SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගෝල්ෆේස් එකට ගහනව කියන ආරංචිය එනකොට මං හිටියෙ දෙහිවල "සතිය" පත්තර  ඔෆිස් එකේ.

ටික වෙලාවක් යත්දි ගෝල් ෆේස් එක පැත්තට මැරයො සමූහ වශයෙන් ගමන් කරමින් ඉන්න සහ මයින ගෝ ගමට ගහන වීඩියෝ ශෙයාර් වෙමින් තිබුන. මොහොතින් මොහොත ඉතා භයානක සිතුවිලි ඔලුවෙ ඇඳෙන්න පටන් ගත්ත.

ගෝල් ෆේස් කිට්ටුවම, අරලිය ගහ මන්දිරේ ඇතුලෙ රාජපක්ෂල දැවැන්ත රැස්වීමක් සංවිදානය කරල තියෙනව කියල වේලාසන දැන දැනත් එදිනට මීට වඩා පිරිසක්, එම නිසාම ගෝල්ෆේස් එකට ගෙන්න ගන්න තිබ්බනෙ කියන එකත් ඔලුවට ආවෙ ඉහත රූප රාමුවල ගෝල් ෆේස් එකේ එදා  සුලු පිරිසක් ඉන්නව දැක්කමයි. ටිකෙන් ටික ඉදිරියට ඇදෙන අත්වල පොලු දරාගත් මැරයින් විශාල පිරිසක් සිහි විකල්ලෙන් වගේ ඉදිරියට ඇදෙන, දක්වන හැසිරීම් සමග, නිරායුධව  ගෝල්ෆේස් එකේ සිටින කට්ටියට මොකෙන් මොකක් වේදැයි සිතා ගැනීමටවත් නොහැකිව  තුෂ්නීම්බූත වෙත්දි මාත් එක්ක හිටපු ප්‍රියාන්ව වෙව්ලනව මං දැක්ක. වැඩ ඔක්කොම පැත්තකින් තියල 'කල්‍ය මං යනව, ඔයා එන්නැත්ද කියල මගෙන් සැරෙන් ඇහුව. 'මං ඇහුව මේ දැන්මම?  වැඩ ගොඩක් ඉවර කරන්න තිබ්බ දවසක් එදා."හරි මං එන්නම් ඔයා යන්න"මං කීවා. කොල්ලුපිටියට යනකම් ගෙනියන්න පුලුවන් කියපු සංජයගෙ කාර් එක තිබ්බ. "ඕන මගුලක් කර ගන්න මං යනව" කේන්තියෙන් ප්‍රියාන් ගස්සගෙන එලියට බැහැල සංජය එක්ක ගියා.

 

