SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දිනෙන් දින උණුසුම් වන ලංකාවේ මැතිවරණයන්  පිළිබඳ කතාබහට දවසින් දවස එක් වන්නේ අලුත් නාටකයන් ය.

අන් කවරදාකටත් වඩා මෙම නාටකය සුවිශේෂි වී ඇත්තේ මෑත ඉතිහාසයේ සිදුවූ දේශපාලන පෙරලීන් තරමක් දුරට ලංකාවේ කාලයක් පුරා දිව ගිය ද්විපක්ෂ යාන්ත්‍රණය සහිත බල අරගලයේ වෙනස් පිටපතක් රඟ දැක්වීම නිසා ය.

 

 Anura disanayaka 4

 

කෙසේ වුවත් ප්‍රධාන ධාරාවේ සටනකට අවතීර්ණ වීමට නොහැකිව සිටි ජනතා විමුක්ති පෙරමුණ/ජාතික ජන බලවේගය දැන් උච්ඡ ස්ථානයටම ජන ප්‍රසාධය දිනා ගනිමින් සිටින්නේ ය.

එය රැල්ලක් පමණක් යැයි ද, ඔිනෑම රැල්ලක් එනවා මෙන්ම යනවා යැයි ද පවසමින් කල් ගෙවූවන් ට දෙවරක් සිතන්නට කාලාවකාශය විසින් බල කර ඇත.

හොරුන් ඇල්ලීම සහ හොරුන්ට දඩුවම් දීම මාතෘකාව කර ගනිමින් සටනට පිවිසි ජවිපෙයට එකී සටන් පාඨයට හැඟවුම්කරණීය බලයක් හිමිකර දුන්නේ ගෝල්ෆේස් අරගලය සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමත් ය. ගෝල්ෆේස් අරගලයට ජවිපෙය සහභාගී නොවූවා තරමි. එහෙත් එහි වාසිය උදා උනේ ජවිපෙට ය. ඒ, ඊට අදාළ යාන්ත්‍රණය සහිත පක්ෂය වූයේ ජවිපෙ වන නිසා ය.

මෙවර ජවිපෙ/ ජාජබ ඇවිල ගියහොත් සම්ප්‍රධායික දේශපාලනඥයින්ට වැලේ වැල් නැති වනු ඇති බව මහජනයාද දැන් දැන් කතාබහේ නියැලෙන්නේ ප්‍රහර්ෂයකිනි. මන්ද දශක ගණනාවක් පුරා ලංකාව ඇදගෙන ගොස් අද යම් අර්බූධයකට පත්ව ඇත්තේ ද,  එයට සපුරා වගකිව යුතු එකී දේශපාලන ක්‍රියාවලිය යන්න පොදු ව්‍යවහාර බවට පත්ව ඇති නිසා ය.

මේ නිසා ප්‍රභූ දේශපාලනඥයින් ක්‍රමයෙන් භීතියට පත්වෙමින් ඇති අතර එම තත්වය වලක්වා ගනිමින් තම දේශපාලන මැදිහත්වීම සහ නායකත්වය ආරක්ෂා කරගැනීමට පෙළ ගැසෙනු විවිධ අවස්ථාවල දැක ඇත. ඒ නිසා සන්ධාන ගණනාවක් බිහිවෙමින් ඇති අතර මධ්‍යස්ථ මතධාරීන්ගේ අදහස වී ඇත්තේ ජාතික ජන බලවේගය රටේ බලය ලබාගැනීම වැලැක්වීමට නම් සම්ප්‍රධායික ප්‍රභූ දේශපාලකයින් සන්ධානගත වනු ඇති බව ය.   

 

ඊයේ මේ පිළිබඳ අදහස් දැක්වීමක් හිටපු මුදල් අමාත්‍යවරයෙක් වන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රවී කරුණානායක මාධ්‍ය වෙත ලබා දී ඇත.

