SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සුදත් චන්ද්‍රසේකර වූ කලී එජාපයේ තිරය පිටුපස ප්‍රබල චරිතයකි. රනිල් වික්‍රමසිංහ සමග වසර හතලිහකට වැඩි සමීප ඇසුරක් තිබෙන ඔහු රනිල්ගේ ආරක්ෂාව භාරව සිටි පොලිස් නිලධාරියකුද විය.

මේ දිනවල ඔහු ගැන කතා බහක් ඇති වූයේ හිටපු ක්‍රීඩා ඇමැති ඔහුට කළ චෝදනාවක් නිසාය. ඒ ගැන සතිඅග අරුණ සමග කළ සාකච්ඡාවකි මේ.

 

 

ඔබ කොහොමද රනිල් වික්‍රමසිංහ හඳුනා ගත්තේ?

 

1977 වන විට මම පාසල් ශිෂ්‍යයෙක්. ඒ කාලේ එක්සත් ජාතික පක්ෂයේ තිබුණා තරුණ සංවිධානයක්. මම පාසල් ශිෂ්‍යයෙක් විදිහට ඒ තරුණ ව්‍යාපාරයට සම්බන්ධ වුණා. එහිදී අපි 1977 දී බියගම මහා මැතිවරණයට සම්බන්ධ වෙලා තමයි මුලින්ම මම එතුමා හඳුනා ගන්නේ. 

 

ඒ සම්බන්ධතාව කොපමණ කාලයක් පැවතුනාද?

 

අද වෙනකම්ම තියෙනවා.

 

නමුත් අපිට මතකයි. එක්තරා අවස්ථාවකදී ඔබ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරලා එජාපයෙන් හා රනිල් වික්‍රමසිංහගෙන් අයින් වෙනවා?

 

ඔව් 2018දී . එතැනදී මට එතුමා එක්ක පුද්ගලික ප්‍රශ්නයක් තිබුණේ නෑ, මම තමයි එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බළකාය පිහිටුවලා එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා විදිහට ලංකාවේ සෑම මැතිවරණ කොට්ඨාසයකම, සෑම ඡන්ද මධ්‍යස්ථානයකම සන්නිවේදන ශාඛා පිහිටුවන්න සහභාගි වුණේ. ඒ අවස්ථාවේදී අපි පොරොන්දුවක් වුණා, එජාප ක්‍රියාකාරී සභාපති ලේකම්වරුන්ගේ පවුලේ යම් අයකුට, ආණ්ඩුවක් ගත්ත වහාම රැකියාවක් දෙනවා කියලා. ඒ අනුව මම රැකියාවන් 12,000ක් ඉල්ලලා තිබුණා ඡන්දපොළ මධ්‍යස්ථාන 12,000ට. නමුත් 2015 ආණ්ඩුව අරගෙන 2018 වෙනකං බලන් හිටියා මට අවස්ථාවක් ලැබුණේ නෑ කිසිම කෙනකුට රැකියාවක් දෙන්න. ඉතිං මම අසරණ වුණා. ඒ නිසා තමයි මම ඉල්ලා අස්වුණේ. 

 

එතකොට නැවතත් මේ සම්බන්ධතාව ගොඩ නැගුනේ කොහොමද?

 

2019 ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වුණේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. මම එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විදිහට ක්‍රියා කළා. ඒ අනුව නැවතත් පක්ෂයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. 

 

සුදත් චන්ද්‍රසේකර ගැන කතා කරනකොට බටලන්ද අමතක කරලා යන්න බෑ, ඒ කාලේ ඔබ බටලන්ද පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිද?

 

ඒ අවස්ථාවේදී මම ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආරක්ෂක අංශයේ ස්ථානාධිපති ලෙසයි රාජකාරි කළේ. 

 

එතකොට බටලන්ද වධකාගාරය පිළිබඳ පැතිර ගිය කතා යුක්ති සහගතද?

 

එතැන ඇතිවුණේ දේශපාලන ප්‍රශ්නයක්. බටලන්ද වධකාගාරයක් කියලා විපක්ෂයෙන් විශාල ප්‍රචාරයක් අරගෙන ගියා. ඒකාලේ ඔය ඉඩම අයත් වෙලා තිබුණේ ජාතික පොහොර සංස්ථාවට. එහි තිබුණ නිවාස සංකිර්ණයට තමයි ඔය බටලන්ද කියලා කියන්නේ. ඒ කාලේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ බියගම මැතිවරණ කොට්ඨාසයේ වැඩවලට යනකොට සති අන්තය ගත කළේ ඔය නිවාස සංකීර්ණයේ තිබුණු නිවෙසක. ඒ හැර ඔය කියන වධකාගාරයක් එහි තිබුණේ නෑ, චන්ද්‍රිකා ජනාධිපතිනිය ඔය බටලන්ද ගැන කොමිසමක් පවා දාලා හෙව්වා. අවසානයේ අපි සියලු දෙනා ඒ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කළා. 