Klya 3

ඔෆිස් එක වහල විනාඩි 15 කින් මමත් පිටකොටුව බස් එකක දෙහිවලින් නැග්ග බස් එක කොල්ලුපිටියෙදි නවත්තල කීව යන්න බෑ මෙතනින් එහාට, බහින්න කියල, බැහැල පයින් ඉස්සරහට යත්දි ගාලුපාර ඉස්සරහයින් වහල. එතන ඉඳල ලිබර්ටි එක පැත්තට ඇවිදගෙන ගිහින් 101 බස් රූට් එකක නැග්ග, පිටකොටුවට ගිහින් ඒ ටික පයින් ගෝල්ෆේස් යන්න හිතල. කොල්ලුපිටියෙන් හරවපු වාහන ලිබර්ටි පැත්තෙන් නවම් මාවත හරහා කොලඹ යන්න හදන නිසා අම්බානක ඒ පැත්තෙ ටැෆික්. බස් එකෙන් බැහැල නැවත කොල්ලුපිටිය පැත්තට ඇවිදගෙන එනකොට තැන් තැන් වල උස මහත මැර මුහුනු ඩයල් දෙතුන් දෙනා ඉන්නව දැක්කත් ඒක මාක් උනෙ නැහැ, මගේ ඉස්සරහට ඔෆිස් එකක යැයි හිතෙන කොල්ලො දෙන්නෙක් අතුරු පාරකින් පාරට ඇවිත් අර මැරයො දෙස බලාගෙන "මුන් තමයි ආපු සෙට්, ගෙනාපු බස් හොයාගන්න බැරිව ඔය තැන් තැන් වල හිරවෙලා ඉන්නෙ". අවට ඔක්කොමලටම ඇහෙන්න කියල, නැවත ආපු අතුරු පාරට ඒ අය කලබලෙන් දිව්ව. ඒ වෙලාවෙ මට ඒ මැර උන්ව දැකල මල පැන්න. එහෙම සෙට් එකක් බස් හෝල්ට් එකක් ලඟ නැවතිලා ඉන්නව දැකල මං උන්ගෙ කතාවට හිමීට කන් දුන්න."අහුවුනොත් කන්න වෙන්නෙ, කොහොම හරි බස් එක හොයා ගන්න ඕනෙ"එකෙක් කීව. උන් හිමීට ටික ටික එකා දෙන්න ඉස්සරහට ඇදුන. මං එතනින් ඇවිත්, හැරිල අතුරු පාරෙ දිගේ ඉස්සරහට ගියාම අරලිය ගහ මන්දිරේ පැත්තට යන පාරක් ලග ගෙවල් වල ඇඳගෙන හිටපු ඇදුම් පිටින් ගෑනු පිරිමි ලොකු පිරිසක් එක්වෙලා හරහට දාල තියෙන පොලිස් බැරියර් එකක් ලඟ පොලීසියෙන් ගේම ඉල්ලනව, එතනින් එන උන් ගැන කියමින්.අරලිය ගහ මන්දිරේ පැත්තෙ ඉදල එන මැරයන්ව මෙතනින් යවන්න ආරක්ෂාව දෙනව කියල.ගුරුවරු කීප දෙනෙක් ලමයි 100 ක් විතර එක්ක ඒ බැරියර් එක ලග හිටිය.ඒ අයව එලියට යවන්න පොලීසිය බයෙන් හිටියෙ. ඒ අයත් බයෙන් හිටියෙ. එලියෙන් හැමෝම කෑගහනව 200 ක් විතර, ඔෆිස් වල අය ගොඩ දෙනෙක් සමග ප්‍රදේශ වාසීන්."අද මෙතනින් බේරිල යනව බොරු අපේ කොල්ලන්ට ගහල" පාරවල් වලින් එතැනට ඇදෙන හැම කෙනෙක්ම, කරපු මැර වැඩේ ගැන පට්ට කෙන්තියෙන් ඇස්, මූණු දිලිසෙමින් කතා කියමින් හිටියෙ.ඔක්කොමලම එකම අරමුනකට ඇවිත් හිටියෙ "පාහර තුච්ච වැඩක් මේක... කාලකන්නි,වල් පරයො. මුන්ටනම් හොඳ පාඩමක් උගන්නන්න ඕනෙ” කියමින් ගෝට්ටිය අස්සෙ පොලීසියෙ ලොකු නිලධාරීයෙක්ගෙන් මං ඇහුව අර ළමයි ඇයි මෙහේ කියල, ඒ අය එදා අරලියගහ මන්දිරේ තිබුනු වෙනත් උත්සවයකට දුර ඉඳල ආපු අය කියල කීව. ප්‍රශ්නයක් වුනේ  නෑ ඒ ගුරුවරුන්ට හා ලමයින්ට.