 

සුදුසුම වෙලාවේ බලවත්ම සන්දානයට එළියට දානවා - රවී කරුණානායක

 

එහිදී, මේ වන විට හතු පිපෙනවා සේ හැදෙන සන්ධාන වලින් වැඩක් නැතැයි කියන රවී කරුණානායක ඇතැම් සන්ධාන බිඳ වැටෙමින් තිබෙන බව පවසයි.

 

“ එළැඹෙන මැයි දින සැමරුම හරහා එක්සත් ජාතික පක්ෂයේ බලය පෙන්වීමට සූදානම්. පක්ෂය හැරගිය උදවියගෙන් 90%ක් පමණ නැවත පක්ෂයට එකතු වීමට මේ වෙද්දි සාකච්ඡා කරමින් ඉන්නවා”

 

කොළඹදී පැවති මාධ්‍ය හමුවේ දී රවී කරුණානායක කියන්නේ හැමදාමත් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව බලයේ සිටි අවස්ථාවේ රට සංවර්ධනය වූ බවත්,  එක්සත් ජාතික පක්ෂය දුර්වල වූ අවස්ථාවේ රට බංකොලොත් වූ බවත් ය.

“අපි වැඩ කරන, රට හදන සන්ධානයක් නිර්මාණය කරමින් ඉන්නවා.  රට වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගන්න නොහැකි  පාර්ශව සමඟ සන්ධාන හදා තේරුමක් නැහැ.”

 

සමගි ජන සන්ධානය අප්‍රේල් මස පස්වෙනිදා ඇරැඹේ - සුජීව සේරසිංහ

 

sajja

 

රවී කරුණානායක එසේ කියද්දී එළැඹෙන අප්‍රේල් මස පස්වෙනිදා සමගි ජන සන්ධානය එලි දක්වන බව සමගි ජන බලවේග මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හිටපු ඇමැති සුජීව සේරසිංහ කියා ඇත.

ඒ සඳහා ආණ්ඩුවේ අමාත්‍ය ධූර දරන පිරිසක්ද එක්වීමට කැමැත්ත පළකර තිබෙන බවත්, ඔවුන්  ඇතුළු තවත් බොහෝ පිරිසක් තම පක්‍ෂය සමඟ එක්වීමට නියමිත බවත් ඔහු කියයි.

 

“නමුත් දේශපාලන වාසි බලාගෙන කටයුතු කරන පිරිස් පක්ෂයකට එකතු කර ගැනීමට සූදානම් නැහැ. පක්‍ෂයට එකතු කරගන්නේ ප්‍රතිපත්ති ගරුක පිරිස් පමණයි”.

 

පාවෙන ඡන්ද තම පක්ෂයට හරවා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඉදිරි මැයි දිනයට ඉතිහාසයේ පැමිණි විශාලම සංඛ්‍යාව සම්බන්ධ කරගන්නේ සමගි ජන බලවේගය බවත් සුජීව සේරසිංහ කියයි.

පලමුව ජනාධිපතිවරණයයි.. අපේක්‍ෂක මමයි..- රනිල් වික්‍රමසිංහ  

 

bassa ranna 

 

මේ අතර පසුගිය දිනවල බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ සිට ලංකාවට පය තැබූ මොහොතේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් අතර වන සාකච්ඡා පිළිබඳ තොරතුරුවලට වැඩි ඉඩ කඩක් මාධ්‍යයන්හි වෙන් කර තිබුණි.

 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නටන්නේ බැසිල්ගේ පදයට බවත්, නාට්‍ය පිටපත දැනටමත් සකසා අවසන් බවත් ඒ තොරතුරු අතර තිබූ සටහන් ය.

 

කෙසේ වුවත් රනිල් වික්‍රමසිංහ පමණක් නොව සමස්ත රටම දන්නා කරුණ නම් 69 ලක්ෂයක ජන වරමක් දිනුූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙවර කිසිදු අවස්ථාවක් නොලැබෙන බව ය. මෙම තත්වය නිසා ජනාධිපතිවරණයකට පෙර මහා මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයාව එකඟ කර ගැනීමට බැසිල් ඇතුලු පිරිස උත්සාහ ගත්ත ද එය සාර්ථක වී නැති බවට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර ඇත.

