SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දෙමාපියන්ගෙ විරෝධතාවයන් ටොනාඩෝවක් තරම් භයානක විදියට කැරකෙද්දි එයයි මායි කාටත් හොරෙන් රෙජිස්ටාර් ඔෆිස් එකට ගියා.

අදාළ ඉල්ලුම්පත්‍ර එහෙම අරන් ඉවරවෙනකොට පොද වැස්සක් වහින්න ගත්තා.

එයාගෙයි මගෙයි මුනූ බෙරි වෙන්න ඇති.වැස්ස පෙම්වතුන්ට ආශිර්වාදයක්ම කියල කියන්නෙ කතා වල.ඇත්ත ජීවිතේ වැස්ස මහ කරුමයක් වෙච්ච දවස් පෙම්වතුන්ට තියෙනව.විශේෂයෙන් කොල්ලට තියෙන්නෙ බයික් එකක් විතරයි නම් හමුවීම් කීයක් නම් අවලංගු කරන්න වෙනව ඇද්ද කියල මං හිතනව.

මේ වෙලාවෙ වැහැපු වැස්ස අපේ මූනු බෙරි කළා නම් ඒකටත් පළවෙනි හේතුව අපි ගියේ බයික් එකේ වීම ම තමයි.අනිත් අතට බලපුවම අපෙ මූනු කොහොමත් බෙරි වෙලා තිබ්බෙ.ආයෙ අමුතුවෙන් බෙරි වෙන්න දෙයක් තිබ්බෙත් නෑ කියලත් හිතෙනව.

එයාගෙ කොහොම වෙතත් මගෙ මූන නම් කොහෙත්ම හොදට තියෙන්න නැතුව ඇති.

තමන්ගෙ පිරිමියා තමන් ළඟ ඉද්දි කතා බහක් නැතුව අහස පොළව ගැට ගහන්න වගෙ කල්පනා කරනකොට ඒ තමන්ව එපා වෙලා කියලා හිතෙන එක ගෑණුන්ගෙ සොබාවයක්..එයා ඒ ගමනටම මාත් එක්ක කතා කළේ වචන පහක් වුනාම මට හිතුනෙත් මෙයාට මාව වධයක් වෙලාද කියලම තමයි.

"මොනවහරි බොමු.."

කියපු එයා මං මොකුත් කියන්න කලින්ම ඉස්සර වුනා.හෙල්මට් දෙකම මගෙ අතේ..එයා ගණන් ගන්නෙවත් නැතුව යනව..මට තවත් ටිකක් රිදුනා.

පරණ පාට වුනත් ගාම්භීර ගොඩනැඟිල්ලක තිබ්බ පිරිසිදු ඒත් අඳුරු පාට හෝටලයකට අපි ගියේ.හරිම කාර්‍යබහුල තැනක්.සමහර ගාම්භීර තැන් වල හරි ශෝකාකූල සංවේදනයක් ගේන මොකද්දෝ ප්‍රවාහයක් තියෙන අවස්ථා අපි කවුරුත් අත් විඳලා තියෙනවා කියලා මට හිතෙනව.මේ කියන බණ්ඩාර හෝටලයත් ඒ වගෙ.. හරියට වෙනුරගෙ මූන වගෙ.

මේ වෙලාවෙ එයාගෙ මූන .....ඒ මං හින්ඳද...එයා සතුටින් නෙවෙයිද..එහෙනම් මාව බඳින්න හදන්නෙ මොකටද..මං එයාගෙ මූනෙ හැම රේඛාවක්ම අධ්‍යනය කරන්න උත්සාහ කළා.

රෙජිස්ටාර් ඔෆිස් එක තිබ්බෙ උසාවිය ලඟම නිසා උසාවියට එන අයත් තේ බොන්න එතෙන්ට එනව ඇති කියලා මට හිතුණෙ සමහර අර ලෝයර්ල වගෙ කියල මට හිතුන නිසා.

වෙනුර මං එනවද කියලවත් බලන්නෙ නැතුව ගිහින් කෙලවරේම මේසෙ උඩින් අතේ තිබ්බ දේවල් ටික තිබ්බා.මම ඉඳගන්නත් කළින් එයා කෑම දාපු ෂෝකේස් තියන දිහාට ඇවිදගන ගියා.මට ඕන මොනවද කියලවත් ඇහුවෙ නැති වෙනුර පේස්ට්‍රි දෙකක් අරන් ආවා නෙස්ටී දෙකක් එක්ක..මං එයාගෙ මූණ දිහා බැලුවා.

