SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් ජර්මන් ජනමාධ්‍යවේදියකුට ඉතා තදින් කතා කරලා. පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණ නැති බව ලෝකයට ම ඇහෙන්න කියලා.

ලංකාව පිළිබඳ මානව හිමිකම් කොමසාරිස් වාර්තාව ප්‍රතික්‍ෂෙප කරන බව කියලා. රනිල් ජාතිකවාදියකු වෙලා ද? එහෙමත් නැත්තන් බටහිරයන් සිංහල ජාතිකවාදීන්ගේ පැත්තට ඇවිත් ද?

 

බොහෝ ජාතිකවාදීන් මා මෙහි කියන දේ සමග එකඟ නො වේවි. කුරුන්දිය ගැන ලයිට් හවුස් කතා කී රනිල් පුරාවිද්‍යාව ගැන වෙන කතා කී රනිල් දායකයන්ගේ මුදලින් පැරණි සිද්ධස්ථාන නඩත්තු කළ නොහැකි යැයි කී රනිල් දෙමළ විසුරුණු ජනයා මගින් රට සංවර්ධනය කිරීමක් ගැන කතා කළ රනිල් ඇමරිකාවට ගිහින් එක් රැයකින් ජාතිකවාදියකු වී ද?

ඒ අතර කාදිනල්තුමා නැවත සිවුර හා ලෝගුව අතර සම්බන්ධය ගොඩ නැගීම ගැන කියනවා. මා දන්නේ නැහැ ඊයේ එඩ්මන්ඩ් රණසිංහ නම් ජාතිකවාදී මාධ්‍යවේදියාට රනිල් අතින් උපහාර පිරිනමණු ලැබුවා ද කියා. මෙරට ජාතිකත්වය වෙනුවෙන් මැතක දී ඉමහත් කාර්යභාරයක් කළ එක ම ජනමාධ්‍ය දිවයිනයි. ඒ එඩ්මන්ඩ් රණසිංහගේ මග පෙන්වීමෙන්. ඔහු දිවයිනෙන් ගියාට පසු ජාතිකත්වය වෙනුවෙන් ජනමාධ්‍යයක් නැති වුණා.

 

ඒ කෙසේ වෙතත් මේ සිද්ධි අහඹු නො වෙයි. තනි තනි සිද්ධිත් නො වෙයි. ලබන වසර වන විට ජනාධිපතිවරණයක් තියන්න ඕන. අද ජාතිකත්ව කඳවුර තම ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගෙන නැහැ. රනිල් ඒ අපේක්‍ෂකත්වය බලාපොරොත්තු වන්නේ ද? පඬි නැට්ටන් ජාතිකවාදය පරාජය වී ඇතැයි සතුටින් ඔල්වරසන් දුන්නත් නායකයකු නැතුවත් ජාතිකත්වය මෙරට ශක්තිමත්. මැතිවරණ ජයග්‍රහණය කිරීමට ජාතිකවාදී ඡන්ද අවශ්‍යයි. රනිල් මෙන් ම බටහිරයන් ද ඒ බව දන්නවා. සරත් ෆොන්සේකා හා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරණවලට ඉදිරිපත් කෙරුණේ එබැවින්.

 

අද බටහිරයන්ට අලුත් ජාතිකවාදී අපේක්‍ෂකයකු හොයනවාට වඩා පහසුයි ඉන්න රනිල් ම ජාතිකත්වයට තල්ලු කිරීම. ඇමරිකාවට ගිය රනිල්ට එහි දී ලැබුණු උපදෙස් මොනවා ද කියා ටිකෙන් ටික රනිල්ගේ වැඩවලින් අපට දැන ගන්නට ලැබේවි. රනිල් හා ජර්මන් ජනමාධ්‍යවේදියා අතර වු ඊනියා සංවාදයේ පිටපත කලින් ලියා තිබූ එකක් ද? එහෙම නම් දේශපාලනඥයාත් ජනමාධ්‍යවේදියාත් දක්‍ෂ නළුවන්. ඊළඟ ඔස්කාර් සම්මාන සඳහා යෝජනා කරන්න පුළුවන්.

