SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ධනවාදය බිඳනොවැටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අධ්‍යාපනයයි (මෝඩ පෙසපට අනුව නම් අධ්‍යාපනය නැතිකමයි).

ලංකාවට අදාලව එම තත්වය තවත් ස්ථාවර කිරීමට රනිල් වික්‍රමසිංහ හට අවශ්‍ය වී ඇති බව පෙනෙන්නට තිබේ.

 

රනිල්ට ඉදිරියේදී බලය අහිමි වීමට පෙර ඔහුගේ මූලික උත්සාහය වී ඇත්තේ අධ්‍යාපනය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සැදීම මෙන්ම එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලටම ඇතුලත් කිරීම සහ ත්‍රස්ත විරෝධී පනතක් සම්මත කොට ගැනීමයි. මේ දෙක තුලින්ම ඔහු බලාපොරොත්තු වන්නේ කිනම් පක්ෂය බලයට පැමිණිය ද දිගින් දිගටම UNPයට අවශ්‍ය පාලනය හැර වෙන යම් වෙනස්කම් සිදු කිරීමට නොහැකි සමාජයක් සංස්ථාපනය කිරීමයි.

 

අධ්‍යාපනය යනු ධනවාදය ප්‍රතිනිෂ්පාදනය කරමින් පවත්වාගෙන යන එක් ප්‍රධාන ආකාරයකි. පාසල් සිසුන් හට තරඟය සහ පුද්ගලවාදය වැනි ධනවාදයේ වටිනාකම් සහ සම්මතයන් උගන්වා තහවරු කරන්නේ අධ්‍යාපනය තුලිනි. එසේම ධනවාදය අර්බුධයට යාම වලක්වන (ධනවාදය විසින් ඇති කරන සකල විධ අර්බුධ වලට විසඳුම් ගෙනෙන) නූතන විද්‍යාව ඉදිරියට රැගෙන යන්නේ අධ්‍යාපනය තුලිනි. එම මූලික කාරනයන්ට අනුයතාව පාසල් සිසුන් ශ්‍රම බලකාය සඳහා පුහුණු කිරීම, ඔවුන් වඩාත් ඵලදායී ශ්‍රමිකයන් බවට පත් කිරීම, අධ්‍යාපනයේ මුඛ්‍ය කාර්යභාරයන්ය.

 

 

රනිල් වික්‍රමසිංහ විසින් මේ දිනවල දිගින් දිගටම අවධාරණය කරමින් සිටුනුයේ ඒ පිලිබඳවය. ඔහුගේ අධ්‍යතන ප්‍රකාශයන් තුලින් පෙනී යන්නේ ලංකාව තුල ධනවාදය තහවුරු කිරීම සඳහා ඔහු තුල ඇති දැක්මේ තීව්‍රැතාවය සහ චිරාත් කාලීනව එය පවත්වාගත හැකි යයි ඔහු තුල පවතින විශ්වාසයයි.

 

ආගම වෙනුවෙන් කැප වූ නයිට්වරු පුරාන එංගලන්තයේ සිටියෝය. ඔවුන් ක්‍රිස්තියානි ආගම ප්‍රචාරණය වෙනුවෙන් විවිධාකාරයෙන් කැප වූවා මෙන්ම ආගමේ ආරක්ෂාව වෙනුවෙන් ද දිවි නොතකා සටන් වැදුනි. එම අර්ථයෙන් ගතහොත් රනිල් ක්‍රියාකරනුයේ ද ආගම වෙනුවෙන් කැප වූ නයිට් වරයෙකු ලෙසය. සැබවින්ම ලංකාවේ ධනවාදය (ධනවාදය යනු ද ආගමකි) වෙනුවෙන් කැප වී ඇති උරුමක්කාර නයිට්වරයා ඔහුය (87-90 සමයේ ලාංකීය ධනවාදයට අභියෝග කල ජවිපෙ මර්ධනයට ඔහු කැප වූ අකාරය තුලින් ඔහුගේ සටන්කාමීත්වය මැනවින් දිස් විය. ලාංකීය ප්‍රභූත්වයට මැයි මස 9 වෙනිදා එල්ල වූ අභියෝගය මැඩපැවැත්වීම සඳහා සියලු ප්‍රභූන් ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව විසින් රනිල් හට භාරදෙනුයේ ඊට නියම සුදුස්සා ඔහු බව වටහාගෙනය). රනිල් සතු ඇන්ග්ලිකන් උරුමය ද මීට බලපෑ ඇතුවාට සැක නැත (රනිල්ගේ පියා සමසමාජයේ නියමුවෙකු වී සිටියේ ද එම අර්ථයෙනි).

 

ලොව පුරා අධ්‍යයන වලින් පෙන්නුම් කර ඇත්තේ වඩා උගත් සිසුන් ධනේශ්වර වටිනාකම් වලට සහාය වීමට, ආරක්ෂා කොට ගැනීමට සහ පවත්වාගැනීමට ඉතා වැඩි ඉඩක් සහ ඉතා කැමැත්තක් දක්වන බවය. ධනවාදය ඉල්ලා සිටි ගෝල්ෆේස් අරගලය සිදු කරන ලද්දේ උගත් තරුණ පරපුර විසිනි (කෙසේ වෙතත්, ධනවාදයේ ප්‍රතිනිෂ්පාදනයට දායක වන එකම සාධකය අධ්‍යාපනය නොවන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය). ලොව පුරා වාමාංශික ව්‍යාපාරය බිඳවැටෙනුයේ අධ්‍යාපනයේ සාර්ථකත්වයත් සමගය.

 

ධනවාදී ආත්මය නිෂ්පාදනය කරන මූලික ස්ථානය අධ්‍යාපනයයි. ධනවාදී විශ්ව විද්‍යාලය යනු අනුකූල හා ඵලදායී ශ්‍රමිකයින් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවකි. රනිල්ට අවශ්‍යව ඇත්තේ ලොව පුරා සිදු කොට ඇති පරිදි අධ්‍යාපනය ධනවාදයට ප්‍රතිරෝධයේ අඩවියක් විය හැකියාව සහමුලින්ම වලකා දමා එය ධනවාදය ප්‍රතිනිෂ්පාදනය කරන අඩවියක් බවට පත්කිරීම වේ.

 

@ස්පාර්ටකස් ලිපි

Spartacus.lk