SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • වැඩිවන වැට් බදු නිසා පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් බදු වලට එරෙහි වෙමු.
  • ඖෂධ ගෙන්වීමේ දූෂණය සම්බන්ධයෙන් කෙහෙලියගෙන්  ප්‍රශ්න කළ යුතුයි.

 

  • පැන්ඩෝරා පේපර්ස්වල නම තියන ටිරාන් අලස් ගැන වහාම පරීක්ෂණයක් සිදු නොකරන්නේ ඇයි.?

 

මහා පරිමාණයෙන් රටට අයවිය යුතු බදු අය නොකොට වැට් බදු ජනවාරි මස සිට වැඩි කොට සාමාන්‍ය ජනතාව අපහසුතාවට පත් කිරීමට විරෝධය පාමින් අද සවස (20) එක්සත් ජනරජ පෙරමුණ මාධ්‍ය හමුවක් පැවැත්වීය.

 

එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක සුමේධ රත්නායක එම මාධ්‍ය හමුවට එක්වෙමින්  ඉදිරි වර්ෂය සැමට ජීවත් වීමට අපහසු වන කාළයක්,..මෙන්ම ඉදිරි වසරේ මැතිවරණ එකක් හෝ කිහිපයක් පැවැත්වීමටත් සිදුවෙන වසරක් බව ප්‍රකාශ කළේය.

 

WhatsApp Image 2023 12 20 at 18.01.08

 

විදුලිබල පනත මගින් ව්‍යාපෘති පිළිබඳ තීන්දු ගැනීම, ජනනය පිළිබඳ තීන්දු කරගැනීම ඇතුළු සියලුම දේ අමාත්‍යවරයා යටතට ගෙන ඇති බව සඳහන් කළ ඒ මහතා සූර්ය බල ශක්තියෙන් යාපනයේ ආරම්භ කරන විදුලි උත්පාදනය සඳහා එම ආයතනය අප හට විදුලි ඒකකයක් අලෙවි කරනුයේ ඩොලර් සත 15කට බවත් එම ආයතනයම ඉන්දියාවට විදුලි ඒකකයක් අලෙවි කරනුයේ ඩොලර් සත පහකට බවත් පැවසූවේය. එහිදී අප රටට ඩොලර් සත 10ක් වැඩිපුර එම ඉන්දීය සමාගමට ගෙවීමට සිදුවීමම ගැටලුවක් බව ඔහු ප්‍රකාශ කළේය.

 

නව පනත සම්මත වුවහොත් දැනට වඩා විශාල අර්බුදයකට විදුලිය සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට මුහුණ දීමට සිදුවන බව ද පැවසූ ඒ මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට මෙසේ පිළිතුරු දුන්නේය.

 

ප්‍රශ්නය

මේ දවස්වල වැට් බදු ඉහළ දැමීමත් එක්ක හැම දෙයක්ම වගේ බිත්තර මිළත් ඉහළ යනවා...බිත්තර නැවක් මේ වෙද්දී කොළඹ වරායට ඇවිල්ලා තියෙනවා..බිත්තර නැව ආවා විතරයි මෙහේ බිත්තර මිල අඩු කරනවා...එහෙම වෙන්නේ කොහොමද ?

 

පිළිතුර

බිත්තර නිෂ්පාදකයින් වෙළෙඳපොළ ඒකාධිකාරයක් පවත්වා ගෙන යෑමට උත්සාහ දරනවා කියන එක ඕනෑම අයෙකුට පැහැදිලි කාරණාවක්නේ..කුඩු මාෆියාව වගේ බිත්තර මාෆියක් රට තුළ ක්‍රියාත්මක වෙනවා කියන එක ජනප්‍රිය දෙයක්.

ඉන්දියාවෙන් බිත්තර රුපියල් තිස්පහකට ගෙන්වනවා කියන එකෙන් ලංකාවේ දේශීය බිත්තර නිෂ්පාදකයින්ගේ කර්මාන්තයටත් හානියක් සිද්ධ වෙනවා. ඒක නිසා සාධාරණ මිලක් යටතේ මේ දේශීය ව්‍යාපාරිකයන්ට, බිත්තර විකිණීම සඳහා බලකරමින් රටේ බිත්තර කර්මාන්තය රැක ගැනීම සඳහාත් රජය පියවර ගතයුතුයි කියන එක තමයි අපේ අදහස. කර්මාන්තශාලාවන් මගින් හඳුන්වලා දීලා තිබෙන උෂ්ණත්වය පාලනය කිරීමේ ක්‍රමවේද නිසා ඉන්දියාවේ බිත්තර මිල අඩු වීමට එය ප්‍රධාන හේතුවක් බව චීනයේ ඒ සම්බන්ධ දැනුවත්භාවයක් තියෙන මහත්මයෙක් මා හට පුද්ගලිකව ප්‍රකාශ කළා.

