SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරණය ආසන්නයේ ජාති ආගම් භේද මතුකළ හැකි බවට පාඨලී අනතුරු අඟවයි.

ජනාධිපතිවරණය ආසන්නයේ නැවත ආගම් හා ජාති භේද ඇතිවිය හැකි බවට එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අනතුරු අඟවයි.

 

WhatsApp Image 2024 03 30 at 9.33.14 AM

 

වසර 2015 න් පසු විවිධ පාර්ශව බලය ලබාගැනීම සඳහා සමාජය භේද කිරීමට පියවර ගෙන තිබේ. ඒ අතර මුස්ලිම් සිංහල ජාති අතර අවිශ්වාසය වර්ධනය ද තිබිණ. බෞද්ධ ඉස්ලාම් මත ගැටුමක් ද ඇති කිරීමට  පියවර ගැනිණ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉවත්වීමෙන් පසු මෙම ගැටලුකාරී බලවේග ආරම්භ විය. ඉදිරි ජනාධිපතිවරණය ආසන්නයේ දී නැවතත් එවැනි විනාශකාරී බලවේග ක්‍රියාත්මක විය හැකි බව පාඨලී පෙන්වා දෙයි. එවැනි ජාති ආගම් භේද මතුකිරීම පාලනයේ වගකීම වර්තමාන ජනපතිට සහ ආරක්ෂක අංශවලට ඇති බව හෙතෙම අවධාරණය කරයි. පාස්කු ප්‍රහාරය ද එවැනි බලවේගයක ක්‍රියාවක් විය හැකිය. ඒ සම්බන්ධ තොරතුරු විමර්ශනය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණයට කැඳවා තිබේ. ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද ප්‍රකාශයක් ලබාදුන්නේය. ඒ අනුව පාස්කූ ප්‍රහාරය සම්බන්ධ නිවැරදි තත්වය සෙවීම ද රජයේ වගකීමක් බව ජනරජ පෙරමුණෞ නායකයා ඊයේ මාර්තු 29 වෙනිදා පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනරජ පෙරමුණ සමුළුවේ දී සඳහන් කළේය.

 

වත්මන් අර්බුදයෙහි කොටස් දෙකකි. පවුලේ ගැටලුව ඉන් එකකි. පාඨලී පෙන්වා දෙන්නේ, රටේ පවුල්වලින් සියයට 90 කට ආර්ථික අර්බුදය ඉතා අහිතකර ලෙස බලපා තිබෙන බවයි. ආදායම අඩු වී ඇති අතර වියදම තුන් ගුණයකින් වැඩි වී ඇත. රැකියා අහිමි වීම් රැසක් සිදූව ඇති බව ද ඔහු  කියයි. ව්‍යාපාර බිඳවැටී තිබේ. ආදායම් වියදම් අසමතුලිත වී ඇත.

 

 දෙවැන්න රටේ ප්‍රශ්නයයි. රටේ ද ආදායම් වියදම් අසමතුලිත වී ඇත. මෙම තත්වයෙන් රට මුදා ගැනීම සඳහා විධිමත් වැඩපිලිවෙලක් අවශ්‍ය බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා  පවසයි. දේශය වෙනුවෙන් එක්වන පියවරක් යටතේ එවැනි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි. රටේ ආදායම වැඩි කළ යුතුය. ඒ සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතු ය. ඒ සඳහා තරුණ ප්‍රජාව බල ගැන්විය යුතුය. ඔවුන්ගේ ඩොලර් උත්පාදන ශක්‍යතාව වැඩි කිරීම අතිශය වැදගත් වෙයි. මීට පෙර තාක්ෂණ නගර මගින් එවැනි වැඩපිළිවෙළක් සැලසුම් කළ ද, විරුවෙක් යැයි කියූ පුද්ගලයෙකු බලයට පත්කිරීමෙන් එම වැඩපිළිවෙළට බාධා මතු වූ බව පාඨලී  සිහිපත් කරයි.

 

WhatsApp Image 2024 03 30 at 9.33.12 AM

 

“2014 මෝදි අගමැතිතුමා අරඹපු ගමන අපටත් ආදර්ශයට ගන්න පුළුවන්. තාක්ෂණ බලය එක්ක ඩොලර් උපදවන මැෂිමක් බවට පත්වෙන්න පුළුවන්”

 

“ඉන්දියාවේ විදේශ ඇමතිතුමා එතුමාගේ කලින් විදේශ ලේකම් ජයශංඛර් මැතිතුමා. මෝදි අගමැතිතුමා 2014 මහා මැතිවරණය ජයග්‍රහණය කරලා ඉන්දියාවේ අගමැති වුණා. ඉන්දියාවේ අගමැති වුනහම එතුමාට ඇමරිකා එක්සත් ජනපදයට යන්න ඊට කලින් වීසා එක දුන්නේ නෑ. යුධ අපරාධකාරයෙක්, පැසිස්ට්වාදියෙක් කියලා. එතුමා ගියා ඇමරිකා එක්සත් ජනපදයට. ගිහිල්ලා එකේ ඉන්දියානුවන්ට කියලා මහා ජන හමුවක්; ඒ ජන හමුව පවත්වන්න කලින් මෝදි අගමැතිතුමා ජය්ශංඛර් මහත්තයාට උපදේශයක් තිබුණා. මොකක්ද?

