු එයිනුත් එහා ගොස්, අප්‍රසිද්ධියේ හිඳිමින් පවා ලක්දේශයේ ඥානවිභාගයට (Epistemology of Lanka) තීරණාත්මක සමාජ බලපෑමක් කළ සුවිශේෂී ලක් දරුවෙක්.
රොහාන්ගේ ම භාෂාවෙන් කිවහොත්, එබඳු දරුවන් සුවිශේෂක දරුවන්.
ඔහු තමන්ව ම හඳුන්වා ගත්තේත්, සුවිශේෂක අනන්‍යතාවක් හැටියට ම යි. ඔහු මම ශ්‍රේෂ්ඨ නැහැ කියල බොරුවට නිහතමානී වෙන්න ගියේ නැහැ.
ඔහුගේ විරුද්ධවාදීන් අතරින් පවා, ඔහු සුවිශේෂක ශ්‍රෙෂ්ට චරිතයක් නෙවෙයි කියල කියන්නට සමත් කිසි කෙනෙක් මට මුළු ලක්දේශය තුළින් ම හමුවෙලා නැහැ.
මේ වගේ දරුවෙක් පවුලක් සහිත නිවහනක් ඇතුළෙ හැදෙන වැඩෙනකොට සමාජ සම්මුතීන්වලට අනුගත වෙලා ඉන්න දෙමාපියන්ට එයාව මානසික වදයක් වන තරමට ම කරදරකාරී විය හැකි යි. සමහර විට තම මතය හෝ ප්‍රවේශය තහවුරු කරගැනීම සම්බන්ධයෙන් ද කලහකාරී ද විය හැකියි. මේ වගේ දරුවෙක් පවුලෙන් පිටමං වෙලා සමාජයට විසිවීම (Throwness) කියන තත්වයට හසුවුණොත් එහෙම, සමාජ සම්මුතීන්වලට අනුගත වෙලා ඉන්න පොදු වැසියන්ට ඔහුව හරි ම අපබ්‍රංසමය මානසික වදයක්, කරදරයක්, කලහකාරයක් වෙන්න ඉඩ තියෙනව.
රොහාන් කියන්නේ, තමන්ගේ ඊඩිපස් පවුලේ පෙකනිවැලෙන් මුළුමනින් ම ගැලවී විසිව වී තම පුද්ගලික පවුලෙන් පිට ලක් සමාජය තම පවුල කරගන්නට අනවරත උත්සහයක යෙදුන, ජන සම්මතයට මහා හිසරදයක් තරම් වූ කරදරකාරයෙක්.
නමුත් මෙවැනි දරුවෙකුට අර සාමාන්‍ය සමාජයේ ඉන්න උදවියගේ ප්‍රශ්න, ගැටළු, අර්බුද සහ ව්‍යසන ලොකු අවුල් නෙවෙයි. එයාට ඒව බොහොමයක් සුටුස්ගාල වාචිකව විසඳල දෙන්න පුළුවන් ගණයේ ඒවා. ඒ නිසා මෙවැනි දරුවෙකුට වැඩිහිටි පෙණුමක් එද්දී, මෙයා වටා මූලික වශයෙන් දෙවර්ගයක උදවිය ඒක් රොක් වෙන්න ගන්න එක වලක්වන්න බැහැ. එක් කොටසක් තමයි, අර සම්මුතිය අනුව අනන්‍යතාවක් වෙන්න බැරි වෙලා හූල්ලමින් කණස්සල්ලෙන් ඉන්න සමාජයෙන් නන්නත්තාර වූ උදවිය. බොහෝ විට ඔහුගේ ගෝල බාල කට්ටිය හැදෙන්නෙ මෙයාලගෙන්. අනික් කොටස තමයි, සම්මුතියෙන් අනන්‍යතාවක් හදාගෙන පවා සාංකාවට පත් වූ උදවිය. ඒයාල නම්, ප්‍රශ්න විසඳගත්තු සැනින් ඔහුව හැර යන්නට නියමිත උදවිය.
රොහාන් මෙහෙම දෙවර්ගයක් තමන් වටා ගොණු වෙන්නේ මොහොකට ද කියන එකත් දැනගෙන ඉන්නට තරම් ශූර බුද්ධියක් තිබුණ කෙනෙක්. ඒ නිසා රොහාන් බොහෝ අයට ඒහෙම ලෙහෙසියෙන් යන්න දුන්නෙත් නැහැ. සමහර විට ඔවුන්ට රොහාන්ගේ බලපැමෙන් තමන් ගත්තු විසඳුම හෝ සතුටට අදාළව රොහාන්ට යම් වන්දියක් ගෙවන්න පවා සිද්ධ වුණ අවස්ථා එමට තිබුණා. ඒ්ක රොහාන් ම උපායකිව කරන දෙයක්.