 

අනිත් එක තමයි ඉන්දියාවේ විදුලි බිල අපිට වඩා ඉතාම අඩුයි. ඒ නිසා ලංකාවේදී මේ විදුලි බිලත් ඒ තුළ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා දරන්න වෙලා තියෙන වියදමත් වැඩියි. ඒ නිසා මේ සියලුම කරුණු සලකා බලා මිල නියම කිරීම කළ යුතුයි කියන එක තමයි අපි හිතන්නේ.

 

 

ප්‍රශ්නය

මේ දවස්වල රට ඇතුලේ  මත්ද්‍රව්‍ය අල්ලන ව්‍යාපෘතියක්  යනවා..ඔබතුමා හිතන්නේ ඒ වැඩේ සාර්ථකයිද? නැත්නම් මේක බොරුවට, චාටුවට කරන වැඩක්ද?

 

පිළිතුර

විශාල ප්‍රමාණයෙන් පොලීසිය, හමුදාව යොදවලා, යුක්තිය නමින් ක්‍රියාන්විතය කරගෙන යන ආකාරය අපිත් රූපවාහිනියෙන් දකිනවා.. ඒ දේවල් කරන්න දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පති වෙනකම්ම හිටියේ ඇයි කියන එකයි අපිට තියෙන ප්‍රශ්නය.

 

ඊයේ රෑ අංගොඩ ලොක්කගේ දහ දෙනෙක් අත්අඩංගුවට ගත්තා කියලා මම දැක්කා අද දවල් රූපවාහිනී ප්‍රවෘත්ති  වලට කියනවා. ඉතින් මේ ලැයිස්තු ළඟ තියාගෙන නිශ්ශබ්දව හිටියේ ඇයි කියන ගැටළුව අපිට එනවා. මත් කුඩු නිවාරණය, අවංක චේතනාවකින් කරනවා නම් හොඳයි. හැබැයි මේක මේ වැඩබලන පොලිස්පති, වැඩකරන පොලිස්පති බවට පත්වෙන්න කරන ක්‍රියාන්විතයක් පමණක් වෙනවනම් මං හිතන්නේ ඒක තේරුමක් නැති ක්‍රියාවලියක්.

 

ප්‍රශ්නය

පැන්ඩෝරා පේපර්ස් වල  ටිරාන් අලස් මහත්තයාගේ නම ලියවිලා තියෙනවා කියලා කියනවා..ඒ ගැන ඔබගේ මතය මොකක්ද.?

 

පිළිතුර

එක්සත් රාජධානියේ දේපල ලැයිස්තුවට අනුව ටිරාන් අලස් මහත්මාට බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්ස්වල තියෙන කොම්පැනි දෙකක් මගින් පවත්වාගෙන යන කොම්පැනි දෙකක් මගින් ලන්ඩන් වල නිවාස දෙකක හිමිකාරත්වය තියෙනවා කියලා. එකක් තියෙන්නේ ඔහුගේ අලස්  බ්‍රොන්ටන්  ප්‍රොපටීස් ලිමිටඩ් කියන කොම්පැනිය යටතේ. ඒක 2006 දි ඩොලර් නමලක්ෂ හැටදාහකට මිලදී ගෙන තියෙන්නේ. ඒ කියන්නේ වර්තමාන මිල ගත්තොත් රුපියල් මිලියන 300 ක් පමණ (කෝටි තිහක් පමණ) වෙනවා.

 

ඒ ගැන කිසිම ප්‍රසිද්ධ ප්‍රකාශයක් අලස් මහත්මා විසින් වත් රජය මගින්වත් කළේ නැහැ. අපි හිතනවා එක්සත් ජනරජ පෙරමුණ හැටියට මේ චෝදනාව එල්ල වෙලා තිබෙන්නේ රටේ මහජන ආරක්ෂක ඇමතිවරයාට නිසා රජය මේ ගැන ප්‍රකාශයක් කළ යුතුයි කියලා. ඒ වගේම ඒ  ගැන පරීක්ෂණයක් කළ යුතුයි. ඔහු ඒවා මිලට ගෙන තියෙන්නෙ නීත්‍යානුකූලව  උපදවාගෙන තිබෙන ධනය මගින් නම් මේවා මිලදී ගෙන තිබෙන්නේ එහෙම අපිට ඒ ගැන කිසිම දෙයක් කියන්න බැහැ.

