SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ත්‍රීවිලරය තෙල් ගසාගෙන ෂෙඩ් එකෙන් පිටවේ. පිටවෙනවා පමණි ඔහු ළගට ගැනුම්කරුවෙකු පැමිණෙයි. 

ලීටරයක් රුපියල් තුන්දහසට හෝ දෙදහස් පන්සියයට අලෙවි කළ හැකිය. පෙට්‍රල් ටික විකුණන ත්‍රීවීලරය යළිත් පෝලිමේ අගට යයි. ත්‍රීවිලරයකට රුපියල් දෙදහස් පන්සියයක පෙට්‍රල් ලැබේ. ඒ අනුව ලීටර් පහකුත් ටිකක් ලැබේ. තුන්දහසට අලෙවි කළොත් ලැබෙන මුදල රුපියල් පහලොස්දාහකි. ලාභය දොළොස් දහස් පන්සියයයකි.

කෙසේවුවත් මෙසේ තෙල් ගසාගැනීමට අවම වශයෙන් දවස් දෙකක් පමණ සිටිය යුතුය. දවස් දෙකක් ගත්තොත් දවසක ආදායම රුපියල් හයදාහක් පමණ වේ. කෙසේවුවත් දවසක් පෝලිමේ සිටීම පහසු වැඩක් නොවේ. අර පේස්බුක් පෙන්වන බම්බලපිටිය පෝලිමේ සිටින්නට වෙන්නේ ගිනි අව්වේය. රෑට සීතල මූදු හුළගය. පෝලිමේ සිටීමේ කෑම බීම හා වියදම රුපියල් දෙදහසකට වැඩි විය හැකිය. මේ පෝලිමේ සිටීමේ මහන්සිය කොතරම් ද යන්න පෝලිම්වල සිට අය මියයාමෙන් ද පෙනේ. කිලෝ මීටර් තුන හතරක් ත්‍රීවිලරය තල්ලු කිරීම ද පහසු වැඩක් නොවේ. සමහර විට බොන්නට ද සිතේ. ඒ නිසා පෝලිමේ සිටීම එතරම් පහසු නැත. ඒ අනුව දවසකට ශුද්ධ ලාභය රුපියල් හාරදහසක් පමණ වේ. නැතිනම් ඊට අඩුවිය හැකිය. මෙය සාමාන්‍යයෙන් ත්‍රීවිලර් දිව්වොත් ඒ කාලයේ ත්‍රීවිලර් කරුවෙකු ලබන දිනෙක ශුද්ධ ආදායම හා එතරම් වෙනසක් නැත.

දවස් දෙකකට වැඩියෙන් පෝලිමේ සිටින්නට සිදුවුවහොත් ද රුපියල් පනහ සුපිරි පෙට්‍රල් ගැසීමට සිදුවුවහොත් ද ලීටරයට තුන්දහසක් වෙනුවට දෙදහස් පන්සියයක් හෝ දෙදහසක් ලැබුණහොත් ද මේ දිනක ආදායම මෙයට වඩා අඩුවේ.

පෝලිම්වල සිටින්නේ නැතිව ඔක්කොම ත්‍රීවිලර්කරුවන් ත්‍රීවිලර් දිව්වොත් දුවන්නට තරම් බිද වැටී ඇති ආර්ථික තත්වය තුළ අද නැත. ඒ නිසා ත්‍රීවිලර්කරුවන් යම් පිරිසකට අනිවාර්යෙන් ම තෙල් පෝලිම්වල සිටීමෙන් ජීවිකාව කරගැනීමට සිදුවේ. නොඑසේනම් වෙනත් රැකියාවක් සොයාගත යුතුය. එහෙත් මේ අලුත් රැකියා සොයාගත හැකි කාලයක් නොවේ. තිබෙන රැකියාත් නැතිවන කාලයකි. ඒ අනුව ත්‍රීවිලර් රස්සාව කරගත් බොහෝ අයට පෝලිමේ සිටීම හැර ජීවිකාව සදහා වෙනත් විකල්පයක් නැත.

