SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වසංගතයකට කළ හැකි විනාශය කෙබඳුද? අපේ පරම්පරාව එය සියැසින් දැක හමාරය. Covid-19 වෛරස් වසංගතය මුළු ලෝකයම උඩු යටිකුරු කළේය.

එයින් ලොව පුරා මිලියන 770 කට වැඩි ජනතාවක් පීඩාවට පත්වූහ. ආසාදනය වූ පිරිසෙන් මිලියන 6.9 ක් මිය ගියහ. සෞඛ්‍යමය මෙන්ම ආර්ථික වශයෙන්ද එහි බලපෑම තවමත් හමාර වී නැත. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානියාට අනුව නම් අප මේ මුහුණ දුන්නේ ලොව බිහිසුණුම වසංගතයට නොවේ!

 

වූහාන් වෛරස වසංගතය හෙවත් කොවිඩ්-19 යනු පෙරහරේ කලින් ආ කසකාරයකු ලෙස ඔහු ඇතුළු ලොව ප්‍රධාන පෙළේ විද්වත්හු දැන් හඳුන්වා දෙති. ඔවුන්ට අනුව සැබෑ ලෝක වසංගතය පැමිණීමට නියමිතව ඇත්තේ ඉදිරියටය. එය වඩාත් දරුණු  වනු ඇත, ලෝක අවසානය තරම්ම බියකරු වනු ඇත. එය අසුබ කතාවක් බව ඇත්තකි, නමුත් ස්ථීරය. එය පැමිණෙමින් තිබේ! එය වැළැක්විය නොහැකිය!

 

ලොව පුරා සෞඛ්‍ය ආර්ථීක දේශපාලනික ප්‍රවීණයන් සැවොම පුරෝකථනය කරන්නේ   ඊළඟ මහා වසංගතය මේ වන විටත් දලු දමමින් සිටින බවටය. එය එළියට එන දිනය අත ළඟ බවට එකඟ වී ඇති ඔවුන්, එය හඳුන්වන්නේ “X රෝගය” හෙවත් - Disease X  හැටියටය.

 

ලෝක සෞඛ්‍ය සංවිධානය 2018 දී පමණ මේ Disease X- “X රෝගය” යන නම සම්මත කරන ලදී. ඒ නම උපකල්පිතයකි. එයින් අදහස් කරන්නේ තවමත් හරිහැටි නොදන්නා, ඒ හෙයින් “X” නමැති ක්ෂුද්‍ර ජීවියකු නිසා ඇතිවිය හැකි රෝගය යන්නය. මේ ‘X’ කරුමය අනාගතයේ එන ඕනෑම බැක්ටීරියාවක්, දිලිරයක්, වෛරසයක් හෝ වෙනත් විසබීජයක් හෝ විය හැකිය.

 

වූහාන් උණ වෛරසයේම වැඩිදියුණු ප්‍රභේදයක් හෝ පැරණි මිනීමරුවන් වන මහාමාරිය, වසූරිය, ටයිපොයිඩ් හෝ ක්ෂය රෝගයේ නැවත පැමිණීමක් ලෙස හෝ මිනිසුන් අතරට එය කාන්දු විය හැක. එක් විශේෂයකින් තවත් විශේෂයකට ලෙස ඌරෙකුගෙන් වවුලෙකුගෙන් හෝ කුකුළෙකුගෙන් හෝ වෙනත් සතෙකුගෙන් මිනිසුන් වෙත පනින්නට හැකිය. කලින් වසංගත මෙන් එය ලොම් ගොවිපළකින් පිටතට පැමිණිය හැකිය. එක්සත් රාජධානිය හෝ මෙක්සිකෝවේ ඌරු ගොවිපළක් විය හැකිය. ආහාර දාමය කැළඹුණු වනාන්තරයක සිට හෝ ජීව ආයුධ රසායනාගාරයක සිට එය පැමිණිය හැකිය.

 

මේ කෙබඳු ආකාරයකට වේවා තවත් දශක කිහිපයකට පසු හෝ හෙට දිනයේම හෝ එය ස්ථිරවම පැමිණෙන බව ලොව විද්වත්හු අනතුරු අඟවති. ඔවුන්ට නිශ්චිතව කිව හැක්කේ එකම දෙයකි. ඒ වඩාත් මාරාන්තික තවත් වසංගතයක් පැමිණීම  නොවැළැක්විය හැකිය යන අනාවැකියයි. 

