SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මම මේ සටහන මුලින් ලිව්වේ 2023 පාස්කු යෙදුණු දවස්වල මං සහභාගි වුණු සාදෙකදි ඇති වුණු සංවාදයක් මුල් කරගෙන. දැන් 2024 පාස්කු සමය.

මතකයන් වේදනා දනවන බැවින් අලුතෙන් කළ එකතු කිරීම් කීපයක් එක්ක එය නැවත පෝස්ට් කරනවා.

පහුගිය සිකුරාදා ඉඳලා ලබන සඳුදා වෙනකං මෙහේ පාස්කු නිවාඩුව. Easter Holidays කියන්නේ මෙහේ හැමතැනම සැමරුම් බහුල දවස් කීපයක්. පාස්කු නිවාඩුවට ගොඩක් අය පවුලේ අය එක්ක නැත්තං හිත මිතුරො එක්ක නගරයෙන් පිට කොහේ හරි සුන්දර තැනකට ගිහින් මධු සාද සාමීචී පවත්වමින් සතුටින් සැහැල්ලුවෙන් ගත කරනව.

.

පාස්කු සිකුරාදා දවසේ මගේ සමීප මිතුරෙක් සංවිධානය කරපු එහෙම සාදෙකට මටත් ආරාධනා කරපු නිසා, යන්න හිතේ සුවයක් නොතිබුණත්, නොගිහින් හොඳ නැති නිසා මං ගියා.

හැමෝම ප්‍රීතියෙන් එකිනෙකාට සුබ පතාගන්නවා. “ හැපි ඊස්ටර්, හැපි ඊස්ටර්” හැම තැනකම ඇහෙනවා. සරුවට කෑම බීම අතුරපු මේස. විවිධ වර්ගයේ මධු පැන්. පොඩි එවුන් පිස්සුවෙන් වගේ දුව පැන පැන හංගපු බිත්තර හොයනවා. කෑ කෝ ගහනවා. හිනා තලනවා.

මං ඔහේ බලාගෙන හිටියා. මං දන්නෑ ඒ වෙලාවේ මගේ මූණ තිබුණේ කොහොමද කියලා.

ඊස්ටර් සන්ඩේ. පාස්කු ඉරිදා.

බෝම්බ! දෙවියන් යදිමින් සිටියදී පුපුරා කෑලි කෑලි විසි වී ගිය අහිංසක මිනිස්සුන්ගේ, පොඩි දරුවන්ගේ මළ මිනී! මිනිස් ජීවිත සත පහකට මායිම් නොකළ ජනාධිපති අගමැතිවරු ඇමතිවරු! සහ ගහන අයුක්තීන්! මිනී මතින් ඡන්ද දිනා බලය අල්ලා ගැනීමේ තණ්හාවෙන් ඇවිලුණ නරුම පාලකයො!

නොදැනුවත්වම අඳුරු සිතුවිලි අගාධයකට මං කිඳා බහිමින් හිටියා.

“නදී, ආ යූ ඕල්රයිට් ?’’

මගේ මිතුරිය ක්‍රිස්ටන්ගේ හඬින් මං පියවි ලෝකෙට ආවාම දැනුණා මේසය වටේ හිටපු සියළු දෙනාගේ අවධානය මා වෙත යොමු වෙලා බව.

‘ඔව්’ කියන්න මං යාන්ත්‍රිකව හිස වැනුවා.

“Do you celebrate Easter in your country?”

සුහද ආචාරශීලි බවක් පළ කරමින් මා ද සංවාදයට එකතු කරගන්නට මෙන් ස්ටුවට් එසේ ඇසුවේ ඔවුන්ගේ රටට ආගන්තුක සංක්‍රමණිකයෙකු වූ මා කිසියම් අපහසුතාවකින් එතන සිටිනවා යැයි දැනුණු නිසා වෙන්න ඇති.

‘’Yes, We used to…”

මං දැනං හිටියා, මගේ මේ පිළිතුරට පස්සේ තව ප්‍රශ්න ගණනාවක් මට එල්ල වෙන බව. එක එක්කෙනා ඒ එක එක ප්‍රශ්නෙ ඇහුවා. ප්‍රීතිමත් සාදයක සැහැල්ලුව පුපුරා හරිමින් මීට වසර පහකට පෙර මගේ රටේ අහිංසක පුරවැසියන් වෙත මුදා හළ දරුණුතම ඛේදවාචකයක් ගැන මහත් ආවේගයෙන් කතා කරන්න මට සිද්ද වුණා.

