SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පිටරටකින් මුදල් ලබාගෙන ඒ මුදලින් මහජනතාව මිලදී ගැනීම අද අප වැනි බොහෝ දුප්පත් රටවල පවත්නා ප්‍රජාතන්ත්‍රවාදය වී ඇත.

නීතියෙන් කසාද බැදීම ලංකාවේ නොතිබුණි. ඒ වෙනුවට චාරිත්‍රානුකූලව විවාහ වීම සිදුවුණි. කිසිදු චාරිත්‍රයක් නොමැතිව විවාහ වීම ද සිදුවුණි. අනිත් අතට විවාහ විය හැකි විවිධ චාරිත්‍ර ද තිබිණි. පැන යාම ද එබදු එක්තරා චාරිත්‍රයක් වූ අතර ඒ අනුව චාරිත්‍රානුකූල නොවන විවාහ නොවූ බවක් ද කිව හැකිය.

එහෙත් සුද්දා ඒ සියලු ක්‍රම බැහැර කර විවාහය විවාහයක් වීමට නම් එය නීති පොතට ඇතුළත් විය යුතු බව අනිවාර්ය කළේය. ඉන්පසුව එය විවාහ වීමේ ප්‍රධාන චාරිත්‍රය බවට ද පත් විය. නොඑසේනම් පෝරුව, වේල් දැමීම ආදී සියලූ චාරිත්‍ර බැහැර කළ අයට පවා පොතේ ලිවීම නමැති චාරිත්‍රයට අනුගත නොවී සිටීමට තරම් නිර්භීත බවක් තිබුණේ නැත.

පෝරුව එපා යැයි කියූ විප්ලවවාදියෝ පවා කසාදය පොතේ ලිවීම ද අනවශ්‍ය යැයි කියන්නට තරම් නිර්භය නොවූහ.

නවීන යැයි කියන බොහෝ දේවල ඇති නවීන බවක් නැත. ඒවා රැලි පමණක් වේ.නවීන වීම යනු සැමදා සිතීමේ හැකියාව පවත්වාගැනීමයි. සිතීම නවත්වා රැලිවලට යෑම නවීනත්වය යැයි බොහෝ අය සිතති. ඇත්ත කතාව නම් ඔවුන් තුළ පවතින්නේ ගතානුගතිකත්වය බවයි. අද විප්ලවවාදීන් ලෙස පෙනී සිටින බොහෝ අය සැබවින් ම ගතානුකතිකත්වය අනුගමනය කරන්නෝ වෙති. රැල්ලකට යන්නෝ වෙති. සිතීම පැත්තකින් තැබූ අය වෙති.

සියලුම මානුෂික සම්බන්ධතා හෝ සමාජීය සම්බන්ධතා නීතිගතකිරීම සුද්දාගේ සිරිතකි. එසේ නොමැති නම් සුද්දාගේ සංස්කෘතියයි. සමලිංගික පැවතුම් කවදත් ඔ්නෑම රටක පවතියි. එහෙත් ඒවා ද නීත්‍යානුකූල කිරීමට සුද්දාට උමතුවක් තිබේ. ඒ උමතුව ප්‍රගතියක් යැයි සිතන්නෝ ද වෙති. ඒ උමතුව ලෝකය පුරා පැතිරීමට සුද්දෝ සල්ලි ද වියදම් කරති.

ඒ අතරම දැන් ලිවින් ටුගෙදර් කතාවක් ද ඇත. ස්ත්‍රී පුරුෂයන් ලිවින් ටුගෙදර් කිරීමට පොළඹවන අතර සමරිසි අය නීත්‍යානුකූලව විවාහ කරවීමට ද උනන්දුවක් ලෝකය තුළ ඇති බව පෙනේ.

කවදත් දේශපාලනය මුදල් මත පදනම් විය. කෙසේවුවත් දැන් මුදල් ලැබීමේ මූලාශ්‍ර ප්‍රජාතන්ත්‍රීය කරණය වී ඇත. දැන් එන්ජීඔි සල්ලි යන චෝදනාව නිතර නොඇසේ. එයට හේතුව එන්ජීඔි නොවන සල්ලි දැන් මේ රටේ දේශපාලන කණ්ඩායම්වලට ලැබීමයි. ඒවා සමහර විට විවිධ ආණ්ඩු වෙතින් ලැබෙන මුදල් විය හැකිය. .බටහිරින් ලැබුණු එන්ජීඔි ආධාර පමණක් නොව අද වන විට ඉන්දියාව චීනය ආදී රටවල ආණ්ඩු වෙතින් ද විවිධ දේශපාලන ව්‍යාපාර සදහා මුදල් ලැබේ. පිටරටකින් මුදල් ලබාගෙන ඒ මුදලින් මහජනතාව මිලදී ගැනීම අද අප වැනි බොහෝ දුප්පත් රටවල පවත්නා ප්‍රජාතන්ත්‍රවාදය වී ඇත.