ඉතිං එයා වටා රොක්වෙන අයට ගෙවෙන මොහොතේ දී උත්සවකාරීව සහ අරාජිකවාදීව ඉන්නා ජීවිතයක් ලබාදී ඒයා නිමේෂීයව හැම කෙනෙකුට ම මහා පීඩාවකින් මිදීමට ඉඩ සලසල දෙනව. අයාලකාමය විද්‍යාත්මකව සමරන්නේ කොහොමද කියල උපදේශ පවා දෙනව. ඔහුට මෙලෙස අන් අයගේ පීඩා අකා මකා සතුටු කරවන්නට පුළුවන් වුනාට, ඔහුට තියෙන දුක, හැඟීම, ආවේග ලෙස පවතින “නොමැත්ත සොයා ගැනීමට නොහැකි වීම” නිසා පැන නැගුන ප්‍රශ්න, ගැටළු, අර්බුද වලට ඔහු වටා සිටින අයට පිලිතුරක් දීමට හැකියාවක් නැහැ.
(හෝර්ටන් තැන්නේ කන්ද සිසාරා නොනිවෙන ගින්නක් ඇවිලෙනවා ...)
ඔවුන්ට රොහාන්ගේ මේ අමුතු සහ අදිසි දුක, හැඟීම් ආවේග පෙන්නේ අපබ්‍රංසයන් නැතිනම් උභතෝකෝටිකයන් විදිහටයි. ඉතිං ඔවුන් රොහාන්ව සනසවන්න ඔවුන්, දන්න හැම නොගැලපෙන දෙයක් ම කරල, බැරි තැන ඔහුව හැර යනව. නැත්තං ගැටුම් අත්කරගන්නව. ඒ නිසා ඔහුට නිරන්තරව මිතුරන් මාරුකරමින් හෝ දුරස් කරමින් යන, මිනිසුන් සමඟ සිටිමින් පවා සමස්ත වශයෙන් තනිවූ ජීවිතයක් ගෙවා දමන්නට වෙන ඉරණමකට ගොදුරු වෙන්න සිද්ධ වුණා කියන එක තමයි මගේ පුද්ගලික කල්පනාව.
මෙවැනි සුවිශේෂී දරුවෙක්, කෙමෙන් කාලයාගේ ඇවෑමෙන් මේ “නොමැත්ත සොයා යාම” නැමති ගෙව්ශණෙයහි යෙදීමට ඇබ්බැහියෙකු බවට පත්වෙනව. ඉතිං, ඔහු කවරදාකවත් ඒක-ගෘහ-වාසීව තබා ගැනීමට නොහැකි මනුස්ස අනන්‍යතාවයක් වෙනව. ඔහු නිතර සංචාරය කරමින් පවා නොමැත්ත හොයන්නට ම පෙළඹෙනව. ඒ නිසා ඔහුගේ ජීවිතය හැමවිට ම සංචාරවාසික යි. ඊයේ ඔහු පෘථිවිය හැරගිය අතර, ඒ හැර යන මොහොතේදීත් ඔහු හිඳ තිබුණේ පිරිසක් සමඟ කොළඹින් බොහෝ දුර පාසිකුඩා පෙදෙසේ චාරිකාවක් විඳිමින්.
ඉතිං මෙවෙැනි දරුවෙක් වැඩිහිටිවෙලා, පරිණත වෙලා මුහුකුරා යනකොට, “මං මෙච්ච්ර කල් දුවල තියෙන්නේ නොමැත්තක් පස්සෙනේ ?.” කියල සවිඥානික වුණත්, ඒ් පිළිබඳ සබුද්ධිකතාවක් ඇතිකරගන්නට පුළුවන් වුණත්, දැන් ඉතින් ඔහු සොයායාමට ඇබ්බැහි වී හමාර නිසා ද, ඒ වන විටත් ඔහුගේ මුළු ජීවිතය සංචාරවාසික අයාලකාමයට භාරදීත් හමාර නිසා ද ඔහු සොයා යාම නවතා දමන්නේ ම නැහැ. සම්මත විනයන්ට අනුව ඒක ඒවන් දරුවෙකුගේ ජීවිතයේ එක්තරා ආකාරයක අවුලක් කියන්නත් පුළුවන්.
මෙබඳු ගති ලකුණු ඇති අනෙක් දරුවන් අතරින් පවා වෙනස් හා දුරස් වන තවත් වඩා සුවිශේෂි මනුස්ස අනන්‍යතාවයක් රොහාන්ට තිබුණා. එයනම්, සාමාන්‍ය වැඩිහිටිවියට පැමිණෙත්දී ම, ඔහු ඔහුගේ මේ සුවිශේෂී ගති ස්වභාවයන් ගැන සියයට 70-80ක් තරම් ම සවිඥානක වුණා. එය මෙවැනි බොහෝ සුවිශේෂි දරුවන් අත්කර නොගන්නා වඩා-සුවිහේෂී තත්වයක් (More special Condition) ලෙසින් හැඳින්විය හැකි ය.
ඔහු ගැන ඔහුට ම අවිඥානක ඉතිරි සියයට 20ක තරමේ පදාසය පවා නියෝජනය කළේ ගැඹුරු සමාජ සහ මනෝ-විශ්ලේෂණික වදෙ-විෂයකට අයත් ඉම් පෙදෙසක්. ඔහු විසින් ම මාතොට සඟරාවෙන් විවෘත්ව තම විකෘති ජාන-ලිංගය ලෙසින් කළ නාමකරණයට අදාළ වාදවිෂය ද, ස්ත්‍රී-පුරුෂ බෙදීම පිළිබඳ සමාජ වාද-විෂය ඔහු විසින් අනුසාර කරගන්නා, සමීකරණය කරගන්නා සහ ප්‍රකාශයට පත් කරගන්නා ආකරය තුළ පවතින මානවීයත්ව විරෝධී පරස්පර චින්තනික ගැටමය ස්වබාවය ද, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රසිද්ධියේ හෙළිදරව් නොකළ යුතුයැයි නිර්දේශිත ඔහු පිළිබඳ වන සායනික මානසික විද්‍යාත්මක වාද-විෂයන් ද ඔහුට මුළුමනින් ම වාගේ අවිඥානික ඒවා වුණා.