පෝලිමේ සිටීම රැකියාව කරගෙන ඇත්තේ ත්‍රීවිලර් පමණක් නොවේ. අනිත් අතට ත්‍රීවිලර් ඇත්තේ ත්‍රීවිලර් හයර් කරන්නන්ට පමණක් නොවේ. උදාහරණයක් වශයෙන් බාස් උන්නැහේලාට ත්‍රීවිලර් ඇත. කෙසේවුවත් නිවාස තැනීම අඩුවී ඇති නිසා බාස් උන්නැහේලාට ද රැකියා අහිමි ව ඇත. මෙසේ බොහෝ අයට රැකියා අහිමි වී ඇත. එහෙත් ඔවුන්ට ජීවිකාව කරගෙන යාමට දැන් ක්‍රමයක් පෑදී ඇත. ඒ ත්‍රීවිලරය රැගෙන තෙල් පෝලිමට යාමයි.

ත්‍රීවිලර්වලට අමතරව යම් හෝ වාහනයක් ඇති එහෙත් වෙනත් රැකියාවක් නැති හෝ අලුත් තත්වය නිසා රැකියා නැතිවී ඇති බොහෝ දෙනා තෙල් පෝලිම රැකියාව කරගෙන ඇත. නොඑසේනම් තෙල් පෝලිම මගින් රැකියා ලබාදී ඇත. පරණ ලොරි කබලක් ඇති අයට, ගෙදර පාවිච්චියට පරණ කාර් එකක් ඇති අයට ආදී වශයෙන් තෙල් පෝලිමෙන් ආදායමක් ලැබී ඇත.

අනිත් අතට මේ තුන්දාහ දී පෙට්‍රල් හෝ වැඩි ගණනට ඩීසල් මිලට ගන්නේ කවුරුන්දැයි බැලිය යුතුය. එසේ කරන්නේ ඒ සදහා හැකියාව ඇති අයය. පෝලිමේ සිටීමෙන් ලැබෙන ලාභයට වඩා අලාභය වැඩි අය පෝලිමට නොගොස් රැකියාවට හෝ ව්‍යාපාරයට යති. ඔවුන්ට දෙදහසට තුන්දහසට පෙට්‍රල් ලබාගැනීමට හැකිය.

තුන්දහසක් හෝ දෙදහසක් පෙට්‍රල් ලීටරයට වැය කිරීමට නොහැකි අය ඒ වෙනුවට පයින්, බයිසිකලෙන්, බස් එකෙන් යාම හෝ කොයියම් ආකාරයකින් හෝ පෝලිමේ සිටීම තෝරාගෙන ඇත.

නීතිඥ මහත්වරුන්ට හා දොස්තරමහත්වරුන්ට නම් ගාස්තු ඉහළ නංවා පෙට්‍රල් රුපියල් තුන්දහසට ගැනීම පියවාගැනීමට හැකිය. උසාවියට ඇති දුර අනුව දැනටම ගාස්තු වැඩිකර ඇත. එහෙත් හැමෝටම එසේ කළ නොහැකි නිසා යම් පිරිසකට ස්වකීය ආදායම් අඩුවීමකට මුහුණ පෑමට සිදුවේ.

ඒ අනුව මේ දුෂ්කර සමය තුළ තෙල් පෝලිම ආදායම් ප්‍රතිව්‍යාප්ත කිරීමක් වශයෙන් ක්‍රියාත්මක ව ඇත. රුපියල් පන්දාහේ දීමනා නොදුන්නාට දුප්පතුන්ට විශේෂ සහන නොදුන්නාට තෙල් පෝලිම හරහා ධනය ඇති අය කෙරෙන් නැති අය වෙත මුදල් ප්‍රතිව්‍යාප්ත කිරීමක් සිදුව ඇත. තුන්දහසට පෙට්‍රල් ගැනීමට ඔරොත්තු දෙන අයගෙන් වෙනත් ආදායම් මාර්ගයක් නැති අය වෙත මුදල් මාරු කිරීමක් සිදුව ඇත.

