SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වේලාව උදෑසන හය යි...

මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යි...

මෙන්න ප්‍රවෘත්ති,

ප්‍රකාශය රම්‍යා වනිගසේකර විසින්...

දැවැන්ත හඬ පෞරුෂයකින් මීට දශක කිහිපයකට පෙර ශ්‍රී ලාංකික ගුවන් විදුලි ශ්‍රාවකයින්ට ප්‍රවෘත්ති ඉදරිපත් කළ, රම්‍යා වනිගසේකරගේ හඬ සිකුරාදා (මාර්තු 08) පෙරවරුවේ නිවී ගියේ ය.

 

කලක් අසනීප තත්ත්වයෙන් පසුවූ ඇය අභාවප්‍රාප්ත වූයේ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

මිය යන විට ඇය 73 වන වියේ පසු වූවා ය.

චරිතාංග රංගන ශිල්පිනියක, ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති නිවේදිකාවක සහ පසුබිම් ගායිකාවක ලෙස ද දැවැන්ත පෞරුෂයක් හිමි කරගෙන සිටි ඇය පිළිබඳ මතකාවර්ජනයකි, මේ.

 

මුල් විය

කෑගල්ල, කොටියාකුඹුර ප්‍රදේශයේදී 1950 ජූලි මස 17 වන දා රම්‍ය වනිගසේකර උපත ලැබුවේ, දරුවන් 7 දෙනෙකුගෙන් යුත් පවුලේ පස් වැන්නා ලෙස ය.

ඇයගේ පියා හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි වතු අධිකාරිවරයෙකු ව‍ූ අතර, මව ඇහැලියගොඩ ප්‍රදේශයේ උපන් කාන්තාවකි.

රම්‍යා වනිගසේකර සිය ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කළේ, කොටියාකුඹුර අම්පේ මහා විද්‍යාලයෙනි.

ඉන්පසු පාසල් කිහිපයකින් ම අධ්‍යාපනය ලැබූ ඇය, ද්විතීක අධ්‍යාපනය අවසන් කළේ, රුවන්වැල්ල රාජකීය විද්‍යාලයෙනි.

රංගන දිවිය

1974 වසරේදී ඇය මුල් වරට වේදිකා නාට්‍ය කලාවට එක් වූයේ, චන්දි ගුණතිලක නිෂ්පාදනය කළ 'හේවායෝ' වේදිකා නාට්‍යයේ පසුබිම් ගායිකාවක ලෙස ය.

ඉන්පසු ඇය ජයතිස්ස අලහකෝන් විසින් නිෂ්පාදනය කරන ලද වේදිකා නාට්‍ය රැසක පසුබිම් ගායිකාවක ලෙස කටයුතු කළා ය.

 

රම්‍යා වනිගසේකර පළමු වරට වේදිකා නාට්‍යයක් සඳහා රංගනයෙන් දායක වූයේ, 1976 වසරේදී ය. ඒ, රංජිත් ධර්මකීර්තිගේ 'හස්තිරාජ මහත්තයා' නමැති නාට්‍යයේ සුළු චරිතයකට පණ පොවමිනි.

පසුව, රංජිත් ධර්මකීර්තිගේ 'අංගාරා ගඟ ගලා බසී' නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂවරයා වූ ප්‍රේමසිරි කේමදාස යටතේ එහි පසුබිම් ගායිකාවක ලෙස කටයුතු කිරීමට ද ඇයට අවස්ථාව හිමි විය. ඊට අමතරව, ඇය එහි සුළු චරිත කිහිපයකට ද රංගනයෙන් දායක වූවා ය.

 

වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක ලෙස ඇය ස්ථාවරත්වයකට පත්වූයේ, 1978 වසරේදී වේදිකාගත කෙරුණු චූලා කාරියවසම්ගේ 'මන රංජන වැඩ වර්ජන' නාට්‍යයේ ගුණවතී චරිතය හේතුවෙනි.

පසුව, ආර්. ආර්. සමරකෝන්ගේ 'කැලණි පාලම' නාට්‍යයේ 'මැටිල්ඩාගේ' චරිතය නිරූපණය කළ චන්ද්‍ර කළුආරච්චි ගැබිනි මවක වීම නිසා එම චරිතයට රම්‍යා වනිගසේකර තෝරා ගැනිණි.

එය, ඇයගේ රංගන දිවියේ පමණක් නොව සැබෑ දිවියේ ද කඩඉමක් බවට පත් විය.

ඒ, 'කැලණි පාලම' නාට්‍යයේ නිෂ්පාදක ආර්.ආර්. සමරකෝන් පසුකලෙක ඇයගේ ස්වාමි පුරුෂයා බවට පත්වූ හෙයිනි.

 

'කැලණි පාලම' නාට්‍යයෙන් පසු ඇය, අහසින් වැටුණු මිනිස්සු, ඉඩම, මූදු පුත්තු, මා හේනේ රීරි යකා, ලියතඹරා, සිරි සඟබෝ, හිරු නැති ලොව ආදී වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූවා ය.

'කැලණි පාලම' නාට්‍යයේ මැටිල්ඩාගේ චරිතය වසර 41ක් පුරා ඇය නිරූපණය කළා ය.

ඇය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක බවට පත්වූයේ, ශ්‍රී ලංකාවේ තුන් වන ටෙලිනාට්‍යය ලෙස සැලකෙන 'පළිඟු මැණිකේ' ටෙලිනාට්‍යයෙනි.

 

එම නාට්‍යය ප්‍රවීණ රංගධර ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ද පළමු ටෙලිනාට්‍යය විය.

