SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදෙස් සවාරි සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක ශාන්ත ජයරත්න විසින් කරුණු ගණනාවක් අනාවරණය කර ඇත.

එම කරුණු අනාවරණය කරමින් ඔහු විසින් සම්පාදනය කළ එම ලිපිය පහතින් දැක්වේ,

 

“ආසියාවේ එකම බංකොලොත් රට ලංකාවයි. නිල වශයෙන් ලංකාව බංකොලොත් රාජ්‍යක් බවට මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ විසින් නිවේදනය කොට මේ වනවිට මාස 20කට ආසන්න ය. එහෙත් රට බංකොලොත් භාවයෙන් මුදවා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට සත්‍ය වූ වුවමනාවක් තිබෙනවා ද කියා සැක සහිත ය. ඔහුගේ හැසිරීම තුල එවැනි වුවමනාවක් තිබෙන බවක් පේන්නට නැත. ඔහුට අවශ්‍ය ඔහුගේ මිතුරන් සමග මසකට වරක් වත් “ෆන්” එකක් ගැනීමය. රටට මොනවා උනත් ඔහු සෑම මාසයකම ඔහුගේ චක්ගෝලයන් කිහිප දෙනෙකු සමග ලෝකය වටේ සවාරියක් යයි. මෙහෙව් නායකයින් රටවල් ගොඩ නගයිද?

 

 

සමහර අඳබාලයන් කියන්නේ මෙය රනිල් වික්‍රමසිංහගේ ජාත්‍යන්තර සම්බන්ධතා කියාය. රටක් ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩ නගා ගන්නේ හෝ තිබෙන සම්බන්ධතා තවත් තහවුරු කරගන්නේ ඔවුන්ගේ රටවල් Win-Win තත්ත්වයට පත් කර ගැනීමටය. එහෙත් රනිල් වික්‍රමසිංහ සෑම සංචාරයක්ම යොදා ගත්තේ Win-Lose තත්ත්වයට රට පත් කිරීමට ය. රටේ ඉතිරි වී තිබෙන සම්පත් ටික විකුණා දැමීම සඳහා ගැණුම්කරුවන් සොයා ගැනීම ඔහුගේ සංචාර වල එකම අරමුණය. ඉතිහාසයේ සිටම රනිල් වික්‍රමසිංහ බලයට පැමිණි සෑම අවස්ථාවකම උත්සාහ කොට තිබෙන්නේ වෙළඳ නියෝජිත (Sales Representative ) රාජකාරිය කිරීමටය. රටක් ගොඩනැගීමට ඔහුට කිසිදු දැක්මක් නැත.

 

පසුගිය දා ඉන්දියාවට ගොස් විශේෂයෙන්ම නැගෙනහිර සහ උතුරු පළාත් දෙකේ භූමිය , සාගරය , ස්වාභාවික සම්පත් , හිරු එලිය, සුළඟ සියල්ල ඉන්දියාවට ලියා දීමට රනිල් වික්‍රමසිංහ එකඟ විය. මොහු සෑම විටම කලේ රටේ සම්පත් විකිණීම ය. 2015 බලයට පැමිණ හම්බන්තොට වරාය චීනයට තක්සේරු වටිනාකමටත් අඩුවෙන් විකුණා දැම්මේ ය. හිඟුරාණ, සෙවනගල සීනි සමාගම් තම හිතවතුන්ට කුණු කොල්ලයට විකුණා දැම්මේ ය. තවත් සම්පත් කෙතරම් මොහු විසින් අවසතු කොට ඇත්ද?

 

 

පොහොට්ටු මන්ත්‍රී වරුන් 134 දෙනෙකු විසින් අනුප්‍රාප්තික ජනාධිපති වරයා ලෙස රනිල් වික්‍රමසිංහ “තෝරාගත්” දින සිට මේ දක්වා සෑම මසකම අවම වශයෙන් එක විදේශ සංචාරයක හෝ නිරත වී ඇත. මොහු සමග ආරක්ෂක නිලධාරීන් ප්‍රමුඛ ජනාධිපති කාර්‍යය මණ්ඩලයේ කිහිප දෙනෙකුද, ඇමැති , නියෝජ්‍ය ඇමැති වරු කිහිප දෙනෙකුත් අනිවාර්ය යෙන්ම මෙම සංචාර සඳහා බෑග් උස්සන්නන් (Porters )හැටියට සහභාගි වෙති . මොවුන්ගේ ගුවන් ටිකට්පත්, යැපීම් දීමනා (Subsistence) යනාදිය දරන්නේ මේ රටේ බදු ගෙවන සාමාන්‍ය ජනතාවය. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විදේශ සංචාර සඳහා රජය මේ වන විට කොපමණ මුදලක් වියදම් කොට තිබෙනවා ද, ඔහුගේ පරිවාර පිරිස් සඳහා වැය වී තිබෙන මුදල කොපමණද කියා වෙන් වෙන් වශයෙන් විස්තර ලබා දෙන ලෙස තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනාධිපති කාර්යාලයේ තොරතුරු නිළධාරියාගෙන් විමසා බැලිය යුතුය.