"ඕක කන්න.ඕක විතරයි හොඳට තියනව වගෙ පේන්නෙ."

පේස්ට්‍රි කියන්නෙ මං කවදත් අකමැති කෑමක්.ඒත් ඒක කමක් නෑ කියමුකො.නෙස්ටී නම් මට පේන්නම බැරි දෙයක්

"නෙස් ටී..බොන්න බෑ..අපරාදෙනෙ ගත්තෙ"මම කිව්වා.

"අමතක වෙලා ගත්තෙ..අදට බොන්න ඕක.."

"මං බොන්නෑ කියලා දන්නවනෙ"

"නෙස්ටී බීලා කවුරුත් මැරිලා නෑ..ඕක බොන්න."

ඒ උත්තරේට නම් මං ගැස්සුණා.ඊට පස්සෙ මං කතා කළේ නෑ.එයාට තවත් කේන්ති යයි කියන බයට මම පේස්ට්‍රි එක කන්න පටන් ගත්තා..අපි දෙන්නගෙ කතා බහක් නැති හින්ඳම මගෙ පුටුවට ගෑවි නොගෑවි ඉඳන් හිටපු එහා මේසෙ තේ බොන ගෑනු කෙනා කියන දේවල් මට හොඳට ඇහුණා.

"මං සුමුදුනීව බලන්න මහරගම ගියා..ඔයා ගියා කියන දවසට කලින් දවසෙ..අර මනුස්සයත් ඇවිත් හිටියා."

"මට දුව කිව්වා.." ඒ පිරිමියාගෙ කටහඬ හරියට හෙම්බිරිස්සාව හැදුන කෙනෙක්ගෙ වගෙ කියල මට හිතුණා.

"දුව දැන් ලොකුයි .ලස්සන කෙල්ලෙක් නේද..?"

"ඔය වයසෙ සුමුදුනිත් ඔය වගෙ.ඔයිට වඩා ලස්සනයි..."

"මං සුමුදුනීට තේරුම් කරල කිව්ව ඔයයි මායි අතරෙ කවදාවත් එහෙම සම්බන්ධයක් තිබ්බෙ නෑ කියලා..එයා ඒක පිළිගත්තා.."

"ඇයි ඔයා එහෙම බොරුවක් කිව්වෙ?"

"මැරෙන මොහොතෙ හරි එයා සැනසීමක් ලබයි ඔයා එයාට ද්‍රෝහී කමක් කළේ නෑ කියලා....මං ගියේ..මං බඳින්න යන කෙනා එක්ක.."

"බඳින්න...?"

"ඔවු මම බඳිනව...හතළිස් තුනක් වැඩි නෑ ගැලපෙනම කෙනා හම්බුනාම..ඔයාගෙ හොර ගෑනි වෙලා හරි ඉන්න හිතන් හිටපු මෝඩ කමෙන් මම මෙච්චර කල් තනිවෙලා හිටියෙ..නමුත් ඔයා එදා මාවත් අතෑරලා රට ගියපු එකට අද නම් මම ඔයාට ස්තූති කරන්න ඕන..මොකද ඔයාම අතෑරල නොගිය නම් මට ඔයාව අතාරින්න බැරුව යනව..ඒ කාලෙ මං ඒතරම් මෝඩයි.

"ඔයා මට ඇනුම් පද කියනව"

"නෑ ..මං කතා කරන හැටි..මං ඉතිං ලෝයර් කෙනෙක්නෙ."

"මාත් ලෝයර් කෙනෙක්"

".දැන් ඔයා බිස්නස් කාරයෙක්..ඒක නෙවෙයි ඇයි සුමුදුනීගෙ මරණ සහතිකේ ගන්න ඔයා ආවෙ..ඔයාට මොකටද මේක...?"

ඇය පුටු ඇන්ඳට හේත්තු වුනා..මට ඒක දැනුණෙ මගෙ පුටුව ඒ පුටුවෙ ගෑවෙමින් තිබුණ නිසා.