ගැඹුරු දැක්මක් සහිත සංයුක්ත සමාජ ව්‍යාපාරයක් ගොඩනැවීමේ පෘතුල දැනුමක් සහ ප්‍රයෝගික භාවිත අභ්‍යාස ඔහු දැන සිටිය ද, ඔහුගේ යටකී අවිඥානය විසින් ඔහු නොදැන ම ඔහු හදන්නට ගිය සමාජ ව්‍යාපාර කිහිපයක් ම කිහිප වතාවක් ම බිඳ වට්ටවා, ඔහුව යළි යලිත් නොමැත්ත සොයා යන අයාලකාමී සංචාරය වෙතට ම ඔහු තල්ලු (Drive) කර දැමුණා.
ඒ නිසා ඔහුගේ දැනුම අරගෙන හෝ ඔහුගේ දැනුම අනෙකා කරගෙන වෙනත් පුද්ගලයන් විසින් පුද්ගලික ව්‍යාපෘති සඵල කරගත් අතර, 90 දශකයේ දී ඉතිහාසය තුළ තාවකාලික ජනකාන්තවාදයකට ලක්වූ න්‍යායාත්මක ප්‍රවණතාවක් වූ “ඒක්ස් කණ්ඩායම” මූලිකව ම මොහුව “අනෙකා” කරෙගන බිහිවූ දැනුමකින් ප්‍රතිඵල කෙරුණු සමාජ ව්‍යාපෘතියක් යැයි සැලකිය හැකි ය. මා මිත්‍ර මංජු කාරියවසම්ගේ කටින් අනුභූතිකව, “රොහාන් කෙෙනක් නැත්තං දීප්ති කෙනෙක් නෑ” කියල කියවෙන ඒක පසුපස තියෙන යථාව මෙය යි.
(කන්දෙන් පැන්නේ මීදුම වැසුණේ, ඉහළට වැටුනද නෑ දන්නේ ..... )
80 දශකෙය් දී රොහාන් විසින් සංවිධානය කරන්නට යෙදුණු කොලඹ කේන්ද්‍ර කරගෙන ඇරඹුණු ආර්ට් සර්කල් හෙවත් කලා කවය සහ “ආදරය සඳහා හෝර්ටන් තැන්න” වැනි ජන ගොණුගතවීම් මහා සංස්කෘතිකවාදී නාගරික සමාජ ව්‍යාපාරයක් ගොඩනැවීම කරා වර්ධනය වීමට තරම් වන විභවයක් තිබූ ව්‍යුහයන් බව ඒවායේ සංවාදයන්ට සහභාගී වූ මිතුරන් අදටත් පවසනවා. මේ සංවිධාන ආරම්භවීමට පාදක වුණු ඔහුගේ සමාජ විශ්ලේෂනයන් සහ තොරතුරු හැමවිට ම කතිකාවන් බවට පත්වීම සිදුවුණේ ඔහු අතින් නොව, ඒ සංවාද අසා සිටි අනෙක් අය හරහා යි.
රොහාන් තම හරයෙන් ම ජනකාන්තවාදය, ජනප්‍රියවාදය සහ ප්‍රසිද්ධතාවයට ප්‍රතිපක්ෂව ජීවිතය ගෙනගිය චරිතයක් සේ ම, ප්‍රසිද්ධ මහේක්ෂ දේශපාලනය නොතකා අප්‍රසිද්ධ ක්ෂුද්‍ර දේශපාලනය තුළ පමණක් නියැලීම වඩා ප්‍රයෝගික යන සංවිධාන මතය ද ගුරුකොට ගත්තෙකු ද වූයේ ය. මෙය, ඔහුගේ අප්‍රසිද්ධ, අයාලකාමී දිවි පෙවෙත පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උපකාරී වන ගතික ලක්ෂණයක් වුව ද, ඔහුගේ සමාජ-විශ්ලේෂනික සොයාගැනීම් සමාජගත කිරීම හෝ බහුජන සමාජ ව්‍යාපාරයක් බවට පත්වීම වැලකී යාමට කෙරෙහි ද බෙහෙවින් බලපෑවේ ය.
පෘථිවිය හැර යන මොහොත්දීත් ඔහු අප්‍රසිද්ධ, අජනප්‍රිය සහ ජනකාන්ත නොවූ මනුස්ස භවයකි (being).
ඒ නිසා ම මේ ලිපිය කියවන බොහෝ උදවිය “මේ කා ගැනද ලියල තියෙන්නනේ?” කියා පවා ප්‍රශ්න කරන්නට නියමිත ය.