ඒ ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරය ගැන සියළු තොරතුරු, දින සහ තැන් සහිතවම රටේ බුද්ධි අංශයේ ඉහළම තැන්වලට වාර්තා වී තිබූ බවත්, ඒ ගැන රටේ විධායක ජනාධිපති ,අගමැති, ඇමතිවරු ඇතුළු වගකිය යුතු කිසිවෙකුත් කිසිවක්ම නොකළ බවත් කියන විට මගේ කටහඬ වෙවුලන්න ඇති.

ක්‍රිස්ටන් මගේ උරහිස තදින් අල්ලන්න ඇත්තේ ඒකයි.

 

*****************

“පාස්කු බෝම්බ ප්‍රහාරෙ සිද්ද වෙද්දි බලයේ හිටපු අගමැති තමයි දැන් අපේ රටේ විධායක ජනාධිපති. ඔහුගේ නම රනිල් වික්‍රමසිංහ. බෝම්බ ප්‍රහාරයට ගොදුරු වූවන්ට වන්දි ඉල්ලල ඒ අයගේ පවුල් වල අය දාපු නඩුවේ ප්‍රධාන චූදිතයෙක් විදියට රනිල් වික්‍රමසිංහව නම් කරලා තිබුණා. නමුත් බලයේ සිටින ජනාධිපතිවරයෙකුට විරුද්ධව නඩු කියන්න බෑ කියලා ව්‍යවස්ථාවේ තියෙන නිසා ඔහුව නඩුව අතර මැදදි චූදිතභාවයෙන් අයින් කළා.”

 

“ ඒ කියන්නේ ඔබේ රටේ ජනාධිපති වරයා මොන අපරාධයක් කරත්, ජනතාවට මුකුත්ම කරන්න බෑ’’ පුදුමෙකට වඩා ඒ ප්‍රශ්නෙ අහපු මිත්‍රයාගේ මුහුණේ තිබුණේ මහා අපුලක්.

“ ඔව්! ඒ අපේ රටේ ව්‍යවස්ථාවේ හැටි” මම අසරණව කිව්වා.

“බෝම්බ ප්‍රහාරය සිද්ද වෙද්දි රටේ ආරක්ෂක ඇමති සහ විධායක ජනාධිපති විදියට හිටපු මෛත්‍රීපාල සිරිසේන කියන කෙනාට වින්දිතයන්ට වන්දියක් ගෙවන්න නියම වුණා.”

“ මැරිච්ච මිනිස්සු, පොඩි දරුවො වෙනුවෙන් සල්ලි වලින් වන්දියක් ගෙව්වාම ඇතිද?

එවැනි වගකීම් විරහිත පාලකයන්ට ආයි රටේ කිසිදු වගකිය යුතු තනතුරකට පත් වෙන්න බෑ කියලාවත් තහංචියක් නැද්ද?” මිත්‍රයෙක් ඒ ප්‍රශ්නෙ මගෙන් ඇහුවේ මහත් ආවේගයට පත්වෙච්ච ස්වරයකින්.

 

“ නෑ එහෙම තහංචියක් පැනවිලා නෑ. ඔහු දැනටත් රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකයා. හිටපු ජනාධිපති විදියට මහජන මුදලින් හුඟාක් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉන්නවා. ඕනේ නං අනාගතයේදී ආයිත් රටේ ජනාධිපති හරි වෙන ලොකු තනතුරකට හරි එන්න පුළුවන්. නීතියෙන් කිසි බාධාවක් නෑ”

 

මේසය වටේ සියළු දෙනා “ ඔබේ රට මොන විදියේ රටක්දැ’’ යි අසන්නාක් මෙන් පළල් කරගත් ඇස්වලින් මා දිහා බලාගෙන.

“අපේ රටේ දේශපාලකයන්ට, පොඩි දරුවො එක්ක මිනිස්සු දෙසිය අනූ ගණනක් මරල දාපු, තව සිය ගාණක් සදාකාලික අබ්බගාතයො කරපු පාස්කු ප්‍රහාරය විහිළු නාට්‍යයක් වගේ. මේ හිටපු ජනාධිපති දැනට සතියකට කලින් ප්‍රසිද්ධියේ කිව්වා පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා එයා දන්න බව. අධිකරණයට හෙළි දරවු කරන්න සූදානම් බව”

 

What???? ඒ කියන්නේ ජනාධිපති දැනගෙන ඉඳල තියෙනවා ඒ බෝම්බ පිපිරීම වෙන බව සහ සැලසුම් කරන්නේ කවුද කියන එක???”

