SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලෝක ක්‍රිකට් කුසලාන අවසන් මහ තරගයෙන් ඉන්දියාව ලද අමිහිරි පරාජය පසුපස අගමැති නරේන්ද්‍ර මෝදිගේ දේශපාලන ගමනේ සෙවණැලිද ඇදෙමින් තිබේ.

අවසන් මහ තරගයට පෙර ඉන්දියාවේ දේශපාලන විචාරකයන් ප්‍රකාශ කර තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියත්වය මත දේශපාලන වාසි ලබාගැනීමට මෝදි ක්‍රියාකරමින් සිටින බවය. මෝදි ලබන වසරේ ඉන්දියාවේ මහ මැතිවරණයට මුහුණදීමට සූදානම් වෙමින් සිටී.

 

අවසන් මහ තරගයේදී මෝදි ඉන්දීය පිලේ ජයග්‍රහණය වෙනුවෙන් දිරි ගැන්වීම් සිදුකරද්දී ඉන්දීය විස්තර විචාරකයන් ඒ ගැනද සඳහන් කර තිබිණි. කෙසේ වුවද තමන්ගේ නමින් නම්කරන ලද ලොව ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහ තරගය මෝදිට ඉතිරි කළේ වේදනාත්මක මතකයක් පමණි. ලෝක කුසලානය ඉන්දියාවට ලැබුණා නම්  එය මෝදිගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට ප්‍රබල ශක්තියක් කරගත හැකිව තිබූ බවද විචාරකයෝ කියති.

 

නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයට රුස්ව සිටි එක්ලක්ෂ විසි දහසකට ආසන්න ක්‍රිකට් ලෝලීන් පිරිස නිහඬ කරමින් ඕස්ට්‍රේලියාව ජය ගැනීමෙන් පසුව මෝදිගෙන් දිස්වූයේ මානසිකව ඇදවැටුණු පෙනුමකි. ඔහු කොතරම් ආසහනයට පත්ව සිටියාදැයි කිවහොත් නිල් පැහැ සාගරයක් බඳු ඉන්දීය ප්‍රේක්ෂක පිරිසක් මැදින් ගොස් ඕස්ට්‍රේලියානු නායකයාට කුසලානය පිරිනමා නිහඬවම වේදිකාවෙන් බැස ගියේය.

 

ඔහු සමඟ සිටි ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැතිටද ඔහු අනුගමනය කිරීමට සිදුවූයෙන් ඕස්ට්‍රේලියානු නායකයාට ලෝක කුසලානය අතැතිව වේදිකාවේ තනි වීමට සිදුවූ බව සියලුදෙනා දැකගත්හ. මෝදි ඉන්දීය ක්‍රීඩකයන්ගේ විවේක කාමරයට ගොස් එම ක්‍රීඩකයන් සැනසීමට කටයුතු කළ ආකාරයද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. කෙසේ වුවද තරගයෙන් පසුව නිකුත් කළ ට්විටර් පණිවුඩයකින් මෝදි ඉන්දීය කණ්ඩායමට හැකි ඉහළම වචනවලින් පැසසුම් කර තිබීමද කැපී පෙනිණි.

 

 

ඉන්දියාවේ ක්‍රිකට් සහ දේශපාලනය ගහට පොත්ත මෙනි. මෝදිගේ භාරතීය ජනතා පක්ෂය අතිශය ධනවත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ දැඩි සබඳතාවක් පවත්වයි. මෝදි අවසන් මහ තරගය නැරඹුවේද ඔහුගේ දේශපාලනයේ දකුණු අත වශයෙන් සැලකෙන ස්වදේශ කටයුතු ඇමැති අමිත් ෂා සහ ඔහුගේ පුතු ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධානියා වන ජේ. ෂා සමඟිනි. මේ තිදෙනාම නියෝජනය කරන්නේ බටහිර ගුජරාට් ප්‍රාන්තයයි.

 

 

මේ අතර මෝදිගේ ප්‍රබල විරුද්ධවාදී දේශපාලන නායිකාවක් වන බටහිර බෙංගාල ප්‍රධාන ඇමැතිනී තෘණමූල පක්ෂ නායිකා මමතා බැනර්ජි ඉන්දියාව ලෝක කුසලාන පරාජය ලැබුවේ ක්‍රීඩා පිටියේ වරදින් සහ පැමිණ සිටි ''පව්කාරයන්'' ගේ වැරුද්දෙන් යැයි බරපතළ චෝදනාවක් එල්ල කළාය. ඉන්දියාවම වේදනාවට පත් කළ ලෝක කුසලාන පරාජයෙන් දින 04කට පසුව ඇය මේ ප්‍රකාශය කළාය.

 

 

''අවසන් මහ තරගය ඊඩ්න් ගාඩ්න්ස් හෝ වන්කඩේ හෝ ක්‍රීඩාංගණ දෙකින් එකක පැවැත්වූවා නම් ඉන්දියාවට ජයගත හැකිව තිබූ බව මට කියන්න පුළුවන්. 'පව්කාරයන්' යන තැන්වල.....'' යැයි පැවසූ ඇය එම වාක්‍යය අවසන් නොකර කිව්වේ ''පව්කාරයන්''ගෙන් කාටවත් ගැලවීමක් නැති බවය.

 

 

ඉන්දීය ක්‍රීඩකයන්ට පුහුණු අවස්ථාවලදී සහ ක්‍රීඩාගාරය තුළදී තද කහ පැහැති ඇඳුම් ඇන්දවීමට සැලැස්වීමද ඇයගේ තදබල දෝෂාරෝපණයට ලක්විය. එම පැහැය මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ වීම එයට හේතුව වශයෙන් විචාරකයෝ සඳහන් කරති.

 

මෝදිගේ දේශපාලනය දැඩිව විවේචනය කළ මමතා බැනර්ජි ඉන්දීය ක්‍රීඩකයන් මහත්සේ අගයමින් ඔවුන් ලෝකයේ විශිෂ්ටම කණ්ඩායමක් වශයෙන් හැඳින්වූවාය.

 

@දි ඩිප්ලොමැට් සහ ටයිම්ස් ඔෆ් ඉන්දියා (deshaya)

නවතම ලිපි