 

දිනෙන් දින නරක අතට හැරෙන දේශගුණික විපර්යාස සහ මානව හා සත්ත්ව ජනගහනයේ ඉහළ යන ජීව ඝනත්වය මෙන්ම ඔවුන් අතර අන්තර් සබඳතා ඉහළ යාම හේතුවෙන් අප පෙර නොසිතන විශ්වාස නොකරන තැනකින්, සහ ආකාරයකින් මිනිසුන් තුළට මේ Disease X රෝග කාරකය රිංගා ගනු ඇත.

 

මේ තවමත් නොදන්නා විසබීජය‘ X, මගින් පැතිරිය හැකි ඊළඟ වසංගතය වන Disease X දැඩි ලෙසම මාරාන්තික විය හැකි බවට වාර්තා දැන් විද්‍යාඥයන් සතුව ඇත. දැනටමත් බොහෝ විශේෂඥයන් කියා ඇත්තේ ලොව කළඹන ඊළඟ වසංගතය Disease X,  කොවිඩ්-19 මෙන් 20 ගුණයකින් මාරාන්තික විය හැකි අතර එයට මිලියන 50ක ජීවිත බිලිවිය හැකි බවය.

 

මේ නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානියා මෑතකදී සමස්ත ලෝකයටම ප්‍රසිද්ධියේ අනතුරු ඇඟවීමක් කළේය. ඒ ලෝකය දැන්ම ඊළඟ මහා වසංගතයට  සූදානම් විය යුතු බවටය.

කොවිඩ්-19 ට වඩා “මාරාන්තික හැකියාවක්” ඇති මීළඟ වසංගතය, හෝ අනාගත අලුත් රෝග කාරකය සඳහා හෝ සූදානම් වන්නට දැන් කාලය පැමිණ ඇති බවට, WHO ප්‍රධානියා මේ අනතුරු ඇඟවීමෙන් දැඩිව අවධාරණය කර තිබුණි. 

 

“ඊළඟ මහා වසංගතය අප වෙත නිසැකවම පැමිණෙයි. එය එසේ එන විට අපි තීරණාත්මකව, සාමූහිකව සහ සාධාරණව ඒ සඳහා පිළිතුරු දීමට සූදානම්ව සිටිය  යුතුය.” යනුවෙන් ඔහු උපදෙස් දුන්නේය.

 

2009 වසරේ සිට ඇමෙරිකානු විද්‍යාඥයන් විසින් නව වෛරස් 900කට වඩා වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇත. ලොව පුරා වෛරස් පවුල් 25 ක් හඳුනාගෙන ඇත. මේ සෑම පවුලකම තවත් දස දහස් ගණනක් වෛරස ඇත. තවත් මිලියන ගණනක් තවමත් සොයාගෙන නැත. අප මේ වෛරස ගැන නොදන්නා දේ බොහෝය. අනෙකුත් ක්ෂුද්‍රජීවින් ගැනද තත්ත්වය එසේය. ඒ නිසා මේ නොදන්නා දේ ගැන බිය දිගටම පවතී. Disease X රෝග කාරකය මේ අතර සැඟව සිටියි.

 

දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 194 ගෝලීය වසංගත ගිවිසුමක් මත වැඩ කරමින් සිටියි. එය ලෝකය ආරක්ෂිතව තබාගැනීමට වැදගත් මුලපිරීමකි. රෝගය X, අද කල්පිතයක් විය හැකිය. නමුත් ඒ වැඩි කාලයකට නොවේ. ඒ නිසාම  මේ ඊළඟ ලෝක අර්බුදය විසඳීමට රාජ්‍යයන්හි සාමූහික ප්‍රයත්නය සහ එකඟතාව අත්‍යවශ්‍යය.

 

කොටින්ම ලොකාවසාන වසංගතයකට පෙර සොබාදහම ගෙන ආ පූර්ව අනතුරු ඇඟවීම වන කොවිඩ්-19 තදින්ම අවවාද කර ඇත්තේ අප වඩාත් දරුණු විසබීජ ප්‍රහාරයකට කලින්ම වඩාත් හොඳින් සූදානම්ව සිටිය යුතු බවටය.

