SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විදේශ රැකියා මුවාවෙන් සිදුකෙරෙන මිනිස් ජාවාරම් සම්බන්ධව වඩා වඩාත් පුවත් ලැබෙමින් පවතින්නේ

ලංකාවේ ආර්ථික අර්බූධයට පිළියම් ලෙස දිනපතා විශාල පිරිසක් විදෙස්ගත රැකියා සඳහා පොරකමින් සිටින වටාපිටාවක ය.

 

මේ කියැවෙන්නේ ඒ පිළිබඳ තවත් කතාවකි.

අනූනවයෙන් තම දිවි බේරාගෙන නැවත සිය රටට පැමිණිනු ‍මාතලේ ගුරු බැබිල පදිංචි මනන්නලෑ ගෙදර චන්ද්‍රිකා ප්‍රියන්තිගේ කතාවයි.‍

 

චන්ද්‍රිකා ප්‍රියන්ති ඔිමානයේ රැකියාවක් සඳහා යන්නේ ලංකාවේ තියෙන ඒජන්සියක් මාර්ගයෙන්. ඒ කුරුණෑගල අල් හකීම් විදේශ රැකියා ඒජන්සියෙන්. ඔමානයේ ගෙදරක ගෘහ සේවිකාවක් විදිහට ගියපු චන්ද්‍රිකාට සිද්ද උනේ මොකක් ද? ඇයට වැටුප් ගෙවන්නෙ නැතිව වැඩ ගැනීම තමයි මේ කතාවේ ආරම්භය වෙන්නෙ.

 

මේ පවුලේ අය ඒ කතාව කියපු විදිහ...

 

“පඩි ගෙවන්නෙ නෑ කියල ඔමාන් එම්බසි එකට කීවාම,එම්බසි එකෙන් ගෙදර අයිතිකාරයාව එම්බසි එකට ගෙනත් ප්‍රශ්ණ කරල ... ඒ මිනිහ කියල තියෙනව ළමයට ඔමාන් රියාල් 1540 (ලක්ස දොලහමාරක් විතර) ක් එහෙ ඒජන්සියකට ගෙව්ව, ඒකට රිසිට් තියෙනව, ඒ ගාන ආපහු දෙනවනම් ලමයව ලංකාවට එවන්නම් කියල..”

 එහේ ඉන්නව  කාන්ති කියල ගෑනු කෙනෙක්. එයා තමයි මේ ඩීල් එක කරල තියෙන්නෙ ... ඊට පස්සෙ ළමයව ගෙදර අය පුච්චල තියෙනව ... ඊට පස්සෙ අර කාන්ති කියන ගෑණු කෙනා මේ ළමයව එහාට ගෙන්න ගත්ත කාන්ති මේ ළමයට ගෙදරින් එලියට එන්න කියල, කාර් එකක දාගෙන පන්නන් ගිහින් තියෙනව ... එතකොට අර ගෙදර මිනිහ පොලීසියෙ එන්ට්‍රි එකක් දාල මේ ලමය ලක්ස රියාල් 1500 ක් අරන් (ලක්ස දොලහක් විතර) අරන් පැනල ගියා කියල ... කාන්ති හදල තියෙන්නෙ මේ ළමයව ආපහු වෙන ගෙදරකට විකුණන්න ... පොලීසියෙ එන්ට්‍රි එක නිසා උංට ළමයව පොලිසියට බාර දෙන්න වෙලා “

 

ඔමාන් කා න්ති

ඔමානයේ සිටිමින් එරටට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ව මිනිස් ජාවාරමට හසුකර මුදල් උපයන ජාවාරම්කාරිය කාන්ති

 

මේ විස්තරය ගුරු බැබිල ප්‍රියන්තිගේ ගෙදර අයට ප්‍රියන්තී දුරකථනයෙන් දැනුම් දීල.