 

 

පසුගිය සතියේ (සැප්තැම්බර්18) අමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 78 වන සැසියට සහභාගි වූ රනිල් වික්‍රමසිංහ දින කිහිපයකට පසු නැවත ජර්මනියේ සංචාරයක් සඳහා සැප්තැම්බර් 27 වන දින යෑමට නියමිතය. රාජ්‍ය නායකයින් මෙවැනි සංචාර සඳහා යෑමේ ප්‍රශ්නයක් නැත. එහෙත් රනිල් වික්‍රමසිංහගේ සංචාර හුදු සංචාර මිස රටේ යහපත සඳහා කිසිදු ප්‍රයෝජනයක් මෙතෙක් අත් වී නැත. බොහෝ විට හැඟී යන්නේ මොහු තානාපති කාර්යාල හරහා බලෙන් ආරාධනා පත්‍රයක් කැඳවා ගෙන විවිධ සමුළු වලට සහභාගි වනවාදෝ කියා ය. ලංකාවේ සමහරුන් එසේ කරනා බව ප්‍රසිද්ධ රහසකි.

 

මේ වන විට රජයේ ණය බර (Public Debt) ඩොලර් බිලියන 91 ක් බව මහ බැංකුව කියයි. දේශීය ණය එන්න එන්නම ඉහළ යමින් පවති. රටේ සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ 14කට මදක් වැඩි ඒක පුද්ගල ණය බරක් (per-capita debt ) දරාගෙන සිටිති. රටේ මිලියන 22 ක්වූ ජනගහනයෙන් මිලියන 7ක් (1/3) දරිද්‍රතා රේඛාවට යටින් ජීවත් වෙති. ඉන් අදහස් වන්නේ හතර දෙනෙකුගෙන් යුත් පවුලක (Household) මාසික ආදායම රුපියල් 13,777 ට වඩා අඩු බවය. රටේ රෝහල් වැසී යමින් පවතී. බදු බර දරාගැනීමට නොහැකිව වෘත්තිකයන් ලක්ෂ ගණනින් රට හැර යති. මේවා සම්බන්ධව රටේ පාලකයන්ට වගේ වගක් නැත. රටේ ජනයා අපා දුක් වින්දත්, පාලකයන්ගේ හැසිරීම, සහ ඔවුන් ගත කරන අධි සුඛෝපභෝගි ජීවිත වල කිසිදු වෙනසක් නොමැත. එසේ ඔවුන් වෙනස් වී ඇත්නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔය ආකාරයට වෙනත් දේශපාලන පක්ෂ වල මන්ත්‍රී වරුන් විදේශ චාරිකා වලට රැගෙන ගොස් රටේ ජාතික ධනය මංකොල්ල කන්නේ නැත. මොවුන් නියෝජනය කරන මැතිවරණ දිස්ත්‍රික්ක වල ජනයා මේවා අවබෝධ කරගෙන මෙවැනි තක්කඩි දේශපාලකයන් නැවත පාර්ලිමේන්තුවට තෝරා නො එවීමට අදිටන් කර ගත යුතුය.

 

 

මහින්ද රාජපක්ෂ එවකට ජෝන් අමරතුංග වැනි එජාප මන්ත්‍රී වරුන් රැගෙන විදේශ සංචාර ගිය අවස්ථා තිබිණි. රනිල් වික්‍රමසිංහ මෙවර පොහොට්ටු මන්ත්‍රී වරුන් වන මහින්දා නන්ද අළුත්ගමගේ , රෝහිත අබේගුණවර්ධන , සජබ මන්ත්‍රී වඩිවේල් සුරේෂ් , සහ තවත් මුස්ලිම් පක්ෂ මන්ත්‍රී වරයකුද රැගෙන එක්සත් ජාතීන්ගේ 78 වන සමුළුව සඳහා සහභාගි වීමට ගොස් තිබුනේ ඉදිරි මැතිවරණ වලදී ඔවුන්ගේ කර මතින් ජනාධිපති වීමට බව අමුතුවෙන් කිව යුතු නැත. අලි සබ්‍රී විදේශ ඇමැති වරයාද තම පුත්‍රයා එක්සත් ජාතීන්ගේ සමුළුවට රැගෙන ගොස් සිටිනවා සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වී තිබුණි. මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ කුමක්ද? මොවුන් සියල්ලෝම මහා තක්කඩි දේශපාලකයන් බව නොවේද ? රටේ ජනයාට පටි තද කරගන්නට කියා ඔවුන් සිත්සේ “ෆන්” ගනිමින් සිටිති. කවදා මේවා මේ රටේ මිනිසුන්ට අවබෝධ වෙයිද ?

 

 

රනිල් වික්‍රමසිංහට අවශ්‍ය බලය ලැබුණු විට තම විනෝදාංශය උපරිමයෙන් භුක්ති විඳීමටය. එම නිසා විවිධ රටවලට ගොස් කතා පවත්වා (කතා සාප්පු) ස්වයං වින්දනයක් ලැබීම රනිල් වික්‍රමසිංහගේ එකම සතුටයි. රනිල් වික්‍රමසිංහ බලය ලැබුණු විට හැසිරෙන්නේ ඔහුටම ආවේනික මනෝරාජික උද්දච්ච ස්වරූපයකටය. රටේ ජනයා මොහු 2020 දේශපාලනයෙන් පන්නා දැමූවේ නැවත පාර්ලිමේන්තුවට ගැනීමේ අදහසකින් නොවේ. කෙසේ හෝ විදේශ ඔත්තු සේවා සහයෙන් රට අස්ථාවර කොට ඔහු ජනාධිපති පුටුවට නැග ගත්තේ ය. තවත් ප්‍රමාද නැත. එළඹෙන මැතිවරණයකදී නැවත ගොඩ නොඑන ආකාරයට මෙම දේශද්‍රෝහී පාලකයා සහ ඔහු වටා ගොනුවී සිටින අවස්ථා වාදී දේශපාලකයන් පන්නා දැමීමට කටයුතු කිරීම ලංකාවේ මොලේ තිබෙන ජනයාගේ වගකීමකි.

 

ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක 
27.9.2023″

@lankatruth