SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පෝලීම් තාඩන පීඩන සමග රණවිරු සහ නළුවන්ගෙන් හෙම්බත් වී සිටින මගේ රසික රසිකාවියන් ලියන්න කියන්න නිමිත්තක් හදිසියේ පහළ විය. එය නම් පායාසි සුත්‍රය යි.

පායාසි කියන්නේ ඔටුන්න නොපැළඳි, ක්‍රි. පූ. හයවැනි සියවසේ හිටපු ප්‍රාන්ත රජෙක්. හැබැයි එයා භෞතික වාදියෙක් නොහොත් උච්චේද වාදියෙක්. එයා විශ්වාස කරන්නෙ නෑ පරලෝකයක් තියෙනවා කියලා. ඒ නිසා ඔය පව් පිං, වැඩිහිටියන් ට සැලකීම්, හොර මැර කම්, ආදී කී නොකී සියලුම දුශ්චරිත වලින් වැලකුනාට කමක් නෑ කියලා මහා සද්දෙන් කිය කියා ලෝකාස්වාද රතියෙහි නිරතව, මහා සද්දෙන් ජිවත් වෙනවා ය. ඉතින් ඒ නිසාම මෙයා හරිම ප්‍රසිද්ධයි ය.

ඉතින් අපේ නිරාගමික දරුවෝ ද භෞතික වාදී යිනෙ. ඔන්න එක සමාන කමක්, අනෙක් පව් පිං, හොඳ නරක කියලා දෙයක් නෑම කියලා නම් එයාලා හිතන්නේ නෑ මට හිතෙන්නේ, එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කොහොම උණත් ඔය නිරාගමික අය අපාය කෙසේ වෙතත්, 'හෙල්' එක නම් තියනවා කියලා හිතනවා ඇති මොකද ඒක ටිකක් බටහිර නිසා. අනික අපේ අපාය වගේ නොවෙයි නෙ ඉංග්‍රීසි හෙල් එක. යම් රජ්ජුරුවන් යත් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නෙ අපේ අගමැති තුමා ට වාගෙ. ඉතින් කොහොම හරි අපේ නිරාගමික අය දුශ්චරිත අගය කරනවා කියලා නම් මම කියන්නේ නැහැ; මොකද ඒ අය දුශ්චරිත විවේචනය කරනවා හොඳ ට. හැබැයි පායාස රජු එහෙම නෑ, අපේ දැං රජවරු වාගෙම දුශ්චරිත වටේට තියාගෙන එයාලට තව තවත් දුශ්චරිත වලට පොළඹවමින් පෝෂණය කොට නිදොස් කොට නිදහස් කරනවා. ඉතින් ඒ නිසා පායාස රජු නිරාගමිකයින්ට වඩා වෙනස්.

py1

ඉතින් ඔයා පායාස කාරයා පරලෝකෙ නෑම කීවාට මිනිහට ටිකක් සැකයි ඔය ගැන, හිත යට පොඩි මෙව්වා එකක් තියෙනවා. ඉතින් මේ මිනිහාගෙ අමුතු රිසර්ච් ව්‍යාපෘතිය ක් තියෙනවා මේ පරලෝකෙ, එහෙම නැත්නම් වැරදි කරන උන් යන්න අපාය කියලා අටමගලයක් නෑ කියලා ඔප්පු කරන්න. ඒ තමයි මිනිහා මැරෙන්න ලං වෙලා ඉන්න දුශ්චරිත අය ළඟට ගිහින් කියනවා 'යාළුවාඋඹ මැරිලා අපායට ගියොත් මට ඒ බව දන්වලා එවාපං,' කියලා. හැබැයි මේ ගිය එකෙක් වත් කෙටි පණිවුඩයක් වත් එවන්නෙම නම් නෑනෙ. ඉතින් ඒක තමයි පායාස කාරය පරලෝකෙ නෑ කියලා ඔප්පු කරන්න දාපු තර්කය.

