SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හදිස්සියට කොරොස් කටෙත් අත දාගන්න බැරිය කියා පංකාදු කියමනක් තිබේ. කිසියම් අර්බුදයක් පැමිණි විට කලබල වී දඟලන්නේ මෝඩයන්ය.

බුද්ධිමතා කරන්නේ ඉවසීමයි. සිහි බුද්ධියෙන් කල්පනා කර විසඳුමක් සෙවීමයි. නමුත් ලංකාවේ වැඩිපුර ඉන්නේ කලබලකාර මෝඩ අරගලකාරයන්ය.

 

ඔබ බලන්න මේ පහුගිය ටිකේම මේ රටේ ක්‍රීඩා ඇමතිවරයා හැසිරුණු ආකාරය. මිනිහා කොයි වෙලාවේ බැලුවත් මාධ්‍ය ඉදිරියේ කතා කරන්නේ ක්‍රිකට් ගැනයි. ඔහු මෙරට ක්‍රිකට් ඇමති නොව, සියලු “ක්‍රීඩා” සඳහා ඇමති බව කවුරුහරි ඔහුට මතක් කර දිය යුතුය. ලංකාවේ අර්බුදයට ගොස් තිබෙන්නේ ක්‍රිකට් සෙල්ලම පමණක් නොවේ. සැබැවින්ම අන් සියලු ක්‍රීඩා වඩාත් අර්බුදයට ගොස් තිබේ. නමුත් රටේ ක්‍රීඩා ඇමතියා ගාල කඩාගත් සිවුපාවෙකු මෙන් ක්‍රිකට් මත්තේම නැහෙයි.

 

 

මහ ලොකුවට කියෙව්වාට අර්ජුන රණතුංග කරගත්තේ අමු මෝඩකමකි. මංපොර මානසිකත්වයේ උපරිමයේ ඉන්නා අර්ජුන හිතන්නේ තමාට සහ තමාට පමණක් ක්‍රිකට් සෙල්ලම කළ හැකිය කියාය. මාධ්‍ය ඉදිරියේ ලොකු ටෝක් දී ඔහු කලබලකාර මෝඩ ක්‍රිකට් ලෝලීන් චූන් කළේය. දුරදිග නොබැලූ ඇමතියා විසින් පත් කළ අතුරු කමිටුවට හැරෙන තැපෑලෙන් අධිකරණ වාරණයක් පැමිණ තිබේ. උඩ පැනගෙන ඊයේ වැඩ බාරගත් අර්ජුන අහසට ගිය ඉබ්බා මෙන් පොළොවට වැටී තිබේ. මේවා මට නම් ක්‍රිකට් සෙල්ලමටත් වඩා ඉතාම විනෝදජනක බවත් කිව යුතුය.

 

 

ඔබේ ජීවිතයේ ඔබ කැමති ආකාරයට යමක් සිදු නොවෙනවා නම් ඔබ පළමුව කළ යුත්තේ තැන්පත් වීමයි. අතපය හතර සන්සුන් කරගෙන කට වහගෙන සිහිය පිහිටුවා ගෙන කල්පනා කිරීමයි. නූගත් අහංකාර මෝඩයන් නොවන, තමාට ඉතාම විශ්වාසවන්ත උගත් නිරහංකාර බුද්ධිමතුන් සමග තාර්කිකව විසඳුම් සාකච්ඡා කිරීමයි. ක්‍රීඩා ඇමතිවරයා පළමුව සන්සුන් විය යුතුය. කටට එන හැමදෙයක්ම සහ අතට දෙන හැම කොළයක්ම මාධ්‍යය ඉදිරියේ වීරයා මෙන් නොකියා උපායශීලීව වැඩ කළ යුතුය.

