SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

  • මම කපන්න කපන්න මුවහත් වෙන ජාතියේ ගෑනියෙක්
  • මේ දේශපාලනයක් නිසා මගේ මිනිහත් මාව දාලා ගියා
  • කරගත්ත මෝඩකම් ගැන බුදු අම්මෝ කියලා හිතෙනවා

 

Qඔබ කාලයක් සද්ද බද්ද දානවා. ආයේ නිශ්ශබ්ද වෙනවා. දැන් ආයේ නිශ්ශබ්දයි. මොකෝ වැඩ වැඩිද? නැත්නම් කරන්න වැඩක් නැති නිසාද?

වැඩ තියෙනවා. වැඩත් කරනවා. හැබැයි සමහර දේවල් ගැන මට සතුටු වෙන්න අමාරුයි. මට හරියටම මානසිකව වදදෙන්න පටන් අරන් තියෙනවා. මට කාන්තාවන්ගෙයි, ළමයින්ගෙයි ආරක්ෂාව කියලා ලොකූ බෝඩ් කෑල්ලක් තියෙනවා. ඒත් මට අහන්න ලැබෙන්නෙම දවස තිස්සෙම ළමයින්ට වෙන කරදර ගැන. මන්ද පෝෂණය, බෙහෙත් නෑ කියනවා, අපචාර කියනවා, එහෙන් අධ්‍යාපන විභාග ඉක්මන් කරන්න යනවා. මේ හැමදේම දේවල් එක්ක බලද්දී හරිම කලකිරීමක්, මානසික පීඩනයක් දැනෙනවා.

 

Qරටේ අධ්‍යාපන, පොලීසිය, සෞඛ්‍ය වගේ අමාත්‍යංශ තියෙනවනේ. මේ හැම ආයතනයක්ම ඔබ එක්ක සම්බන්ධ වෙන්න එපැයි. එහෙම එකක් නැද්ද?

නෑ කිසිම සම්බන්ධතාවයක් නෑ. දැන් බලන්න ගැහැනු ළමයින්ට සනීපාරක්ෂක තුවායක්වත් දෙන්න බෑනේ. එක්කෝ අඩුවට හරි දෙන්න පුළුවන් වෙන්න එපැයි. අපි දන්නවනේ ඒකේ වැදගත්කම. සමහර ළමයි ඉස්කෝලේ යන්නේ නෑ. මේවා කතා කළාම බනීවි, මෙච්චර ප්‍රශ්න තියෙද්දී ගීතා සනීපාරක්ෂක තුවායක් අරන් එනවා කියලා.

 

Qමේ අමාත්‍යංශය ගත්තම දැන් හිතෙනවද මේ රටේ මොනතරම් ප්‍රශ්න තියෙනවද කියලා ඔබතුමියට?

ඇත්තටම මට දේශපාලනයම තිත්ත වුණා. මට තේරුණා මොකක්ද මේ අපි කරන බොරුව කියලා. හිතන්න මේ රටේ වැඩියෙන්ම ඉන්නේ ගෑනු අය. ළමයි දෙන්නෙක් එක්ක තනිවුණ අම්මෙකුට අර මොන වැසුමද, අත්වැසුමද කියන එකවත් දෙන්නේ නෑනේ. දැන් බලන්න ළමා නිවාස ප්‍රශ්නය ගත්තම. මේ මත්ද්‍රව්‍යවලට හුරුවුණ දරුවොත් ඒවලට දානවා. ඊටපස්සේ ප්‍රශ්න. වැඩිම පරිවාස ප්‍රමාණයක් පාලනය වෙන්නේ පළාත් සභාවෙන්. මේ ළමයින්ට ගොඩක් ආරක්ෂාව දෙන්න ඕන. සෙල්ලමට නෙමේනේ ළමයින්ගේ බාරකාරත්වය අපි ගන්නේ.

 

Qදරුවෝ විශාල වශයෙන් ප්‍රශ්නවලට මේ වෙද්දී මුහුණ දීලා තියෙනවා මානසික කායික වශයෙන්. මොකක්ද මේකට හේතුව?

මෙහෙමයි කොරෝනා සමයේදී ඔන්ලයින් අධ්‍යාපනයත් එක්ක දෙමව්පියෝ ණයවෙලා හරි ෆෝන් ටැබ් අරන් දුන්නා. දැන් හැම ළමයම දන්නවා මේවා පාලනය කරන හැටි. මේ නිසා දැන් ඕන එකයි එපා එකයි ළමයින් බලන තැනට පත්වෙලා. ඇතැම් දෙමව්පියෝ දන්නෙත් නෑ.

 

Qසාමාන්‍යයෙන් දරුවන්ගේ වගකීම තියෙන්නේ දෙමාපියන්ටත් වඩා උඩින් රජයට. කෝ ඒ වගකීම පේන්නේ නෑනේ?

ඒ වගකීම අරගන්නෙත් නෑ කවුරුත්.

 

Qඇයි නොගන්නේ?

