SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විපක්ෂයට බලය ලබා ගැනීමට හැකි හොඳම මාර්ගය ආණ්ඩුව සමඟ එක්වීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

ආණ්ඩුව සමඟ කටයුතු කර ලබා ගන්නා පළපුරුද්ද අනුව ඊළඟ මැතිවරණයකදී ආණ්ඩු බලය ලබා ගැනීමට ඔවුන්ට උත්සාහ කළ හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කරයි. රට ගොඩනඟන්නේ අප වෙනුවෙන් නොව අනාගත පරපුර වෙනුවෙන් බව කියන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂය සිතන්නේ තමන් ගැන පමණක් බවට චෝදනා කර ඇත.

 

මේ අතර සතිඅන්ත දේශය පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මඑරික්කාර් පවසා ඇත්තේ ආණ්ඩුවේ ගොට්ටන්ට ඔීනෑ විදිහට විපක්ෂය නොහැසිරෙන බවය. ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ පොහොට්ටුවේ අය නොදන්නවා උනත් තමන් රනිල් වික්‍රමසිංහ සමග වසර 20ක් පමණ වැඩකර ඇති බවත් ඔහු දකින හීන කියන බොරු ගැන හොඳින් දන්නා  බවත්ය.

 

ගයාන් ගාල්ලගේ මරික්කාර් මන්ත්‍රීවරයා සමග සිදු කළ සාකච්ඡාව පහත පළවේ.

  • මහින්ද මහත්තයා කට්ටිය ගත්තේ නම්බර්ස් බලලයි
  • රනිල් මහත්තයා දකින හීන - කියන බොරු අපි දන්නවා
  • අයවැයේ යෝජනා පට්ටපල් බොරු

 

Q අපි දැක්කා එදා පාර්ලිමේන්තුව ඇතුළේ විපක්ෂ නායකතුමාට ලොකු බාධා කිරීමක් ආණ්ඩුව පැත්තෙ මන්ත්‍රීවරුන්ගෙන් ආවා. ඔවුන් කිව්වෙ මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු පිරිසට ලබා දුන්න නඩු තීන්දුවෙන් දේශපාලන වාසි ලබාගන්න උත්සාහ කරනවා කියලා විපක්ෂය. ඇත්තටම එහෙම දේශපාලන වාසි ලබාගන්න උත්සාහ කිරීමක්ද ඒ කළේ?

 

යුද්දෙ දින්නා කියලා රට බංකොළොත් කරන්න කිසිම අයිතියක් නෑ. කැලයක කාන්තාවක් අතරමං වුණාම ඒ කාන්තාව බේරගත්තා කියලා ඒ බේරගත්ත කෙනාව දූෂණය කරන්න කිසිම අයිතියක් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දීලා තියෙන්නෙ මූලික අයිතිවාසිකම් පෙත්සමකින්. ඒකෙ ඊළඟ පියවර තමයි ජනාධිපතිවරයා කොමිසමක් පත් කරලා විභාග කරලා අදාළ චූදිතයන්ට අපරාධ නඩු දාන එක. මේ රටේ මිලියන 22ක් මිනිස්සු රට බංකොළොත් වීම වෙනුවෙන් අරගල කරලා රට අගාධයට වැටෙන එකෙන් බේරගත්තෙ බොහොම අමාරුවෙන්. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පිළිබිඹු වෙන්නෙ ජනතා අරගලය. ජනතාව මේ මොහොතේ ආර්ථික අවුලෙන් මිරිකෙනවා වගේම මේ තත්ත්වය ඇති කරපු අයට දඬුවම් දෙන එක තමයි ඒ අයගේ බලාපොරොත්තුව. 2015 දි මිනිස්සු කිව්වෙත් ඒකමයි. ඒක නොකරපු නිසා තමයි ආර්ථිකය කඩා වැටුණෙ. ජනතාවගේ හඬ නියෝජනය කරන එක තමයි විපක්ෂයේ වගකීම. ආණ්ඩුවේ ගොට්ටන්ට ඕනෑ විදිහට විපක්ෂය හැසිරෙන්නෙ නෑ. 

 

 

Q දැන් ඔබලා කියනවා වැරදි කරපු අයට දඬුවම් දෙන්න ඕනෑ කියලා. නමුත් 2015 ආණ්ඩුව ගන්න වෙලාවෙ කිව්වෙත් ඔය කතාවමයි. අන්තිමේ දෙගොල්ලො එකතු වුණා. අල්ලපු හොරෙකුත් නෑ, කරපු දේකුත් නෑ, ආණ්ඩුවත් නැති වුණා?