ඒ අස්සෙ වෙන වෙන තැන්වලින් පාරෙන් මතුවෙන උන්ගෙ අයි ඩී එක බලන්න කට්ටියක් සෙට් වෙලයි හිටියෙ. ඒ අතර කොළඹ නොවන අයි.ඩී. එක තියෙන අයගෙන් කරන ප්‍රශ්න වලින්, හරියට එදා ඒ වෙලාවෙ ඒ අවට සිටීම ගැන හරියට උත්තර දී ගන්න බැරි අයව නිකං යැව්වෙ නෑ, පහර කීපයක් ගහල,ඉතිරි හරියට ගෑනු අයගෙන් පට්ට කුණුහරුප ටිකක් අහගෙන දුවන්න සැලැස්සුව, දුවන නිසා මගදි දෙවන ගුටි කෑමකට ලක් වෙච්ච අයවත් දැක්ක. ආපු අය අතර මෙලෝ හසරක් නොදැන ආපු අයත් හිටිය. ඒත් උස මහත මැර ඩයල් මූනු කියන්නෙම වැඩේටම බස්සපු සෙට් එකක් ඒ අය ගුටි දෙක තුනක් එක්ක කාගෙන පැන්න. ටිකකින් ඒ පැත්තෙන් ඇවිත් පාරට මතුවෙන  අය නැතුව ගියා. ඒ කියන්නෙ අරලියගහ මන්දිරේ ඇතුලට ආරංචිය ගියා වැඩේ එලියෙ දෙල් වෙලා තියෙන්නෙ කියල.

සමහරු ෆෝන් බල බල ඒවයෙ ගෝල්ෆේස් එකට පහරදෙන අමානුෂික විදි ගැන අනිත් අයට පෙන්න පෙන්න ගැම්ම ගත්ත. ටික වෙලාවකින් එතැන හිටපු කෙනෙක් කීව "මුන්ගෙ ආපු බස් ඔක්කොම කොම්පඤ්ඤ වීදිය පැත්තෙ නවත්තල තිබ්බෙ. මුන් ඒවට ඇදෙනව ඒ පැත්ත තමයි බලා ගන්න ඕන”  කියල. එතන හිටිය සෙට් එකක් ෂෝර්ට් කට් පාරවල්වලින් ඒ පැත්තට දුවමින් හිටිය.