නමුත් අද ඔබ අතර තරමක් හෝ ජනප්‍රියව සිටින නවරත්න ගමගේ, පාලිත සිල්වා, කේ. කේ සමන් කුමාර, මනුබන්දු විද්‍යාපති, මංජු කාරියවසම්, නන්දන වීරරත්න, කල්‍යානන්ද පෙරේරා, දීප්ති කුමාර ගුණරත්න, සුමින්ද ගමගේ, නිහාල් පීරිස්, අජිත් කුමාරසිරි සේ ම, ඒ තරමටවත් ජනප්‍රිය නොවන නමුත් කොළඹ උප-සංස්කෘතික ක්ෂේත්‍රයේ සහ බුද්ධිමය ක්ෂේත්‍රයේ විශාල පිරිසක් ද, කොළඹින් පිටත විශාල පිරිසක් ද ඔහු කෙරෙහි බුද්ධිමය අනේකත්වය පිහිටුවා ගැනීමෙන් විෂයානුබද්ධ අනුප්‍රාණය ලැබුවාය යන්න දන්නෝ දනිති. ඒය ලක් ඉතිහාසයට මඟහැර යා නොහැකි හැඟවුම්කරණීය සාධකයකි.
ලක්දේශයේ බොහෝ බුද්ධිමතුන් හෝ සමාජ ක්‍රියාකාරීන් පෘථිවිය හැර ගොස් අවසන් ගෞරව කටයුතු දක්වන උත්සවයක දී, ඒ හැම කෙනෙකුට ම වාගේ ඔහු වෙනුවෙන් හඬන්නට, වැලපෙන්නට හෝ අවම තරමින් එම උත්සවයට සහභාගී වන්නට පුද්ගලික ඥාතියෙකු සිටිනවා ය. නමුත් රොහාන්ගේ අවසන් උත්සවයට සහභාගී වන්නට කිසිදු පුද්ගලික ඥාතියෙකු නොසිටින බව නොඅනුමාන ය. ඔහු වෙනුවෙන් ඒ කොටස කරනු ඇත්තේ, ඔහුට කොහෙත් ම පුද්ගලික සම්බන්ධයක් නොමැති බුද්ධිමය සහ සංස්කෘතික ක්ෂේත්‍රයන් වල සේම සාමාන්‍ය ජනයා අතර ඔහුට හිතවත් උදවිය පමණි. මන්ද ඔහු තම ඥාතීත්වය ඊඩිපස් පවුලෙන් ගලවා සමාජ පවුල වෙත මුළුමනින් මාරුකරගත් සුවිශේෂී සමාජීය පුද්ගල අනන්‍යතාවක් වූ හෙයිනි.
(සූර දූත දූතයන් එතී .... වැහි කුණාටු මල් වැසී ඉසි .... පද්ම අංගනාවෝ සීතලෙන් පෙඟී පෙඟී )
මට රොහාන් හමුවන විට, ඔහුගේ ජීවිතයේ ප්‍රධාන එපිසෝඩ් එකක් ගෙවී ඔහු හදිසි කෝප වන්නෙකුගේ ප්‍රහාරයකට ද ලක්ව ශාරීරිකව අර්ධ-අබාධිත තත්වයක සිටි අතර, මානසිකව ද යම් පෙනනෙ නොපෙනෙන තරමක අසමබර තත්වයක සිටියේ ය. මමත්, කේ. කේ සමන් කුමාර නැමති මම කැමති මිතුරාත් ලොලිටා නම් පොත හවුලේ සිංහලට පරිවර්තනය කරන කාලේ සමන් විසින් මට රොහාන්ව හඳුන්වා දුන්නේ මේ පරිවර්තනය කිරීම මගේ අනන්‍යතාවයෙහි කොටසක් විදිහට රොහාන්ට පවසමින්. රොහාන් ඒ වන විට යම් ග්‍රන්ථයක් නිමවමින් සිටි අතර, ඔහුගේ අකුරු අපහැදිලි නිසා ගෙවීමකට යටත්ව ඒවා පැහැදිලිව ලියන්නට පුළුවන් කිහිප දෙනෙක් සොයමින් සිටියේ ය. ඉතින් මගේ අතිජාත අයාලකාමි සංස්කෘතික මිතුරන් දෙදෙනෙකු වූ නිශාන්ත ගම්මුදුවත්ත සහ නෙවිල් උදිත වීරසිංහව මම රොහාන්ට හඳුන්වා දුන්නෙමි ඉන්පසු වරින්වර අපි තිදෙනා ම රොහාන්ව හමුවූ අතර, මට තිබූ භාෂා කිහිපයක් පිලිබඳ දැනුම සලකිල්ලට ගත් ඔහු මා පරිවර්තන කාර්යයන් සැලසුම් කිරීම සඳහා වැඩි වාර ගණනක් හමුවුණ්නට ඉල්ලා සිටියේ ය.