 

ඒ දවස්වල සර්වෝදයෙන් IOM එක එක්ක ලක්ෂ  ගාණක් වියදම් කරමින් රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් ගෙනගිහින් තිබුණා. ඉතිං  ඒ ගැන දැනුවත් හිතවතෙක් ප්‍රියන්ගනීලගෙ අම්මලව මාතලේදි IOM එකට සහ සර්වෝදය බ්‍රාන්ච් එකට මුණ ගස්සවල. ඒත් ලෝකෙට පේන්න දැනුවත් කිරීම් කරමින් පින්තූර අරන් සල්ලි හොයන හුගක් රාජ්‍ය නොවන සංවිධාන වගේම IOM එකත් මේ ගැන නිකමටවත් සොයල බලල නෑ. ඒ අය දුරකථන ඇමතුම් ගන්න ඒවටත් පස්සෙදි පිළිතුරු නොදී මගහැරල තියෙනවා. අඹන්ගඟ කෝරලේ ප්‍රාදේශීය ලේකම් හර්ෂ සේනාධීර පවා IOM එකට ලියල ප්‍රියන්ගනීට උදව් කරන්න කියල ඉල්ලලා තියෙනවා. ඒත් ඔවුන් ඒක මගහැරල තියෙනවා.

“අන්තිමට මේ ළමය නිදොස් නිසා මාස තුනකට පස්සෙ පොලිසියෙන් නිදහස් කලා. ඊට පස්සෙ මේ ළමයව කාන්ති කියන ජාවාරම්කාරියගේ මාතලේ කැචර් වෙච්ච මාලනී බාර අරන් මෙහාට ගෙන්වගන්න නම් තවත්  රුපියල් ලක්ෂ  07 ක් ඉල්ලුව.  ඊට පස්සෙ මේ ළමයගෙ තාත්ත ඊට විරෝධය පාන්න ගත්තම  ලක්ෂ  හත පැත්තකට තියල, ටිකට් එකට 120,000 ක් ඉල්ලන්න පටන් අරගෙන. එම්බසියෙන් කීවා මේ ළමයව එම්බසියට ගෙනත් දෙන්න කියල ... ඒත් අර ජාවාරම්කාරයො  ඒක නොකර ,මේ ළමයගෙ දෙමව්පියො බය කරල ටිකට් එකට සල්ලි ඉල්ලගෙන. අන්තිමට මේ ලමයගෙ දෙමව්පියො ඉඩම උකස් කරල සල්ලි යව්ව ටිකට් එකට ... ළමය ඊයෙ ලංකාවට ආව.”

 

ප්‍රියන්ති ගෙන්වා ගැනීමේදී ඔමාන් තානාපති සබනුල්ලා ඛාන් ද ඉතා හොඳින් ඒ සඳහා මැදිහත් වූ බවත් ලංකාවේ සර්වෝදය IOM වැනි ආයතන රට පුරා වැඩසටහන් කරමින් කරන්නේ බොරුවක් බවත් ගම්වැසියෝ සිදුවූ අත්දැකීම හරහා පවසති.

 

කෙසේ වෙතත් රාජ්‍ය මැදිහත්වීම  මත හෝ රජයේ ලියාපදිංචි ඒජන්සියක් හරහා රට රැකියාවකට කැමැත්තෙන් යන සේවකයින් එකී අදාළ රටේදී මිනිස් ජාවාරමට ගොදුරු විය හැකි බවට මෙය කදිම උදාහරණයකි.

ඒ නිසා හැකි සෑම විටම එම ජාවාරම්කරුවන්ව නීතියේ රැහැනට හසුකර දැඩි දඩුවම් පැමිණවිය යුතු බවත් එවැනි ජාවාරම් අවසන් කිරීමට අදාළ රටවල ශ්‍රී ලංකා තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් කැපව ක්‍රියාකළ යුතුව ඇත.

විදේශ සේවා අමාත්‍යාංශය රැකියා සඳහා පුද්ගලයින් පිටත්කර හැරීමේ වැඩසටහන් කරන අතරතුර මෙවැනි ජාවාරම් පසුපස ලුහුබැඳ ඒවාට නීතිමය පියවර ගත යුතු ය.