".....දුව කිව්වෙ අරන් දෙන්න කියලා..එයාට මේව කරගන්න තේරුමක් නෑ."

"දැන් දුව ඔයා අරන් යනවද?"

"නෑ..මට දුව ගන්න ඕන..ඒත් බැරි හේතුවක් තියනව දුලානී..මං හිතුවෙ දුවව ඉක්මනට බන්ඳලා දෙන්න.."

දුලානී..ඒ ඇයගෙ නම.ඕප දූප හොයන ගෑනු ගතියටද මන්ද මට සතුටක් ඇතිවුනා ඇයගෙ නම දැනගත්තම.

"බන්ඳල දෙන්න?..ඒ කියන්නෙ නිදහස් වෙන්න....?ඇයි එයාව ඔයා ළඟ තියාගන්න බැරි..ඔයා ආයෙ මැරි කළාද?"

"..කරන්න වුනා...ඒක අපායක්...මං එක පාරට තුන් පාරක් ජීවිතෙන් පරාද වුන මිනිහෙක් දුලානී.."

"තුන් පාරක්..?"

"ඔව්..පළවෙනි පාර සුමුදුනී..දෙවනි පාර ඔයා,තුන්වෙනි පාර ඇනා."

"දෙයක් කියන්නම් බන්දු..තරහ වෙන්නෙපා..ආ..නෑ තරහ වුනත් කමක් නෑ..සුමුදුනී නරක කෙනෙකුත් නෙවෙයි..මමත් ..ඒ දෙපාරම.වරද්දගත්තෙ ඔයා..ඔයා මොනවදෝ අමුතු දෙයක් හෙව්ව අපිට දෙන්න තේරෙන්නෙ නැති..ඔයාමයි අපි දෙන්නවම දාලා දාල ගියේ....ඔය ඇනා.."

දුලානිට ඉතුරු ටික කියන නොදී බන්දුල කියන මනුස්සයා මැදින් පැන්නා.

" ඔයා නරකත් නෑ.මම නරකත් නෑ.ඒත් අපි හැමදාම හිත් රිදිලා බුම්මගන හිටියා...නැද්ද...අපි බඳින්නනෙ හිටියෙ..මගෙ ඩිවෝස් එක ආව ගමන් ..බඳින්න කලින්ම අපි සතුටින්ද හිටියෙ...සුමුදුනී නරකත් නැ මම නරකත් නෑ ඒත් අපි හැමදාම රණ්ඩු වුනා.අරෙහෙම කළේ නෑ,මෙහෙම කළෙ නැ..මේක මෙහෙම කලේ ඇයි,මට වටිනාකමක් නෑ.මාව අගේ නෑ.ඇයි මට අඩු සැලකිලි..."

"ඕව කිව්වෙ මං.හොර ගෑනියෙක් වෙන්න සිද්ධ වුන කොයි ගෑනිටත් ඕව කියවෙනව."

මේකි නම් යකාගෙ ගැනියෙක් කියලා මට හිතුණා.

"එහෙම කියමුකො..එතකොට මං..මං ඔයාලා දෙන්නටම...නෑ...තුන්දෙනාටම..මං.ඇනාටත් ඕව කියනව..තාමත්..මං කියන්නෙ වචන වලින් නැතත් මං හිතින් ඔව කියනව..මට මං බලාපොරොත්තු වුන දේ පවුල් ජීවිතේ ඇතුළෙ ලැබිලා නෑ දුලානී.."

"ඔයා එක්ක ජීවත් වෙන ගෑනු තුන්දෙනාම ඔය මැසිවිලි කිව්ව කියනෙකේ තේරුම ඔය තුන්දෙනාටමත් එයාලා විවාහයක් ඇතුළෙ බලාපොරොත්තු වුන දේ ලැබිලා නෑ කියනෙක..."