දරුවෝ ඡන්ද දායකයෝ නෙමේනේ. ඒ නිසා කවුරුත් බලන්නේ නෑ. හැබැයි එක දෙයක් තියෙනවා. වර්තමාන ජනාධිපතිතුමා මාගේ කැබිනට් ඇමැතිතුමා. එතුමා පූර්ණ සහාය දෙනවා. එතුමා කියලත් තියෙනවා දරුවන්ට උපරිම කරන්න කියලා. ඒ නිසා අපි මේ පාර අයවැයට යෝජනා ඉදිරිපත් කරනවා. නැත්තම් වැඩක් නෑනේ අපි ඉඳලා. ඔබට කියන්න ගෙදර ඉඳලා ඔෆීස් ගියාම ඔලුව කැරකෙනවා. ඒ තරම් ප්‍රශ්න.

 

Qඔබ ළමා හා කන්තා බාර රාජ්‍ය ඇමැති. මේ රටේ මේ දෙගොල්ලන්ට තියෙන ප්‍රශ්න දැක්කම කාන්තාවක් හැටියට ලැජ්ජ හිතෙන්නේ නැද්ද ඔබතුමියට?

ලැජ්ජ නෑ. තිත්තයි. සමහර අය හිතන්නේ මේ රට හදන්න කංසයි, කසිප්පුයි විකුණන්න ඕන කියලා. මළ විකාර. ළමයින්ට හරියට බත් වේලක් කන්න නෑ. මේ අය කුණුහරුප කතා කරනවා.

 

Qවැඩිම කාන්තාවෝ ඉන්න රටක අඩුම තරමේ කාන්තාවන් වෙනුවෙන් කැබිනට් ඇමැතිකමක් නෑනේ. ඉන්නේ රාජ්‍ය ඇමැතිලා?

අනේ කියලා වැඩක් නෑ. අපේ පාර්ලිමේන්තුවේ කාන්තාවෝ ඉන්නවා දොළහක් දහතුනක්. ඒකෙන් ගොඩක් අය ඥාතිකම් නිසා දේශපාලනයට ආපු අය. මහන්සියෙන් ආපු අය අඩුයි. මම මහන්සියෙන් ආවේ. ඒ නිසා මම කියන්නේ මේ ගමේ ඉන්න කෙල්ලෙක්ට මේ රටේ දේශපාලනයට එන්න ඉඩක් ඕන. ඒකට ඉඩ හරිම අඩුයි. මොකක් හරි බලපෑමක් ඕන. ඉතින් මට ඕන අන්න ඒක වෙනස් කරන්න. කාන්තාවන්ට හරි තැන තවම නෑ. මොකක් හරි එකකින් කඩනවා ඒ තැන.

 

Qඔබතුමිය ප්‍රශ්නයත් දන්නවා. උත්තරෙත් දන්නවා. දැන් කියන්න තැනක් නෑනේ?

කියන්න තැනක් නෑ. මම දැන් අලුත් දෙයක් පටන් අරන් ඉන්නේ. කට වහගෙන ඉන්නේ. මම කරගත්ත මෝඩකම ගැන බුදු අම්මෝ කියලා හිතිලා තියෙන්නේ. අපි හිතුවේ පාර්ලිමේන්තු ගිහිල්ලා මහා ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. මොනවද කරන්න පුළුවන් වුණේ. මිනිස්සුත් හරිම නරකයි. තවත් මිනිස්සුන්‍ට දෙස් තියන හැටි දැක්කම කලකිරෙනවා.

 

Qහිතෙන්නේ නැද්ද මේ රටේ දේශපාලනයයි ජනතාව මේ තැනට පත්කළේ කියලා?

ඔව්. ඔව්. ඒක ඇත්ත. මුල ඉඳලා කරපු දේශපාලනය නිසයි මේ තත්ත්වය ඇති වුණේ.

 

Qඔබතුමියටත් ජනතාව බණිනවද?

අනේ නෑ. කවදත් මිනිස්සු මට ආදරෙයි. මිනිස්සු දන්නවා මේ ගෑනිට හැමදේම තිබිලයි ඒවා දාලා ආවේ කියලා. මම හොරකම් වංචා කරලා නෑ. ඉතිං මිනිස්සු දන්නවා මම කවුද කියලා. මේ දේශපාලනය නිසා මම ස්විට්සර්ලන්තයේ සියල්ල නැති කරගත්තා. ඒක නිසා මිනිහත් ගියා යන්න මාවත් එපා කියලා. එහෙම කෙනෙක් මම. ඒත් මේ සමහර රාජ්‍ය නිලධාරි නම් හදන්නම වෙනවා.

 

Qඅන්තිම වශයෙන් අහන්නේ ඔබ හැමදාම දේශපාලනයට රැවටුණ කෙනෙක් කියලා කිව්වොත් මම?

රැවටුණේම නෑ. මම යථාර්ථය දැක දැක මම ඒකේ පැටලුණා කියන එක හිතෙනවා. හැබැයි මම අද ඉන්න නළු නිළියන්ට කියන්නම් දෙයක්. ඔයාලට කවුරු හරි දේශපාලන වේදිකාවකට නගින්න කතා කළොත් කෙලින්ම ඉල්ලන්න ලොකු ගණනක්. මතක තියාගන්න ලැබෙන්නේ එච්චරයි කියලා. හැබැයි මම කපන්න කපන්න මුවහත් වෙන ජාතියේ ගෑනියෙක්නේ.

 

@ගයාන් ගාල්ලගේ

Deshaya