SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව ලද ඓතිහාසික දැවැන්ත පරාජයන් සමඟ දෙස් විදෙස් ශ්‍රී ලංකා ක්‍රිකට් ළෝලීන් දැඩි කනස්සල්ලට පත්වී සිටින අතර ඊට ප්‍රධානම හේතුව අප කණ්ඩායමේ පරාජයම නොව තරග පරාජය වන ආකාරය බව පැහැදිලිය.

තවද තම දෙවැනි ආගම බඳු ක්‍රිකට් ක්‍රීඩාවෙන් රටක් නියෝජනය කරනා ජාතික කණ්ඩායමක් මෙවන් ආකාරයේ අයහපත් ප්‍රතිඵල දිගින් දිගටම රටට අත්කර දීම රටවැසියාට දරාගත නොහැකිය.

ඒ තරමටම ක්‍රිකට් උන්මාදය මෙරට බහුතරයකට ආරෝපනය වී ඇත. ඒ නිසා ක්‍රිකට් කරන අය මෙන්ම මෙරට ක්‍රිකට් කරවන අයද මෙවන් අයහපත් ප්‍රතිඵලයන්ට අඩු වැඩි වශයෙන් වගකිව යුතු බව විවාදයක් නැත. නමුත් එවන් වගකීම්වල සීමාවන් පිළිබඳව හරි හැටි අවබෝධයක් නොදත් පිරිස් සහ එවන් අවබෝධයක් ඇති පුද්ගලයින් විසින් මෙහෙයවන ලද පිරිස් හැසිරෙන ආකාරය මුහුණත් එක්ක ඇති තරහට නහය කපාගැනීමක් වැනිය.

 

පරාජයේ වේදනාව කාගේ හෝ පිටින් යැවිමේ න්‍යාය මෙරට තුළද රජ කරන වහල් බව මුසුවූ දේශපාලන සංස්කෘතියේ ලක්ෂණයක් වන අතර එම ලක්ෂණය දැන් ක්‍රිකට් ක්‍රීඩාවටද හේත්තුවී හමාරය. එය ඉබේ හේත්තු වූවා නොව එසේ හේත්තු කරන ලද්දේ ක්‍රිකට් වලට වඩා ක්‍රිකට් දේශපාලනයට ළොල් බවක් දක්වන පිරිස් විසින්ය. යම් ප්‍රතිඵලයක හේතුව වසා ප්‍රතිඵලය පමණක් කරපින්නා ගෙන රසිකයින් උසිගැන්වීම මෙකී ක්‍රිකට් දේශපාලකයින්ගේ නොහොත් සුදු ඇඳගත් මහත්වරුන්ගේ පැවැත්ම සඳහා වන එක් උපාය මාර්ගයකි. මෙම ක්‍රිකට් දේශපාලකයින් මහජන ඡන්දයෙන් පත්වන දේශපාලකයින්ට වඩා භයානක වන්නේ ඔවුන්ට මහජන නියෝජිතයින් ලෙස පත්වන ඕනෑම කෙනෙකු පවා ඇන්දවීමේ සහජ හැකියාවක් ඇති නිසාය.

 

මෑතකදී ශ්‍රී ලංකාවේදී නිමාව දුටු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාවට පරාජය හිමිවූයේ තරගය ඉන්දියාවට මුදලට පාවා දුන් නිසා යැයි කතාවක් පටබැන්ඳේය. වැහි ආවරණ ඇද්ද ක්‍රීඩාංගණ සේවකයින්ට ඉන්දියාව සභාපතිත්වය දරණ ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් ඩොලර් මිලියන 5ක තෑග්ගක් දීමට තීරණය කළේ එකී තරග පාවාදීමට සන්තෝසමක් ලෙසින් යැයි ක්‍රීඩාවේ මහගෙදර ඉහළ නිලධාරියෙකු නොකියා කීවේය. එහෙත් එම ප්‍රභන්ධයට මාසයක් වත් ආයුෂ තිබුණේ නැත. පසුගිය 2වැනිදා ඉන්දියාව ඉදිරියේම තවත් එක් දින තරගයකදී වික්කා වික්කා යැයි එදා ජනතාව කුලප්පු කළ ආකාරයේ පරාජයක් ශ්‍රී ලංකාවට උරුම විය. ඒ නිසා හුදෙක්ම එදා අවසන් මහා තරගයේදී සටහන් වූයේ තවත් පරාජයක් මිස තරග පාවා දීමක් නොවන බව හිතලු මවමින් උඩපැන්න පිරිස් දැන්වත් තේරුම් ගත යුතුය.