89යේ සමාජ පරාජය අත්විඳි තරුණයෙක් විදිහට මට මාක්ස්ගේ කැපිටාල් ග්‍රන්ථය කියවන්නට උවමනාව තිබුණ අතර, ඒ සඳහා ගුරුහරුකමක් ද අවශ්‍යව තිබුණේ ය. ඒ වන විටත් මගේ පියා විසින් අදාළ පොත් කැපිටාල් දෙකක් ඩඩ්ලි සේනානායකගේ පුද්ගලික පුස්තකාලයේ තිබි මට ගෙනැවිත් දුන්නේ ය. රොහාන් කවුදැයි සැලකිය යුතු තරමින්වත් නොදැන සිටි මම, කැපිටාල් පොත ගත්තේ කොහෙන්ද යන්න රොහාන්ට නොකියන්ට වග බලා ගත්තෙමි. රොහාන් මගේ කැඳවීම යටතේ මමත්, සුමින්ද ගමගේ, නිශාන්ත ගම්මුදුවත්ත, නෙවිල් උදිත වීරසිංහ, පියල් ජයරත්න, සෝමෙ යන අය සමඟ පූර්ව-කැපිටාල් කියවීමේ පෙරහුරවක් ලෙසින් සුමින්දගේ නිවසේ බැල්කනියේ රොහාන් විසින් මාක්ස්ගේ ෆෙයබාහ් තීසිසය පිළබඳ කළ කැසට් පට දේශන කිහිපයක් අහන්නට පටන්ගත්තේ රොහාන්ගේ ම උපදෙස් පරිදි ය.
නමුත්, මේ වැඩේ අතරමැද දී, මං රොහාන්ව නොදන්න කාලේ දී රොහාන් උකස් කරපු කැමරාවක් වෙනුවෙන් කැපිටාල් කණ්ඩායමට ගෙවීමක් කරන්නැයි රොහාන් අනදාළ යෝජනාවක් කළ අතර, සුමින්ද හැරුණහම කිසි ම මුදලක් අතේ නොතිබි සුළංකොඩයට හසුව සිටි තරුණයින් වූ අප සැම අතින් ම එම ඉල්ලීම නිෂප්‍රභාවීමත් සමඟ ඇති වු, ප්‍රතිවිරෝධී වචන හුවමාරුවන් නිසා කැපිටාල් කණ්ඩායම විසිරී ගිය අතර, මාස 03ක තරම් සුළු කාලයක් තිස්සේ රොහාන් සමඟ පැවැත්වූ මගේ සබඳකම ද අහවර වී ගියේ ය. මෙ පිළිබඳව මම කේ.කේ සමන් කුමාරට කියූ විට ඔහු “ඕව ඔහොම තමයි” වැන්නක් හඟවන මද සිනාවක් පෑවේ ය. ඒත් ඒ සිනාව තුළ ඔහු රොහාන් සමඟින් ගතකළ අමුතු ආකාර අතීතයක් ලියැවී තියෙන බවක් මට කිහිප වතාවක් ම හිතුනා වු දෙයකි. පසුකාලෙක ඒ් කතන්දර වලින් කොටසක් සමන් නොවසා කීවේ ය. ඉන්පසු රොහාන්ට සහ මට මිතුරන් ලෙස හමුවන්නට අවස්ථාවක් උදා වුණේ ම නැත.
(ආදර බැම්මෙන් මොනිකා-බ්‍රීටෝ හිත් තැවුලක් හද මොලවනවා .....)
ඔහුගේ අප්‍රසිද්ධ දිවි පෙවෙත නිසාත්, එතෙක් රොහාන් විරෝධී තත්වයන්ට පත්වූ අන් උදවිය විසින් රොහාන් පිළිබඳව මට දුන් නෙගටිව් තොරතු නිසාත්, මම ද ඒ ගැන කිසිදු උනන්දුවක් නොදැක් වූ බව කිව යුතු ය. අවංකව කිවහොත්, මම ද රොහාන් ගැන යම් ප්‍රතිවිරෝධී ආකල්පයකින් සිටිය බව ද කිව යුතු ය. නමුත් මට එම ප්‍රතිවරෝධය ඔහු සමඟ හෝ වෙන අයෙකු සමඟ හෝ සමරන්නට අවැසි වන තරම් හිංසක මානසිකත්වයක් තිබුණේ නැත. අන් අය කියපු කරපු බොහෝ අත්දැකීම් නිසා ඔහුගෙන් මට හිංසනයක් සිදුවේය යන ආරක්ෂණවේදී පිළිවෙතක් මම රොහාන් සම්බන්ධයෙන් දිගට ම අනුගමනය කලෙමි.
රොහාන්ගේ මනස කේන්ද්‍රකරගත් භෞතික ජීවන ස්ථාවරය බොහෝ උදවියට විශ්ලේෂනය කරගන්නට හෝ සමීකරණය කරගන්නට නොහැකි වූයේ, ඔහු දන්නා දැනුම් පරාසවල මූලාශ්‍ර තව අයෙකුට දීම දේපලක් නැතිකරගැනීම හා සමානය යන හැඟීමක ඔහු පිහිටා සිටි නිසා බව තමයි මගේ පුද්ගලික කල්පනාව. තමන්ට තිබුණ ඒක ම දේපල වූ දැනුම සහ බුද්ධිය ගැන ඔහු හිරිම පරෙස්සම් සහගත වූ අතර, ඒවා අන්සතුවේය යන අනාරක්ෂාවෙන්දෝ ඔහු කිසිවිටෙක කිසිදු විෂය විනයක් විධිමත් ප්‍රාථමික අකෘතියක් හෝ අන්තර්ගතයක් තව අයෙකුට මුළුමනින් ඉගැන්වූයේ නැත.
