SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනපති රනිල්ට චින්තාගේ සුභ පැතුම!

ලංකාවේ ඊළග ජනාධිපති වන්නේ සමලිංගිකයෙක් නැත්නම් ගැහැණියක් කියල මම කාලෙකට කලින් ලිව්වා.

ඒ ලිව්වෙම අධිපතිවාදී දැඩි පුරුෂ කතිකාවක් අවසාන වෙන්නෙ එහෙමයි කියල දැනගෙන හිටපු හින්ද.

ජාතිවාදය ආගම්වාදය කරේ තියාගත්, බාහිර ලෝකය කුමන්ත්‍රණයක් කියල හිතාගෙන, පුංචි ළිඳක ලොකු ගෙම්බො වීමේ තෘප්තියෙන් පිනාගිය බහුතරයකට නැවත තමන්ගේම චන්දයෙන්, තමන්ගේම රැකවරණ පතා තමන්ගේම සතුරා බලයේ පිහිටුවන්නට සිද්ද වුනා.

මතවාදමය පරාජය කියන්නෙ ඒකට.

කෙනෙකුට බාහිරින් ගහලා පරද්දනවට වඩා තමන් තුලින්ම පරාජය බාරගැනීමට පෙළඹවීම විශ්මිත ජයග්‍රහණයක්. ඒක මතවාදමය පෙරලියක්. තවත් අලුත්, තරුණ මදයෙන් පිම්බුනු, තඩි පිරිමි බලයකින් පෙර පැවති තඩි පිරිමි බලය පරාජය කිරීම මතවාදමය ජයග්‍රහණයක් නෙමෙයි. 

සැබෑ වෙනසක් පවතින්නේ ලිංගික දේශපාලනයේ වශයෙන් සිදුවන වෙනසකින් කියන එකයි මගේ විශ්වාසය. රනිල් කියන්නෙ ඒකට.

රනිල් 2015 යහපාලන ව්‍යාපෘතිය අවසන් කරද්දි රනිල් ගැන තිබුණු මගේ විශ්වාසයත් කෙලවර වුනා. ඇත්තටම ඒක තරහකට පෙරලුනා. ලිබරල් දේශපාලනයේ අවසානතමයා හැටියට සියල්ල පරාජයකින් කෙලවර කරලා ගෙදර යන රනිල් දිහා මං බලන් හිටියෙ අනුකම්පාවෙන්. 2019 චන්දෙදි මං රනිල්ව දැක්කෙ විහිළුවක් විදිහට.


ඒත් රනිල් තනියම ආපහු ආවා. පක්ෂයක්, ජනතාවක් නැතුව, තමන්ගේ සියලු පරාජයන් සමග හිනාවෙවී රනිල් තනි පුටුවක ඉඳගෙන හිටියා. ඒ තමයි විවෘත ආර්තිකය පිළිගත්, ජාත්‍යන්තරය වැළඳගත්, බටහිර නිදහස මානව අයිතීන් විශ්වාස කරන අපේ දේශපාලනය.

dullas10
රාජපක්ෂ වගේම සජිත්වත් ඒ ලිබරල් දේශපාලනය නියෝජනය කලේ නෑ. මංගල පවා දේශපාලනයෙන් අයින් වුනෙ එතනදි. අපි පාර්ලිමේන්තුවෙන් එලියෙ ඒ ලිබරල් මැද දේශපාලනය 'කල්ට්' එකක් විදිහටවත් පවත්වාගෙන යන්න උත්සාහ දරමින් හිටියා.

කොවිඩ් ආවා. ඒ දේශපාලන හඩ නියෝජනය කළ දැවැන්තයන් එක පෙලට නැති වුනා. මංගල මැරුන. සුනිල් පෙරේරා ‍මැරුන.

ජාතිකවාදී දේශපාලනයේ මුග්ධ බව සහ වංචාව විසින් මුලු රටම අගාධයට ඇද දාලා තියෙද්දි, ජනතාව පාරෙ කැරලි ගහද්දි, කිසි කෙනෙක් බාරගන්නෙ නැතුව පස්ස ගහද්දි, රනිල් ආපහු රට බාරගත්තා. ඒ අවුරුදු 74ක මහළු මිනිසා තරම් ධෛර්යයක් වගකීමක් කිසිම දේශපාලන නායකත්වයක් විසින් ප්‍රදර්ශනය කලේ නෑ. ඒ වෙනුවට බියසුලුකම මහා ගුනයක් හැටියෙන් වර්ණනා වෙන්න පටන් ගත්තා.