 

කපුටන් කේජු කෑල්ලක් ලැබෙනා සේ බලා ඉන්නවාක් මෙන් මෙසේ ශ්‍රී ලංකාව පරාජයක් ලබනා තෙක් බලා සිටින පිරිස වාගේම උඩක් පල්ලක් නොදන්නා ක්‍රිකට් ළෝලීන් උසිගැන්වූ පිරිස් කවුදැයි දැන් එළිපිටම රඟදැක්වෙන්නේ රටේ ක්‍රිකට් හදන්නට යැයි ක්‍රීඩා ඇමති විිසින් පත්කරන ලද නව අතුරු පාලක කමිටුව නම් නඩය දෙස බැලීමේදීය. මෙම පත්කිරීම ආරම්භයේදීම ගැසට් රොෂාන් නාගෙන ඇත. එනම් ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයාට වෙනත් ක්‍රීඩා පරිපාලනයක තනතුරක් දැරීම මෙරට ක්‍රීඩා නීතියට පටහැනි බව ගැසට් රෝෂාන් නොදන්නවා විය හැක. නැත්නම් දැන දැන නීතිය උල්ලංඝනය කර ඇත. එසේ රටේ ක්‍රීඩා නීතිය දන්නේ නම් රොෂාන් පළමුව කළ යුතුව තිබුණේ අර්ජුන රණතුංගට ජාතික ක්‍රීඩා සභාවේ සභාවේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වන්නට යැයි දන්වා පසුව නව ක්‍රිකට් තනතුරට පත්කිරීමය. නමුත් මෙය ලියන මොහොත දක්වා අර් ජුන හිටපු තනතුරෙන් එවන් ඉල්ලා අස්වීමක් කළ බවට වාර් තා වී නැත.

 

තවද ඇමතිකම් කිහිපයක් දැරූ අර් ජුන රණතුංග යනු අවසන් වරට ඛනිජතෙල් අමාත්‍යංශයේ සේවකයින් ගෙන් ජීවිතය බේරා ගන්නට සටනක් දුන් පරිපාලනය පිළිබඳව ඉහළම සහතිකයක් ලැබූවකු වන අතර ගැසට් රොෂාන්ගේ කමිටුවේ (මෙම කමිටුව පිළිගන්නා බවට මෙය ලියන මොහොත තෙක්ම අයිසීසී ය දැනුම් දීමක් කර නැත) තවත් සගයෙකු වන උපාලි ධර් මදාස යනු 1996 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ගෙන එන්නට උරදුන් එකල ක්‍රිකට් සභාපතිවරයාව වූ ආනා පුංචිහේ එම ඓතිහාසික ජයග්‍රහණයේ උණුසුම යන්නටත් කළින් එළවා දමන්නට කුමන්ත්‍රණය කල්ලියේ ප්‍රභල සාමාජිකයෙකි. එසේම උපාලි යනු පසුගියදා හදිසියේම රොෂාන් පත්කළ පසුව අයිසීසී ය විසින් කුනු කූඩයට විසිකරන ලද සම්බන්ධීකරණ කමිටුවේද සාමාජිකයෙකි. මෙකී නව අතුරු කමිටුවේ අනෙක් අය ගැන කතාකිරීමෙන් ඵලක් නැත.

 