 

එතකොට කොයි කාලෙදී ද ඔබ පාතාලයත් එක්ක සම්බන්ධ වුණේ? 

 

මට පාතලේ එක්ක එහෙම විශේෂ සම්බන්ධයක් කවදාවත් තිබුණේ නෑ, 

 

නෑ මම එහෙම අහන්නේ. අපිට මතකයි හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඔබට පාර්ලිමේන්තුවේදී චෝදනා කළා. ඔබ ඔහු ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරනවා කියලා? ඔබ එවැනි ඝාතකයෙක්ද?

 

මම ඝාතකයෙක් කියනවා නං ඒක වැරදියි. ඒත් ඉතිං සාමාන්‍යයෙන් ඝාතකයෙක් කිය කියා කරන්නෙත් නෑ . කරලා කියන්නෙත් නෑ, නමුත් මම නං එහෙම ප්‍රකාශයන් කවදාවත් කරලා නෑ. ඕක දේශපාලන වාසි ගන්න කරපු ප්‍රකාශයක්. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීපු හඬ පටයේ කිසිම තැනක රොෂාන් කියලාවත්, ඇමැති කියලාවත්, රණසිංහ කියලාවත් කිසිම තැනක නෑ, 

 

ඔබ ඒ හඬ පටයේදී කියනවා නේද මම ඕකට ගහලා දානවා කියලා?

 

කාටද කියලා නෑනේ. නයෙක් ඇවිල්ලා මම නයාට ගහනවා කියලා කිව්වා. වැරදිද? ඉතිං මම බලාපොරොත්තු වුණේ නෑ මේවා සමාජ ගත කරන්න. ඒක සදාචාරාත්මක නෑ. අපි එකට ඉඳලා, එකට රැකියාව කරලා, එකට කාලා බීලා මට අද මේ හෙළි දරව්ව කරන්න වීම ගැන මම හදවතින්ම කනගාටු වෙනවා. නමුත් මාව මෙතැනට තල්ලු කළේ රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයා. 

 

ඉතිං එකට කාලා බීල නටල ගයලා හිටපු පැණිවරකා ගහට හෙණ ගහන්න ආසන්තම හේතුව වුණේ මොකද්ද? රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී කිව්වා සුදත් චන්ද්‍රෙස්කර තමයි මට දේශපාලනයට එන්න ආරාධනා කළේ කියලා?

 

ඒක සම්පූර්ණ ඇත්ත. එතුමාගේ පියා උග්‍ර එජාප පාක්ෂිකයෙක්. ඔහු ගාමිණී දිසානායකව දෙයියෙක් විදිහට ඇදහුවා. මොකද එයාලට මහවැලි ඉඩම් ලැබිලා තමයි පොළොන්නරුවේ පදිංචියට යන්නේ. ඔවුන් ඔය මහවැලි ජනපද ව්‍යාපාරයේ මුල් පදිංචි කාරයෝ. ඉතිං අපි 94 ඡන්දේ පැරදිලා විපක්ෂයට වැටුණ කාලේ රොෂාන්ගේ තාත්තා දවසක් මට කිව්වා ‘‘මගේ පුතත් ඉන්නවා ඔබතුමාට සම්බන්ධ කරන්න ආසයි. එක්ක එන්නද?’’ කියලා ඇහුවා. ඒ විදිහට තමයි රොෂාන් මාව මුණ ගැසෙන්නේ.

 

පියා එජාප උග්‍රපාක්ෂිකයෙක් වුණාට අපි දන්න විදිහට රොෂාන් රණසිංහ දේශපාලනේට ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්? 

 

නෑ.. ඒක වැරදියි. රොෂාන් දවසක් මට ඇවිල්ලා කිව්වා ‘‘අයියේ මට දේශපාලනේ කරන්න ඕන‘‘ කියලා. මම කිව්වා. ‘‘ මල්ලි දේශපාලනේ කරනවා නං පළමුවැනි දේ ගෙදර කැමැත්ත තියෙන්න ඕන‘‘ මම එයාගේ බිරියගෙන් ඇහුවා‘‘ නංගි කැමැතිද මෙයා දේශපාලනේ කරනවාට‘‘ කියලා.‘‘ අනේ අයියේ මම නං කැමැති නෑ‘‘ කිව්ව. ඉතිං පළමුවැනි පරීක්ෂණයෙන්ම එයා අසමත්. මම කිව්වා.‘‘ මල්ලි දේශපාලනේ කරන්න ඕන නං මුලින්ම ගෙදර කැමැති කරගෙන එන්න‘‘ කියලා. ඊට පස්සේ සති දෙකකට පස්සේ රොෂාන් ඇවිත් කිව්වා ‘‘අයියේ දිනූෂා කැමැතියි. මට අවස්ථාව දෙන්න’’. කියලා. ඒ වගේම මට කිව්වා ‘‘මගේ වෙලාවත් හොඳයි’’ කියලා.