කොල්ලුපිටියෙ පැත්තෙන් අරලිය ගහ මන්දිරේ අවට ඇතුල් වතුවල ගෙවල්වල කට්ටිය ගවුම්, බැනියම්, හවුස් කෝට්, නයිටි, බෙජ් ජැකට්, ෂෝර්ට්, සරොම්, ඩෙනිම්, ත්‍රීකොවාර්ටර් ඇඳන්, තරබාරු ඇවිදගන්න අමාරු අය, වයසක රෝද පුටුවල ඉන්න අය, කොන්ඩෙ ටින්ට් කරපු තරුණ ගෑණු ළමයි, කරාබු දාපු කොල්ලො, ටැටු ගහපු හීන් දෑරි කොල්ලො උඩුකය නිරුවත් මැදිවියේ  පිරිමි, බාගෙට ඇඳුම් ඇඳ ඇඳ ගෙවල් වලින් එලියට බහින රොතු ගනන් මිනිසුන්, පොඩි ලමයින්, දරුවො වඩාගත්ත අම්මල, ගෙවල්වල ඉන්න බල්ලො, පාරෙ බල්ලො, කානු මැද්දෙන් තියෙන කුඩා ගෙවල්  සහ ඒ ගෙවල් වල තියෙන වතු උඩින් මන්දිරේ පැත්තට පැන යමින් හිටිය. ඔෆිස් ක්‍රවුඩ් තරුණ පිරිමි, ගෑනු ළමයින්ට පාරවල් පෙන්වමින් ඒ අය එක්කත් ගමන් කරමින් හිටිය, ඒ අතර  පාරෙ රස්තියාදු ගහන අය, ටයි දාගත්ත පිරිස් එකම පොදියට නවම් මාවතෙන් අරලියගහ මන්දිරේට වැටෙන පිටුපස ගේට්ටුව ලඟ පාර පැත්තට යමින් හිටිය. එතැනත් ඒ වෙලාවෙ 1000 ක් විතර කට කපල සහ තවත් අය ඒ දෙසට එමින් සිටිය. ගේට්ටුව ලඟ ආමි ගාර්ඩ් එක අත්පටලවගෙන දැඩි වලල්ලක් විදියට. සන්නද්ධව 400 ක් විතර, ගේට්ටුවේ පලල අඩි 15 විතර, පොලීසිය වතුර බවුසර් ලැහැස්ති කරගෙන පාරෙ දෙපස හිටිය. ආමි නේවි අයත් පාර පුරා හිටිය. හැම පැත්තෙන්ම ඇසුනෙ, කරපු තුච්ඡ වැඩේ ගැන බැන අඩ ගැසීම් එක්ක නැගුනු වේදනාවල්වල හඬ. එක් ගෑනු කෙනෙක් කීව "අපි රෑ එක දෙක වෙනකම් ඒ ළමයි එක්ක හැමදාම ගිහින් ඉදල එන්නෙ කියල". "අහිංසක ළමයි ටිකක් එතැන හිටියෙ මුන් කොහොම එහෙම ඒ ළමයින් ගැහුවද"?වැට ඉනි කඩා ගෙන අතේ තියාගෙන හිටපු අය කීවෙ "මුන් හිතන්න ඇති කොළඹට ඇවිල්ල ගහල යන්න .අ...හු... කැ...අද තමයි මුන් කන්නෙ අපෙන්" කියල. අපි මේපාර අවුරුදු කෑවෙත් ගෝල්ෆේස් එකේ කියල කීව. ගෝල්ෆේස් කියන්නෙ ඒ අයගෙ ලගම නෑයො ඉන්න ගමක් වගේ කියල තමයි මේ අයගෙ  කතා ඇතුලෙන් ඉලියට ආවෙ. ඔක්කොමල සැලකුවෙ ඒ දේ තමන්ට වෙච්ච දෙයක් හැටියට අරගෙනයි. විශේෂයෙන් මැදි වියේ අම්මල සැලකුවෙ තමන්ගෙ පවුලෙ ළමයින්ට කරපු පහර දීමක් වගේ කියල.

මේ සියලු බොහෝ අය ඒ අවටම  පිරිස් ඒ අය ගෙදර  ඇඳන් හිටපු ඇඳුම් එක්ක හිටියෙ. ඊට අමතරව දෙවෙනි පිරිස, ඔෆිස් ක්‍රවුඩ් එක.

වටේට බලත්දි බේරෙ වටේම එකම සෙනගක්. බස් වලින් අල්ලගෙන එන පිරිස් අතරින් සමහරු  මගදි බේරෙට පැනල බේරෙන්න. බේරෙ තිබ්බ හංස බෝට්ටු වල ඒ අවට අය නැගල පැඩල් කරගෙන යනව, පැනපු අයව ගොඩට අරන් එන්න, ඒත් ඒවයෙ යන්න පුලුවන් දෙන්නෙක් නිසා බේරෙට පැන්න අයට නැවත ගොඩට එන්න ක්‍රමයක් නැති නිසා බේරෙම ඉන්නව. සමහරු ඈතට ඈතට පීනනව. ගොඩට ගේන්න බැරි නිසා හංස බෝට්ටු නැවත ගොඩට ඇවිල්ල දිග රිටවල් අරන් ගිහින් ගහල එන නිසා, බේරෙට පැන්න අය මැද්දෙ පදුරු වල හැංගෙන්න පටන් ගත්ත. බස්වලින් සහ පාරවල්වල අයි ඩී චෙක් කරල අල්ල ගත්ත  සමහරුන්ව නවම් මාවත පටන් ගන්න තැන ඉඳල ගහල අරගෙන එනව මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරේ ඉන්නව කියල හිතන නිසා "කියපං එයාට අපි ගුටි කනව උඹ සනීපෙට ඇතුලෙ ඉන්නව" කියල කියන්න කියල. ගේට්ටුවෙන් ඇතුලට් බාරදෙනව මහින්දට පෙන්නන්න ඇතුලට අරන් යන්න කියල. ඒ අයව ඇතුලට ගෙනියන්න ආවෙ සිවිල් ආරක්ෂක බටයො විතරයි.

