SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මනුෂ්‍යත්වය අන් සියල්ලට ඉහළින් අගය කරන ජනතාවක් ලෙස සියලු භේද පසෙකලා, සහෝදරත්වයෙන් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව එකිනෙකා වෙනුවෙන් යුතුකම් ඉටුකරන ජනසමාජයක් ගොඩනැගීමට දායකත්වය සැපයීමේ අරමුණ ඇතිව

‘’අපිට ඉන්නෙ අපි විතරයි’’ යන තේමාව ඔස්සේ සැලසුම් කරන ලද සංහිදියාවේ මනුසත්කාරය වැඩසටහන් පෙළේ ආරම්භක දැනුවත්කිරීම් සැසිය සර්ව ආගමික පූජකවරුන් සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනුෂ නානායක්කාර මැතිතුමා ප්‍රමුඛ විශේෂ අමුත්තන්ගේ සහභාගිත්වය සහිතව 2023 නොවැම්බර් 16 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 10.30ට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

 

WhatsApp Image 2023 11 17 at 16.41.40

 

උතුම් මනුසත්කම පෙරදැරි කරගත් මනුදම්, ගුණදම් සහ යහපත්කම් රැකගනිමින් ස්වාර්ථයට වඩා පරාර්ථය වෙනුවෙන් කටයුතු කරන සියලුදෙනාගේ දායකත්වය ලබාගනිමින් ඉදිරි කාලයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංහිදියා වැඩසටහන් මාලාවක සමාරම්භක දැනුවත්කිරීම් සැසිය වූ මෙම අවස්ථාවට සහභාගි වූ අෂ්-ශේක් අම්හර් හකම් දීන් මුස්ලිම් පූජකතුමා, විශ්ව ආනන්ද සිව ගුරුකුලම් හි ලේකම්, ජනතා සංගම් උප සභාපති / දර්ශනය පිළිබඳ දේශක සිවා ශ්‍රී සිවා, දර්ශක ශර්මා කුරුක්කල් හින්දු පූජකතුමා, ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාවේ අනුනායක අනුර පෙරේරා පියතුමා සහ ශ්‍රී ලංකා අමරපුර හා රාමඤ්ඤ නිකායේ හිටපු මහා ලේඛකාධිකාරී, රුසියානු භාෂා කථිකාචාර්ය, ශ්‍රී ලංකා රුසියානු මිත්‍ර සංගමයේ සභාපති පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර නාහිමි ඇතුළු සර්ව ආගමික නියෝජිතයින් විසින් මෙවැනි සංහිදියා වැඩසටහනක කාලීන වැදගත්කම පිළිබඳව අදහස් දක්වනු ලැබිණි.

 

WhatsApp Image 2023 11 17 at 16.41.41

 

WhatsApp Image 2023 11 17 at 16.41.40 1

 

දුප්පත් - පොහොසත්, උගත් - නූගත්, උස් - මිටි, ගැහැනු - පිරිමි වැනි විවිධ වෙනස්කම් හෝ ජාති, කුල-මල, ආගම් ඇතුළු වාර්ගික භේද නොසලකා මිනිස්කම නමැති එකම හැඟීමෙන් බැඳී අප සැමවිටම කටයුතු කළ යුතු බව සියලු ආගමික නියෝජිතයින්ගේ අදහස්වලින් කියැවිණි. සිතුම් පැතුම්, හැඟීම් දැනීම් සහ ආකල්ප විකල්ප වැනි විවිධ කරුණු කාරණා සම්බන්ධයෙන් එකිනෙකා අතර කොපමණ විෂමතා තිබිය හැකි වුවද, අප සියල්ලන් මනුෂ්‍යයින්ය යන පදනමෙහි පිහිටා කටයුතු කිරීම ඉතා වැදගත් වන බවද, කිසියම් ජන සමාජයක සාමූහිකව ජීවත් වන පිරිසක් ලෙස අප සියල්ලන් අතර අන්‍යොන්‍ය අවබෝධය, එකිනෙකාට ගරුකිරීම සහ පරෝපකාරී අන්තර් සබඳතා පවත්වා ගත යුතු වන්නේද උතුම් මනුසත්කම් සහ ගුණ යහපත්කම් පදනම් කර ගනිමින් වන බවද එහිදී වැඩිදුරටත් අවධාරණය කරනු ලැබිණි. සමාජයක ඉදිරි ගමනට අත්‍යවශ්‍ය වන සාමූහික සහජීවනය මඟින් වඩාත් ඵලදායී අනාගතයක් උදාකර ගැනීමේ හැකියාව පවතින බවද ඔවුන් විසින් පෙන්වාදෙනු ලැබිණි. අනපේක්ෂිත අතුරු ආන්තරා, විපත් හෝ අර්බුදකාරී තත්ත්වයන් හමුවේ පවා සියලු සහෝදර ජන ප්‍රජාවන් එකට එක්ව සහයෝගයෙන් සහ සහෝදරත්වයෙන් කටයුතු කිරීමෙන් සියලු අභියෝග ජයගත හැකි බව මෙහිදී අදහස් පළ කළ සර්ව ආගමික නියෝජිත පූජක, පූජ්‍ය පාර්ශ්වයන් මෙන්ම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මැතිතුමා විසින්ද සඳහන් කරනු ලැබිණි.

