SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් තනතුර පහුගිය කාලය තුළ මහත් විවාදයට පත් තනතුරක් විය.

විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ පොහොට්ටු රජයේ ඇමති ධූර වෙනුවෙන් පක්ෂයේ තීරණ නොසලකා ක්‍රියාකළ සාමාජිකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රියාදාමයේ සිට මේ සියළු චෝදනා අපවාද එල්ල වූයේ ශ්‍රිලනිප මහලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වෙතය. එහිදී මේ පැරණි ජ්‍යෙෂ්ටයෝ දයාසිරි මන්ත්‍රීවරයාට එරෙහි මඩ මාධ්‍ය ප්‍රචාරයක් ගෙනයන බවට වන චෝදනාවන්ට සාධාරණ හේතු ද තිබුණි.

 

කෙසේ වුවද මේ වනවිට අධිකරණ ක්‍රියාමාර්ග හරහා පක්ෂයේ භුක්ති විඳි තනතුරුවලට නැවත එක්ව ඇති මෙම ජ්‍යෙෂ්ටයින් පිරිසගෙන් දිගින් දිගටම දයාසිරි ජයසේකර වෙත චෝදනා එල්ල වෙද්දී ශ්‍රිලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද නෑසූ කන්වලා මේ සම්බන්ධව මුණිවත රකිනවා යැයිද සමාජ මාධ්‍යයන්හි පළවූ පුවත් අතර වීය.

දශක ගණනාවක් පුරා ලංකාවේ රජුන් තැනූ විශාලතම දේශපාලන පක්ෂයක් මේ වනවිට මෙසේ දියවීම පිටුපස ඇති බලවේගය කුමක්ද? එවන් දිගු ඉතිහාසයක් සහිත පක්ෂයකට බලය සහ තනතුරු සොයා යෑම  හැරුණුවිට වෙනත් උපායමාර්ගයක් හෝ අරමුණක් නොවන්නේ ද?

 

පහත පලවන්නේ දේශය පුවත්පතේ ගයාන් ගාල්ලගේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සමග පැවති සංවාදයකි.

► මට ලැජ්ජාවක් තිබෙන නිසා ආපසු තනතුරක් බාරගත්තෙ නෑ
► පුළුල් පෙරමුණක් හදන්න සාකච්ඡා කරනවා
► මම තනතුරෙන් කරලා තියෙන්නෙ වැඩකරන එක විතරයි
► මම නම් හිතන්නෙ නෑ ජනතාව ආපහු මෝඩවෙයි කියලා

 

ආණ්ඩුව දිගින් දිගටම ජනතාව වෙත බර පටවමින් යන්නෙ. හැබැයි කවුරුත් මේ ගැන කතා කරන්නෙ නෑ. ජනතාව බර අදිනවා. කවුරුත් වචනයක් කතා කරන්නෙ නෑ. විපක්ෂය ආණ්ඩුවට බයද?

 

අපි නම් ආණ්ඩුවට බය නෑ. අපි හැම මොහොතකම ජනතාව දැනුවත් කරමින් කටයුතු කරනවා. ආණ්ඩුව නම් කිව්වෙ දැන් තත්ත්වය හොඳයි කියලා. හැබැයි විදුලිය, වතුර බිල් වගේ දේවල් වැඩි කරමින් යන්නෙ. දැන් වතුර ගත්තාම සීයට දෙසීයකින් තුන්සීයකින් වැඩිවෙලා තියෙනවා. පාසල්වල සීයට නමසීයකින් විතර වැඩිවෙලා තියෙනවා. ඊට අමතරව මළ ප්‍රවාහන බද්දකුත් ගහලා තියෙනවා. දැන් ආණ්ඩුව හොඳයි කියපු කට්ටියත් නෑ. ආර්ථික අර්බුදය විසඳපු කට්ටියත් නෑ. දැන් ආර්ථික අර්බුදය විසඳලා නෑනෙ. මේ ආණ්ඩුව ඇත්තටම කිසිම වැඩපිළිවෙළක් නෑ. ජනතාවගේ රීරි මාංශ උරා බොන ආණ්ඩුවක් බවට පත්වෙලා තියෙන්නෙ. 