දැං බලන්න, අපේ නිරාගමික දරුවන්ට තියෙන මූලිකම ප්‍රශ්නෙ තමයි, මැරුණම ආයෙ ඉපදෙනවා ද නැද්ද? අපාය තියනවාද නැද්ද? තියෙනවානම් තියෙන්නේ කොහෙද? GPS එක දාලාම පෙන්වන්න ඕනෑ තියෙන තැන. මම ආගමික නෑ, ඒවගේම නිරාගමිකත් නෑ කියලා කිව්වහම ලොකු දාර්ශනික මල්ලිලා පවා අහන්නෙම ඔයා පුනර්භවය විශ්වාස කරනවාද? යකෝ මේච්චර මේ කාම ලෝකයේ කරන්න කියන්න ඕනෑ තරම් හොඳ දේවල් තියෙද්දී, මොන එකකට හොයනවා ද ඔය මැරුණට පස්සේ වෙන ඉටිගෙඩිය? අන්න ඒ වගේ නිරාගමික දරුවො සෙට් එකට මම කියන්නේ පට්ට නිරාගමික සෙට් එක කියලා. ඉතින් මම කියන්නේ නම් එයාලයි පායාස රජු යි අතර මහා පරිමාණ වෙනසක් නෑ මෙන්න මේ කාරනාවෙදි.

py2

ඉතින් පායාස කතාවේ හොඳම කෑල්ල ඕක නොවෙයි, මේ පායාසත් ඉතිං නිරාගමික සෙට් වගේම එක එක groups හදාගෙන තීර්තක ආරාම වලයි එහෙ මෙහෙ හෙනට වාද විවාද කරනවා. ඒ කරලා කෙස් පැලෙන තර්ක දානවා. හැබැයි එයා එයාගේ දායක සභාවේ ඔක්කොම සමාජ විරෝධී, තක්කඩිකම්, තුප්පහිකම්, හොර කම් මැරකම්, ජඩ වැඩ, ගෑනු හොරකම්, ස්ත්‍රී දූෂන සේරම කලාට කමක් නෑලු යන්ඩ අපායක් නැති නිසා. හේතුව විදිහට ඉදිරිපත් කරන්නේ එහෙම අපායෙ ගියානම් ගිය එකෙක් එයාට පණිවිඩ එවන්න එපැයි කියන මතය. ඉතින් මේ මතයෙ එල්බ ගෙන, එයාගෙ group එකේ දායක සභාව පිනව පිනවා ඉන්නවා.

ඔන්න ඔය අතරේ අපි කවුරුත් හොඳින් දන්නා කුමාර කාශ්‍යප රහතන් වහන්සේ සංචාරයකට එනවා ඔය පලාතේ. දක්වන්නෙ කුමාර කාශ්‍යප රහතන් වහන්සේ ගැන අර අම්මා කෑගහගෙන පුතේ කියාගෙන එද්දි හැරිලා බලලා ගියෙ යන්න. එහෙම තමයිනෙ රහතන් වහන්සේලා, උමන්දාවල් හදන්නේ නෑනෙ. ඔය පායාසි නගරයට ඇවිත් ඇට්ටේරියා කැළේකට වෙලා ඉන්නවලු. ඉතින් ඕක මේ ගම් දනව් සිසාරා ප්‍රචාරය වෙලා හැමෝම යනවාලු බණ අහන්න. මේක ආරංචි උනාට පස්සේ පායාසි රජුට, කට්ටිය කීවාලු උන් වහන්සේ දේශනා කරන්නේ හොඳ නරක ආදියෙහි ආදීනව මිස ඔබ වහන්සේ කියන දෙය නොවෙයි කියලා.

පයාසි කාරය තීරණය කළා ලු යන්න ඕනෑ තර්ක දාලා මේක දෙකින් එකක් බේරා ගන්න, මොකද එයා කොහොමද දන්නේ හරියටම අපායක් තියෙනවා කියලා, කවුද එයාට පණිවිඩ එවන්නේ කියන අදහස ඇතිව.

py3

මෙතැන් සිට පින්වතුනි, කතාව ටිකක් සීරියස්, කෙටියෙන් කියන්නම් දිග වැඩි නිසා.