පොලීසිය වතුර ගැහුව ලොකු පිරිසක් ගේට්ටුව ලගට යනකොට, ගෑනු හතර දෙනෙක් හිටගත්ත වතුර බවුසරේ ඉස්සරහ. ඉස්සරහට ගේන්න බැරිවෙන්න. කොහෝදෝ පොල්ලක් උඩින් ඇවිත් බවුසරේ වින්ඩ්ස් ක්‍රීන් එකට වැදුන වීදුරුව කුඩුවෙන්න, විරෝධය උත්සන්න උනා පොලීසියෙ වැඩේ නිසා, පිරිස කෑ ගසා ඇසුවෙ ගෝල්ෆේස් එකට මැරයො යනවිට යන්න නොදී වතුර, ගෑස් නොගහ දැන් ගහන්නේ ඇයිද කියලයි. සීනියර් ඩී අයි ජී කෙනා වැඩේ නැවැත්තුව. එයා පින්සේන්ඩු උනා, බය උනා මන්දිරේ ඇතුලට පිරිස යයි කියල. බැම්මක් උඩ වාඩි උනා, එයාගෙ ෆ්‍රෙෂර් වැඩි වෙලා. එයාගෙ දුක මං අහගෙන හිටිය. කැත බලු වැඩක් කලේ කියල එයා උදේ සිද්ධිය ගැන කීව. තව ගෑනු කෙනෙක් ඇහුව එයාගෙ ලගට ඇවිල්ල "සර් ඔයාටත් ලමයි ඉන්නව නේද මේත් දරුවොනෙ ඇයි ඒ ඉගෙන ගත්ත ලමයින්ට එහෙම කරන්නෙ කියල, එයා අසරණ විදියට ඒ අම්මට උත්තර දුන්න, එයාගෙ ලමයි දෙන්න ඉන්නෙ ඉගෙන ගන්නෙ පිටරට කියල. අම්ම, අම්මට හු....ඒක තමයි එහෙනම් අපේ උන්ට ගහන්නෙ කියාගෙන එතනින් මටත් ඔරවගෙන අහකට ගියා. පස්සෙ පිරිස ගේට්ටුව අසලටම ගොස් සටන් පාඨ කීව. ඩී.අයි.ජී නොකර සද්ද හිටිය. තවත් සමහරු තාප්පෙ උඩ නැගල වටේ තිබ්බ සීසීටීවී කැමරා ටික, මන්දිරේ ගේට්ටුවල ගහල තිබ්බ සිංහ කොඩි වලින් එතුවෙ අනාගතය ගැන හිතල.

මන්දිරේ අවට මහින්දගෙ රැස්වීමට ආපු වාහන වලින් කීපයක් එලියෙ තිබ්බ. ගේට් එක ලග නවත්තල තිබ්බ කැබ් එකක් උඩ නැගල කීප දෙනෙක් කතා පැවැත්තුව අරලිය ගහ පැත්තට හැරිල, ආමි එකේ වෙපන් ගත්ත මහ පිරිසක් වටේ ඉන්නව. ඒ පැත්තෙ අම්ම කෙනෙක් නැගල කතාවක් කලා. එයා ඒ පැත්තෙ දන්න සුද්ද සිංහලෙන් රාජපක්ෂලගෙ පට්ටන්දරේම කියමින්. කුනුහරුප  අහන් ඉන්න බැරිම තැන මේජර් කෙනෙක් අවිත් කීව, "ඇන්ටි කුනුහරුප නොකිය ඕනම  කතාවක් කරන්න" කියල. ඇන්ටි බැහැල ගියා. මං නැගල ඒකාධිපති පාලකයන්ගේ අවසන් ඉරණම් ගැන  සහ හමුදාවේ කාර්ය බාරය ගැන දේශන කතාවක් කරල බැස්ස.මාව එතැන අනිත් අයට හොඳින් පෙනුන නිසා, පස්සෙ පහර කෑම් වලට ලක්වෙන අයව බේරගන්න මට අවස්තා ලැබුන.