"මන්දා..ඒත් මං එකක් දන්නව..ඔය ගෑනු මිනිස්සුන්ගෙ සම්බන්ධෙ සතුට තියෙන්නෙ බඳිනකම් විතරයි..ටිකක් කල් යද්දි කොහොමත් මෙලෝ රහක් නැතුව යනව.සමහර මිනිස්සු ඒක හංගන් බොරුවට රඟපානව සතුටින් ඉන්නව වගෙ..කොයි කසාදෙත් රහ මුල් කාලෙ විතරයි"

මඳ නිහැඬියාවක් ආවා.වෙනුර නැඟිටල ගිහින් තව මොනවද ගන්නව මම දැක්කා.දුලානී තේ එක බොනවා කියලා මට හිතුනෙ බන්දු තේ කෝප්පෙ පීරිසිය උඩින් තියපු සද්දෙ වගේම දුලානී පුටුවෙ ඉදිරියට බර වුනා මට දැනුණ නිසා.ඇය තේ කෝප්පය ගන්න ඇති.

"කොහොමත් කසාදයක් බැඳල සතුටින් ඉන්න මිනිස්සු නෑ ..ඉතිහාසෙ ඉඳලත් නෑ.අනාගතේ ඉන්නෙත් නෑ...කසාදෙ කියන්නෙ බොරුවක්..දුකක් විතරයි."

බන්දු පණ්ඩිත ස්වරයකින් කිව්වා.

" හැමදාම බැන්ඳ මිනිස්සු ඕක කියනව..ඒත් අලුතින් අලුතින් හැමදාම කසාද බඳිනව ,බන්ඳවනව..දැන් ඔයා වුනත් දුවව බන්ඳන්න හිතනව.."

බන්දු සද්දයක් නෑ.වෙනුර රෝල්ස් එකක් එක්ක ටී එකක් ගෙනත් මේසේ උඩින් තිබ්බා..

"කසාදෙ කියන තරම් දුකක් කියලම පිළිගන්නත් බෑ නේද..එහෙම නම් ඇයි මිනිස්සු බඳින්නෙ."

"ඇත්තටම ඇයි මිනිස්සු බඳින්නෙ දුලානි.,තනිවෙනවට බයේ,බැරි කාලෙට බලවගන්න දරුවෙක් නැති වෙයි කියලා බයේ,ආර්ථිකේ නග්ගගන්න,තමන්ට තනියෙන් කරගන්න බැරි වැඩ ටිකක් කරගන්න,බඳින්නැද කියල මිනිස්සු අහනවට බයේ,සෙක්ස් වලට කෙනෙක් ඕන හින්ඳ,ලමයෙක් හදාගන්න මිනිහෙක් ගෑනියෙක් ඕනෑවට,ගෙවල් දොරවල් ලබාගන්න..ඕවට..ආදරේට කියල කියන්නනෙ බොරුවක්..ආදරය කියලා එකක් නෑ"

"අන්න ඒක ඇත්ත.සාමාන්‍යෙන් මිනිස්සු කසාද බඳින්නෙ ඔයවගෙ හේතු වලට තමා..හැබැයි ඉතිං ලව් මැරේජ් කියලා කොටසකුත් තියෙනව බන්දු.ඔයා සුමුදුනීව බැඳල තියෙන්නෙ අවුරුදු හය හතක් ආදරේ කරල.ගෙවල් වලින් අකමැති වුනාම ගෙට පැනලා කමාන්ඩෝ ගේම් එකක් දීලා.ඔයා සුමුදුනීව අරන් ගිහින් තියෙන්නෙ..එදා සුමුදුනී ඒව මා එක්ක කිව්ව..ඔයා ඉතිං ඒව කියලා නෑනෙ.."

දුලානිගෙ හඬේ උපහාසයක් තිබ්බා.

"ඔව් එයාගෙයි මගෙයි සම්බන්ධෙ කැම්පස් එකේ ප්‍රසිද්ධයි..සුමුදුනීට තිබ්බ මාර ඇස් දෙකක්..එයාගෙ බැල්ම කැම්පස් එකේ ප්‍රසිද්ධ වුනා.."