ඉතිං ඔහුව විශ්ලේෂනාත්මකව හඳුනාගැනිමට නොහැකි වූ ඔහුගේ ඒහෙයියන් සහ මිතුරන් ඔහුව හැඳින්වූයේ “බුද්ධ” යන අනවර්ථ නාමයෙනි. එම නම භාවිතා කළ උදවිය බහුතරයකගේ සබෑ අභ්‍යන්තර අරුත “බුද්ධ” යන්නට තිබූ ධර්ම-ග්‍රන්ථමය අරුත නොවේ. ඒයින් ඒවුන් අරුත් ගැන්වූයේ “තේරුම්ගන්නට බැරි පොරක් ” වැනි අදහසකි.
ඩේවිඩ් ලීන් නම් සිනමාකරුවාට මාලන් බ්‍රැන්ඩෝ ගැන කියන්නට කී විට, ඔහු බ්‍රන්ඩෝ ගැන යම් දුරක් කියාගෙන ඇවිත් ඉතිරි ටික වචන රහිත “සුවිශේෂී අමුත්තක්”(Extraordinary Something) ලෙස ලකුණු කළේ ය. මගේ කල්පනාවේ හැටියට රොහාන්ව “බුද්ධ” අනුවර්ත නාමයෙන් හැඳින්වීම තුළ වූ අවිඥානය ද ඔහු තුළ වූ යම් “සුවිශේෂී අමුත්තක්”(Extraordinary Something) ය. ඒ අමුත්ත ලිහා ගන්නට බැරි නිසාදෝ කිසිවෙකු රොහාන් පිළබඳව ලිවීම් සිදුකළේ ම නැත.
ඔහු පෘථිවිය හැරගිය දිනේ සිට අද වන විටත් බොහෝ උදවිය රොහාන් ගැන ලිවීම් සිදුකරන බව පෙනෙන්නට නොතිබුණ ද, රොහාන් පෘථිවිය මත ජීවත් ව සිටින මුළු කාලය පුරා ම කිසිවෙකු රොහාන්ව සමබර ඇගයීමකට ලක්කොට හෝ ඔහුව අනෙකා කරගෙන හෝ වචනයකුදු ලීවේ නැත.
එසේ ලියූ එක ම ලිවීම වූයේ, එකල තිබූ ලන්ඩන් සඟරාවක පිටු වැඩිමනතක් පිරෙන්නට ඔහුට එරෙහිව ලියන ලද ප්‍රමාණයෙන් විශාල වූ මහා-වියමනකි. නමුත්, ඒ වියමනෙන්, රෝගියෙකු සමඟ සායනික මට්ටමින් පමණක් පවසන “අවසන් හෙළිදරව්ව” පවා ප්‍රසිද්ධියේ හෙලිදරව් කෙරනි. මෙයින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීති රෙගුලාසි සහ ප්‍රතිපත්ති අනුව සේ ම, ලෝකයේ මනෝවිද්‍යාව, මනෝවේදය සහ විශේෂයෙන් නව-නූතන මනෝ-විශ්ලේෂනය නැමති විෂය-විනයන්හි සදාචාර නීත රීති අනුව ද පෘථිවියේ මනුස්ස සතෙකු ලෙස යහපත් සෞඛ්‍යය හා සම්බන්ධයෙන් රොහාන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වූ අතර, එයින් ඔහුට එතෙක් යම් මානසික අසමබරතාවයක් තිබුණේ වී නම්, එය තවත් නරක අතට හැරුණා මිසක යථා (Real) තත්වයට පත්වුණේ නැත.
එහිදී, මනෝ-විශ්ලේෂණය සිදුකරනු ලැබූ පුද්ගල අනන්‍යතාව තුළ තිබූ පුද්ගලික හැඟීමක්, ආවේගෙයක් හෝ එදිරිවාදීකමකට අදාළ ගැටයක් විසින් විශ්ලේෂණයට වන අනසි බාධාකාරී හිර කිරීමක් හෙවත් ඇපොරියාවක් (Aporia) සිදු වී, අපක්ෂපාතී විශ්ලේශණයකට නොගැලපෙන තත්වයක් පැනනැගී තිබුණ බව පැහැදිලිව ම පෙනෙන්නට තිබුණි.
අනෙක් අතින් විශ්ලේෂණය කරනු ලබන්නා ඒ ගෙවුණ මොහොතේ, විශ්ලේෂණයට ලක්වන්නා හෙවත් රෝගියා (?) යැයි නාමකරණය වූ වන රොහාන් නම් මනුස්සයාගේ දේශපාලන එදිරිවාදියෙකි. එනයින් මනෝ-විශ්ලේෂනයට අදාල සායනික වන හෝ සායනික නොවන විෂය විනයට අනුව ගත්තත්, භාෂාමය මට්ටමක පවතින ලිඛිත සමාජ මනෝ-විශ්ලේෂනික සංදර්භයක් තුළ ගත්තත්, එය සහමුළින් ම අනවසර ඇතුළ් වීමකි. අනෙක් අතින්, රෝගියාගේ අවසරයක් නැතිව ප්‍රතිකාර කිරීම මනෝවිෂ්ලේෂණ විෂය විනය විසින් අනුමත නොකරන්නකි. ඒනිසා මෙය, හැම අතින් ම ඇපොරියාවක් නියෝජනය කරන අතර, එයින් විශ්ලේෂණය මගහැරී එය විශ්ලේෂණය කරනනාගේ මතිභ්‍රමයක් නියෝජනය කරන්නක් බවට සංදර්භය මාරු කරගෙන ඇති බව හෙළිදරව් වේ. ඒනිසා ඒය මුළුමනින් ම අශිෂ්ඨ සහ මානව විරෝධී ත්‍රාඩා ප්‍රහාරයකි.