මේ වනවිට මිනිස් ජාවාරම රටින් පිටත රටවලදී ලාංකිකයන්ගේම මෙහෙයවීම මත වේගයෙන් ක්‍රියාත්මක වන අතර එය වැලැක්වීමට අදාළ රජයේ ආයතන මැදිහත්විය යුතු ය.

 

මනූෂ නානායක්කාර අමාත්‍යතුමනි මේ ඔබගේ දැනගැනීම පිණිසයි.

 

පහත දැක්වෙන්නේ ප්‍රියන්තිගේ මාපියන් විසින් විවිධ ආයතනවලින් තම දරුවා ආපසු ගෙන්වාගැනීමට කරන ලද ඉල්ලීමේ ලිපියකි.

 

ගරු අධ්‍යක්ෂ තුමනි,


ඕමානයේ සිටින මාගේ දියණිය වන මනන්නලෑ ගෙදර චන්ද්‍රිකා ප්‍රියන්ති (විදේශ ගමන් බලපත් අංක N 9758639) ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධවයි.


මනන්නලෑ ගෙදර ශාන්ති ප්‍රදීපා ප්‍රියන්ගනී (ජා.හැ. අංක 817955576 v) වන මම, ඉහත නම් සදහන්, මනන්නලෑ ගෙදර චන්ද්‍රිකා ප්‍රියන්ති (වි. ග. බ. අංක N 9758639) යන අයගේ මව වෙමි. මාගේ ස්ථිර පදිංචිය, 31/2,ගුරු බැබිල,පන්සල පාර, ගුරුබැබිල, මැටි හක්ක, මාතලේ. දුරකතන අංක 0768976426.

මන්නලෑ ගෙදර චන්ද්‍රිකා ප්‍රියන්ති නම් මාගේ දියණිය, පවුලේ දැඩි ආර්ථික ප්‍රශ්ණ හේතුවෙන්, ඕමානයේ රැකියාවකට යාමට බලා පොරොත්තුව ඇතිව, කුරුණෑගල අල් හකීම් විදේශ රැකියා ඒජන්සිය වෙත ගියාය. එම ඒජන්සිය විසින් මාගේ දියණියගේ විදේශ ගමන් බලපත්‍රය (අංක N 9758639) බාරගෙන, කුරුණෑගල විදේශ රැකියා පුහුණු ආයතනයේ පුහුණුවකට දින වෙන් කර දෙන ලද නමුත්, එම පුහුණුවට අවශ්‍ය කලමණා සපයා ගැනීමට අපට මුදල් තිබුනේ නැත. මේ ගැන දියණිය කණගාටුවෙන් සිටින විට අපගේ නිවසට යාබද නිවසේ වාසය කරන බතල වත්තේ ගෙදර මාලනී නම් අය විසින් (දු.ක. 0764974582) , ඕමානයේ සිටින ඇයගේ මව වන සෝමා (ඇගේ වාසගම නොදනී) හරහා මාගේ දියණිය ඕමානයේ රැකියාවකට යැවිය හැකි බවත් අපට පවසා සිටියාය. මාලනීගේ මව සෑහෙන කාලයක සිට පිට රටක රැකියාවක් කරන බව අප හොඳින් දන්නා නිසාත්,මාලනීගේ පවුල අපේ ලඟම අසල්වැසියන් නිසාත් සහ මාලනීගේ සැමියාගේ පවුලේ අය අපගේ ඥාතීන් නිසාත්, මාගේ දියණියට විදේශගත වීමට මාලනීගෙන් ලැබීමට යන උපකාරය ගැන සැක කිරීමට අපට කිසිදු හේතුවක් තිබුනේ නැත. මාලනීගේ මව විසින් අපේ ගම අවට තවත් ගැහැණු අයවලුන් 12 කට ආසන්න පිරිසක් දැනටමත් ඕමානයට ගෙන්වාගෙන ඇති බව මාලනී තවදුරටත් අප සමග කී විට අපි මුලුමනින්ම ඇයව විස්වාස කලෙමු.