 

නමුත් මේවා මිලදී ගෙන තියෙන්නේ තමන් සතු ධනය එළි නොකිරීමේ ක්‍රමවේදයකට සකසා ඇති ආයතනයකින්.ඒ නිසා ඒ ගැන වහාම පරීක්ෂණයක් කළ යුතුයි.

ප්‍රශ්නය

සෞඛ්‍ය ලේකම්වරයා අත්අඩංගුවට ගත්තා. ඒ එන්නත් ගෙන්විමේ සිද්ධියට සෞඛ්‍ය අමාත්‍යවරයා වගකියන්න ඕනේ නැද්ද?

 

පිළිතුර

මමත් රාජ්‍ය සේවයේ හිටිය නිලධාරියෙක්. රාජ්‍ය අංශයේ සිද්ධවෙන බොහෝ දූෂණ, මහා පරිමාණ දූෂණ. බොහෝ දේ සිදුවන්නේ දේශපාලන අනුග්‍රහයක් යටතේ දේශපාලකයින්ගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහායි. ඔය ඉමියුනෝලින් කියන ඖෂධය ගැන මුලින්ම රටට එළිදරවු කළේ මේ ස්ථානයේ දීම විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ. අපි නම් හිතනවා මේ පිළිබඳව මේ සෞඛ්‍ය ඇමතිවරයාගෙන්, හිටපු සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රශ්න කළ යුතුයි. ඔහුගේ තිබෙන සම්බන්ධතා ගැන හොයා බලා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි.

 

ප්‍රශ්නය

විදුලි බිල අඩු කරන්න යනවා කියන කතාවක් කියනවා.  මේ මොහොතේ කරන්න හැකියාවක් තියෙනවද?

 

පිළිතුර

“ජල විදුලිය මගින් නිපදවෙන විදුලිය සඳහා වැයවන වියදම නොසලකා හරිමින් තමයි රජය මේ පිළිබඳ තීන්දු අරගෙන තියෙන්නේ කියලා මම දැක්කා මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන්නුත් පවසලා තියෙනවා. පහුගිය කාලයේ පහුගිය මාසවලදී විදුලිබල මණ්ඩලය අධික ලාභයක් ලබමින් පවතිනවා කියලත් අසන්නට ලැබෙනවා. ඒ කියන්නේ මේක අනිවාර්යෙන්ම අඩු කළ හැකියි.

 

ඉන්දියානු ආයෝජකයෙක් සූර්ය බලයෙන් නිපදවන විදුලිය ඉන්දියාව තුළදී ඉන්දියානු රජය මගින් මිලදී ගන්නේ ඩොලර් සත පහකට..එත් එම ආයොජකයම මෙහේ ඩොලර් සත 15 කට අපිට අලෙවිකරන්න හදනවා. හයිවේ රොබරි කියලා මේ මහා මාර්ග, අධිවේගී මාර්ග හරහා සිද්ධ වෙච්ච හොරකම් ගැන මීට වඩා විශාල විශාල පරිමාණයේ හොරකමක් තමයි මේ විදුලි බලය ඩොලර් සත පහළවකට සූර්ය බලය ගන්නවා කියන එක.”

 

ඉදිරි වසර ඉතාම තීරණාත්මක වසරක් බවත්, ආණ්ඩුව ජනතාවට නව වසරට ත්‍යාගයක් විදියට ජනවාරී පළමුවනදා සිට 18% කින් වැට් බදු වැඩිකොට අත්‍යවශ්‍ය භාණ්ඩ වල පවා මිළ ඉහළ දමා ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශයේ ලේකම් තීක්ෂණ ගම්මන්පිල මෙම මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශ කළේය.

බදු ගෙවිය යුතු බදු අයවිය යුතු අයගෙන්  බදු අය නොකොට සෑම පුරවැසියෙකුටම බලපාන ආකාරයට රජය මේ ආකාරයෙන් බදු අය කිරීම සම්බ්න්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කළ තීක්ෂණ ගම්මන්පිල මහතා ලබන වසර මැතිවරණ වර්ෂයක් යැයි සඳහන් කළේය.