අනෙක් අතින්, ඒ කරන ලද අප්‍රායෝගික මනෝ-විශ්ලේෂනික ප්‍රහාරයෙන් රොහාන්ට කරන ලද ඩැමේජ් ඒකෙන් වාසියක් අරගෙන ඉන්පසුව අවම තරමින් ඒක්ස් කණ්ඩායමවත් නිසි දේශපලානික ඵලයක් සමාජයට නෙලාදුන් බවක් පෙනෙන්නට තිබුණේ ද නැත. ඔවුන් ද එම ප්‍රහාරයෙන් වසර කිහිපයක් යන්නට මත්තෙන් දෙබරෙට ගල් ගැසුවා සේ කැබිලිතිකරණයකට (Scatterism) ලක් වී කණ්ඩායම් කිහිපයක් බවට සීසීකඩ විය. රොහාන්ගේ මනෝ-විශ්ලේෂකයා (?) බිඳී ගිය බහුතර එක්ස් සාමාජිකයින් අතර ආධානග්‍රාහී පුද්ගලයෙකු යැයි සමාජ විවේචන රාශියකට මුහුණ දුන්නේ ය.
ශිෂ්ට සායනික සහ නිර්-සායනික මනෝ-විහ්ලේෂණික ආයතන සහ නීති ආයතන සහසම්බන්ධව ක්‍රියාත්මක වෙන සංවර්ධිත රටක රාජ්‍ය ඇගයිමට අනුව නම්, ලන්ඩන් සඟරාවේ ඒ කැලෑ විශ්ලේෂන වියමන පැහැදිලිව ම නෛතික සහ මනෝ-විශ්ලේෂණික අපරාධයකි (Legal plus Psychological Crime).
(my Life is Less Important Than Your Life ?)
රොහාන් පෘථිවි වැසියෙක් ලෙස මේ ඩැමේජ් ඒක හරහා සෞඛ්‍ය හා සම්බන්ධ තමන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණයක් බව හොඳින් දැන සිටිය ද, මගේ කල්පනාවේ හැටියට ඔහු ඊට විරුද්දව ක්‍රියා නොකරන්නට හේතු තුනක් තිබුණි. එකක්, ඔහු ද තම ජීවන භාවිතය ම ආයතන විරෝධී අස්ථානයක පවත්වාගෙන ගිය අයෙකු වීමයි. එහිදී, ඔහු කිසිවිටෙකවත් සාධාරණය ඉල්ලාගෙන ආයනයක් සොයා යන අයෙකු නොවී ය. දෙවැන්න, ඔහු ද පොතපතින් පමණක් මනෝ-විශ්ලේෂණ න්‍යාය උපුටාගෙන ඒවා මෙකී මනෝ-විශ්ලේෂණ විෂය විනය පිළිබඳ නූගත් සහ අවිඥානික සාමාන්‍ය ජනයා කෙරෙහි යොදවමින් අදාළ විෂය විනය විරෝධී ඒක්ස්පෙරිමන්ට් සහ ඩැමේජස් සිදුකළ චරිතයක් ලෙස ඔහුට චෝදනා තිබේ.
ඉහත රොහාන්ව විශ්ලේෂකයා (?) ද රොහාන්ගේ මේ භාවිතය පිළිබ ව එබඳු චෝදනා කරන අය අතර ඉතා හැඟවුම්කරණීය කැපී පෙනෙන අයෙකු වී සිටියෙකි. තුන්වැන්න, රොහාන් ඔහුගේ ස්වභාවයෙන් ම මෙම අසාධාරණය සමාජගත වෙන්නට දී තම අභිමානය පහත හෙලාගන්නට කැමති අයෙකු නොවී ය. ඔහු ඒවන් අවස්ථාවන් වල කරනුයේ රහසේ තමාව ම විනාශ කරගන්නා වියුක්ත අවුල් ක්‍රියාවන් ය. මොහුගේ මේ ස්වභාවය ගැන රොහාන් විශ්ලේෂකයා(?) ද හොඳින් දනී.
රටේ නිපුන අද්විතීය නළුවෙකු විසින් තමන්ට අභියෝගයක් වේ යැයි සැලකූ ආනන්ද ජයරත්න නම් නළුවාට ක්ලබ් ඒකේ මෙම්බර්ෂිප් ඒක අරන් දී ඇල්කොහොලෙකු කරවා ඔහුගේ වෘත්තීය ජීවිතය අහවර කළ බවට රටේ කට කතාවක් රටේ පවතී.