මා කියන්නේ නැහැ රනිල්ට ජාතිකවාදියකු වීමට නොහැකි ය කියා. මහින්දත් 2005 දී ජාතිකත්වය දෙසට තල්ලු වුණා. අවසානයේ දී කොටි සංවිධානය පරාජය කිරීමට නායකත්වයත් දුන්නා. එහෙත් මහින්ද බටහිර නියෝජිතයකු නො වෙයි. ඔහු ලයිට් හවුස් කතා කිව්වේ නැහැ. එහෙත් කොටි පරාජය කිරීමට ඔහුගේ සූදානමක් තිබුණේ නැහැ. අවසානයේ දී ඔහු එතැනට තල්ලු වුණා. පසුව බටහිරයන් ඔහු දේශපාලනයෙන් තල්ලු කළා.

රනිල් බලයට පත්කෙරුණේ බටහිරයන් විසින්. ඉන්දියාව ද එයට සහාය දුන්නා. ඒ ජාතිකත්වය තර කිරීම සඳහා නම් නො වෙයි. දැන් අපේ ආර්ථිකය හැසිරවෙන්නේ ජාමුල විසින්. ජාමූල හා ආණ්ඩුව අතර ප්‍රශ්න තියෙනවා. ආණ්ඩුවට ජාමූල කොන්දේසි සියල්ලට ම එකඟ වන්න බැහැ. එහෙත් යම් ආකාරයක විසඳුමක් අවශ්‍ය වෙනවා රනිල් බලයේ තබා ගැනීමට. බටහිරයන් සජිත්ගේ හා රනිල්දාසගේ තරම දන්නවා. මෙරට ඉන්නේ වැඩ බැරි ටාසන්ලා බව අපට වඩා හොඳින් බටහිරයන් දන්නවා. ඔවුන් ටාසන් චිත්‍රපට නිෂ්පාදනය කර තියෙනවා.

ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට වලංගු ඡන්දවලින් අඩුම තරමෙන් 50% ක් හා එක් ඡන්දයක් අවශ්‍යයයි. ජාතිකත්ව ඡන්ද නැතුව කිසිවකුට ජයග්‍රහණය කරන්න බැහැ. රනිල්ගේ ඊනියා ජාතිකත්ව නැඹුරුව මහින්දගේ වගේ නො වෙයි. මහින්ද ජාතිකත්වයට තල්ලු කෙරුණේ ජාතිකවාදීන් විසින්. රනිල් තල්ලු කෙරෙන්නේ බටහිරයන් විසින්. ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් රනිල් ජාතිකත්ව පැත්තට තල්ලු කරන්න ඕන බව බටහිර සැලසුම් කරුවන් දන්නවා. අප ඔවුන්ගේ සැලසුම් අනුව කටයුතු කරනවා.

චැනල් 4 මුසා අතේ පත්තු වුණා. පඬි නැට්ටන්ට ඒ ගැන කණගාටු ඇති. බටහිරයන්ට එය ප්‍රශ්නයක් නොවෙයි. පෙරළුණු පැත්ත ප්‍රයෝජනයට ගන්න ඔවුන් දන්නවා. චැනල් 4 ට දැන් විශ්වාසනීයත්වයක් නැහැ. රනිල් ලවා බටහිර රටක දී ම චැනල් 4ට හා මානව හිමිකම් කොමිසමට පහර දීම බටහිරයන්ට ප්‍රශ්නයක් නො වෙයි. අද බටහිරට අවශ්‍ය වන්නේ රනිල් මිස චැනල් 4 නො වෙයි. අද වීරයා විය යුත්තේ රනිල් මිස චැනල් 4 නොවන බව බටහිර සැලසුම්කරුවන්ට අමුතුවෙන් කියා දෙන්න අවශ්‍ය නැහැ.

@Nalin de Silva 

නවතම ලිපි