මාගේ දියණිය ඉහත නම් සදහන් අල් හකීම් විදේශ රැකියා ඒජන්සිය හරහා විදේශ ගත වීමට මුලින් උත්සාහ කරන ලද බැවින්, ඒ පිළිඹඳ මූලික කටයුතු සිදු කිරීමට ඇගේ විදේශ ගමන් බලපත්‍රය ඔවුන් වෙත ලබා දී තිබුනි. පසුව අප මාලනීගේ සහායෙන් විදේශගත වීමට තීරණය කල බැවින් ඒජන්සියෙන් විදේශ ගමන් බලපත්‍රය නැවත ඉල්ලා සිටියෙමු. ඒජන්සිය විසින් දියණිය රට යැවීම වෙනුවෙන් දැනටමත් ලිපි ලේඛන යම් පමණක් සකස් කර අවසාන යයි පවසා ඒ සදහා ඒජන්සියට වැය වූ මුදල් ලෙස ශ්‍රී ලංකා මුදලින් රුපියල් 20,000.00 ක මුදලක් අපගෙන් ඉල්ලා සිටින ලදී. මාලනීට ඒ බව දැන්වූ විට, මාලනී මගේ දියණිය අල් හකීම් ඒජන්සියට කැඳවාගෙන ගොස්, මාලනීගේ පෞද්ගලික මුදලින් රුපියල් 20,000.00 ක මුදලක් දියණිය ඉදිරිපිටම ඒජන්සියට ගෙවා දියණියගේ විදේශ ගමන් බලපත්‍රය ඇය වෙත ලබා ගත්තාය. ඒ, මට මතක අයුරින්, වර්ශ 2022 නොවැම්බර් මාසයේදී ය. ඉන් පසුව ඇය මාගේ දියණියගේ ඡායාරූප ඕමානයේ  ඇගේ මව වෙත යවා මාගේ දියණියට ඕමානය වෙත යාමට වීසා සහ ටිකට් ලබා ගත්තාය.ඒවා නීත්‍යානුකූල රැකියා වීසා බව මාලනී සහ ඇගේ සැමියා විසින් අපට දන්වා සිටි අතර,අප ඒවා විස්වාස කලෙමු. 


ඉන් පසුව, දියණියගේ වියදම් සඳහා ශ්‍රී ලංකා මුදලින් තවත් රුපියල් 25,000.00 ක් අප විසින් මාලනීගෙන් ඉල්ලා ගත් අතර, මාලනී විසින් දි‍යණියගේ විදේශ ගමන් බලපත්‍රය නැවත ලබා ගැනීමට වියදම් කල රුපියල් 20,000.00 ක මුදලද සමග අප විසින් මාලනීට නැවත ගෙවිය යුතු මුලු මුදල රුපියල් 45,000.00 ක් වේ. දියණියගේ විදේශගත වීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් අපට ලබා දෙන බවට මාලනී අපට පොරාන්දු වූ අතර, අපට ඒ ලැබීමට නියමිත මුදලින් අප විසින් මාලනීට දැනට ගෙවීමට ඇති රැපියල් 45,000.00 හේ මුදල අඩු කර, ඉතිරි මුදල් දියණිය රැකියාව ලබා ගත් පසුව, ඇගේ දෙමවුපියන් වන අපට ලබා දෙන බවට පොරොන්දු විය. නමුත් මේ වන තුරුත් කිසිදු මුදලක් අපට ලබා දී නොමැත.


දියණියව ගුවන් තොටුපල වෙත රැගෙන යාමට කාන්තාවක් සහ පිරිමියෙක් පැමිණි අතර,ඔවුන්ගේ නම් අප නොදනී.එහෙත් ඔවුන් දියණිය ගුවන් තොටුපල තුලට ගිය ව්ට දියණියට කතා කර ඇත්තේ 0773611816 සහ   0770323844 දුරකථන අංක වලිනි.