"එච්චර ආදරේ කරලා බැඳපු ඔයාලට ඔයාලා දෙන්නව එපා වුනේ ඇයි බන්දු..?ඇයි ඔයා මා එක්ක සම්බන්ධයක් ඇති කරගත්තෙ?ඔයා සුමුදුනීව බැන්ඳෙ ආදරෙ නිසානෙ..නැද්ද "

"ආදරේ ..කෙහෙල්මල.ආදරෙ කියල මං හිතාගන හිටියා.ආදරේ කියල එකක් මේ ලොකෙ නෑ.. දුලානි...ආකර්ශනයක් ඇතිවෙනව ගෑනු පිරිමි අතරෙ අන්න ඒකට අපි ආදරේ කියනව..එකට ඉන්න ගියාම ඔය ආකර්ශනය ඉවර වෙලා මෙලෝ රහක් නැතුව යනව..ඊට පස්සෙ සම්බන්ධෙ පවත්වගන යන්න හේතුවක් නැති වෙනව..අනික කසාදෙ කියන්නෙම ගනු දෙනු ගොඩක්..ජීවිතේම නිකම්ම ගනුදෙනු ගොඩක් විතරක් වෙලා නවතින්නෙ.ඔයා එහෙම නම් මාත් එහෙමයි..ඔයා මට මෙහෙම කළොත් මම ඔයාටත් මෙහෙම කරනව කියන සම්බන්ධයක් කසාදෙ.."

"ලද හැටියට පුද කියනවනෙ බන්දු..හැම සම්බන්ධයක්ම එහෙම තමයි."

"නෑ දුලානි...අනිත් සම්බන්ධතා එහෙම නෑ..හිතලා බලන්නකො..ඒවගෙ මේ සම්බන්ධෙ ඇතුලෙ තරම් බලාපොරොත්තු වෙන්නෙත් නෑ.බලාපොරොත්තු වුන දේවක් නොලැබුනා කියලා අතහරින්නෙත් නෑ..මේක තනිකරම ගනු දෙනු මත පවතින එකක්..මං ආදරේ කරන තරමට මටත් ඕන.නැත්තං මං යනව,වෙන තැනකින් හොයාගන්න...අපරාදෙ මට අහවල් තැනට ගියා නම් මීට වඩා ලබන්න තිබ්බා..අන්න එහෙම හිතනව වැඩිම මේකෙ.

.මේ ලෝකේ තියන බැඳීම් වලින් අපි වැඩියෙන්ම දේවල් බලාපොරොත්තු වෙන සම්බන්ධෙ තමා විවාහය කියන්නෙ.."

"දැන් ඔයා කියන්නෙ...ඔයා ඒ කාලෙ මට කලෙත් බොරුවක් කියලා එතකොට?"

"මොකද්ද ඔයාට කරපු බොරුව?"

"ඇයි ඔයා ඒ කාලෙ කිව්වෙ මට ආදරෙයි කියලා.."

"ඒ කාලෙ මං එහෙම කිව්වෙ ඇත්තටම ..ඒ කියන්නෙ ඒ ආකර්ශනය ආදරය කියල මං හිතන් හිටියා....මං ඔයා දිහා බැලුවෙ ආදරෙන්මයි..හැබැයි ඔයා අන්තිමට මට චෝදනා කළා මං බලන්නෙ ආදරෙන් නෙවෙයි ආශාවෙන් විතරයි කියල "

"බන්දු දන්නවද ගෑනියෙන්ට ඕන ආදරෙන් බලන මිනිහෙක් නෙවෙයි..ආදරෙන් බලාගන්න මිනිහෙක්."

"මිනිහෙක්ටත් ඕන අඩුපාඩු හොය හොයා රිදවන මිනිහෙක් නෙවෙයි ..මේ මිනිහට සතුටින් ඉන්න මොනවද මදිපාඩු කිය කියා හොයා බලලා ආදරෙන් බලාගන්න ගෑනියෙක්...ගැනු හිතන්නෙ නෑ අපි උන්ව බලාගන්නව මිසක් උනුත් අපිව බලාගන්න ඕන කියලා..ඔයා වුනත් අන්තිම කාලෙ කළේ මගෙ අඩුපාඩු ..."

" පොඩ්ඩක් ඉන්න බන්දු..පොඩ්ඩක් ඉන්න....මට මේක කියන්න..පිරිමි කසාද බඳින්නෙ ඇයි?"

"ඒ කිව්වෙ..ඇයි මං ඉස්සෙල්ල කිව්වෙ..මිනිස්සු කසාද බඳින හේතු..."

"ඒව බන්දු උඩින් පල්ලෙන් පේන හේතු.ඇත්තටම ඇයි පිරිමියෙක් කසාද බඳින්නෙ.පිරිමියෙක්ගෙ ආත්මෙ ගැඹුරුම තැන තියෙන ආශාව අපේක්ෂාව මොකද්ද?"

