SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගියදා අප අතරින් හදිසියේම සමුගත් විපුලි නිරෝෂිනී හෙට්ටිආරච්චි කිවිඳිය තම මව සමග ජීවත්වූ නිවසට පෙර සතියේ හොරු පැනීම සම්බන්ධව මුහුණු පොතේ සටහනක් තබා තිබුණි.

තම මහන්සියෙන් ජීවත්වන්නට යෑමේදී සොර සතුරු බියෙන් තොර රටක්.. එකී රටවැසියන්ට ආරක්ෂාවක් දීමට නොහැකි රජයක්.. මෙන්ම සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් එහෙත් මහජන මුදලින් නඩත්තු වන,   මහජන ආරක්ෂක ආයතනයන් සහිත රටක, ඇය ජීවත්වූ අවසන් කාලය තුළ කොතෙක් නම් බියෙන් සැකයෙන් යුතුව දිවි ගෙවන්නට සිදුවී තිබේද? මේ ඇයගේ සටහනින් එය කියාපානවා නොවේද?.

--- ---- ----- ------

 

සුජීවත්ව ලියූ කවි ලියූ කාලය අවසන්ය.දැන් ඉතින් මතු දවසක කවි ලියැවේනම් ඒ ද මර බියෙන් බාගෙට හුස්ම ඇද ඇදය. නිදහසේ ජීවත් නොවී භාගෙට ජීවත් වීමට වඩා දැන්නම් මිය යාම යහපත් ය.අම්මාගේ ජීවිතයේ අග භාගය ගෙවිය යුතු දිවා රෑ නිදි වර්ජිතව ය.

එදා උදේ පාන්දර අපේ ජීවිත බේරුණේ අනූනවයෙනි..ජීවිතය පුරා කිසිවෙකුට හිංසාවක්,මගඩියක් හෝ ගින්නක් නොදුන් දෙමව්පියන්ගේ අභිමානය හිසින් ගත් දියණියකව හැදී වැඩී මේ රටේ පුරවැසියෙකුට හිමි ජීවත් වීමේ අයිතිය පවා අහිමිව ගිය අසරණියක වීම තරම් අභාග්‍යයක් තවත් නැත. හදවතේ බර වේදනාව පසෙක ලා මුළු ගමටම ඇසෙන්නට කෑ ගැසීමට සිදු වීම ම මොන තරම් අවුලක්ද? 

 

දේශපාළුවන්ගෙන්,හොරුන්ගෙන් ,කුඩු කාරයින්ගෙන් මිල මුදල් උපයා ගත් ඊනියා ව්‍යාපාරිකයන් බන්ධනාගාර උසට මහා ප්‍රාකාර සාදාගෙන මුරකාවල්,තර කරගෙන සුව නින්දේය.අනිකාට,,අසල් වැසියාට කුමක් වීදැයි ඔවුහූ නොදනිති.තැනින් තැන සිටින ගම්මු පවා දැන් වැටෙන්,තාප්පයෙන්,මායිමෙන් ඈත් වී ගොස්ය.ඥාතීන් පවා ගමෙන් කැඩී බිඳී විසිරී ගොස්ය..තාවකාලික කුලී නිවැසියන් අක් මුල් නැතිව පාත් වූ අසල් වැසියෝ අනිකා ගේ ඇතුළෙ මළත් හිස,පොවා නොබලන තත්වයෙන් මනුෂ්‍යත්වයෙන් ගිලිහුණු නරුමයෝය..

 

පොලිස් සහතිකයක් ගැනීමට වරක් ග්‍රාම නිලධාරිණියගෙන් සහතිකයක් ගෙන හූවක් දුර පොලිසියට ගිය විට පාරම්පරික ගම් වාසී මගේ චරිතය සහතික කරවාගෙන ඒමට මා ග්‍රාම නිලධාරිණියට අමතරව මගේ ග්‍රාම සේවා වසමට අයිති සිවිල් ආරක්ෂක කමිටු සභාපති වෙත ද යා යුතුය ..එවන් තනතුරුලාභීන් හතර අතේ විසිර ඇති බව මා දැන ගත්තේ එදාය..එහෙන් අපට ඇති ආරක්ෂාවක් නැත..අපේ ජීවිත අවදානම දරා ගත යුතු අපමය.