 

ඉදිරි මැතිවරණ සැලසුම ගැන සාකච්ඡා කිරීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණීමෙන් පසු තෙවන වරටත් සිදුවූ හමුවීමේ දී  මහමැතිවරණයක් මුලින් පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීම ප‍්‍රධාන අරමුණක් කරගෙන තිබුණි.

 

එහිදී ජනාධිපතිවරයා සෘජුවම සඳහන් කර ඇත්තේ ඉදිරියේදී පළමුව ජනාධිපතිවරණය පවත්වන බවත් එහිදී තම සන්ධානයේ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බවත්ය.

 

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයේදී සහය දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙතෙක් තීන්දුවක් ගෙන නැති බව බැසිල් රාජපක්ෂ කියා ඇතැයි වාර්තා වේ.

 

ජනාධිපති අභියෝගය බාරගන්න සූදානම් - පාඨලී චම්පික

 

p ta lee

 

මේ අතර හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංගගේ මැදිහත්වීමෙන් ඇරැඹීමට සූදානම් කර ඇති ශ්‍රිලනිපය ප්‍රමුඛ මැද සන්දානය සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක පසුගියදා අදහස් දක්වා තිබුණි.

 

වත්මන් අර්බුද වලට විසඳුම් ලබාදී රට ගොඩනැගිය හැකි දේශපාලන සන්ධානයක් බිහි කිරීමට මැදිහත් වන බව එහිදී  එක්සත් ජනරජ  පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියා ඇත.

 

ඔහු විසින් මෑතකදී ඉදිරිපත් කළ  "දේශය වෙනුවෙන් එක්වන පියවරක්" වැඩපිළිවෙල සම්බන්ධයෙන් රටේ විවිධ පක්ෂ සහ දේශපාලන නායකයින්ගේ අවදානය යොමු වී තිබූණු අතර වික්‍රමසිංහ ජනාධිපතිවරයා එය මහත් අගය කිරීමකට ද ලක්කර තිබූ බව සඳහන්ව තිබුණි. එමෙන්ම එහි තිබූ සමහර යෝජනා ක්‍රියාත්මක කිරීමටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් කටයුතු යොදා තිබුණි.

 

 පාඨලී කියන්නේ ඊට සමගාමීව නව දේශපාලන සන්ධානයක් සඳහා වූ සාකච්ඡා ආරම්භ වී ඇති බවත් එහි අරමුණ මැතිවරණ ජයග්‍රහණය නොවන බවත් ය.

 

රට ගොඩ නැගීමේ නිශ්චිත වැඩපිළිවෙලක් වටා පමණක් අප ගොනුවිය යුතුය. නිර්මාණය කෙරෙන සන්ධානය විසින් මැතිවරණය සඳහා ඉදිරිපත් විය යුතු නියෝජිතයන් නම් කරන ලැබිය යුතු බවද ඔහු කියයි.

 

එහිදී ජනාධිපති ධූරාපේක්ෂකත්වය භාරගන්නා ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත්, එම අභියෝගය භාර ගැනීමට සුදානම් බවත් පාඨලීගේ අදහස ය. එමෙන්ම එකී සන්ධානය විසින් වෙනත් පුද්ගලයෙකු නම් කළද ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින බවත් පාඨලී අවධාරණය කර ඇත.

 

මැතිවරණ කතා අස්සේ සන්ධාන කතා විවිධ වර්ණයෙන් ඉදිරිපත් වේ.

ඒ වර්ණ අතරින් කුසගින්නේ සහ එදිනෙදා ජීවිත සටනේ දොංකාරය පමණක් පසුබිමෙන් ඇසේ.

ගේම් සහ කුමන්ත්‍රණ ටිකෙන් ටික කරලියට පැමිණෙමින් ඇත.

ඒ සියල්ල මැද තවත් සතියක් ගෙවී ගොස් ය.

 

@සමාරා පරණවිතාන

 

නවතම ලිපි