දැං මෙන්න මෙතන තමයි ඔය අපාය දිවිය ලෝකෙ සංකල්ප බුදු දහමට මාට්ටු කරේ කවුද කියන ප්‍රශ්නේ නිරාකරණය කර ගන්න හොඳම උදාහරණය තියෙන්නෙ. කවුරුන්වත් නොවෙයි ඉතින් අටුවාචාරීන් වහන්සේලා තමයි ඔය මගඩිය කොහේ. පායාසි රජතුමා ගෙ 'සංකල්ප ලෝකය' හෙවත් එයාගෙ මොළේට වැදිලා කුරුවල් වෙලාම තියෙන්නේ පවි කළොත් අපායෙ යනවා පිං කලොත් දිවිය ලෝකෙ යනවා කියන පවට, 'බය' කරන උපක්‍රමය සහ 'පින' ට ආශා කරන පෙළඹවීම ට. මේක තමයි දහමේ හරය ඒත්තු ගන්වන්න අසමත් වුණු ප්‍රාථමික සමාජ වල පාවිච්චි කරන ලද ලේසිම උපක්‍රමය ය. ඒ වගේම මේ පූර්ව නිගමන තමයි (prejudice and preconceptions) බුදුන් වහන්සේ ගේ දහම ඒත්තු ගන්වන්න එදා සිට අද දක්වාම එල්ල වෙලා තිබුණ ප්‍රධානම බාධකය. දැං පේනවනේ කිරිබත්ගොඩ කට්ටිය එහෙම වදාරන්නෙම අපාය බණ දිවිය ලෝකෙ බණ නෙ.

py4

මේක මට හිතෙන්නේ වඩා වැදගත් වන්නේ නිරාගමික දරුවන්ට වඩා කිරිබත්ගොඩ ආදී අපාය බණ කාරයන්ට ගොදුරු වෙලා ඉන්න අයට. මෙතන මම දකින මූලික වැරැද්ද නම් නිරාගමික දරුවන් ගෙ නොවෙයි. මෙච්චර දියුණු යි කියන අපේ ශිෂ්ටාචාරගත වෙලා තියෙද්දී, මිනිස්සු සංස්කෘතික දියුණුව ක් ලබා තියෙද්දීත් ඇයි මේ බෞද්ධ හාමුදුරුවරු මේ ලෝකය නැතුව පර ලෝක ගැන වර්ණනා කරන්නේ. මොන කෙංගෙඩිය කටද වැරදි කළාම මේ මොහොතේ වෙන වැරදි ප්‍රථිපල අතේ එළිපිට පෙනෙද්දී අපායෙ ගිහින් ලබන ආත්මේ වෙන එක ගැන තාම මනස්ගාත දොඩවන්නෙ? නිකමට හිතන්න, අවුරුදු 74 ක් එක දිගටම කරපු තක්කඩි කම් නොමනා කම් නේද අද වෙන කොට මේ රටට මේ නස්පැත්තිය වෙලා තියෙන්නේ? එච්චර කාලයක් බාගෙන කාපු වල, රාජපක්ෂලා ඉහගෙන කනවා. ඒක නේද මෙච්චර සම්පත් තියෙන රට හිඟමනේට වැටිලා තියෙන්නේ?