 

“වෙන්න පුළුවන්. නිකං විහිළුවට රට අවුස්සන්න, මොකක් හරි දේශපාලන වාසියක් ගන්න කියන කතාවක් වෙන්නත් පුළුවන්. අපේ රටේ දේශපාලකයො කියන ප්‍රකාශ කිසි දෙයක් ගැන කියන අයට වගවීමක් නෑ. අහන බොහෝ අයට බරපතල කමකුත් නෑ. මේ දවස්වල එයාව සී අයි ඩී එකට ගෙන්නලා ප්‍රකාශ ගන්නවා. මේවා අපේ රටේ කාලෙන් කාලෙන එන පොඩි විකට රංගන වගේ”

 

රටේ මනුෂ්‍ය ජීවිත විනාශ කරපු ම්ලේච්ඡ සිද්දියක් දේශපාලන විකට රංගන වෙනුවෙන් පාවිච්චි කරන්න???

“මේ ප්‍රහාරය කරපු අය හොයන්න ආණ්ඩුව ස්වාධීන පරීක්ෂණ කරලා නැද්ද? “

 

“අපරාධකරුවෙක් හොයාගෙන නෑ. එක එක කොමිසන් වලින් නිකුත් කරපු වාර්තා කීපයක් තියෙනවා. මේ අපරාධකරුවන් සොයා දඬුවම් කරන්න කියමින් රට තුළත් ජාත්‍යන්තර වශයෙනුත් විශාල සටනක් ගෙනියන රටේ කතෝලික පල්ලිය දැඩි සේ කියා සිටිනවා මේ ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් බව. ප්‍රහාරය ගැන නිකුත් කරපු එක වාර්තාවක සඳහන් කරලා තියෙනවා සියලු තොරතුරු ලැබිලත් අදාළ බලධාරීන් එය සිද්ද වෙන්න ඇරියේ, ළඟ එන ජනාධිපතිවරණයක් හමුවේ රටේ භිතිය වියවුල නිර්මාණය කරල එයින් දේශපාලන ප්‍රයෝජන ලබා ගන්න තිබුණු උවමනාවක් මතද කියන එක ගැන වැඩිදුර විමර්ශනය කළ යුතුයි කියලා’’

 

“ ඒ කියන්නේ, කාව හරි බලයට ගේන්න දැන දැන මේ ප්‍රහාරය වෙන්න ඇරියා කියලා!!!!! It is unbelievable!. එහෙම දේවල් වෙන්න පුළුවන්ද!”

“ඔව්! මගේ රටේ වෙන්න පුළුවන්”.........

 

“රටේ ආරක්ෂාව තහවුරු කරමියි’’ කියාගෙන ප්‍රහාරයෙන් මාස කීපෙකට පසු අලුත් ජනාධිපති කෙනෙක් බලයට ආ හැටි, ඉන් වසර කීපෙකට පසු ඔහු සහ අගමැති මැති අමතිවරු වූ ඔහුගේ සහෝදර බෑයන් යටතේ රට ලෝකෙටම ණය වී අන්ත බංකොලොත් වී ගිය හැටිද මම කියාගෙන යමි. පෙර නොවූ විරූ මහා ජන නැගීටීමක් හමුවේ ඒ ජනාධිපති රටින් පැන ගිය හැටි ද, පාර්ලිමේන්තුව විසින්, රටේ ජනතාව ඡන්දයෙන් දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ, පාස්කු ප්‍රහාරය වෙද්දි රටේ අගමැතිව සිටි, රටේ විශාලතම මූල්‍ය වංචාවක් ගැන චෝදනා එල්ල වී තිබූ රනිල් වික්‍රමසිංහ නමැත්තාව ජනාධිපති හැටියට පත් කළ හැටි ද නොනවත්වා කියාගෙන යමි.

 

“ ඒ කියන්නේ රටේ මිනිස්සු ඡන්දෙන් පරාජය කරපු ඕනම කෙනෙක්ව ජනාධිපති හැටියට පත් කරන්න පාර්ලිමේන්තුවට පුළුවන්ද?” නැවතත් කලින් පැනය නැගූ මිත්‍රයාගෙන්ම ප්‍රශ්නයක්.