 

ගැහැනු අප පමණක් ජීවත් වීම හුදෙක් මෙවැනි අනතුරකට හේතු බව කියන මහ දැනමුත්තන් නොදන්නා එකම කාරණයනම් මේ කෙටි කාලයට සොරු කොල්ල කා ඇත්තේ,සොරු පැන ඇත්තේ හුදෙක් ගැහැනු ඉතිරි වූ ගෙවල්වලට පමණක් නොවන බවය. වතු මැද හුදකලා වූ පැරණි ගෙවල්වලට පමණක් ම නොවන බවය..නවීන ආරක්ෂක උපාංග සහිත දෙමහල්,තනි මහල් න්‍යාෂ්ටික,විස්තෘත , ගැහැනු ,පිරිමි , බාල ,තරුණ මහලු ,වැඩිහිටි භේදයක් නැතිව නිවාස කිපයකට ම එක යායට සොරු පනිමින් සිටිති.අවාසනාවනම් ඇස් අඳ පවුලක් වෙසෙන නිවසේ ද දුරකථනය ආදී වටිනා කියන දේ සොරුන් ගෙන ගොස්ය.ඒ ගෙදර ගෘහ මූලිකයාගේ පාවහන් දෙක පවා දා ගත් සොරු ගමේ ඇවිදිතැයි සිතෙන්නේ ඇස් පේන කුඩා දියණිය පාරේදී සිය පියාගේ පාවහන් පැළඳ යන එකෙකු දැක ඒ බැව් කියා ඇති නිසාය..තරාතිරමක් ,වයස් භේදයක් ,ලිංග භේදයක් නැතිව රෑ පාන්දර ගෙවල්වලට සොරු පනිද්දී දැන් ජීවිත අවදානම තකා වහා අප ඇමතිය යුත්තේ පොලීසියට නොව සුව සැරිය ගිලන් රථ සේවාවට ය.මන්ද, 119 එහි ළඟා වීමට පෙර සුව සැරියෙන් රෝහලට යාම නිසා අඩුම තරමින් මට මගේ ජීවිතය බේරා ගත හැකිය.අම්මා වෙනුවෙන් මා ජීවත් විය යුතුය .ඇත්තටම කළ යුතුව තිබුණේ එයය.

 

 

11 9 රාජකාරිය හෝ අර ග්‍රාම සේවා වසමෙන් වසමට අරක් ගත් ආරක්ෂක කමිටුවල රාජකාරිය කුමක්දැයි අපි නොදනිමු ..අවුරුදු ගණනාවක් උපතේ පටන් ජීවත් වූ නිවස හැර දා සරණාගතයන් සේ අම්මා සමග එහෙ මෙහේ ගොස් ජීවත් වීමට සිදු වේනම්,ඒ ,ඉමහත් අවාසනාවන්ත අප්‍රසන්න අත්දැකීමකි..දශක ගණනාවක් නිදහසේ ,නිරෝගී ව ජීවත් වූ අපේ අම්මා වැනි සොඳුරු සැහැල්ලු පැවතුම් ඇති වයෝවෘද්ධ අහිංසක ගැහැනියක මෙවැනි කුඩුකාර පාපතරයින් අතින් මැරුම් කෑ යුතුයැයි ඔබ සිතන්නෙහිද ? අනිකාට බරක් නොවී ජීවිතයේ සියලු අභියෝග අතර ,තනියම ජීවිතයට මුහුණ දුන් මේ මා වැනි ගැහැනියක මෙබඳු කාලකණ්නින්,හෝ වනචරයින් අතින් මැරුම් කෑ යුතුද ?ඒ නිසා උත්සන්න වූ රෝගී තත්වයකින් මිය යාම කෙතෙක් දුරට සාධාරණ ද ? අපි අපේ දරුවන් වෙනුවෙන් අනාගතයක් හදන්නට සිහින මවමු.යහපත් සමාජයක් වෙනුවෙන් සිහින දකිමු;වෙහෙසෙමු.ඒ අතර දේශපාළුවෝ අපේ ජීවිත ඇපයට තබා රට පුරා ගමින් ගමට කුඩු කාරයින් ,අයිස්කාරයින් බෝ කරමින් නීතිය ,නිල තනතුරු ආදී අනේකාකාර රාජකාරින්ද විගඩමක්,විහිළුවක් කර ගනිමින් රටම කොල්ල කෑමට ඉඩ දී බලා සිටිති; නිදි වැද සිටිති..

 

 

මේ සිදුවීමට කලින් දා පටන් මගේ ආදරණීය අම්මාගේ උපන් දිනය වෙනුවෙන් සුබ පැතුම්, ආශීර්වාද, ආශිංසන එක් කළ සැමට නිදුක් නිරෝගී සුව දිගාසිරි සෙත් පතමි. ඔබ සියලු දෙනාගේම ජීවිත ආරක්ෂා වේවා ! සොරු මංකොල්ලකාර පාපතරයින් ,කාලකණ්නින් අතින් නිරපරාදේ මියැදෙන්නට හෝ නොමැරී මැරෙමින් ජීවත් වීමට මෙලොව කිසිවෙකුට සිදු නොවේවා !

 

@Vipuli Niroshini Hettiarachchi fb