තවද අර් ජුන රණතුංග යනු මෙරට ක්‍රිකට් පරිපාලනයට අමුත්තෙක් නොවේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ  අය-වැය සඳහා ඡන්දයක් එකතු කරගැනීමේ අරමුණෙන් 2008 වසරේ ජනවාරි මාසයේදී රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ක්‍රිකට් අතුරු කමිටු සභාපතිවරයා ලෙස අර්ජුන පත්කළ අතර එම වසරේම දෙසැම්බර් මාසයේදී එම ආණ්ඩුවේම ක්‍රීඩා ඇමතිව සිටි ගාමිණි ලොකුගේ විසින් අර්ජුන එම තනතුරෙන් පහකළේය. එසේ තනතුරෙන් ඉවත් කිරීමට හේතු අතර ප්‍රධානම කරුණ වූයේ එකළ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් හා අර්ජුන අතර පැවැති මතගැටුම්ය. එසේ ක්‍රිකට් සභාපතිවරයෙකු ලෙස කටයුතු කර ඇති අර් ජුන පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබුණේ තමන්ට බාරදුනහොත් මාස 6කින් ලංකාවේ ක්‍රිකට් හදන බවයි. ක්‍රිකට් හැදීම කෙසේ වෙතත් පවුලේ අයට රස්සා හැදීම ස්ථිරය.මීට පෙර අවුරුද්දක් පමණ බාර ගෙන තිබූ ක්‍රිකට් හදන්නට බැරිවූ ඔහුගේ මෙම කතා ක්‍රිකට් සාක්ෂරතාව අතින් බිංදුවේ සිටිනා ප්‍රේක්ෂකයින්ගේ ගැලරියට ඔබින කතාය.

 

ජාත්‍යන්තර මට්ටමින් ඉහළම ඝනයේ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන සමයක ක්‍රිකට් පරිපාලනයක් වෙනස් කරන්නට කටයුතු කළ එකම සහ ප්‍රථම රට ශ්‍රී ලංකාවයි. ක්‍රීඩාව හා රට ගැන අල්පමාත්‍රයක හෝ හැඟීමක් ඇති ක්‍රීඩා ඇමතිවරයෙක්  මෙවන් අමන තිරණයක් නොගන්නා අතර එවන් හැඟීමක් ඇති ක්‍රීඩාවේ මහත්මයින්ද මෙවන් සමයක මෙවන් තනතුරු බාරගන්නේ නැත. බොර දියේ මාළු බාන මෙම පිරිස බුදුසරණයි බෝඩ් ගසාගෙන ගවයින් පැටවූ ලොරියක් මෙන් සිදත්ගේ නම ඉස්සරහට දමා සම්බන්ධීකරණ කමිටු මුවාවෙන් රිංගන්නට මුට්ටිය දමා බැලුවේය. උපදේශකයාගේ එම ලනුව කෑ ගැසට් රොෂාන් අයිසීසී යෙන් හොඳ හැටි අහගත්තේය. ඉන් පසුව ලෝක කුසලානයේ තරග පරාජයන් දෙස බලා සිට ඉන්දියාව ඉදිරියේ ලද අන්ත පරාජයෙන් පිරිසක් කුලප්පු කොට ඇමති රොෂාන්ද ෆෝම් කළේය. තැටිය රත්වූ විට රොටිය පුච්චා ගත යුතු න්‍යායට රොෂාන් හසුකර ගත්තේය. එහෙත් මෙම කමිටුව පත්කිරීම තවත් කුණු කූඩයට යන තීරණයක් දැයි අයිසීසී යේ ප්‍රතිචාරය ලැබෙන තෙක් කිව නොහැක.

 

කෙසේ වෙතත් හිටි හැටියේ හිටපු ක්‍රිකට් පාලකයින් පන්නා දැම්මේ අලුත් පිරිසකට රටේ ක්‍රිකට් බාර දුන් ගමන්ම ඔන්න ඉතිරි ලෝක කුසලාන තරග ලංකාව දිනනවා ෂුවර් යන බවක් පෙන්වන්නද? අපිට ඇති ප්‍රශ්නය එයයි. ෂම්මිලාගේ පරිපාලනයේ වැරදි තිබූ බව පැහැදිලිය. එහෙත් එම වැරැදි නිවැරදි කරන්නට සංවාදයක් හෝ වැරදි කර ඇත්නම් දඬුවමක් දෙන්නට යහපත් පියවරක් නොගත් ඇමැති රොෂාන් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන ගේ උපදෙස් වලට පමණක් අවනත වී කටයුතු කළේ හිටපු ක්‍රිකට් පාලකයින් හා ඇමති අතර පරතරය වැඩි වන ආකාරයටය. ගැසට් ගහ ගහ කැසට් ගහල මකනව වගේ එම ගැසට් අවලංගු කර කර රටට විහිළු සැපයු නිසා ගැසට් රොෂාන් යැයි නමක් පටබැඳුනා හැර වෙනත් ඵලදායීතාවක් රටට දුන්නේ නැත. තවත් විදියකින් කිවහොත් මේ කරන්නට යන්නේ මෙරට රග්බි හා පාපන්දු වලට කළ දේ ක්‍රිකට් වලටත් කරන්නටය.

