SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

උත්සන්න වෙමින් පවතින හමාස් – ඊශ්‍රායල ගැටුම ආමන්ත්‍රණය කිරීමට ගෝලීය එකමුතුවක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර ඇත.

ඔහු මේ බව පෙන්වා දුන්නේ ඉන්දියන් සාගරය පිළිබඳ විශේෂඥ ජාත්‍යන්තර පර්යේෂණ පදනමක් වන Geopolitical Cartographer විසින් (13) කොළඹ සිටි සෙන්ටර්හිදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකදීය.

 

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් ඊශ්‍රායලයට ගොස් අමෙරිකා එක්සත් ජනපදයේ  ස්ථාවරය ප්‍රකාශයට පත්කිරීම හමුවේ ජනාධිපති වික්‍රමසිංහ ද මෙම යුධ ගැටුම පිළිබඳව එම සම්මන්ත්‍රණයේදී  අදහස් දක්වා ඇත.

 

"බොහෝ මැද පෙරදිග සහ අනෙකුත් මුස්ලිම් රටවල් විසින් ඊශ්‍රායලයේ ක්‍රියා කලාපය හෙළා දැකිය යුතු බවට ප්‍රකාශ කළා. සමහරු කිව්වා, නැහැ ඊශ්‍රායලය තමයි මෙතන වින්දිතයා කියලා. අපි ඇත්තටම බලමු මොකද්ද මේකේ තේරුම කියලා. ප්‍රහාර එල්ල කිරීම දැනට අවසන් වෙලා තිබෙනවා. ඒ වගේම අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් ඊශ්‍රායලයට ගොස් තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදය තමන්ගේ ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබෙනවා." 

 

"දැන් ඊශ්‍රායලය කියනවා ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ වෙසෙන මිලියනයකට අධික ජනතාවට ගාසා තීරයේ දකුණු ප්‍රදේශයට වහාම පිටත්වෙන්න කියලා. දැන් මෙම තත්ත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පමණක් නොව අප්‍රිකානු රටවලින් සහ සමහර යුරෝපීය රටවලින් පවා හෙළා දැකීමට ලක්වී තිබෙනවා."

 

"මීළඟට සිදුවෙන්න යන්නේ මොකක්ද? ගාසා තීරයේ සිටින වැසියන්ට ඉන් ඉවත් වෙන්න කියන එකෙන් අදහස් වෙන්නේ ඊශ්‍රායලය ගාසා තීරයට ඇතුල්වීමට සූදානම් කියන එකයි. ඇයි ගාසා තීරයෙන් මිනිස්සු ඉවත් කළේ ?. ගාසා තීරයට බෝම්බ දැම්මේ ඇයි ?. මම කියන්නේ එය අරමුණක් ඇතුව කරපු දෙයක්. මම හිතන්නේ නැහැ ඊශ්‍රායලය නිකම්ම රස්තියාදු වුණා කියලා. ඔවුන් සිතුවේ ගාසා තීරයේ ගොඩනැගිලිවලට බෝම්බ හෙළා ඒවා බිම හෙළීම හමාස් සටන්කාමීන් සැඟවී සිටින ස්ථාන විනාශ කිරිමේ පළමු අදියර බවයි. ඉතින් ඔවුන් ගාසා තීරයට ගිහින් හමාස් සංවිධානයේ සාමාජිකයන් හොයාගෙන එතන සටනක් ඇති වුණොත් එක ප්‍රශ්නයක්. ඊශ්‍රායලය මෙහෙම කරනවා කියලා හමාස් ත්‍රස්තවාදීන් ඊශ්‍රායලය තුළට කඩා වැදුනොත් මොකද වෙන්නේ ?. ඒක කුරිරු ඝාතනයක්. මම කියන්නේ ඒක සමූල ඝාතනයකටත් වඩා වැඩි දෙයක්."

 

"අමෙරිකා එක්සත් ජනපදයට යුක්‍රේනයේ, තායිවානයේ, මැද පෙරදිග සහ ගාසා තිරයේ ඇතිවී තිබෙන තත්ත්වය පාලනය කරන්න පුළුවන් ද? මම නම් හිතන්නේ නැහැ."

"මධ්‍යධරණී මුහුදේ ගුවන් යානා රැගෙන යන නාවුක යාත්‍රා සහිත ඛණ්ඩයන් දෙකක් ස්ථානගත කරන්න යනවා නම්, ඒක බරපතළ තත්ත්වයක්. ඒක කළමනාකරණය කරන්න පුළුවන් ද? එයින් ගොඩක් ප්‍රශ්න වැඩිවෙන නිසා තත්ත්වය කළමනාකරණය තවත් අසීරු වෙනවා.”

 

“මේකෙන් මම හමාස් සංවිධානයට හෝ හිස්බුල්ලා සංවිධානයට සහයෝගය දක්වනවා කියන එක නෙවෙයි කියන්නේ. මම එහෙම සහයෝගය දක්වන්නේ නැහැ. නමුත් මේක මෙතැනින් කොතැනට යයිද කියලා බලන්න ඕනේ."

 

"ඊශ්‍රායලයට සහ අමෙරිකා එක්සත් ජනපදයට එකතු විය හැකිද යන්න ප්‍රශ්නයක්. අපට ඊශ්‍රායලය ස්වාධීනව ක්‍රියාත්මක වීම පේනවා. ගාසා තීරය විනාශ වී තිබෙනවා."

 

පලස්තීනයේ ක්‍රියාත්මක වෙන්නේ අඩක් පමණයි. ලෙබනනයත් එසේමයි, ඔවුන්ගේ ද ක්‍රියාත්මක වෙන්නේ අඩක් පමණයි. විසඳුමකට යනවා නම්, ඒ තුළ රාජ්‍යයන් දෙකක් නොවෙයි, හතරක් තිබිය යුතුයි. සිරියාව ගැනත් හිතන්න වෙනවා. ඒ නිසා පරණ පාරේ යමින් අපට විසඳුම් ලැබෙන්නේ නැහැ. අපිට අලුතින් හිතන්න වෙනවා.”