“ඔව්! ඒ අපේ රටේ ව්‍යවස්ථාවේ හැටි” මම අසරණව කියමි.

“ රට බංකොලොත් කරපු ඒ ජනාධිපතියි එයාගේ සහෝදරයන්ටයි නීතියෙන් දඬුවම් ලැබුණද?”

 

“ නෑ කිසි දඬුවමක් නෑ. හිටපු ජනාධිපති විදියට මහජන මුදලින් වරප්‍රසාද භුක්ති විඳිමින් ඉන්නවා. පහුගිය අවුරුද්දේ ශ්‍රේෂ්ඨාධිකරණය තින්දුවක් දුන්නා රට බංකොලොත් කිරීමට වගකිය යුතු අය නම් කරලා. හිටපු ජනාධිපති ගෝඨාභය, අගමැති විදියට හිටපු එයාගේ අයියා මහින්ද රාජපක්ෂ, මූදල් ඇමති විදියට හිටප මල්ලී බැසිල් රාජපක්ෂ කියන අයියල මල්ලිලා රට බංකොලාත් කිරීමට වගකිව යුතු අය හැටියට රටේ ඉහළම උසාවිය තින්දු කරා. නමුත් මහින්ද රාජපක්ෂ තාමත් පාර්ලිමේන්තුවේ. එයාගේ දේශපාලන පක්ෂයේ නායකයා. මහජන මුදලින් ඉතා ඉහළ සැප විඳිමින් වැජඹෙනවා. එයාගේ පුතා ඊළඟ වාරේ ජනාධිපති කරවන්න පතාගෙන ඉන්නවා”

 

මේසය වටේ සියළු දෙනා “ ඔබේ රට මොන විදියේ රටක්දැ’’ යි අසන්නාක් මෙන් පළල් කරගත් ඇස් වලින් මා දිහා බලාගෙන.

මම දරා ගත නොහැකිව බිම බලාගමි.

“ I am sorry, I talked about bad things in the middle of your party’’

 

“ඔයා දන්නවද නදී, මේවා අහගෙන ඉන්නකොට මට හිතෙන දේ තමයි ඒ රටට නැතිවෙලා තියෙන ප්‍රධානම දේ තමයි හෘදය සාක්ෂිය කියන එක. මට පේන විදියට මේ අපරාධ කරපු දේශපාලකයන්ට විතරක්ම නෙමෙයි, ඒ දේශපාලකයන්ව නඩත්තු කරන, තාමත් බලයේ තියාගෙන ඉන්න, ඒ ගැන උදහසක් ආවේගයක් දැනෙන්නෙ නැති ජනතාවටත් හෘද සාක්ෂිය නැතිවෙලා. රටක හෘදය සාක්ෂිය නැත්තටම නැතිවෙලා ගියොත් ඒ රට ගොඩ ගන්න බෑ”

 

ක්‍රිස්ටන් බැරෑරුම් ස්වරයකින් එහෙම කියද්දි මට ඕනේ වුණා. බහුතරයක් පුරවැසියන්ගේ හෘදය සාක්ෂිය නැති වෙලා නැති බව කෑ ගහල කියන්න.

 

පාස්කු ඉරිදා ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය, අබාධිත වුණු අහිංසකයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා මුළු රටම නැගිටින දාක, උතුරේත් දකුණේත් අතුරුදහන් කර මරා දැමූ දහස් ගණන් සහෝදර ජනයා වෙනුවෙන් යුක්තිය ඉල්ලා මුළු රටම නැගිටින දාක, ජනතාව අල්ලා පොළවේ ගසමින් දූෂිත දේශපාලකයන් රකින ව්‍යවස්ථාව අහෝසි කොට මහජන කේන්ද්‍රීය ව්‍යවස්ථාවක් වෙනුවෙන් මුළු රටම නැගිටින දාක, වසර ගණනාවක් පුරා රට හප කළ දූෂිත දේශපාලකයන් රැළ එළවා දමා මනුස්ස කම හඳුනන ආණ්ඩුවක් බලයට ගෙන ඒම වෙනුවෙන් මුළු රටම නැගිටින දාක මගේ රටේ මිනිසුන්ගේ හෘද සාක්ෂිය ගැන ආඩම්බරෙන් කතා කරමියි මම මටම කියාගනිමින් සාදයේ සැහැල්ලුවට ඉඩ දෙමින් එතනින් නැගිට්ටෙමි.

 

@Nadie Kammallaweera ‌fb page

නවතම ලිපි