ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ තම විරෝධය පළ කර ඇත.
ඔහු පෙන්වා දෙන්නේ ධනුෂ්ක ගුණතිලකගේ තහනම ඉවත් කිරීම නීත්‍යානුකූල නොවන බවයි.
මෙම තහනම ක්‍රියාත්මක වූයේ අධිකරණයට කරුණු වාර්තා කිරීම හරහා නීතිපතිවරයාගේ උපදෙස් සමග බවත් එනිසා තහනම ඉවත් කිරීමට නම් නැවතත් නීතිපති සමග සාකච්ඡා කළ යුතු බවත් අමාත්‍යවරයා පවසයි.
එමෙන්ම අධිකරණයට ද කරුණු වාර්තා කර එහි ඉදිරි කටයුතු කළ යුතු බවත් අදාළ නඩුව තාමත් අධිකරණයේ පවතින බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
2022 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අතරතුර එල්ල වූ ස්ත්‍රී දුෂණ චෝදනාවක් මත ඔහු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පවත්වන ලද දීර්ඝ නඩු විභාගයෙන් පසු ඔහු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද 2022 නොවැම්බර් මාසයේ සිට ධනුෂ්කට ක්‍රිකට් තහනමක් පනවන ලද අතර නිදොස් කොට නිදහස් කරන ලද ධනුෂ්ක නැවත ලංකාවට පැමිණීමෙන් පසු ක්‍රිකට් ආයතනයද ඔහුට එරෙහි තහනම ඉවත් කර තිබුණි.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාකලාපයන් තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඔහුට තිබෙන අරියාදුව එළිපිටම පෙන්නුම් කෙරෙන බවත් එය අමාත්‍යවරයෙකුගේ ක්‍රියාකලාපයට නොතරම් වන බවත් ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ අදහස වී ඇත.