නිහැඬියාවක් ඇතිවුනා.දුලානී විතරද මාත් උත්තරය බලාපොරොත්තුවෙන්..වෙනුර දෙවනි නෙස්ටී එකත් බොනවා..

"දැන් ටිකකට කලින් ඔයා කියපු එක නෙවෙයි ද උත්තරේ බන්දු...පිරිමි කසාද බඳින්නෙ තමන්ව ආදරෙන් බලාගන්න කෙනෙක්ව ලබාගන්න..අඩු පාඩු කියල ඇද කරන්න්නෙ නැතුව මදි පාඩු හොය හොය බලාගන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා..හරියට අම්මලා වගේම තමන්ව සම්පූර්ණයෙන්ම බලාගන්න ගැනියෙක් පිරිමින්ට ඕන..මං හරිද..."

"ඔවු ඉතිං.."

"ඉතිං බන්දු ගෑනුන්ටත් ඕන ඕකමනෙ..ගෑනුත් පිටින් දාහක් දේ කිව්වත් හෙව්වත් ඇතුලෙන් හොයන්නෙ ආදරෙන් බලාගන්න කෙනෙක්වනෙ..ඒකනෙ තාත්ත වගෙ හැමදේම කරයි කියලා ගෑනු හිතන්නෙ.ආදරණීය බලාගැනීම අපි විඳල තියෙන්නෙ කොතනින්ද අන්න එයා වගෙ බලාගැනීමක් අපි බලාපොරොත්තු වෙනව....ඔයා හිතල බලන්න මම,සුමුදුනී ඇනා කියන තුන්දෙනාගෙන්ම ඔයාට තාම නොලැබුනේ ඔන්න ඔය දේ නේද...ඔයාව ආදරෙන් බලාගන්න කෙනෙක් ඔයාට හම්බුනේ නෑ..ඒක නේද ඔයා ඔය කියන කසාදෙන් ඔයා හෙව්ව ඔයාට නොලැබුනදේ..ඒක නේද කළකිරීමට හේතුව.?"

"සත්තකින්ම දුලා..සත්තකින්ම ඔව්...ඒක තමයි ඒ කාරණාව..කසාද දෙකක් බැඳලා ගෑනු තුන් දෙනෙක් එක්ක ජීවත් වෙලා දරුවො තුන්දෙනෙක් ලබපු මිනිහෙක් වෙච්ච මට තනිකමක් දැනෙනව දුලා..

මට මාව ආදරෙන් බලාගන්න කෙනෙක් නෑ කියන එක මාරම විදියට දැනෙනව..කෝටි ගණන් දේපළ තියෙන මිනිහෙක් වෙච්ච මට දෙනෝදහක්.මැද තනිකම දැනෙනව..ඇත්ත..ඇත්ත..කසාදෙකින් මිනිහෙක් හොයන්නෙ ආදරෙන් බලාගන්න කෙනෙක්ව.."..

දුලානී දුලා වුනේ තමන්ව තේරුම් ගත්තා කියලා දැනුන වෙලාවෙ වෙන්න ඇති..

"කොයි ගෑනිත් කොයි මිනිහත් කසාදයක් අස්සෙ හොයන්නෙ ඔන්න ඕක බන්දු..ඔන්න ඔය ආදරෙන් බලාගන්න කෙනා ගැන අපේ ආකර්ශනය නැති වෙන්නෑ එච්චර ලේසියෙන්..අපි කවුරුත් දන්නෙ නැත්තෙත් ඕන්න ඕක.දන්නවද ලෝකෙ දික්ක්සාද ප්‍රතිශතය සීයට පනස් පහකට වැඩි.අනියම් සම්බන්ධතා ප්‍රමාණය සීයට හැටට වැඩි..."

"අපි කසාද බඳින්නෙ ඇයි කියල අපිවත් දන්නෙ නෑනෙ දුලා..සත්තකින්ම මට ඕක තේරුනා නම් ඒකාලෙ මම බඳින්න කලින් බලන පලවෙනි සුදුසුකම මේකිට මාව ආදරෙන් බලාගන්න පුලුවන් ද කියන එක."