වර්ෂ 2023 ජනවාරි 10 වන දින පෙ.ව. 5 ට මාගේ දියණිය සලාම් එයාර් සමාගමට අයත් 93 ELFP ගුවන් යානයෙන් ඕමාන් බලා පිටත් ව යන ලදී. මාගේ දියණිය බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලින් ඕමානයේ මස්කට් ගුවන් තොටුපලට ගොස්, එතනින් නැවත සලාම් ගුවන් සමාගමේ ම තවත් ගුවන් යානයකින් ඕමානයේ සලාලා ගුවන් තොටුපලෙන් ඕමානයට ගොස් තිබේ. එහිදී මාලනීගේ අම්මා විසින් මාගේ දියණියව භාරගෙන, ඇගේ නිවස වෙත රැගෙන ගොස් දින පහක් නතර කරගෙන සිට, ඕමානයේ වාසය කරන කාන්තී නම් කාන්තාවට භාර දී තිබේ. කාන්තී විසින් ඇගේ නිවසේ දින හතරක් පමණ මාගේ දියණිය නවත්වාගෙන සිට, එතනින් ඕමානයේ ඒජන්සියකට (ඒජන්සියේ නම නොදනී) භාර දී තිබේ. එම ඒජන්සියෙන් මාගේ දියණියව ගෘහ සේවිකාවක් ලෙස ඇගේ රැකියාව ආරම්භ කිරීම සදහා නිවසකට භාර දී තිබේ. එම නිවස තට්ටු තුනකින් යුතු මහල් නිවසක් වන අතර එම නිවසේ පවුලේ අය හත් දෙනෙක් වාසය කරයි. මාගේ දියණිය එම නිවසේ 2023 ජනවාරි 17 සිට පෙබරවාරි 09 වන දින දක්වා ගෘහ සේවිකාවක් ලෙස සේවය කර තිබේ. එම නිවසේ වැඩ අධික බව හේතුවෙන් මාගේ දියණියට එතැනින් ඉවත් වීමට අවශ්‍ය විය. ඒ බැව් නිවැසියන්ට දැන්වූ වට, නිවැසියන් විසින් ඕමාන් රියාල් 80 ක් මාගේ දියණියට ගෙවා, දියණිය නැවත පෙර ඒජන්සියටම භාරදී තිබේ. ඒජන්සිය මගින් මාගේ දියණියව නැවත කාන්තී නම් අයට භාරදී තිබේ.කාන්තී විසින් නැවත මාගේ දියණිය ඇගේ නිවසේ දවස් හතරක් පමණ නවතාගෙන සිට, වර්ෂ 2023 පෙබරවාරි 21 දින මගේ දියණියව ඇය දැන් සිටින නිවසට භාර දී තිබේ. ඔවුන් දියණියගේ රැකියාව වෙනුවෙන් පොරොන්දු වී ඇති මුදල ඕමාන රියාල් 120 කි. එම වසරේ මාර්තු මාසයේ මාගේ දියණියගේ  පළමු මාසික පඩිය ගෙවීමට නියමිත දිනයේ දී එම පඩි මුදල බලා නොදෙන ලදී. පඩිය දිය යුතු වූ දිනය කල් උකුත් වී තවත් දින කිහිපයක් ගත වුවද තවදුරටත් පඩිය ලබා නොදුන් බැවින් මාගේ දියණිය ඒ පිළිඹඳව හෙහිමියාට මතක් කල විට, ඔහු විසින් මාගේ දියණියට පහර දී තිබේ. කෙසේ වෙතත් පසුව ඔහු මාගේ දියණියගේ වැටුපෙන් රියාල් අසූවක් ඇයට ලබා දී තිබේ. එතැන් පටන් මේ වන තුරුත් මාගේ දියණිය එම නිවසේ රැකියාව කරමින් සිටී. පඩි පිළිඹදව විමසීමට යාමෙන් නැවත ගෙහිමියාගෙන් පහර කෑමට ඇති බිය නිසා මාගේ දියණිය ඉන් පසුව කිසි විටක ඇගේ පඩි මුදල් පිළිඹඳව ගෙමිහියාගෙන් විමසීමක් කර නැත. ඒ වෙනුවට, මාගේ දියණිය මේ පිළිඹඳව කාන්තීට පවසා විසදුමක් ඉල්ලා තිබේ. කාන්තී මාගේ දියණියට විසඳුමක් ලබා දීම පමා කරන විට මාගේ දියණිය දිගින් දිගටම කීප විටක් ප්‍රශ්ණය විසදා දෙන ලෙස ඇවිටිලි කීරීමට පටන් ගත් විට ඇය මාගේ දියණියට නොයෙක් ආකාරයෙන් තර්ජනය කර තිබේ.