 

ඇත්ත වශයෙන්ම රටේ ජනතාව වෙනස්වෙලා තියෙනවා සහ වෙනස් දෙයක් බලාපොරොත්තු වෙලා තියෙනවා. නොදන්න දේශපාලනඥයන්ට හරි දේශපාලන පක්ෂවලට හරි කිසිම අනාගතයක් නැහැ. අපි 2015 ඡන්දය ඉල්ලුවෙ ඒ නායකයන් ගැන ලොකු විශ්වාසයක් තියලා. ඔව් ඔබ හරි. අන්තිමට ඒ ආණ්ඩුව කිව්ව දේවල් එකක්වත් කළේ නෑ. අවසාන මොහොතේ ආණ්ඩුවත් නැතුව ගියා. අපි දිගින් දිගටම කිව්වා ඒ වැඩේ කරන්න එපා කියලා. ඉතින් ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂයත් යහපාලන ආණ්ඩුවත් අතහරින්න අපිට සිද්ධ වුණේ. දැන් සමගි ජන බලවේගයේ දේශපාලනය කරන විදිහයි යූඑන්පියේ දේශපාලනය කරන විදිහයි දෙකක්. දැන් අපි කරන්න ඕනෑ ජනතාවගේ බලාපොරොත්තු මොනවද, මේවා කොහොමද ඉෂ්ඨ කර ගන්නෙ කියන එක සම්බන්ධව අවබෝධයකින් කටයුතු කිරීම.

 

 

Q ඒ කියන්නෙ සජබයට දැන් සැලුන් දොරවල් නැද්ද?

 

මම ඉස්සෙල්ලත් කිව්වනෙ, සජබය එක්සත් ජාතික පක්ෂයට වඩා වෙනස්. සජබය කියන්නෙ ප්‍රතිපත්ති මාරු කරන කණ්ඩායමක් නෙවෙයි. අපි වෘත්තිය සමිති උසිගැන්වීම්, රාජ්‍ය ප්‍රතිපත්ති නිර්දය ලෙස නිතරම විවේචනය කිරීම්වල නෑ. ඒ නිසා අපිට දේශපාලන වාසි සඳහා එකතු වෙන්න බෑ. අපි කවුද, අපේ ප්‍රතිපත්ති මොනවද කියන එක අපේ ප්‍රතිපත්ති හරහා ඔප්පු කරලා තියෙනවා. මහින්ද මහත්තයා කට්ටිය ගත්තෙ පුද්ගලයො බලලා නෙවෙයි. නම්බර්ස් බලලා. අපි එහෙම නෙවෙයි. අපිට නම්බර්ස් නෙවෙයි ප්‍රතිපත්තියයි වැදගත්. 

 

 

Q අයවැය සම්බන්ධයෙන් ඔබලා කිව්වෙ මේක සහන දෙන අයවැයක් නෙවෙයි කියලා. ඔබලා හිතනවද ඔබලගේ ආණ්ඩුවක් ආවොත් සහන දෙන අයවැයක් හදන්න පුළුවන් කියලා?

 

අංක 1ටම කියන්න ඕනෑ පොහොට්ටුවෙ ඉන්න අය රනිල් වික්‍රමසිංහ මහත්තයා කවුද කියලා තවම දන්නෙ නෑ. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක අවුරුදු 20ක් විතර වැඩ කළ නිසා එයා දකින හීන, එයා කියන කතා අපි දන්නවා. මේක හංගලා ගැහුවෙ. මේකෙ අයකිරීමක් නෑ, වැය කිරීම නම් තියෙනවා. ඒක නිකම් හරිම ආකර්ශනීයයි. ගිය අවුරුද්දෙත් ඔහොමයි. ගිය අවුරුද්දෙත් අයවැය යෝජනා 120ක් විතර ඉදිරිපත් කළා. අඩුම ගාණේ 30ක්වත් කරලා ඉවර කළේ නෑ. ඒ නිසා ඔය කියන එකක්වත් වෙන ඒවා නෙවෙයි. ගිය පාරත් අපේක්ෂිත ආදායම පන්දාස් ගාණක්. නමුත් ආවෙ දෙදාහක් විතර. ඒ නිසා මේක පට්ටපල් බොරුවක්. ඔබ හොයලා බලන්න මෙතැන එක ආදායම් මාර්ගයක් වැඩි කරන්න නව යෝජනාවක් නෑනෙ. මතක තියාගන්න ලබන අවුරුද්දෙ ඉඳලා වැට් එක 18% කින් වැඩි කිරීම නිසා ලයිට් බිල, කෑම බීම සියල්ල වැඩි වෙනවා. 

 

 

Q අවසාන වශයෙන් අහන්නෙ ඔබලා ආවොත් මේ බදු සියල්ල අයින් කරලා ජනතාවට සහනයක් දෙනවද?

 

අවංකව කිව්වොත් බදු කපා හරින්න බෑ. හැබැයි බදු බර වැඩියි. ජනතාවට දරන්න පුළුවන් බද්දක් නෙවෙයි තියෙන්නෙ. මිනිස්සු බදු ගෙවන්න විරුද්ධ නෑ. හැබැයි මිනිස්සුන්ට බදු වැඩියි. බදු අඩු කරන්න නම් රාජ්‍ය ආදායම ඉහළ නංවන්න ඕනෑ. ඒ සඳහා දෙකයි කරන්න තියෙන්නෙ. ආයෝජනය දිරිගැන්වීම සහ අපනයනය වැඩි කිරීම. ඒ එක්කම රාජ්‍ය ආදායම ප්‍රතිව්‍යුහගත කරන්නත් ඕනෑ.

 

@ගයාන් ගාල්ලගේ|Deshaya

නවතම ලිපි