 

"ඇත්තට ම රම්‍යා වනිගසේකර කලා ශිල්පිනිය මට හමුවෙන්නෙ මගේ රංගන ජීවිතයේ හිමිදිරි උදෑසන. පළිඟු මැණිකේ කියන්නේ ලංකාවේ ටෙලිනාට්‍ය වංශ කතාවේ තුන් වෙනි ටෙලිනාට්‍යය. එහිදී ඇය ප්‍රධාන චරිතයක් නිරූපණය කළා. රම්‍යා ඊට පස්සේ අවසාන කාලය වන තුරු ම සිනමාව, වේදිකාව ආදියේ නිර්ව්‍යාජව වැඩ කටයුතු කළ කාන්තාවක්. මේ අභාවය කලාකරුවෙකු විදිහට ලොකු කනගාටුදායක සිද්ධියක්. ඇය ගුවන් විදුලි හඬ පෞරුෂයත් බොහොම ශක්තිමත්ව නිරූපණය කරපු කාන්තාවක්. ගුවන් විදුලියේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී ඇයගේ ප්‍රේමණීය හඬ පෞරුෂය අපට අහන්න ලැබුණා. රංගනයේදීත් ඇය චරිත නිරූපණ කලාවේදී බොහොම ශක්තිමත්ව නිරූපණය කළා. 'සඳ තනිවෙලා' කියන ටෙලිනාට්‍යයේ ඇය මගේ මව ලෙස රඟපෑවා. ඇය ඉන්න තැන බොහොම ප්‍රේමණීය යි,"

ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් සිය මතකය ආවර්ජනය කළේ, එලෙසිනි.

 

පළිඟු මැණිකේ ටෙලිනාට්‍යයට අමතරව, ඇය, කන්දෙ ගෙදර, දියණියෝ, කූඹියෝ, මැණික් නදිය ගලා බසී, නෑනාලා, යර්ස් බොස් ඇතුළු ටෙලිනාට්‍ය රැසක විවිධ චරිත නිරූපණය කළා ය.

රිදී නිම්නය චිත්‍රපටයේ රඟපාමින් 1982 වසරේදී සිනමාවට පිවිසි ඇය, මාරුතය (1995), ටිකිරි සුවඳ (2010), සරිගම (2016) ආදී චිත්‍රපට කිහිපයකට ද රංගනයෙන් දායක වූවා ය.

 

ප්‍රවෘත්ති නිවේදිකාව

දැවැන්ත ගුවන් විදුලි හඬ පෞරුෂයකට හිමිකම් කී රම්‍යා වනිගසේකර, ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස ද ජනාදරයට පත්ව සිටියා ය.

ඇය, එවකට රේඩියෝ සිලෝන් නමින් හැඳින්වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එක් වූයේ, 1982 වසරේදී ය.

එතැන් සිට 2006 දක්වා වසර 26ක කාලයක් ඇය ගුවන් විදුලියේ විවිධ වැඩසටහන් ඉදිරිපත් කළා ය.

ඇය සමග ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළ සමකාලීන නිවේදිකාවක වූ තිලකා රණසිංහ සිය මතකය අවදි කළේ, මෙලෙසිනි.

"ඇය රංගන ශිල්පිනියක් වීමෙන් පස්සේ තමයි, ගුවන් විදුලියට එකතු වුණ‍ේ. මම ඇය රඟපාන කාලේ ඉඳලා දැනගෙන හිටියත්, ගොඩක් සමීපව ඇසුරු කළේ, ගුවන් විදුලියට ආවට පස්සේ. ඇය ඉතා ම සුහදශීලී, වගකීමෙන් තමන්ගේ සේවය ඉටු කළ දැවැන්ත චරිතයක්. ඒ හඬ පෞරුෂයට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කළා. ඒ විතරක් නෙවෙයි, ඇය රංගනයත් ඉතා ම සාර්ථකව කළා. ඒ නිසා ඇයට බොහෝ දෙනෙකුගේ ආදරය හිමි වුණා. ඇය අසනීප තත්ත්වයේ සිටිද්දීත් මාත් එක්ක නිතර කතාබහ කළා. ඇයගේ අභාවය ඇත්තට ම ලොකු පාඩුවක් වගේ ම ලොකු දුකක්,"

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා තිලකා රණසිංහ පැවසීය.

 

සම්මාන

රම්‍යා වනිගසේකර සම්මානනීය රංගන ශිල්පිනියක පමණක් නොව සම්මානනීය ගුවන් විදුලි ශිල්පිනියකි.

1991 වසරේදී ඇයට වේදිකා සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය ම කාන්තාව වෙනුවෙන් වූ රාජ්‍ය සම්මානයත්, ලංකාදීප විජය සම්මාන උළෙලේ වසරේ ජනප්‍රිය ම රංගන ශිල්පිනියට හිමි සම්මානයත් හිමි විය.

1993 වසරේදී රාජ්‍ය සම්මාන උළෙලේ ජනප්‍රිය ම නිළියට හිමි සම්මානය හිමි විය.

1994 වසරේදී ද ඇයට ජනප්‍රිය ම නිළියට හිමි OCIC සම්මානය ලැබිණි.

1995 වසරේදී 'ලිහිණි' වේදිකා නාට්‍යය වෙනුවෙන් හොඳ ම සහය නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබී ය.

2010 වසරේදී රංගන ශිල්පිනියක ලෙස ඇය දැක්වූ දායකත්වය වෙනුවෙන් කලාභූෂණ සම්මානය ඇයට පිරිනැමිණි.

ඊට අමතරව, 1994/95 වසර සඳහා හොඳ ම ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස ජනාධිපති සම්මානය හිමි වූයේ ද, රම්‍යා වනිගසේකරට ය.

 

@BBC සිංහල