 

ඒ එක පැත්තකි. අනෙක් පැත්තෙන් බැලූ විට ෂම්මි සිල්වාත් තම තනතුරෙ දිග පළල පිළිබඳව හරි අවබෝධයකින් කටයුතු නොකිරීම කළින්ම ටිකට් එක ලබා ගැනීමට මූලික හේතුව විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු මෙරට ක්‍රීඩා නීතිය යටතේ ස්ථාපිත කළ තවත් එක් ක්‍රීඩා පරිපාලන ආයතනයක් පමණක් බව පිළිගන්නට ඔහු මැළි විය. එසේ ස්වාධීන බවක් ආරෝපනය කරගත් ඔහුගේ උඩඟු ප්‍රකාශ වලට එරෙහිව මහජන නියෝජිතයිනුත් ඔහුට එරෙහිව පොල්ල අතට ගත්තේය. එහෙත් ඊටත් වඩා ෂම්මි වරද්ද ගත්තේ මාධ්‍ය ආයතන වලට තහංචි දැමීමට ගත් පියවර නිසාය.එය නයාට ගසා පොල්ල වරද්ද ගත්තාක් මෙනි. එම අනිසි ක්‍රියාව ෂම්මිගේ ප්‍රතිවාදීන්ට ගොදුරු සැපයීමක් සේම ඔහුගේ ගමනක අවසානයේ ආරම්භයද වූ බව කිව යුතුය.

එසේ ෂම්මිලාගේ පාලනය විසින්ම ප්‍රතිවාදීන්ට රඟන්නට අවශ්‍ය පිටිය සැකසූ අතර තරග පරාජයන් හේතුවෙන් මතුවූ ක්‍රීඩාළොලීන්ගේ විරෝධතාවද එසේ රඟන්නන්ට පසුබිම් වාදනය සැපයීමක් විය. එහෙත් ජාතික ක්‍රිකට් කණ්ඩායම වර්තමානයේදී ලබනා පරාජයන්ගේ වගකීම සම්පූර්ණයෙන්ම හිටපු පාලකයින්ගේ කරමතම පැටවීම වරදක් ලෙස දකින්නට මහපාරට බහින පිරිස් අකමැති අතර සැබෑ තත්වය එය නොවන බවද කිව යුතුය. ක්‍රිකට් උන්මාදයෙන් ආවේගශීලීව කෑගහන බොහෝ පිරිස් නොදන්නා කරුණක් ඇත. එනම් මේ වන විට අසාර්ථකත්වය පෙන්නුම් කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ඇතුළු පුහුණුකාර මණ්ඩලය මීට වසර දෙකකට පමණ පෙර පත්කරන ලද්දේ හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් නම්කළ ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවක් විසිනි.

 

නාමල් රාජපක්ෂ විසින් 2021 පෙබරවාරි මාසයේදී එසේ පත්කළ ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සභාපතිවරයා ලෙස අරවින්ද ද සිල්වා කටයුතු කළ අතර එහි සෙසු සාමාජිකයින් වූයේ රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර සංගක්කාරය. මෙම තාක්ෂණික කමිටුවේ ඕනෑ එපා කම් අනුව වත්මන් ක්‍රිකට් පුහුණුකරුවන් පිරිස හිටපු පාලකයින් විසින් පත්කළ අතර යම් යම් කාරණා හේතුවෙන් එකී කමිටුවට මාස 6ක් පමණ ගෙවී ගිය තැන රොෂාන් මහානාම ඉල්ලා අස්විය. තවද 2022 අප්‍රේල් මාසයේදී නාමල් රාජපක්ෂට ක්‍රීඩා ඇමති තනතුර අත්හැර යාමට සිදුවීමත් සමඟ නාමල්ගේ තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද හා මුරලිදරන්, සංගක්කාර යන තිදෙනාද තමන්ගේ තනතුරු අත්හැර ගියහ. එසේම මහේල ජයවර්ධන ක්‍රිකට් උපදේශක තනතුරටත්, ජාතික ක්‍රීඩා සභාවේ තනතුරටත් ගෙන ආවේ නාමල් රාජපක්ෂය. මේ සියල්ල දේශපාලන පත්වීම්ය.එහෙත් නාමල්ට ගෙදර යාමට සිදුවීමත් සමඟ මහේල ජයවර්ධනද ජාතික ක්‍රීඩා සභාව අත්හැර ගියේ එතෙක් මෙතෙක් ජාතික ක්‍රීඩා සභාවට පත්වූ අසාර් ථකම සභාපතිවරයා ලෙස නමක් තබාය. නමුත් රුපියල් ලක්ෂ 35ක පමණ වැටුපක් ලබමින් මහේල තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක වරයාය.