හැමොම මේ සූත්‍රය කියවලා බලන්න. මේ පයාසි රජ්ජුරුවන්ගේ මතය බිඳින්න කාශ්‍යප රහතන් වහන්සේ ගත්ත උපමා සේරම මේ ලෝකයේ උදාහරණ. දුශ්චරිතවත් පුද්ගලයන් ට මේ ජීවිතයේදීම අත්විඳින්න වෙන දුක් ගැහැට කම්කටොලු තමයි උදාහරණ ලෙස ගත්තෙ. අපායෙන් කෙටි පණිවූඩ ඕනෑ නෑ මෙපිට ලෝකෙ වෙන දේවල් දිහා බලලා තීරණය කරන්න කියලා තමයි කාශ්‍යප රහතන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. උන් වහන්සේ කියනවා, දැං බලන්න හොරුන්ට මං පහරන්නන්ට, ස්ත්‍රී දුෂකයින්ට මේ ජීවිතයේදීම විදින්න වෙන විපාක. මේ සුත්‍රය ඉතාමත් දිගයි. කාෂ්‍යප රහතන් වහන්සේ අපාය විස්තර කළේ නෑ. උන් වහන්සේ කීවෙ,ඔයාගෙ ඔලුවට අරක්ගෙන තියෙන, ඔයාගෙ ඔලුව වහගෙන තියෙන අපාය සංකල්පීය අපායක්. ඒක ඔප්පු කරන්න ඕනෑ තරම් ඒවාට සමාන උදාහරණය මේ ජීවිතයේදීම තියෙනවා. දරුණු හොරකමක්, දුශ්චරිත වලට ඇබ්බැහි වූවකු අල්ලා ගෙන නිරුවත් කරලා, හිස් මුඩුකරලා, පාර දිගේ ඇවිදදවලා මරණයට යන මොහොතතේ ඌට ඉඩ දෙනවා ද ආපහු ගෙවල් එක්ක ගනුදෙනු කරන්න. ඔන්න ඔය වගේ වෙන්න පුළුවන් ඔය ඔයා කියන අපාය කියන එකත් කියලා තමයි කාශ්‍යප රහතන් වහන්සේ මේ මනුස්සයා ගේ මතය වෙනස් කරන්න ඒක යොදා ගත්තෙ. මේවා තෝරා බේරා ගන්න ඕනෑ ප්‍රඥා පූර්වකව කියවලා. එහෙම නැතුව පදපරම ලෙස කට පාඩම් කරලා නොවෙයි.

py5

හැබැයි අද ලංකාවේ තත්වය නම් පායාසි ක්‍රමයම තමයි, හොරුන්ට, බොරු කාරයන් ට, තක්කඩියන් ට, වරප්‍රසාද දීලා සිහසුනේ තියනවානෙ. මිනී මරුවන් කුඩු කාරයින් නිදොස් කොට නිදහස් කරනවානෙ. කුමාර කාශ්‍යප රහතන් වහන්සේ වැඩියා නමි ගෝල්ෆේස් එකට, ආණ්ඩුවේ බෞද්ධ ඔස්තාර්ලා උන් වහන්සේ මිත්‍යා දෘෂ්ටියකයෙක් කියලා එලවා ගන්නවා ෂුවර්.

ඇත්තටම මේ බුදු දහම කියන්නේ මැරුණට පස්සේ, පර ලෝක සිද්ධ වෙන දේවල් ගැන කියන එකක් නොවෙයි. මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් හේත ඵල වශයෙන් දකින්න පුළුවන් දේවල් කියන එකට. හැබැයි ඒ දහමට ප්‍රාග් බෞද්ධ විස්වාස ඇදහිලා දාගෙන බණ කියලා රට රටවල් වලත් ගිහිං කිරිබත්ගොඩ එහෙම කරන්නේ ඕකමයි.

බුදුන් වහන්සේ නොවෙයි මේ දහම් සාකච්චාව මෙහෙයවලා තියෙන්නේ උන් වහන්සේගේ ධම්ම කැම්පේන් එක මෙහෙයවපු රහතන් වහන්සේ නමක්. මේ සුත්‍රය කියවන්න ඕනෑ අපේ ඔලුවෙ කියන පරණ ප්‍රාග් බෞද්ධ අපාය වල් පැත්තකින් අරං තියලා. එහෙම නැතුව කියෙව්වොත් අලුත් දෙයක් වෙනුවට ඔළුගෙඩි වලට එන්නේ පරණ ප්‍රාග් බෞද්ධ අපායවල්ම විතරයි.

(වීඩියෝව පසුවට දාන්නම්, මේකෙන් මතුවන ප්‍රශ්නත් එක්ක.)

නවතම ලිපි