SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජනරජ පෙරමුණ ගැන අපි නොවන බොහෝ දෙනා සුබ පතලා තිබුණා. සමහරු, අපි ගැන විවේචනාත්මකව ලියලා තිබුණා. තවත් සමහරු, අපිට මඩ ගහලා තිබුණා.

හැබැයි, ඒ සමහර දේවල් වලින් කියවූණේ, අපි ඉන්න තැනට වඩා ඒ ගොල්ල ඉන්න තැන ගැන. නමුත්, ඒ හැම විවේචනයක් ගැනම අපිත් හිතනවා. ඊට අපි විවෘතයි. ඒ විවෘත බව තවත් ප්‍රගුණ කරගෙන වැඩ කරන්න තමයි අපේ උත්සාහය. මොකද, රටේ දේශපාලන සදාචාරය ඇත්තටම වෙනස් කරන්න නම් ඒ වෙනස, අපිට විතරක් නොවෙයි රටට අවශ්‍යයි...අපි ඉන්න තැනත් කියලම, ඒ කාර්යය පටන් ගන්න හොඳයි කියලා මට හිතුණා....

 

විවිධ දේශපාලන ධාරවලින් පරිචයක් ලැබූ බොහෝ දෙනෙක් ජනරජ පෙරමුණට එකතු වෙලා ඉන්නවා. ඒ හැමෝම, තමන්ගේ අතීත දේශපාලනය තුළ ජයග්‍රහණ මෙන්ම පරාජයන් ද ලබලා තියෙනවා. හරි, වැරදි කරලා තියෙනවා. හැබැයි, ඒ තමන් රැකෙන්නට නොවෙයි, එවකට පිළිගත් දේශපාලන දර්ශනය, ව්‍යාපාරය මෙන්ම නායකයෝ රැකගන්න. අද ඒ අයට තමන් ගැන මෙන්ම තමන් කළ දේශපාලනය ගැනත් ද අඩු වැඩි වශයෙන් විවේචනයක් තියෙනවා. ඒ අවංකකම හරි වටිනවා. ඒ, එක එක්කෙනාට දෙන චරිත සහතිකයක් විදියට නොවේ.. අද රට වැටිලා තියෙන අගාධය දැකලා, තේරුම්ගෙන, “තවදුරටත් මෙහෙම බැහැ කියලා” දේශපාලනිකවම හිතන, දේශපාලන ඉදිරි වැඩකට අවංක වෙන මිනිස්සු ඒ... අත්දැකීම් අඩු වුණත්, අලුත් පරම්පරාවේ තරුණ, තරුණියොත් දේශපාලනයේ අවංකබව ගැන දැන් තදින් ප්‍රශ්ණ කරනවා...ඉතින් ඒ අයත්, අපි එක්ක එකට හිටගැනීම අත්දැකීම් ඇති අයටත් අභියෝගයක් එල්ල කරනවා.. රටට ඔබින දිශානතිය කතා කරනවා... ඒක, අපිට ලොකු ශක්තියක් සේම අනාගත රට හදන වැඩපිළිවෙලටත් ලොකු මෙහෙවරක් වෙනවා...

 

රට බංකොලොත් කියලා අපි ඔක්කොම දන්නවා. මේ රටේ අනාගතයක් නැහැ කියලා බොහෝ දෙනා රට දාලා යනවා. වැඩ කරන්න පුළුවන් දක්ෂයෝ මේ රටින් ගිලිහෙනවා.. ඇයි මේ..? යහපත් ජීවිතයක් සඳහා තියෙන බලාපොරොත්තුව, රටේ ආර්ථික ආගාධයත් එක්ක බිඳවැටුණ නිසා. රටේ කුසලතාවයට තැනක් නැති හින්දා.. නමුත්, කුසලතාවය නිසා ම තමන්ගේ වෘත්තීය පසුබිමෙන් ඉහළට පැමිණි මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඔවුන් මේ රටේ විවිධ ක්ෂේත්‍රවල දස්කම් දක්වනවා. රටට සේවයක් කරනවා. තවත් බොහෝ දෙනා තමන්ගේම කුසලතාවය, හොර මැරකමට යොදා ගන්නවා. රට ම අපහරණය කරනවා. දේශපාලනයේ මේ වැඩේ තදින්ම වෙනවා. පවුල, ධනය හා මැර බලය තුළින් දේශපාලනයට පැමිණි බොහෝ දෙනා කුසලතාවය නැතුවත් බලයේ ඉන්න පොරකනවා. මේ ඉරණම වෙනස් කරන්න වෙනවා. ධනෝත්පාදක රටක් හදන්න නම් කූඨ ව්‍යාපාරිකයන්ට වඩා දක්ෂ ව්‍යවසායකයින් දිරිමත් කරන්න වෙනවා. දේශපාලුවට වඩා රට මුල් තැන තියාගෙන වැඩකරන දක්ෂ නිලධාරීන්ගේ ස්වාධීනත්වය රකින්න වෙනවා. ඒ අයට බියක්, සැකක් හා පීඩනයක් නැතිව ආයතන මෙහෙයවන්න පුළුවන් ක්‍රමයක් හදන්න වෙනවා. කුසලතාවය කියන්නේ, අධ්‍යාපන සහතිකයක්ම නොවෙයි. අත්දැකීම් බහුල, මහජන සේවයට කැපවුණ, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට වැඩකරන්න පුළුවන් දේශපාලන සදාචාරයක් හදන්න වෙනවා. දක්ෂතාව තිබෙන සුහුරු හැකියාවට ඉඩ දෙන දේශපාලන සමබිමක් ඒකට නිර්මාණය කරන්න වෙනවා. ඒ අයට එක්සත් ජනරජ පෙරමුණ ශක්තියක් වෙනවා.