 

එහෙත් උඩක් පල්ලක් නොදන්නා අයත් මෙකී කතා දන්නා අයත් තරග පරාජයකදී තඩිබෑවේ ෂම්මිලාගේ පාලනයටමය. එහෙත් මේ පසුබෑම් වලට අඩු වැඩි වශයෙන් වගවිය යුතු නාමල් හා නාමල් හිතවාදී ක්‍රිකට් ඔස්තාර් ලා අතසෝදාගෙන පැත්තකට වී සිටිති. නමුත් මෙකී ක්‍රිකට් ඔස්තාර් ලා ඔවුන්ගේ හිතවතුන් නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් ආලින්දයට පැමිණීමත් සමඟ යළිත් හිටපු උපදේශක තනතුරු වලටම පත්වුව හොත් එය පුදුමයක් නොවේ. මේ අතර ෂම්මි සමඟ සිටි ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මේ සද්ධ බද්ධ අතරේ ඕස්ට්‍රේලියාවේ සිටම තම ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීම එවා තිබුණේ තමන් තවත් බල්ටියක් ගැසීමට යන බවට සේයාවක් පෙන්වමිනි. මෙම ලියුම්කරු විසින් කවදත් ඔහුව හඳුන්වනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට්හි සුසිල් ලෙසය. හේතුව මොන ආණ්ඩුව ආවත් ඇමති මෙන් මොන ක්‍රිකට් පරිපාලනයක් පත්වුණත් ඔහු ලේකම්ය. තවත් තේරෙන භාෂාවෙන් කිවහොත් මොහාන් යනු දෙල්කඳ පොළේදී හමුවු තවත් කෙනෙකි.

 

 

ජාත්‍යන්තර ක්‍රිකට් තරග පරාජයන් ඉදිරියේ රටක ක්‍රිකට් පරිපාලනය මෙසේ පොඩිපට්ටම් කරන්නට රටවල් උත්සුක වූයේ නම් අපිට ක්‍රිකට් කියා නරඹන්නට දෙයක් ඉතිරි වන්නේ නැත. මේ කරන්නේ සංදර්ශන මිස ක්‍රිකට් යහ මඟට ගැනීම නොවේ. තරග ප්‍රතිඵල දෙස බලාම කළබල නොවිය යුතු බවට ආසන්නම උදාහරණ ඇත. 1975 මංගල ක්‍රිකට් ලෝක කුසලානයේ සිට නොකඩවා දෙවරක් ශූරයින් වූ බටහිර ඉන්දීය කොදෙව්වන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයෙන්ම ඉවතට විසි විය. වත්මන් එක් දින ලෝක ක්‍රිකට් කිරුළ දරා සිටින එංගලන්තය මෙවර ලෝක කුසලාන තරගාවලියෙදී ශ්‍රී ලංකාවටත් පරාජය වී එක් ජයග්‍රහණයක් පමණක් ලබා කණ්ඩායම් 10 අතර 10වැනි ස්ථානයට පල්ලම් බැස ඇත. ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පන්දු වාර 50කදී කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව(428) මෙවර වාර්තා කළ දකුණු අප්‍රිකාව මෙම තරගාවලියේදීම ඉන්දියාවට එරෙහිව ලකුණු 83කට දැවී ගියේය. වසර 2000 ඔක්තෝබර් 29දා සාජා හිදී පැවැති එක් දින තරගයේදී ශ්‍රී ලංකාව ඉදිරියේ ඉන්දියාව ලකුණු 54කට දැවී ගියේය. මේ කිසිදු අවස්ථාවකදී එරට ක්‍රීඩාළෝලීන් පාරට බැස්සේවත් ඒ මුවාවෙන් ක්‍රිකට් පාලකයින් හදිසියේම පන්නා දමන්නට එම ක්‍රීඩා ඇමැතිවරුන් ඉක්මන් වූයේ වත් නැත.