සමහරු හිතුව ගෝලයො ගුටි කනකොට මහින්ද ලොක්කට දුක හිතිල, එයා ගැනල හදල තියෙන කතාවලට අනුව එයා එයාගෙ පාක්ෂිකයන්ව බේරගන්න මොකක් හරි කරයි කියල, එතැන තිබ්බ කසු කුසුවල ඒවත් තිබ්බ. වැඩේ තියෙන්නෙ නවම් මාවතේ දිගට පිටුපස ගේට්ටුව දක්වා ඉන්න අයගෙන් 1% කක් එක පහර ගානෙ ගැහුවත් මහින්දට පෙන්වන්න ගේට්ටුව ලගට බාරදෙනකොට පහරවල් 20 ක් විතර අර පුද්ගලයට වැදිල. ටිකෙන් ටික වැඩේ දරුණු උනා, මහින්ද ඇතුලෙ ඉන්න නිසා තමයි ඔච්චර ගාඩ් එකක් කියන අදහස එන්න පටන් ගත්තට පස්සෙ තමයි එහෙම දරුණු වුනෙ. මුන්ව එලවලම තමයි අද ගෙදර යන්නෙ කියල බොහේ දෙනෙක් කෑ ගහල කීව.

ගම්පහ ඉදල ප්‍රසන්න රනතුංග ගෙන්නපු කෙනෙකුට තදින් පහර දීල බිම වැටිල ඉන්නකොට මං එයා ලඟට ගිහින් වතුර දීල කතාකලා. ආපු බස් එක මග ඇරිල නිසා ත්‍රී වීල් එකක් නවත්තල දෙන්න කීව යන්න. එතැනින් ත්‍රීවීල් ගත්තොත් අනිත් අයගෙන් නැවත යනකොට පහර කෑමට ලක් වෙයි නිසා එයාට මං කීව පිටිපස්සෙන් ගාලු පාර පැත්තට ගිහින් එහෙන් එකක් අරන් යන්න කියල.පස්සෙ එයාව දැක්කෙ නෑ. මේ වගේ වෙලාවල් වලදි ගුටිකාපු අයව බේරනව කියන්නෙ ගුටි කන වැඩක් උනාට මෙතනදි එහෙම උනේ නෑ.

වතුරට දාපු ගෑනු කට්ටියක් ලගට ආපු ගෑනු කෙනෙක් ඒ පැත්තෙම කාගෙ හරි නමක් කියල කෑගහල කීව "මේ ගෑනුන්ව ගොඩට ගනිල්ල බං. කාගෙ උනත් අම්මලනෙ බං, ඒ ළමයින්ට මේව ටීවී වල දැක්කම ලැජ්ජ‍යිනෙ කියල. කීව" ඒ අරගලේ ඇහිච්ච ලස්සනම කතාවක් ඒක. ඒ වගේම ඒ කාන්තාව ඒ පැත්තෙ හයිය කාන්තාවක් නිසා කීප දෙනෙක් ඇවිත් බේරෙ අයිනෙ වතුරෙ දාල හිටපු ගෑනු අයව ගොඩගත්ත. ඒ අයටත් අර ගෑනු අයගෙන් ලෝකෙ තියෙන හොඳම කුණුහරුප ටික සිංහලෙන් අහගෙන සීතලෙන් ගැහි ගැහි ආරක්ෂා සහිතව එලියට යන්න සැලැස්සුව. සමහරුන්ට තෙත ඇදුම් නිසා පාරෙ යන්න බැරි නිසා ගෙවල් වලට එක්කන් ගිහින් ඇදුම් දෙන්නත් කතා වුනා. විරුද්ධ වෙච්ච අයත් හිටිය. එතැන ගොඩක් අයට ගැහුවෙ මන්දිරේ අතුලට යවල මහින්දට පෙන්නන්න කියල හිතල. මම හිටපු වෙලවෙ එහෙම විස්සක් විතර බාර දෙන්න ඇති. දෙතුන් දෙනෙක්ගෙ ඇදුම් ගැලෙව්ව, ගෑනු ටික ඒකට විරුද්ධ උනා, "පොඩි ලමයි ඉන්නව බං ඔය වැඩේ නවත්තහල්ල" කියල ප්‍රදේශයේ බලවත් ගෑනු කියත්දි ප්‍රදේශයේ අනක් ගුනක් නැති කොල්ලො උනත් පස්සෙ ඒ කතාවට යටත් උනා