පුද්ගලයෙකුට රෙහාන් විසින් කරන ලද එබඳු ඩැමේජ් ඒකක් වේ නම්, එය නිවරදි ක්‍රියාවක් නොවනවාටත් වඩා, සමාජ සංවිධානයක් විදිහට දැනදැන ඇපොරියාව නොතකමින් රොහාන්ට එරෙහිව ඩැමේජ් කළේ වී නම් හෝ එතෙක් තිබූ ඩැමේජ් ඒකක් වැඩිවර්ධනය කළේ වී නම් හෝ එය ඊට වඩා වැරදි ය. වගකීමෙන් තොර ය.
කෙසේ වෙතත් අපරාධය අපරාධය ම ය. අපරාධය දඬුවමක් නැතිව අහසේ පාවෙයි.
මෙවැනි අපරාධ අපරාධයක් ලෙස දකින්නට සහ හෙළිදරව් කරන්නට පවා මනෝ-විශ්ලේෂණික සහ නෛතික ආයතන හිඟ ඌන-සංවර්ධනයට ගොදුරුව පවතින ලක්දේශයහි සාධාරණය ඉටුවන පරිදි පිළිසකර කරගතු යතු විෂය ඉම් පෙදෙසක් තවම ඉතිරිව පවතී.
මෙය ලක්දේශයෙහි පවතින සමාජීය නොමැත්තවල් (Social Void) වලින් එකකි.
රොහාන්ගේ චාරිකාව වූයේ ද තම “මානසික නොමැත්ත” ගෙව්ශණය හරහා සමාජයෙහි වන භෞ තික නොමැත්තවල් පිළිබඳ දැනුමක් බිහිකරන්නට ය. ලක්දේශය යනු භෞතික නොමැත්තවල් රාශියක් සහිත හිඟපාඩු රටක් වනවා සේ ම, ඒ නිසා ම, මානසික නොමැත්තවල් රාශියක් ද සහිතව ඒක තැන පල්වෙන ඌන සංවර්ධිත රටකි. එවන් රටක දී කෙමෙන් සියල්ල අහිමිකරගන්නවා ඇරෙන්නට බලාපොරොත්තු විය හැකි දෙයක් නැති තරම් ය. ඒ නිසා යමෙක් කරන අපරාධයක් පවා මේ භෞතික “නොමැතිකමේ” “නොමැත්තෙ”හි ම අතුරුඵලයකි.
(මේ ආත්මයේ හමුවේදෝ .... ආරාධනා ඇසුනාදෝ ......)
මොහොමඩ් රාෆි ලංකාවට ඇවිත් ආපහු යන්න ෆලයිට් ඒකට ගොඩවෙන්නට හදන මොහොතේ ඔහුගෙන් අහන්න බැරිවුණ පැනයක් අසනු ලැබුණා. “ඔයා ලංකාවේ කැමති ම ගායකය කවුද? ” රාෆි උත්තර දෙමින් වික්ටර්ගේ , ෂේල්ටන් පෙරේරාගේ සිට නම් කිහිපයක් කියාගෙන ගියා. පසුව මක් නැවතී, “අර ජෝතිපාල කියල ගායකයෙක් ඉන්නව නේද, මිනිහටනම ලංකාව පොඩි වැඩී” යැයි පැවසුවා. ජොතීත් ඇකඩමීක සුදුසුකම් නැතුව ඒවරස්ට් තරණය කරපු අමුත්ත දරාගත් කටහඬක්. රොහාන් ද ඇකඩමිකයෝ දන්නේ ම නැති සම්මත සිතුම් ක්ෂිතිජයන් දෙපළු කළ මාක්ස්ට සමාන්තර ප්‍රාඥයෙක්.
රොහාන් වගේ අයට ලක්දේශය පොඩි වැඩී.
ඒ නිසා අප්‍රසිද්ධව ජීවිත්ව හිඳ ප්‍රසිද්ධ උත්සවයකින් ඔයා අද පෘථිවියෙන් සමුගන්නවා.
මට ඇවිත් යන්න බස් කුලී නැහැ. ඒක ඔයාට තේරෙනව කියල මන් දන්නව. ඔයා පෘථිවිය හැරයන උත්සව ජීවිතය තරම් ගණනකට ගත්තු නැති කෙනෙක්.
ඒ නිසා හැම්ලට් කුමාරයා අවපත් වූ මොහොතේ ඔහුගේ ශරීරය හොවාගෙන හොරේෂීයෝ විසින් කියූ දෙය ම රොහාන්ට ගැලපෙන වෙනස් අයුරකින් මම ඔහුට මෙසේ වාතලයට කියමි!
ගැඹුරු හදවතක් අවපත් වූ වගයි,
සංකීර්ණ කුමරුනේ ඔබට සුභ රාත්‍රියක්,
සුරදූතයෝ රෑන් පිටින් ඔබ සතපවන්නට 70 දශකයේ ජෝති-ඇන්ජිගේ ගී ගයත්වා!
මේ ගෙවෙන මොහොතේ මීටත් වඩා හොඳ සමුගැනීමක් ඇත් ද?
අපි ඒ දවස්වල කතාකරපු විශ්වයේ අබිරහස රැඳි තැනක ඉඳන් ඔයාට මේ කියන දේ ඇහනව, මට විශ්වාසයි!
ඔයාට සුභ රාත්‍රියක්!
@අරවින්ද හෙට්ටිආරච්චි විසිනි.