 

අපේ මේ ඉන්දියානුවන් කෝටි තුනක් අද ලෝකය පුරා ඉන්නවා. ඇමරිකා එක්සත් ජනපදයෙ ඉන්නවා. මේ අය හැමෝගෙන්ම අපේ රට ඇතුලේ ආයෝජන බීජ වපුරන්න ඕනේ. රැකියා බීජ වපුරන්න ඕනේ. ඒ නිසා මට අවශ්‍යයි සෑම කෙනෙක්ගේම තොරතුරු. ඒ අය සෑම කෙනෙකුටම මේ ජයග්‍රහණ ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ඔබේ විදේශ අමාත්‍යාංශය විසින් සකස් කළ යුතුයි කියලා. ඒ අනුව අද මොකද වෙන්නේ? කේරළයේ ඉන්න තාක්ෂණ සේවා සපයන ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යාපාරිකයා කේරළයේ රැකියා හත් අටදාහක් ඇති කරනවා. තමිල්නාඩුවේ, ගූගල් එකේ ප්‍රධානියාත් තමිල්නාඩුවේ ඉංජිනේරුවෙක්. එයා 7000 ක් තමිල්නාඩුවෙන් හදනවා නව තාක්ෂණ සේවාවන්. මේ අයි ෆෝන් එක දැන් තමිල්නාඩුවේ හදනවා. තමිල්නාඩුව මතකද මෝඩි මහත්තයට විරුද්ධයි. තමිල්නාඩුවේ මහ ඇමති, මෝඩි මහත්තයත් එක්ක නැහැ. හැබැයි තාක්ෂණයෙන් ඒ තමිල්නාඩුව, කේරලය, කර්ණාටකය, අන්ද්‍ර ප්‍රදේශය නගිනවා.

 

ලංකාවටත් නගින්න පුළුවන්. මොකද ලංකාව ඊට වඩා උගත් මිනිස්සු ඉන්න තැනක්. අපේ මේ හතළිස් දෙලක්ෂයක් පිටරට ඉන්න මිනිස්සුන්ගෙන් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමරිකා එක්සත් ජනපදයේ, කැනඩාවේ, යුරෝපයේ, ජපානේ, කොරියාවේ ජීවත් වෙන ලාංකිකයන්ටයි අපි හොයලා කියනවද? අර සමහරු කියනවා වගේ වැඩියෙන් ඩොලර් පන්සීයක් එවන්නේ නැහැ. අපි මන්ත්‍රීලගෙ විශ්‍රාම වැටුප නවත්තනවා. ඕගොල්ලෝ අපිට පන්සීයක් එවන්න.. ඒක නෙමෙයි අවශ්‍යතාව. අපේ රට තුළ තාක්ෂණ සේවා සපයන රැකියා දහයක් ඇති කරන්න පුළුවන්ද? සීයක් ඇති කරන්න පුළුවන්ද? දාහක් ඇති කරන්න පුළුවන්ද? ඒ වගේම අපේ රට ඇතුලේ අලුත් තාක්ෂණ ක්‍රියාවලීන් ගොඩනගන්න ඒ අයගේ සම්පත් දායකත්වය කොහොමද ලබාගන්නේ කියන එකට අපිට වැඩපිළිවෙලක්. එදා 2014 ආරම්භ කරපු ඉන්දියාවේ ගමන කෙළවර වෙලා තියෙන්නේ අද කොහොමද? ට්‍රිලියන හතරක දැවැන්ත ආර්ථිකයක් ඉන්දියාවේ නිර්මාණය වෙනවා. කාවවත් ගණන් ගන්නේ නැති හැමෝම පිළිගන්න තාක්ෂණ බලයක් බවට පත්වෙනවා. මතක තියාගන්න යෝධ ඉන්දියාවට කෝටි තුනයි පිටරට ඉන්නේ. අපිට හතළිස් ලක්ෂයක් ඉන්නවා පිටරට. ඒ හතළිස් ලක්ෂය අපි පාවිච්චි කරනවා නං, රට මෙතනින් ඩොලර් උත්පාදනය කරන මැෂිමක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ වැඩපිළිවෙල අපි මෙතන යෝජනා කරනවා.”

 

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන තුනෙන් එකකට අඩු කළ හැකි බව ද පාඨලී පෙන්වා දෙයි.

 

වියදම අඩු කිරීමට ඉන් හැකියාව ලැබේ. රථවාහන භාවිතයද අඩු වන අතර, වියදම් අවම කිරීමට එය පිටිවහලකි. රාජ්‍ය සේවයේ කාර්යසාධනය වර්ධනය කළ යුතුය. කාර්යසාධනය මත පදනම් වූ වැටුප් ව්‍යුහයක් සැකසිය යුතු බව ද ඔහු යෝජනා කරයි.

 

මේ අතර ඔහු කියා සිටින්නේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 ත්, ඔක්තෝබර් 17 ත් අතර අනිවාර්යයෙන් පැවැත්වෙන බවයි. එහිදී ජනතාව රට සංවර්ධන කළ හැකි විශ්වසනීය පුද්ගලයෙකු බලයට පත් කළ යුතු බවද හෙතෙම අවධාරණය කරයි. මීට පෙර අවස්ථාවක ජනරජ පෙරමුණේ නායකයා කියාසිටියේ පුළුල් දේශපාලන සන්ධානයක් යෝජනා කළහොත් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි.

 

එක්සත් ජනරජ පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් සමුළුවට පක්ෂයේ මහලේකම් බන්දුල චන්ද්‍රසේකර, ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක, මධ්‍යම කාරක සභික නීතිඥ රජික කොඩිතුවක්කු, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාරක තුසිත හේවගේ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

 

WhatsApp Image 2024 03 30 at 9.33.11 AMWhatsApp Image 2024 03 30 at 9.33.12 AM1WhatsApp Image 2024 03 30 at 9.33.13 AMWhatsApp Image 2024 03 30 at 9.34.24 AM

@මාධ්‍ය ඒකකය

නවතම ලිපි