 

ඔබලා මුල ඉඳන්ම ආණ්ඩුව විවේචනය කළා. හැබැයි එහෙම කොන්ද කෙළින් තියාගෙන විවේචනය කරන්න පුළුවන්ද ඔබලගේ පිරිසක් මේ වෙනකොට ආණ්ඩුව නියෝජනය කරමින් ඉන්න හින්දා?

 

අපිට පුළුවන් කරන්න. අපි බඩජාරී දේශපාලනය කරලා නෑ. ඇමැති තනතුරු වෙනුවෙන් පක්ෂය පාවා දීලා නෑ. තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති පාවා දීලා ආණ්ඩුවට මුක්කු ගහන දේශපාලනය අපි කරලා නෑ. මම එළියට බැස්සේ රාජ්‍ය ඇමැතිකම බාරදීලා. හැබැයි තවමත් මම තනතුරක් බාරගෙන නෑ. මොකද අපිට ලැජ්ජාවක් තියෙනවා. ලැජ්ජා නැති අයගෙන් ඔය ප්‍රශ්නය අහන්න. 

 

ඔබලා ජනතාවත් එක්ක ගැවසෙනකොට ජනතාව ප්‍රශ්න කරන්නෙ නැද්ද මොනවද මේ කරන්නෙ කියලා. කට්ටියක් ආණ්ඩුවේ. ඔබලා විපක්ෂයේ ඉඳන් ආණ්ඩුවට බහිනවා?

 

පාක්ෂිකයෝ අහනවා. පාක්ෂිකයෝ අපෙන් අහනවා අපි කොහෙද ඉන්නෙ කියලා. හැබැයි අපි එහෙම පක්ෂයේ ප්‍රතිපත්ති අතහැරලා ගිය අයට දඬුවම් දුන්නා. නමුත් අධිකරණ තීන්දුවක් මත ඒ තීන්දුව වෙනස් වුණා. අපි ඒ අයට කිව්වෙ නැවත එකතු වෙනවා නම් ඇමැති තනතුරු දාලා එන්න කියලා. හදවතින්ම මේ පක්ෂයට එකතු වෙන්න කියලා. අපි ඒ අය මධ්‍යම කාරක සභාවට ගන්න කිසිම තීන්දුවක් අරගෙන නෑ. ඒ අය ඇවිල්ලා තියෙන්නෙ නඩුවෙන් තමා. 

 

ඔබට ආරාධනා කරලා නැද්ද මේ ආණ්ඩුවට එකතුවෙලා වැඩ කරන්න එන්න කියලා?

 

අපිට කලින් ඒ ආරාධනාව ආවා. අපි ඒවා එදා බාරගත්තෙත් නෑ. අනාගතයේ බාරගන්නෙත් නෑ. අපි මූලික වශයෙන් කිව්ව දේ තමයි සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා. නමුත් ඒගොල්ලො කළේ එක එක පක්ෂවලින් කෑලි කඩලා අරගෙන ජාතික ආණ්ඩුවක් කියලා එකක් හදපු එක. අපි ඒකට එකඟ නෑ. අපෙන් ඒකට සහයෝගයකුත් නෑ.

 

මේ වනවිට විරුද්ධ කණ්ඩායම්, විවිධ සන්ධාන, විවිධ සංවිධාන ගොඩනගමින් යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොන වගේ අනාගත තීන්දුවකටද ලැහැස්තිවෙලා ඉන්නෙ?