කෙසේවුවත් ඇතැම් ෂෙඩ් විසින් රුපියල් දෙදහස් පන්සියේ සීමාව ඉක්මවා හවුල් ජාවාරමක් ලෙසින් ත්‍රීවිලර්වලට පුල් ටෑන්ක් දෙන බව කියැවේ. පුල් ටෑන්ක් ලීටර් හය හා අට අතර වේ. මේ ජාවාරමේ ලාභය ඒ අනුව වඩා ඉහළ විය හැකිය. කෙසේවුවත් එය බෙදී හවුල්කරුවන් අතර බෙදී යයි. කෙසේවුවත් මෙහිදී සිදුවන ආදායම් ප්‍රතිව්‍යාප්ති බලපෑම අඩුවය.

ආණ්ඩුව මැදිහත් වී ආදායම් ප්‍රතිව්‍යාප්තිය ඇති කිරීමට කල් ගතවේ. අරගලකරුවන් කියනවා යැයි කියන විදිහට අනුක්‍රමික බදු පනවා ධනවතුන්ගෙන් මුදල් ලබාගෙන දුප්පත් අයට සහන ලබාදීමට කල් ගත වේ. ඉහළ වැටුප් මත අයකරන බදු වැඩිකිරීමට කල් ගත වේ. එහෙත් ඒ සියලු පියවර තිබිය දී තෙල් පෝලිම විසින් ඒ කාර්යභාරය යම් තරමක් දුරට ඉටුකර දී තිබේ. ඇති හැකි අය වෙතින් නැති බැරි අය වෙත මුදල් බෙදාහැරීමක් තෙල් පෝලිම් හරහා සිදුව ඇත. තෙල් පෝලිම හරහා ආදායම් ප්‍රතිව්‍යාප්තියක් සිදුවේ.

තෙල් හිගයක් තිබෙන තුරු යම් ප්‍රමාණයකින් හෝ මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වනු ඇත. තෙල් හිගය අඩුවන විට හා වඩා විධිමත් වන විට මෙසේ ධනවතුන් වෙතින් ඊට වඩා ධනයෙන් අඩු අය වෙත ගලායන මුදල් ප්‍රමාණය අඩුවනු ඇත. ධනය ඇති අය ඉල්ලා සිටින්නේ එයයි. ධනය නැති අය තෙල් පෝලිම් දිගටම තබාගන්න යැයි ඉල්ලා සිටින්නේ නැත. ඔවුන්ට එතරම් දුර දැක්මක් නැත. එවිට ඔවුන් කොයි ආකාරයකින් හෝ ජීවත්වනු ඇත. සමහර විට එය හොරකම වනු ඇත. නැතිනම් නිරාහාරව සිටීම වනු ඇත.

තෙල් පෝලිම් නැති කිරීම පමණක් නොව තෙල් පෝලිම හරහා දැන් සිදුවන ආදායම් ප්‍රතිව්‍යාප්තිය තෙල් පෝලිම් නැතිකිරීමෙන් පසු සිදුකරන ආකාරයක් ද ආණ්ඩුව විසින් සිතාබැලිය යුතු වේ.

තෙල් පෝලිම නාස්තියකි. කාලය ශ්‍රමය ධනය නාස්තියකි. කෙසේවුවත් ආර්ථික කටයුතු ඇණහිට ඇති මේ තත්වය තුළ ශ්‍රමය ඵලදායී ලෙස යෙදවීමට ද අවස්ථා අඩුය. ඒ නිසා ඇති අය වෙතින් නැති අය වෙත මුදල් යැවීම තාවකාලික ප්‍රතිකර්මයක් වශයෙන් වැදගත් වේ.

කෙසේවුවත් තෙල් හිගය නැතිවී සහ තවත් ගැටළු විසදී ආර්ථික තත්වය යහපත් වන්නේ නම් අලුතින් ආදායම් මාර්ග විවර වනු ඇත. ඵලදායී ජීවනෝපාය අවස්ථාවන් හිමිවනු ඇත.එබදු තත්වයක් ඇති කරගැනීමට පියවර ගැනීම අවශ්‍ය්‍ය. එතෙක් තෙල් පෝලිමෙන් ජීවිකාව රැකගැනීම ද අර්බුදයට එක්තරා විසදුමකි.

නවතම ලිපි