ඒ අතර දැන දැන බොරු කීම ද දේශපාලනයේ ප්‍රධාන ලක්ෂණයකි. මහින්දගේ ජාතිකත්වය බොරුවක් විය. පපුවට ගසාගැනීම රගපෑමක් විය. එහෙත් බොරුවට පපුවට ගසාගැනීම මහින්ද විරෝධීන් තුළ ද වේ. චන්ද්‍රිකා වැවට දරුවන් දෙදෙනෙකු සමග මවක් පැනීමේ සිද්ධියට ලියූ කවි ගී එක් උදාහරණයක් වශයෙන් පමණක් පෙන්විය හැකිය.

වාර්තාවී ඇති අන්දමට ඒ පවුල වත්පොහොසත්කම් ඇති පවුලකි. එකසිය පණහක් පමණ වන හරක් පට්ටියක හිමිකාරියකි. කෙසේවුවත් මේ මව මානසික රෝගයක් සදහා හම්බන්තොට රෝහලින් ප්‍රතිකාර ගනිමින් සිටි අතර සම විටම දරුවන් සමග ඇය තනිව යාම වැළැක්වීමට වැඩිහිටියන් ප්‍රවේසම් වී ඇත. දරුවන් ද දැනුවත් කර තිබි ඇත. මේ වැඩිමහල් දරුවා මව සමග යාමට නොහැකි යැයි කියා විලාප කිවූ බවක් ද කියැවේ. කෙසේ හෝ දරුවන් රැගෙන යාමට මව සමත් ව ඇත. එහෙත් මේ සිද්ධිය වූ වහාම දවල්ට කෑම වේල සොයාගැනීමට නොහැකිව වැවේ පැන්නා යැයි මානව හිතවාදියෝ පපුවට ගසාගන්නට වූහ. නැතිබැරිකම් ඇත. දිවිනසාගැනීම් බොහෝවිට සිදුවන්නේ නැතිබැරිකම් නිසා නොවේ මානසික හේතු නිසාය. දිවිනසාගන්නෝ වැඩි දෙනා දුප්පත්තු ද නොවෙති. එහෙත් දිවිනසාගැනීමේ මානසික තත්වයේ සිටින අය අතර දුප්පත්තු ද සිටිය හැකිය. ඒ මානසික හේතුව නිසා ම එවැනි මරණයක් සිදුවූ විගස ක්‍රමයේ වැරැද්ද යැයි පපුවට ගසා ගන්නෝ සිටිති. එය මානව දයාව නොව ඔ්නෑම සිද්ධියක් විකෘති කර දේශපාලන හෝ වෙනත් හෝ වාසි සදහා යොදවාගැනීමේ ආසාවයි.

අප තුළ සිටින මානව හිතවාදියා මෙන් ම විප්ලවාදියා පිළිබදව පරිස්සම් විය යුතුය. ඒ විලසින් සිටින්නේ එහි ප්‍රතිවිරුද්ධ තැනැත්තා විය හැකිය. ජාතිකවාදීන් වශයෙන් ජාතිය විනාශ කළවුන් සිටීමෙන් අපි සියල්ලෝ ම පාඩම් ඉගෙනගත යුතුය.

ජාතිය ගැන කතා කරන අප සැමවින් ම ජාතිද්‍රෝහියෝ විය හැක. විප්ලව ගැන කතා කරන බොහෝ අය අන්ත ගතානුගතික පුද්ගලයෝ විය හැක.

විප්ලවය, දේශප්‍රේමීත්වය, නවීනත්වය හිතන තරම් පහසු නැත. එහිදී ප්‍රධාන වන්නේ සිතීමේ හැකියාවයි. නිර්මාණශීලීත්වයයි. ඇසූපිරූතැන් ඇති බවයි.

නවතම ලිපි