 

අපි පුළුල් පෙරමුණක් හදන්න මේ වෙනකොට සාකච්ඡා පවත්වමින් යනවා. අපි මේ වෙනකොට අපේ සමීප කණ්ඩායම් එක්ක සාකච්ඡා පවත්වමින් යනවා මේ සම්බන්ධයෙන්. අපි ඉදිරියටත් එවැනි කණ්ඩායම් එක්ක සාකච්ඡා පවත්වනවා. ඒ හරහා පොදු ප්‍රතිපත්තියක් සකසලා ඒ කණ්ඩායම් එක්ක එකතුවෙන් ඉදිරි අනාගතයේ දේශපාලන කටයුතු කරන්න අපි සූදානම් වෙලා ඉන්නෙ. 

 

මේ වෙනකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමහර අය කියනවා නැවතත් ඔවුන් ඔවුන්ගේම ජනාධිපතිවරයෙක් යටතේ බලය ලබාගෙන පහුගිය සමයේ සිදුවුණු දේවල්වලට වාඩුව ගන්නවා කියලා. ඔබ හිතනවද ඔවුන්ට බලය ලබාගැනීමේ හැකියාවක් තියෙනවද කියල?

 

මම හිතන්නෙ නෑ මිනිස්සු ඒ තරම් මෝඩ වෙයි කියලා නැවතත්. හැබැයි ඉතින් කියන්න බෑ ජනතාව විදිහට කටයුතු කරයිද කියලා. මොකද සාක්ෂරතාවයත් මේ වෙනකොට ගිලිහිලා තියෙන්නෙ. ඒ නිසා ඉදිරියට මොන වගේ වෙයිද කියලා අපිට කියන්න බෑ. හැබැයි මම නම් ඒත් විශ්වාස කරන්නෙ නෑ ඔවුන්ට බලය ගන්න පුළුවන් වෙයි කියලා. 

 

මේ වෙද්දි ජනාධිපති අපේක්ෂකයෝ රාශියක් දේශපාලන භූමියේ බිහිවෙලා ඉන්නවා. ශ්‍රීලනිපය කියන්නෙ ජනාධිපතිවරු රුසක් බිහි කළ පක්ෂයක්. ඔබලා මෙවර අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවද?

 

ඔව්. දැනට අපි අපේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා තියෙන්නෙ. ඉදිරියට අපි බලමු මොකද කරන්නෙ කියලා. 

 

අපි දැක්කා පහුගිය කාලේ ඔබට විරුද්ධව පක්ෂ අභ්‍යන්තරයේ විශාල කැපිල්ලක් උඩට එමින් තිබුණා. ඔබගේ තනතුර පවා නැතිවෙන්න තිබුණා. දැන් ඒ වගේ අවදානමක් නැද්ද?

 

මම තනතුරු බලාගෙන වැඩ කරන කෙනෙක් නෙවෙයි. ජනාධිපතිතුමාගේ විශ්වාසය මත තමයි මාව පත් කළේ. එතුමාට විශ්වාසයක් නැත්නම් මාව අයින් කරන්න පුළුවන් ඕනෑම වෙලාවක. තනතුරු ගත්තා කියලා අපි නිකම් ඉඳලා නෑ. සෑහෙන්න අපි වැඩ කරලා තියෙනවා. මම කිසිම වෙලාවක තනතුරුවලින් කැම්පේන් කරන්නෙ නෑ. මම තනතුරෙන් කරලා තියෙන්නෙ වැඩ විතරයි. වැජඹිලා නෑ. 

 

ඔබගේ පක්ෂයේ විනය විරෝධීකම් කරපු කට්ටිය නැවත පක්ෂයට ආවට කවුරුත් අහන්නෙ නැද්ද මෙහෙම කොහොමද වැඩ කරන්නෙ කියලා?

 

ඒක ඉතින් ඒගොල්ලන්ගෙන් තමයි අහන්න ඕනෙ. මොකද අපි වැරදි කරලා නෑනෙ. අපි පක්ෂයේ තීන්දුවට අනුව කටයුතු කළා. 

 

@ගයාන් ගාල්ලගේ

උපුටාගැනීම - දේශය පුවත්පත