මං කැබ් එක උඩ කතාව පවත්වල ආපස්සට පාරෙ මැද්දට එනකොට වාහන දෙකක් කඩල බේරෙ වැවට දාල තිබ්බෙ. එකක් මන්දිරේ එදා රැස්වීමට ආපු වැගන්ආර් කාර් එකක්. අනික වී 8 එකක්. පාරෙ වැටිල තිබ්බ කොල වගයක් මං අහුල ගෙන බැලුව එදා දවසෙ ශෙඩ් වලින් පෙට්ට්‍රල් ගහන්න තව වාහන වලට දුන්න වවුචර් වගයක්. වාහන නොම්මර එක්ක තිබ්බ. මහින්දව එලියට ඉල්ලල කෑ ගහන හඩවල් වැඩි උනා. එක්කෙනෙක් ගේට්ටුවේ ආමි සෙට් එකට කීව "වැඩිය එපා විනාඩි දෙකක් දෙන්න අපිට ඇතුලට යන්න , ඊට පස්සෙ විනාඩි දෙකෙන් අපි ආවෙ නැත්නම් අපිට වෙඩි තියන්න" කියල. ටික වෙලාවකින් මෝර්ටිවේෂන් අප්පච්චි වීරය වගේ අතවනාගෙන පිරිස අතරට ආව. ඒත් එයාව ගනන් ගත්තෙ නෑ කව්රුත්. එයා කීව මහින්ද ඉල්ල අස්වුනා කියල. මහින්ද ඇතුලු ආන්ඩුවට අස්වෙන්න කියල කියපු සටන් පාඨ විනාඩි පහෙන් පහට උද්ගෝෂන විදියට මන්දිරේ පිටි පස්සෙන් නිතරම කියමින් හිටියෙ. මගේ ෆෝන් එක ඕෆ් වෙලා. එක ෆොටෝ එකක් නෑ. එතන ගොඩක් අයට තව අය වීඩියෝ කරන්න ෆොටෝ ගන්න  එක වලක්වලත් තිබ්බ. ගෝල් ෆේස් වල හිටි අය එතනට ආවෙ නැති තරම්. තනිකරම වැඩේ ඇද්දෙ ප්‍රදේශයේ මිනිස්සුයි ඔෆිස් වලින් වටේන්ම ආපු අයයි. සවස 6 විතර වෙනකම් මාත් එතන ඉදල ගෙදර එනකම්ම මිනිස්සුන්ගෙ මුහුනු දුක එක්ක මුසු උද්දාමයක් තිබුන. ඇතුල් හන්දිවල විශාල පිරිස් ආන්ඩුවට එරෙහිව ලොකු උද්ඝෝෂන කරමින් හිටිය. ඒ උද්ඝෝෂනයකටත් සහභාගි වෙලා ගෙදර ආවෙ නිවුස් බලන්න හිතල.

‍@ Kalyananda Perera fb

නවතම ලිපි