 

WhatsApp Image 2023 11 17 at 16.41.42

 

සැබැවින්ම, මනුසත්කමෙන් සහ සහෝදරාත්මක හැඟීමෙන් බැඳී සිටින ජන සමූහයකට ඕනෑම අභියෝගයක් ජයගැනීමේ හැකියාවද ඇත. කවර තත්ත්වයක් යටතේ වුවද අප එකිනෙකා වෙනුවෙන් ඉදිරිපත් වන්නේ අපම පමණකි. දුකක් කරදරයක්, ලෙඩක් දුකක් හෝ හදිසි අනතුරක් සිදු වූ විටෙකදී සැමවිටම පිහිටට එන්නේ අප සමඟ ජීවත් වන සහෝදර ජනතාවමය. එහිදී අන් සියලු කරුණුවලට වඩා මතු වන්නේ මනුසත්කම නමැති උදාර ගුණාංගය බව පැහැදිලිය. මේ සියලු කරුණු කාරණා සැලකිල්ලට ගනිමින් පොදු සමාජයේ වැඩකටයුතු කරන විට නිතර සඳහන් වන ‘’අපිට ඉන්නෙ අපි විතරයි’’ යන වචන සමූහය සමස්ත ශ්‍රී ලංකාවේම ජනවහරට එක්ව ඇත්තේ සදාතනික සත්‍යයක් වෙනුවෙන් පෙනී සිටින වැකියක් ලෙසය. සැබැවින්ම කවර තත්ත්වයක් යටතේ වුවද ‘’අපිට ඉන්නෙ අපි විතරයි’’ යන ප්‍රකාශය සෑම ජන සමූහයකටම අදාළ වන්නකි. සැබෑ සංහිදියාව සහ සහජීවනය පිළිබඳ සංකල්පය මෙම සරල වචන කිහිපය තුළ ඉතා අපූරුවට ගැබ්ව ඇත. මෙය සියලු ජනකොටස් වෙත සමීපකිරීමේ අරමුණ ඇතිව, ‘’අපිට ඉන්නෙ අපි විතරය’’ යන තේමාව සංහිදියාවේ මනුසත්කාරය පිළිබඳ පුළුල් වැඩසටහන් මාලාවේ මූලික සංදේශ පාඨය ලෙස යොදාගෙන ඇත.

 

 

අන්‍යෝන්‍ය අවබෝධය, හිතමිතුරු බැඳීම සහ ගෞරවය මුසු මනුසත් හැඟීමෙන් යුතුව දිගු කලක් තිස්සේ සාමූහික සහජීවනයෙන් දිවි ගෙවන සිංහල, මුස්ලිම් සහ දෙමළ ඇතුළු විවිධ ජන ප්‍රජාවන්ගේ විවිධ අවශ්‍යතා හඳුනා ගනිමින්, එකිනෙකා අතර පවතින සුහදත්වය වඩාත් වර්ධනය වන පරිදි කටයුතු කරන මෙරට සමස්ත ජනතාව සංහිදියාවේ මනුසත්කාරය වැඩසටහන සඳහා එක් වනු ඇත්තේ සැබෑ සහෝදර හැඟීමෙන් යුතුවය. තමන් සමඟ එකට ජීවත් වන සහෝදර ජන කොට්ඨාසයක් වෙනුවෙන් අවස්ථානුකූලව සපුරාලිය යුතු අවශ්‍යතා මොනවාදැයි සොයා බලා ඒ වෙනුවෙන් කළ හැකි සහ කළ යුතු සෑම සියලු දෙයක්ම ඉටුකර දීමට ඔවුන් සැමවිටම පෙරමුණ ගනු ඇත්තේ ‘’අපිට ඉන්නෙ අපි විතරයි’’ යන තේමාව පාදක කරගනිමිනි.

සංහිදියාවේ මනුසත්කාරය වැඩසටහන් පෙළේ ආරම්භක පියවර සමඟ එක්වෙමින් සංහිදියාව, සහජීවනය සහ එකමුතුකම ශ්‍රී ලංකාවේ සමස්ත ජන ප්‍රජාවන්ටම අත්‍යවශ්‍ය මෙවැනි උදාර කටයුත්තකට දායක වන්නට ලැබීම පිළිබඳව සැබැවින්ම සතුටු වන බව මෙම අවස්ථාවට සහභාගි වූ සියලුදෙනාගේ අදහස විය. මෙය වඩා යහපත් හෙට දවසක් උදෙසා වූ සමස්ත ශ්‍රී ලාංකික ජනතා බලාපොරොත්තු ඉටුකරලීමට සුවිසල් දායකත්වයක් සපයන සුවිශේෂ සංහිදියා ව්‍යායාමයක් වනු ඇතැයි අපේක්ෂිතය.

 

@මාධ්‍ය ඒකකය

නවතම ලිපි