වෙනුර නැගිට්ටා.මමත් නැගිට්ටා...ආපහු එන ගමන් මම කොහොමහරි ඒ දෙන්නගෙ මූනු බලාගත්තා..ලෝයර් නෝනා නම් ආයෙ වචන දෙකක් නෑ ලස්සනම ලස්සන කලු ගැනියෙක්..ඇගේ පෞර්ෂය සහිත පෙනුම කොච්චරක්ද කිව්වොත් මං ආසයි ආයෙමත් ඇයව දකින්න.බන්දුව මට හරියට පෙනුනෙ නෑ.

337739130 235921658836625 4077580791780718504 n

වැස්ස පායලා තිබුණා.අපි ආපහු ඇවිත් මිදුලෙ බයික් එක නවත්තනකම්ම අපි කතා කළේ නෑ.ඒ අපි කුලියට ගත්ත ගේ.එයා දොර ඇරියා..මං එයාගෙ අත අල්ලගත්ත.

"වෙනුර ඔයා මාව බඳින්නෙ ඇයි?"

මම එයාගෙ ඇස් දිහා කෙලින් බලාගන ඇහුවා.වෙනුර දවස් ගානකට පස්සෙ ලස්සනට හිනා වුනා.

"ම්ම්ම්..මට මාව ආදරෙන් බලාගන්න කෙනෙක් ඕන නිසා...ඇත්තමයි..ඒක තමා හේතුව....මං සෑහෙන්න ආර්මාථකාමී මැඩම්."

"මාත් ඔයාව බඳින්නෙ ඒ නිසා.."

"ඒ කිව්වෙ.මාව බලාගන්නද.."

"ම්හු..මාව ආදරෙන් බලාගන්න කෙනෙක් ඕන නිසා..ඔයා එහෙම මාව බලාගනනී කියලා විශ්වාස නිසා.."

"ඇත්තටම.හැම මිනිහෙක්ම කසාදයක් අස්සෙ හොයන්නෙ ඕක කියලා මට කවදාවත් හිතිලා තිබුනෙ නෑ.මට ඒ ගැන තව හිතන්න ඕන.."

එහෙම කියපු වෙනුර දවසටම මට දුන්න එකම එක හාදුව ලාවට කම්මුලේ තියලා ගෙට ගියේ මෙහෙම කියාගන.

"මට තේ ඕන...නීතියෙන් බැඳිල්ල කෙසේ වෙතත් උඹ දැම්ම කෑම බීමෙන් නම් මාව අල්ලලා මැඩම්...මට දැන් කොහෙන් තේ බිව්වත් වැඩක් නෑ."

=======

කොයි මිනිහත් ගෑනිත් කසාදයක් ඇතුලෙ හොයන්නෙ තමන්ව ආදරෙන් බලාගන්න කෙනෙක්..අන්න ඒක මතක තියාගන්න.කවදාවත් අමතක කරන්න එපා... ඔබ බලාපොරොත්තු වෙන බලාගැනීම මොනවගේද අන්න ඒකට ගැලපෙන කෙනාවයි ඔබ තෝරගන්න ඕන.සමහර විට ඒ දැන් ඔබ ආකර්ශනය වෙලා ඉන්න කෙනා නොවෙන්නත් පුලුවන්..ආදරය කියලා අපි අදහස් කරන දෙය හෝ එහි ප්‍රමාණය නෙවෙයි කසාදෙ ඇතුලෙ වැදගත් වෙන්නෙ.අනිත් කෙනාට කොයිතරම් දුරට ආදරෙන් මාව බලාගන්න පුලුවන්ද කියන කාරණාව... ලඟදි විවාහ වෙන්නද ඉන්නෙ?..

ඔයාට පුලුවන් ද එයාගෙ අපේක්ෂාව ඉටු කරන්න?ඒ කිව්වෙ ආදරෙන් එයාව බලාගන්න..?

ඔබට හිතෙන්නෙ නැත්තං එයාව ආදරෙන් බලාගන්න ඕන කියලා,එයාට සුව පහසුව සලස්සන්න ඕන කියලා ඔබ ඔය විවාහයෙදි අසාර්ථක වීම අනිවාර්යයයි...

වෙනුර එහෙම ලියල තිබ්බා..දවස් දෙකකට පස්සෙ මම දැක්ක..

 

@Sujatha Menike Ihalagedara

නවතම ලිපි