 

අවසානයේ දියණියට නැවත ලංකාවට ඒමට අවශ්‍ය බව කාන්තීට කී විට, ආපසු ලංකාවට යාමට අවශ්‍යනම් කාන්තීට ලක්ෂ හතරහමාරක් ගෙවන ලෙස කාන්තී දියණියට පවසා තිබේ. එතරම් විශාල මුදලක් සොයා ගැනීමට අපට හැකියාවත් නැත. අපි දැනටමත් ආර්ථික ප්‍රශ්ණ රැසකින් පීඩා විදිමින් සිටිමු.  මම රැකියාවක් නොකරන අතර, වයස අවුරුදු 13 ක් සහ වයස අවුරුදු 8 පුතුන් දෙදෙනාත්, මාගේ ස්වාමිපුරුෂයාගේ වයස 65 ක් වන මවත් බලා කියා ගනිමි. මාගේ ස්වාමිපුරුෂයා, මනන්නලෑ ගෙදර ප්‍රියන්ත, මාතලේ ඩයනා බිස්කට් කර්මාන්ත ශාලාවේ රියදුරෙක් ලෙස රැකියාව කරන ලද අතර, කොරෝනා කාලයේ සහ රටේ පසුගිය දවස්වල ඇතිවූ ආර්ථික ප්‍රශ්ණ නිසා ඔහුගේ රැකියාව අහිමි විය. කෙසේ හෝ මගේ සැමියා නැවත මේ දිනවල අස්ථිර රියදුරෙකු ලෙස රැකියාව ආරම්බ කරන ලද නමුත් ඔහුට ලබා දී ඇත්තේ මාසයකට දින 10 ක සේවා පැය ගණනකි. ඔහුගේ වැටුප නිවසේ කටයුතු වෙනුවෙන් පවා ඉතා අපහසුවෙන් සොයා ගන්නා තත්වයක් තුල මෙම කාන්තී විසින් ඉල්ලා සිටින ලක්ෂ හතරහමාර අපහට ගෙවීමට කිසිදු ආකාරයක් නැත. මෙම මුලද සොයා ගැනීමට අපට ඇති එකම විකල්පය අප ජීවත් වෙන ඉඩම විකිණීම පමණි. එසේ කලහොත් අප පවුලේ සියලු දෙනාට ජීවත් වීමට තැනක් අහිමිව පාරට වැටෙන තත්වයකට මූණ පෑමට සිදුවේ.


මෙම කාන්තීගේ මුදල් ඉල්ලීම ගැන කිසියම් සහනයක් අපට සලසා දීමට මැදිහත් වෙන ලෙස මාලනීගෙන් ඉල්ලා සිටි විට, ඇය පවසන්නේත් දියණිය ආපසු ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍යනම් ලක්ෂ හතර හමාරක් සොයාගන්නා ලෙසත්, එසේ නොමැතිනම් පොලීසියට ගොස් පැමිණිළි කරන ලෙසත්ය.