ඒ අනුව විශේෂිත බෝවන රෝග අතළොස්සක් ගැන පර්යේෂණ කිරීම කෙරෙහි වැඩි  අවධානය යොමු කරන ලෙස WHO මැතකදී ඉල්ලා තිබුණි. Ebola, Marburg, Lassa fever, Nipah සහ Zika වෛරස් ඇතුළු මෙම රෝග කාරක ඔවුන්ගේ ඉහළ වසංගත විභවය නිසා ඊළඟට විශාලතම මහජන සෞඛ්‍ය තර්ජනයකට හේතු විය හැකි බවට සංවිධානය අවධාරණය කර ඇත.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්හානොම් ගෙබ්රෙයෙසුස්ට අනුව 2017 ලෝක සෞඛ්‍ය සමුළුවේදී ප්‍රකාශයට පත් කරන ලද ලෝවැසි බිලියන 3ක් ආවරණය වන සේ ප්‍රමාණවත් සෞඛ්‍ය ආරක්ෂණයක් සැපයීම සඳහා වූ අනාගත ඉලක්ක කරා යන වැඩපිළිවෙළේ ප්‍රගතියට ද මානව වර්ගයා වෙත හදිසියේම කඩා පැන්න කොවිඩ් වසංගතය පු‍ළුල් බලපෑමක් කර තිබේ.

 

ඔහු කියන මේ පස් අවුරුදු ක්‍රියාන්විතයේදී මූලිකව බිලියනයකට විශ්වීය සෞඛ්‍ය ආවරණයක් ලැබීම සහතික කිරීම, දෙවනුව තවත් බිලියනයකට සෞඛ්‍ය හදිසි අවස්ථාවලින් වඩා හොඳින් ආරක්ෂා වීම සඳහා අවස්ථාව සැලසීම සහ තෙවනුව තවත්  බිලියනයකට වඩාත් හොඳ සෞඛ්‍ය සහ යහපැවැත්මක් භුක්ති විඳීම සඳහා ප්‍රතිපාදන  සහතික කිරීමද අයත්ය. කොවිඩ්-19 මේ ක්‍රියාන්විතය කඩිනම් කිරීමට තල්ලුවක් ලබා දුන්නේය.

 

කොවිඩ් වසංගතය අපව අවුල් කර දැමුවේය. නමුත් ඉහත කී තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) අපගේ ආසන්නතම ඉලක්කගත අරමුණු ලෙස පැවතිය යුත්තේ මන්දැයි එය  අපට මනාව පෙන්වා දී ඇත. අපි වසංගතයට එරෙහිව සටන් කළ හදිසිතාවයෙන් හා අධිෂ්ඨානයෙන්ම ඉදිරියේදීත් ඒ මෙහෙයුම් අනුගමනය කළ යුතුව ඇති බව ඔහු අවධාරණය කළේය. රෝගය X හි අනපේක්ෂිත ස්වභාවය සැලකිල්ලට ගෙන කලින්ම සූදානම් වීමේ අවශ්‍යතාවය ඔහු පෙන්වා දෙයි. ඒ අනුව එවන් අනාගත ඕනෑම වසංගතයක් ඵලදායී ලෙස මර්දනය කිරීම සඳහා ගෝලීය සූදානම සහ ප්‍රතිචාර යාන්ත්‍රණයන් වැඩිදියුණු කිරීම ඉතා වැදගත් වේ. මේ වන විටද විද්‍යාඥයෝ සහ පර්යේෂකයෝ X රෝගයේ විභව මූලාශ්‍ර ලෙස සතුන්ගෙන් මිනිසුන්ට පැනීමේ හැකියාව ඇති zoonotic රෝගකාරක ගැන  ක්‍රියාකාරීව අධ්‍යයනය කරමින් සිටිති.

 

මේ අන්දමට X රෝගය කල්තියා හඳුනා ගැනීම සහ පාලනය කිරීම සඳහා ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ශක්තිමත් නිරීක්ෂණ පද්ධති සංවිධානය අත්‍යවශ්‍ය බව හඳුනාගෙන තිබේ. ඒ හා සමානව පොදුවේ සෞඛ්‍ය ආරක්ෂණ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම වැදගත්ය. මුළු ලෝකයම ආවරණය වන පරිදි රෝග විනිශ්චය කිරීමේ හැකියාවන්, ප්‍රතිකාර පහසුකම් සහ පර්යේෂණ ආයතන ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම, “X රෝගය” ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සහ පාලනය කිරීම සඳහා ඉතා වැදගත් වන අතර දැනටමත් මෙම මෙහෙයුම් ඇරුඹී හමාරය.

 

Iසුගත් පී. කුලතුංග ආරච්චි

@deshaya

nalan mendis

නවතම ලිපි