 

 

තවද 2012 ජනවාරි 11දා දකුණු අප්‍රිකාවේ පැවැති එක් දින තරගයකදී ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත්, මහේල,සංගක්කාර,චන්දිමාල්,තරංග,මැතිව්ස්, මාලිංග හා කුලසේකර යන ක්‍රීඩකයින් පවා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 43කට දකුණු අප්‍රිකාව (301/8) ඉදිරියේ දැවී ගියේය. එදා ක්‍රීඩා ඇමතිව සිටි මහින්දානන්ද ක්‍රිකට් පාලනය එළවන්නට පොල්ල අතට ගත්තේ නැත. එවන් ආකාරයෙන් වගකිව යුතු ඇමතිවරුන් තරග ප්‍රතිඵල මාකට් කරමින් කැමැත්තට පමණක් ඉඩදී තීරණ ගත්තේ නැත. ක්‍රීඩා ඇමති ක්‍රිකට් ඇමති ලෙසත් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ඇමතිට උපදෙස් දෙමින් ක්‍රිකට් සභාවේ සභාපති ලෙසත් කටයුතු කිරීම අවුලෙන් අවුලට මෙරට ක්‍රීඩාව ඇදවැටීමට ප්‍රධාන හේතුවයි. ක්‍රිකට් වලටම මාට්ටු දමන මොවුන් අනෙක් ක්‍රීඩා සම්බන්ධයෙන් ඇති කෙරුවාව මෙතැැන ලිවීමට ඉඩ නැත. එහෙත් කෙටියෙන් හෝ කිවයුත්තේ ආසියානුු ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියන් සඳහා ක්‍රීඩකයින් විදෙස් ගත වන විට අහක බලා සිටි මොවුන් එම ක්‍රීඩයින්ම රටට රන් පදක්කම් ගෙන ආ පසුව පිළිගත්තේ ලැජ්ජාවක් නැති මහත්වරුන් ලෙසය.

 

ශ්‍රී ලංකාවේ පවතින ක්‍රිකට් තත්වය සම්බන්ධයෙන් අනෙක් අයිසීසී සාමාජික රටවල් දැනුවත් කළ බවට මෙරට ක්‍රීඩා අමාත්‍යංශය පසුගියදා නිල නිවේදනයක් නිකුත් කළේය. එය උඩ බලාගෙන කෙළගසාගැනීමක් වැනි ක්‍රියාවක් හැර වෙනත් අර් ථයක් ඇති  එකක් දැයි අපිට තේරෙන්නේ නැත.

 

 

    • මෙම ලියුම්කරුට වැරදීමක්.. ඔන්න රොෂාන් ඇමති ආදර්ශයට ගෙන තරග පරාජ හේතුවෙන් එංගලන්තයේත් දකුණු අප්‍රිකාවේත් ක්‍රිකට් පාලකයින් පන්නා දමන්නට යනවලු..නේ.. එහෙත් ඔවුන්ගේ සදාචාර සම්පන්න බවක් තියෙන නිසා එම තීරණය මෙවර ක්‍රිකට් ලෝක කුසලානය අවසන් වන තෙක් තාවකාලිකව කල්දමලා කියන්නෙ...

 

 

අවසන් වශයෙන් කියන්නට ඇත්තේ මෙයයි. ප්‍රේක්ෂකයන් හෝ ක්‍රීඩාළෝලීන් ගෙන් තොර ක්‍රීඩාවක පැවැත්මක් නැති බව සත්‍යය. නමුත් ඔවුන් තීරක සාධකය කරගන්නේ නම් ඇමතිවරුන්, පරිපාලකයින්, පුහුණකරුවන් හා ක්‍රීඩකයින් කුමකටද ? තවත් විදියකින් කිවහොත් මෙරට ක්‍රීඩාළෝලීන් යනු ඡන්දදායකයෝම බව තේරුම් ගත යුතුය.

 

@සිරිනාම රාජපක්ෂ

නවතම ලිපි