SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනතාවට සංවේදී නොවන පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ සැලකිල්ලක් නැති වංචාවෙන් දූෂණයෙන් පිරුණු පාලකයන්ට මේ රට තව දුරටත් පාලනය කිරීමට දිය නොහැකි බව

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය කෝට්ටේ ආසන සමුළුවේදී පවසා ඇත.

 

එම සමුළුවේදී මන්ත්‍රීවරිය කළ සම්පූර්ණ කතාව පහත පළ කෙරේ.

 

“කෝට්ටේ ආසනයට ඓතිහාසික උරුමයක් තිබෙනවා. කෝට්ටේ යුගයේ සාහිත්‍යය සහ දේශපාලන පරිවර්තන ගැන අපි ඉගෙන ගෙන තිබෙනවා. ඉතිහාසය කියන්නේ අතීතය විතරක් නොවෙයි. අපිට එය අලුත් කරන්න පුළුවන්. අනාගතය ගැන බලාපොරොත්තු තබාගෙන වැඩකරන්න පුළුවන්. අද දිනය ඓතිහාසික කෝට්ටේ ආසනයට තවත් ඓතිහාසික දිනයක් අපි සියලු දෙනා උදාකරදී තිබෙනවා.

 

මේ රටේ ඉතිහාසයට මෙපමණ කල් අයිතිකරුවන් සිටියා. ඔවුන්ට අවශ්‍ය ආකාරයට රට පාලනය කරමින් පුරවැසියන් හැටියට අපි අලුත් සංදේශයක් ලිවීමේ, අපේ ඉතිහාසය අපේ අතට ගන්න ඓතිහාසික දවසක් අද. පාලකයන්ගේ අතින් ඉතිහාසය පුරවැසියන්ගේ අතට ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවෙයි. ඒ අරගලයේ අපි නිරතවී සිටිනවා. එහි සාර්ථකත්වය නිසා සම්ප්‍රදායික දූෂිත පාලන තන්ත්‍රය කළබලවී සිටිනවා. ඔවුන් සියලු දෙනාටම ජාතික ජන බලවේගය සතුරෙක් වෙලා.

 

සාම්ප්‍රදායික පැරණි දේශපාලන තන්ත්‍රය සහ බලය ඉතිහාසයේ පළමු වතාවට අභියෝගයට ලක්වී තිබෙනවා. මේ රටේ පුරවැසියෝ අවදිවී අවධානයෙන් සිටින යුගයක් මේක. පුරවැසි අයිතීන්, තමන්ගේ අනාගතය තමන්ගේ අතට ගන්න සූදානමින් සිටිනවා. කෝට්ටේ ප්‍රදේශයේ මේතරම් පිරිසක් ජාතික ජන බලවේගය වටා එකතු වී සිටින බව දැක්කාම ඔවුන් තවදුරටත් කලබල වේවි.

 

ජාතික ජන බලවේගය මේ රටේ සියලුම පුරවැසියන්ගේ වේදිකාවයි. සියලුම පුරවැසියන්ට එකතු විය හැකි වේදිකාවයි. ජනතාව මේ මොහොතේ ජීවත් වෙන්නේ කොහොමද කියලා, තේරුම් ගන්න බැරි පිරිසකට තවදුරටත් මේ රට පාලනය කරන්න දෙන්න බැහැ. දූෂණය, වංචාව ගැන කතා නොකර ඖෂධ හිඟය ඇතිවී තිබෙන්නේ පසුගිය වසරේ ඇතිවූ අරගලය නිසා බව ආණ්ඩුවේ ප්‍රධානියෙක් කියා තිබුණා. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නඟන පුරවැසියන් රටේ සියලුම ප්‍රශ්නවලට වගකිව යුතුයි කියන මෙහෙම පාලකයන්ට තවදුරටත් රට ගෙනියන් දෙන්න බැහැ.

 

ජීවිතයට අර්ථයක් තිබෙන්න ඕනෑ. පවුල තුළ බැඳීම්, මානවීය බැඳීම්, රැකගන්න කලාව, සාහිත්‍ය, සංස්කෘතික ජීවිතය අත්‍යවශ්‍යයි. නමුත් ඒ සියල්ලම අපෙන් උදුරාගෙන යන මොහොතක් මේක. අපේ මනුෂ්‍යත්වයට අයත් සියලුම දේවල් උදුරා ගන්නා යුගයක් මේක. පවතින සමාජ ආර්ථික ක්‍රමය වෙනස් කළ යුතු වන්නේ අපිට අපේ මනුෂ්‍යත්වය ලබාගත යුතු නිසයි. ජාතික ජන බලවේගය ගොඩනඟන්නේත් ඒ වටා දැවැන්ත මහජනතාවක් ඒකරාශී වන්නේත් පවතින ක්‍රමය වෙනස් කර, රට ගොඩනැගීම සඳහාමයි. අපේ සංවිධාන බලය තව තවත් දියුණු කර, සමාජ, ආර්ථික, දේශපාලන පරිවර්තනයකට ජාතික ජන බලවේගය වටා තව තවත් ඒකරාශී වෙමු. අපි සියලුම දෙනා මෙම කාර්යභාරයේ කොටස්කරුවන් වෙමු.”

 

@lankatruth