 

එක්සත් ජනරජ පෙරමුණේ නායක නායක පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පාර්ලිමේන්තු කමිටුවේ සභාපතිවරයා විදියට  රටේ දුක් විඳින සාමාන්‍ය ජනතාවගෙන් බදු අය නොකර බදු මුදල් එකතු කර ගැනීමට රජයට පෙන්වා දුන්නද රජය ඒ ගැන අවධානයක් යොමු නොකොට මහජනතාව තළාපෙළා දමමින් කටයුතු කරන බවද ඔහු පැවසීය. අපේ රටේ ජාතික ආදායමට මිලියන පන්සීයක් එකතු කිරීමට පාඨලී චම්පික රණවක සභාපතිත්වය දරන මේ පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කියන කමිටුවට අවස්ථාව ලැබුණ බව ද සඳහන් කළේය.

 

 

‘’පොලිස් ඇමති ටිරාන් අලස් ජනතා විමුක්ති පෙරමුණේ මුදල් ඔහු හරහා මෝල්ටාවේ ආයෝජනය කළා කියලා ජනතා විමුක්ති පෙරමුණත් එක්කම හිටපු කලින් හිටපු කණ්ඩායමක් වන පෙරටුගාමී පක්ෂයේ නායකයන් කියනවා අපි පත්තරවල නිව්ස්වලින් දැක්කා’’

 

මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්  ගැන බරපතළ හෙළිදරව්වක් ඔහු සිදු කළේය.

 

 

‘’අපිට මේ මෑතකදී අපිට අහන්න ලැබෙනවා මේ අයි සී අයි ජේ කියන එක.  මේ ජාත්‍යන්තර සංවිධානය අලුතෙන් එළි කිරීමක් කරනවා ලංකාවේ පොලිස් ඇමති, ඒ කියන්නේ ටිරාන් අලස් මහත්මයා ගැන.. ඔහු වර්තමාන ආණ්ඩුවේ රාජකාරී ගොඩක් කරන ඇමතිවරයෙක්. ඔහු එංගලන්තයේ ඔහු මුදල් වෙන මේ සමාගම්වල නමින් මුදල් ආයෝජනය කරලා මිලදී අරන් තියෙනවලු එංගලන්තේ දැවැන්ත සුපිරි ගණයේ නිවාස. එතකොට මේ අපි කල්පනා කරන්න ඕනේ, මේ රටේ අර දුක්වෙන ජනතාවගෙන් සල්ලි ගන්නවද? නැත්නම් මේ අන්තර්ජාතිකව මේ සංවිධාන මේ බොරු කියනවද කියලා.’’

 

 

මෙම මාධ්‍ය හමුව අමතමින් එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය නියෝජනය කරන චමුද ෆර්නෑන්ඩු අදහස් දක්වමින් කියා සිටියේ වර්තමාන ආණ්ඩුව ගෙන යන බදු ප්‍රතිපත්තිය හේතුවෙන් රටේ ජනතාව ආර්ථික පීඩනය දරා ගැනීමට නොහැකිව විශේෂඥ වෛද්‍යවරුන් තුන් සීයක් පමණත් සාමාන්‍ය වෛද්‍යවරු පන්සීයක් පමණත් රට හැර ගොස් ඇති බව ය.

 

ඒ හේතුව නිසා දැනටමත් රජයේ රෝහල් හතළිහක් පමණ වැසී ගොස් ඇති බවත් තවත් රෝහල් සියයක් පමණ වැසී යෑමේ තර්ජනයක පවතින බවත් පැවසීය.

 

තරුණයෙක් විදිහට රට තුළ සිටින තරුණ ප්‍රජාවට බොරු රැළි වලට සහ කයිවාරු වලට හසු නොවී  ප්‍රායෝගික වැඩ පිළිවෙළක් ඇති එක්සත් ජනරජ පෙරමුණත් සමග එකමුතුව එක්සත්ව ප්‍රයෝගික නායකයෙකුගේ නායකත්වය සමග රට ගොඩ නැගීමට එකතුවන ලෙස ඔහු රටේ තරුණ ප්‍රජාවට ආරාධනය කළේය

 

@මාධ්‍ය ඒකකය

නවතම ලිපි