අපි කාටත් අපේ රටේ අනාගතය වෙනුවෙන් බරපතල තීන්දු ගන්න වෙනවා. එතකොට, සමාජයට ඒක, එක විදියටම බලපාන්නේ නැති වෙන්න ඉඩ වැඩිවෙනවා.... එක් සමාජ තීරූවකට සහණයක් වෙන කොට තවත් සමාජ තීරූවකට එහි බලපෑම නීරස වෙනවා...ඒ තරම් සංකීර්ණ සමාජ-ආර්ථික හා මානව සම්බන්ධතාවක අපි සියල්ල ගැට ගැහිලා ඉන්නවා...එතකොට, ඒක මානව අයිතිවාසිකම් ගැටළුවක්... එක්කෝ ඒක, එකම නිශ්පාදන හා සේවා දාමයක අභ්‍යන්තර ගැටුමක්...නැත්නම් සේව්‍ය- සේවක සම්බන්ධතාවයේ ගැටුමක්...නැත්නම් විවිධ පරිභෝජන අවශ්‍යතාවයන් වෙනුවෙන් අතෘප්තියක් වෙන්නත් පුළුවන්... මෙතනදී තමයි පීඩාවට පත්වෙන අය ගැන සහකම්පනයක් තිබීම අවශ්‍ය වෙන්නේ.....ඒක සහණධාර දීමකට පමණක් සීමා කරන්න බැහැ....අඩුම ගානේ සවන් දීමත්, එකම සංවාදයකට ගොනුකර ගැනීමත් එයින් විවිධ පාර්ශව අතරේ අලුත් සමාජ සම්මුතියක් ඇති කර ගැනීමටත් අපි දක්ෂ වෙන්න වෙනවා... තලා, පෙළා බුල්ඩෝසර් කරලා ලෝකයේ ලැබූ ජයග්‍රහණ හැමදාම සදාකාලිකත් නොවන බවට ඕන තරම් අත්දැකීම් තියෙනවා...නීතියේ ආධිපත්‍යය හෑල්ලූ නොවන, සමාජ සාධාරණත්වයට ඉඩ සලසන, සංස්කෘතික පුරවැසියෙක්, සැබෑ ජනරජයක් හැදෙන්නේ එතකොට කියලා ජනතාවට හිතන්න පුරුදු කරන සමාජයක් අවශ්‍ය වෙනවා....ඒකට දේශපාලන නායකත්වයක් ජනරජ පෙරමුණ ලබාදෙනවා.

 

අපි ඕන තරම් දෘෂ්ඨීන්ට...දර්ශනයන්ට වාද විවාද කරගෙන තියෙනවා. ඒක අපිට හැමදාම කරන්න බාධාවකුත් නැහැ.... ජනරජ පෙරමුණේ බීජය තුළ සමාජවාදියොත්, ලිබරල්වාදියොත්, ජාතිකවාදියොත්, ජාත්‍යන්තරවාදියොත් වගේම සමාජ-ප්‍රජාතන්ත්‍රවාදියොත් වාද විවාද, සංවාද කළා. තවමත්, එවැනි වාදවලින් අඩුවකුත් නැහැ..! ඒකත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයකට අලංකාරයක්....මේ හැම දෙයකින්ම නිස්සාරණය වූ අදහස්, උදහස් එක්ක පුළුල් දැක්මකුත් හැදෙනවා. රටේ අභියෝග ජය ගන්න වෙනවා. ප්‍රශ්ණ වලට උත්තර සොයන්න වෙනවා. ප්‍රායෝගික වෙන්න වෙනවා. මතවාද වෙනස් කරගන්න වෙනවා. අලුත් මතවාද නිර්මාණය කරන්න වෙනවා... තවත් ලේ හැලුණු වෛරීය හා භේදකාරී අතීතයෙන් මේ සමාජය මුදවා ගන්න වෙනවා. අපි වගේම අනෙකා ද වෙනස් වෙන්න වෙනවා. රටේ මායිම් වලට වඩා රටේ මැදට වැඩි බරක් තියන්න පුළුවන් දේශපාලන නායකයින් අවශ්‍ය වෙනවා. රට හදන, රටේ දිශානතිය වෙනස් කරන ජනරජ පෙරමුණ ඒ අතින් එක්සත්, බහුවිධ සමාජ බලයක් වෙනුවෙන් වැඩ කරනවා. ඒ සංවාදයට- වැඩේට අපේ තැන අපි මෙහෙම සටහන් කරනවා......හෙට මහරගමින් ඒ ගමන අරඹනවා.....

බන්දුල චන්ද්‍රසේකර
2023-05-21

@Bandula Chandrsekara

නවතම ලිපි