SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

(අරගලයේ හිඳි තරුණයෙක් සිය පණ අත්හැරීම පිළිබඳව සමාජ මාධ්‍යයේ විවිධ තර්ක විතර්ක මෙන්ම අවලාද සහ මඩගැසීම් බොහොමයක් පළවෙමින් ඇත.

මෙම තරුණයාව අප හඳුන්වන්නේ අරගලකාරයෙකු ලෙස නොව රටේ තරුණයෙකු ලෙස ය. දශක ගණනාවක් පුරා බලය අරබයා දේශපාලනඥයින් විසින් ඇටවූ  ඊනියා සංවර්ධන උගුල සේම වැරදි පරිභෝජන රටාවන්හි ප්‍රතිඵලයක් ලෙස අද තරුණ පරම්පරාව පමණක් නොව බාල මහළු සියළු පුරවැසියන් සිටින්නේ මහත් වූ පීඩනයක බර දරාගනිමිනි. ඊට පිළිතුර ස්වකීය පණ නසා ගැනීම නොවුනද මෙවන් තීරණයන්ට වගකිව යුත්තේ මෙවන් වූ සමාජ ක්‍රමයක් නිර්මාණය කළවුන්මය. එවන් මරණයකදීත් විවිධ අවලාදයන් කරනු විනා සැබෑ ප්‍රශ්නය අරබයා හේතු ගෙනහැර පෑමක් සිදුවන්නේ නැතිවා පමණක් නොව පවතින ක්‍රමය තවදුරටත් සාධාරණීකරණය කිරීම ද බොහෝ පාර්ශ්වයන් ඉටුකරන කාර්යයකි. එය අරගලයට දායකවූවන් ද සිදුකරන්නකි. නිර්මාල් රංජිත්ගේ පහත ලිපිය එවන් විටෙක යහපත් ප්‍රතිචාරයකි. එනයින් රජයේ පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ ඇතුළු රනිල්වාදී පොහොට්ටුවන්ට සේම මේ සියල්ල මැද බලය උදෙසා තවදුරටත් දේශපාලන ගේම් කරකවමින් සිටින දේශපාලකයින්ටද  නිර්මාල්ගේ පිළිතුරු ලිපිය උපුටාගෙන ඉදිරිපත් කරන්නෙමු - ලේඩි ලීඩර්)

-------     ---------------    -----------

“අරගලයට“ විරුද්ධව ඇති ප්‍රමුඛ විවේචනයක් වන්නේ එයට සම්බන්ධ වූවන් මානසික රෝගීන් බවයි. එය බොහෝ දුරට සත්‍යයකි. එසේ වන්නේ පහත සඳහන් තත්වය නිසාය.

ඕනෑම පර්යායක් පවතින්නේ ඊට ආවේණික අසහනයක්ද සමගයි. මානසික වශයෙන් සමතුළිත පිරිස් වන්නේ ඒ පර්යාය තුළ ඇති සහනයන් හා අසහනයකන් සමතුළනය කරගෙන අසහනය ගණන් නොගෙන සහනවලින් ගත හැකි උපරිම ප්‍රයෝජන උකහාගෙන පර්යායට අනුකූලව හැඩ ගැසුනු තත්කාර්යවාදී (Pragmatism) යථාර්ථවාදීන්ය.

සාමාන්‍ය වශයෙන් තත්කාර්යවාදීන් ද පර්යායට අභියෝග කිරීමට ඉඩ ඇතත් ඒ, නිෂ්චිත මොහොතක පර්යායේ සමතුලනය තත්කාර්යවාදීන්ගේ අවාසියට හේතුවන ලෙස බිඳී ගිය මොහොතක පමණි. උදාහරණ ලෙස පසුගිය අවුරුද්දේ තෙල්-ගෑස්-විදුලි අර්බුදය වැනි අවස්ථා. එවැනි අවස්ථා පසුකල වහාම තත්කාර්යවාදීහු නැවත පර්යාය සමග එක්වෙති.

පර්යායට අභියෝග කිරීම අතිශයින් භයානක ක්‍රියාවකි. (මෙය මගේ අදහසක් නොවන අතර මා රණජිත් ගුහා නමැති චින්තකයාගෙන් උපුටා ගත් අදහසකි.) පර්යාය නැවත ස්ථාපිත වූ කල්හී පර්යායට අභියෝග කළ වුන් ගොදුරු කිරීමට භාජනය වන නිසා පර්යාය ගැන හොදින් දන්නෝ පර්යායට අභියෝග කිරීමට මැළි වෙති. මේ නිසා පර්යායට අනුකූලව ජීවත් වීම සාමාන්‍ය තත්වයයි. අඛණ්ඩ ලෙස පර්යායට අභියෝග කිරීමට නම් යථාර්ථවාදී නොව තත්කාර්යවාදී නොවන මනසක් තිබිය යුතුය. අවාසනාවට ලෝකයේ බොහෝ වැදගත් වෙනස්කම් සිදුවී ඇත්තේ තත්කාර්යවාදී ලෙස පර්යායට අනුගත වූවන් නිසා නොව මානසික අසමතුලිතභාවය නිසා (හෝ කාටත් තේරෙන විදිහට කියනවානම් උමතුව හා මෝඩකම නිසා පර්යායට පිටින් සිතූ හා ක්‍රියාකළ වුන් නිසාය.) වෙනස්කම් හී උත්ප්‍රෙරකයින් (catalyst) වන්නේ මෝඩකම නිසා හෝ උමතුව නිසා පර්යාය සමග තත්කාර්යවාදී ලෙස අනුගත නොවන අය යි. තත්කාර්යවාදීන් යනු අමු අවස්ථාවාදීන්ය.

ප.ලි. මා යථාර්ථවාදී තත්කාර්යවාදියෙක් බව කරුණාවෙන් සලකන්න. මේ සටහන ලියැවෙන්නේ ඒ තත්කාර්යවාදී වීම නිසා ජනිත කරන අසහනයේ ප්‍රතිඵලයක් වන ක්ෂණික උමතුවක් නිසා පමණි.

 

@Nirmal Devasiri fb පිටුවෙන්

සමාජ මාධ්‍ය සංසරණය වන වීඩියෝවක් 

නවතම ලිපි