 

වෙලාව හොඳයි කිව්වාට ඒ කාලේ වෙනකොට ඔය රාජයෝග කතාව මා දන්නේ නෑ? පස්සේ මම මෙයාට කිව්වා එහෙනං ඒකත් සහ සුද්දෙන්ම දැනගමු කියලා එක්කගෙන ගියා චන්ද්‍රසිරි බණ්ඩාර කියන දෛවඥයා ගාවට. චන්ද්‍රසිරි බණ්ඩාර විනාඩි 15ක් විතර මෙයාගේ හඳහන බලලා තුෂ්නිම්භූත වෙලා බලාගෙන හිටියා රොෂාන් දිහා. මම ඇහුවා මොකද කියලා. එතකොට රොෂාන්ට කිව්වා ‘‘ කොල්ලෝ උඹ මෙතැන ඉන්න ඕන එකෙක් නෙවෙයි‘‘ කියලා. මම ඇහුවා මොකද්ද ඒකේ තේරුම කියාල. ‘‘මෙයාට රාජ යෝගයක් තියෙනවා. මෙයා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යනව‘‘පස්සේ රොෂාන් කිව්වා මගේ වෙලාවත් හොඳනං ගෙදරිනුත් කැමැති නම් මට අවස්ථාවක් අරන් දෙන්න කියලා. පස්සේ මම රනිල් වික්‍රමසිංහ නායක තුමාට කිව්වා ‘‘ සර් රොෂාන් පොළොන්නරුවෙන් ඡන්දෙ ඉල්ලන්න ඉල්ලනවා, තරුණයෙක්, ව්‍යාපාරිකයෙක් අපි අවස්ථාවක් දෙමු‘‘ කියලා. ඉතිං නායකතුමා ඔහුව පොළොන්නරුවට දාන්න කිව්වා. ඒ අනුව මම පොළොන්නරුව සංවිධායක කියලා පත්වීමේ ලියුම ගැහුවා. ඒ අවස්ථාවේ දිස්ත්‍රික් සංවිධායක හිටියේ අර්ල් ගුණසේකර මහත්තයා. මම මේ ගැන එතුමා දැනුවත් කළේ නෑ, ඒක මගෙන් වෙච්ච ලොකු වරදක්. අර්ල් ගුණසේකර පහුවදා කිව්වා රොෂාන් දැම්මොත් මම ඉල්ලා අස්වෙනවා කියලා. පස්සේ නායකතුමා කිව්වා මේ අවස්ථාවේ මට වැඩියෙන් වටින්නේ අර්ල් ගුණසේකර. ඒ නිසා රොෂාන්ට මාතලේ ලග්ගල ආසනේ දෙන්න කියලා. නමුත් රොෂාන් ඒකට කැමැති වුණේ නෑ. පස්සේ තමයි එයා පොදුජන එක්සත් පෙරමුණ හා සම්බන්ධ වෙන්නේ. ඒ යන්න කලින් මම එයාට ඡන්දේ කරන්න පසු බිම හැදුවා පොළොන්නරුවේ. ඒකත් එක්ක මෙයාට පළමුවැනි අවස්ථාවේදීම හැකියාව ලැබුණා පාර්ලිමේන්තුවට යන්න. 

 

ඔබ හා ඔහු අතර සමීප සම්බන්ධතාවක් ඇති බව ඔහු පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකිනුත් තහවුරු වෙනවා. ඔහු කියනවා ‘‘ මගේ දීර්ඝ කාලීන මිත්‍රයා සුදත් චන්ද්‍රසේකර. ක්‍රිකට් ආයතනය විසින් ඉස්සුවා‘‘ කියලා. ඒක ඇත්තද?

 

මාව නං කවුරුවත් ඉස්සුවේ නෑ. මාව කාටවත් මිලදී ගන්නත් බෑ. එහෙම වුණානං මම අද මෙතැන නෙවෙයි ඉන්නේ, මට තිබුණු බලයයි, සමාජ පිළිගැනීමයි එක්ක. මම අදටත් ඉන්නේ කුලී ගෙදරක. මම කවදාවත් මුදල් පසු පස ගියේ නෑ. මගේ අත් දෙක පිරිසුදුයි. 

 

@aruna

 

නවතම ලිපි