 

සෙල්ලමට ගැහුවත් ලංකා කණ්ඩායම ඉන්නේ ලංකාව නියෝජනය කරන අන්තර්ජාතික තරගාවලියක් අතරතුරය. ඔවුන්ගේ විහිළුසහගත පරාජයන්ට හේතුව ඔවුන්ගේ මානසික බිඳ වැටීමයි. ඒ බිඳ වැටීමට හේතුව ක්‍රිකට් ඇමතිවරයා සහ අර්ජුන වැනි ඔස්තාර්ලා ප්‍රමුඛ මෝඩ ක්‍රිකට් උමතුවන් මෙහෙ නටන නැටිල්ලයි. මොනවා කරන්නත් තරගාවලිය අවසන් කර කණ්ඩායම රටට එන තෙක් සිටිය යුතුය. අර මෝඩ අරගල නායක රැට්ටා වරක් කීවාක් මෙන් “මුලින්ම රෙද්ද ගලවා විසි කළ යුතු” නොවේ. CIMA පාඨමාලාවේ එහෙම මෝඩ තියරි උගන්වනවා විය නොහැකිය. ලෝකයාට ජෝක් එකක් නොවී ඉවසීමෙන් සිටිය යුතුය. ගත යුතු ක්‍රියාමාර්ග ගත යුත්තේ ඉන් පසුවය.

 

මහ ලොකුවට කයිය ගැහුවාට අර්ජුනට වඩා ක්‍රිකට් ආයතනයේ බුවාලා ටික උපායෙහි දක්ෂ බව මෙයින් අපට පෙනේ. අර්ජුන ඇත්තටම වැඩකාරයෙක් නම් ඔය ආකාරයේ වාරණ නියෝග වැටෙන විදිහට වැඩ කරන්නේ නැත. ව්‍යවස්ථාපිත නීතිය ගැන ඔහුට අවබෝධයක් නැති බව ඉන් පෙනේ. එහෙම කෙනෙකුට කිසිසේත්ම කිසිම දෙයක් කරන්නට බැරිය. කණා චාන්ස් එකට වර්ල්ඩ් කප් එකක් දිනපු ගමන් සමහරු හිතන්නේ තමන්ට ඕන දෙයක් කළ හැකිය කියාය. එහෙම වෙන්නේ නැත. සත්‍ය ලෝකයේ වැඩ කරන්නට නම් ඒ ලෝකය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන මනා අවබෝධයක් තිබිය යුතුය.

 

 

මෝඩ ක්‍රීඩා ඇමතියා අඩුම තරමින් තමන්ගේ ප්‍රධානියා වන ජනපති සමගවත් ඒ ගැන සාකච්ඡා කර නැත. පණ්ඩිතකමට තමන්ගේ බලය පෙන්වන්නට ගොස් දැන් හත්පොළේ ගාගෙන තිබේ. හරි නම් ඔහුව වහාම ඇමතිකමෙන් ඉවත් කළ යුතුය. අර්බුදයක දී හැසිරෙන ආකාරය ගැන නොදන්නා ගම්මන්පිළ සහ විමල් වැනි මෝඩයන් කලින්ම අස් නොකිරීමේ විපාකය ගෝඨාභය ජනපතිට විඳින්නට සිදු විය. අඩුම තරමින් තමන් සහසම්බන්ධ වෙන කැබිනට් මණ්ඩලය සමගවත් සාකච්ඡා කර නැත. සාමූහික වගකීම ගැන මෙලෝ දැනුමක් නැති මෙවැනි කලබලකාර ඇමතිවරුන් සමග ආණ්ඩු කිරීමට නොහැකිය.

 

 

ක්‍රිකට් යනු අතිවිශාල බූවල්ලෙකු වැනි දෙයකි. අර්ජුන හෝ කවුරු හෝ මේ කුඩා රටේ එක චන්ඩියෙකුට ඒ බූවල්ලා සමග සටන් කළ නොහැකිය. විශේෂයෙන්ම කලබලකාරයන්ට නම් කිසිසේත්ම නොහැකිය. අනෙක අප තේරුම් ගත යුත්තේ දැන් අප ජීවත් වෙන්නේ පශ්චාත් අරගල රටක බවයි. අරගලකරුවන් ඉල්ලා සිටියේ ආණ්ඩුව පැත්තකට වී පුද්ගලික අංශයට සියල්ල බාර දෙන්නට කියාය. අර්ජුනලා, සනත්ලා, මහනාමලා, සංගක්කාරලා, මහේලලා එදා අරගලයට උපරිමයෙන් සහාය දුන්නේ ඒ සඳහාය. ඉතින් දැන් මොකටද ආණ්ඩුව මැදිහත් වෙන්නේ? අර මාලිංග වරක් කිව්වා වගේ "නිකං වැඩක් බලාගෙන ඉන්නවා." ධර්මය අපට මග වේවා!

 

@Eranda Ginige

නවතම ලිපි