මාලනී සහ ඇගේ මව වන සෝමා අපට දියණිය රට ගිය පසුව ලබා දෙනවා යයි පොරොන්දු වූ, මුලින් සදහන් කරන ලද, ලක්ෂයක මුදල පවා අපට මේ වන තුරු ලබා දී නොමැත. එබැවින් දියණිය ඕමානයට යැවීම වෙනුවෙන් අප විසින් ලබා ගත් හතලිස් පන්දහසක මුදලත් අපට මාලනීට නැවත ගෙවීමට හැකියාවක් නැත.


මාගේ දියණියගේ විදේශ ගමන් බලපත්‍රය ඇයට ලබා නොදී ඇති අතර, එය කවුරුන් ලග තිබෙනවාදැයි මේ වනතුරු අප නොදනී. කාන්තී විසින් එය ඇගේ භාරයේ තබාගෙන සිටිනවා හෝ ඕමානයේ ඒජන්සිය භාරයේ තිබෙනවා වන්නට පුලුවන. දියණිය සිටින ස්ථානයේ ලිපිනය පවා ඇය දන්නේ නැත. නමුත් අප දන්නා වෙනත් කෙනෙකු හරහා අප ඇය ඉන්නා ස්ථානය ගූගල් හරහා සොයා ගන්නා ලදී. ඒත් එම ස්ථානයේ නිවැරදි ලිපිනය දන්නේ නැත.

මම මේ සියල්ල පිළිඹදව විදේශ අමාත්‍යාංශයට 06.06.2023 දින පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් (File no. FA/CONS/Rep/Oman/N/23/90) මාගේ දියණිය නැවත ලංකාවට ගෙන්වා දීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටියෙමි. ඒ අනුව  විදේශ අමාත්‍යාංශය විසින් නිවසේ හිමිකරුවන් සම්බන්ධ කරගෙන දියණිගේ ගැටලුව පිළිඹඳව විමසා තිබේ.


මාගේ දියණියව විද්ශ ගත කර ඇත්තේ Visit/tourist visa වලින් බවත් ඇයව SLBFE හි ලියාපදිංචි කර නැතිව එම නිවසේ රැකියාවට යොමු කරවා ඇති බව අප එහිදී දැන ගතිමු. නිවසේ හිමිකරුවන් විසින් මාගේ දියණියට මාර්තු, අප්‍රේල් සහ මැයි මාස වලට පඩි ගෙවූ බවට දියණිය අත්සන් කළ ලිපියක් විදේශ අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබේ.‍ තවද දියණියව එම නිවසට ලබා දුන් නියෝජිතයාට ඔමාන් රියාල් 1540 ක් (ශ්‍රී ලංකා රුපියල් වලින් ලක්ෂ 12 කට ආසන්න) මුදලක් ගෙවා ඇති බවද දැනුම් දී ඇති අතර එම නිවසේ දියණියගේ සේවය අවසන් කිරීමට නම් එම මුදල නිවසේ හිමිකරුවන්ට ගෙවිය යුතු බවත් දන්වා තිබේ.


විදේශසේවා ආයතනයට කරන ලද පැමිණිල්ලේ රිසිට්පත මේ සමග අමුනා ඇති අතර,අපව නොමග යවමින් නීති විරෝධී ලෙස මාගේ දියණිය ඕමානයට ගෙන්වාගෙන, ඕමානයේ නිවසකට විකුණා,ඒ හරහා ලංකාවේ තැරව්කාරිය සහ ඕමාන් රැකියා නියෝජිතයා ලබා ගත් මුදල් එම නිවසේ හිමිකරුට නැවත ගෙවා, එම නිවසේ දියණියගේ සේවය අවසන් කර දීමට කටයුතු කර දෙන මෙන් ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිමි.

අවශ්‍යනම් මේ පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇති මිනිස් ජාවාරම් වැලැක්වීමේ කාර්‍ය බලකාය දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටිමි.

ස්තූතී.

මීට,
මනන්නලෑ ගෙදර ශාන්ති ප්‍රදීපා ප්‍රියන්ගනී.
පන්සල පාර,
ගුරු බැබිල,
මැටි හක්ක,
මාතලේ.

 

@ඉවෝන් ප්‍රියංකා