රනිල් ලංකාවෙ ව්‍යවස්තාවෙ ඇති ඉතාම වටිනා ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය විදහා පාමින් අද 08 වැනි විධායක ජනාධිපති හැටියට පත්වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාම ලක්ෂණය බහුතර මතය නියෝජනය වීම නෙමෙයි. ඒකාධිපතිවාදය තුලත් ඒක සිද්ද වෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම ගුණය සුළුතරයේ අදහසටද ඒ හා සමාන අවස්ථාවක් ලැබීමයි. රනිල් කියන්නෙ සුළුතරය. ලිබරල් වටිනාකම් පිළිගන්නා, සුළු ජන අයිතීන්, ලිංගික අයිතීන් පිළිගන්නා මේ දූපතේ සුළුතරය තමයි රනිල් නියෝජනය කරන්නෙ. බහුතරයේ මහ බලපන්න ජනාධිපති පරාජිතව පලායද්දි අද රටේ ජනාධිපති ඒ සුළුතරයේ නියෝජනයක් වීම ආඩම්බරයට කාරණයක්. ඒ වෙනුවෙන් රනිල්ට මං නැගිටලා අත්පුඩි ගහනවා.


dullas11

රනිල් ජනතාව නියෝජනය කරන්නෙ නෑ කියල චෝදනාවක් තියෙනවා. අපිව විනාශයට ‍දක්කාගෙන ගොස් අපි විසින්ම පලවා හැරියෙ මහා ජනතාවක් නියෝජනය කරපු පාලකයෙක් කියල ඒ චෝදනාව කරන අයම අමතක කරනවා. ඔය කියන ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තුවෙ කැත ගැන කතා කරන අයම නැවත ජනතාව නියෝජනය කරන ජනාධිපති කෙනෙක් ගැන කතා කරනවා.

මේ අගාධගාමී මොහොතෙ බහුතර ජනමතයට කන්දීම කියන්නෙම ගමනෙ වේගය තීව්ර කරගැනීමක්.

මේක උගත් බුද්ධිමත්, ලෝකයට විවෘත, ජාතිවාද ආගම්වාද ලිංගවාදවලින් තොර සුළුතරයක් විසින් සුක්කානම අතට ගත යුතු වෙලාවක්. බහුතරයේ ක්ෂණික මෝචනය වෙනුවෙන් අපි පරක්කු කරපු අමාරු ප්‍රතිසංස්කරණ අපිට කරන්න සිද්ද වෙන ආර්ථික ‍මොහොතක්. දේශපාලනය පිටිපස්සෙ පුටුවට ගිහින් ආර්තිකයට රියදුරු අසුන පිරිනැමිය යුතුම මොහොතක්.

මං රනිල්වාදියෙක් කියල මං විශ්වාස කරන්නෙ නෑ. ඒකට හේතුව මං රනිල්ටත් වඩා ධනේශ්වර ක්‍රමය විශ්වාස කරන එකයි. නමුත් මං විශ්වාස කරන දේශපාලනය පවතින්න නම් රනිල් විශ්වාස කරන දේශපාලනය පවතින්න ඕන. ඒක තමයි ක්ලැසිකල් වර්ෂන් එක.

මේ දේශපාලන කතන්දර ඔක්කොම පැත්තකින් තිබ්බත් රනිල් කියන්නෙ ලංකාවෙ විශාලම ඉන්ස්පිරේෂන් එක බවට අද පත්වෙනවා. කිසිම දෙයක් නැති රටකට ඒ තරම් ලොකු අනුප්‍රාණයක් තිබීමම වැදගත්.

සියල්ලන් විසින් අත්හැර දමා තිබියදීත් තමන්ගේ ජීවිතයේ අවසාන අර්ථය වෙනුවෙන් නොසැලී ගමන් කරන මනුස්සයෙක්. අසමත් මිනිහෙක් විදිහට මිය යාම ප්‍රතික්ෂේප කරන වයස්ගත අරගලකරුවෙක්. ඒක හදවතක් උණුසුම් කරන කාරණයක්.

ජේආර් ජයවර්ධන විසින් හඳුන්වා දුන් විධායක ජනාධිපති ධූරය රනිල් වික්‍රමසිංහ විසින් අවසන් කරනු ඇති. ඒ චක්‍රය ඒ විදිහට පරිසමාප්ත වෙනවා. අවශ්‍ය වෙනස්කම් කරමින්, අභියෝගවලට නොසැලී මුහුණ දෙමින්, තමන්ගේ හිතුවක්කාර දේශපාලනය අභ්‍යාස කරන්නට රනිල්ට පූර්ණ නිදහස දෙමින් මං නිහඩ වෙනවා. මොකද මං වැරදි ගොඩක් තැන්වල රනිල් හරි වග මට පිලිගන්න සිද්ද වෙලා තියෙනවා.

@Faculty of sex

නවතම ලිපි