SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විසදුම් කියා ජාතියක් නැත. 

එහෙත් ඒ නිසාමදෝ විසදුම් සෙවීමට ඇත්තේ අපට පුදුම උනන්දුවකි. 

පෙට්‍රල් ප්‍රශ්නයට බයිසිකල් පැදීම විසදුමක් නොවේ. එහෙත් එය විසදුමක් යැයි අපට සිතේ.

තවත් සමහරු පෙට්‍රල් ප්‍රශ්නයට විසඳුම ලෙස ගන්නේ පෝලිමේ සිටීමය.

තවත් සමහරු විසඳුම ලෙස ගන්නේ කළු කඩෙන් ගැනීම ය. ඒවා ද විසදුම් නොවේ.

ගෑස් හිගයට පොල් කටු ලිප විසදුමක් ලෙස සමහරු සිතති. තවත් අය භූමිතෙල් ලිප් ගත්හ. තවත් සමහරු දර ලිපේ උයති. එහෙත් ඒ්වා ද එකක්වත් විසදුම් නොවේ.

GoGama අරගලය

වර්තමාන අර්බුදයට විසදුම ගෝටාගෝගම තුළ ඇතැයි එදා බොහෝ අය සිතූහ. එය විසදුමක් නොවේ යැයි කීමට මම බය වෙමි. එහෙත් එසේ බය වීම ද විසදුමක් නොවේ.

රනිල් විසදුමක් යැයි බොහෝ අය සිතූහ. මම ද සිතුවෙමි. එහෙත් රනිල් ද හිතන තරම් විසදුමක් නොවෙන බව දැන් කල්පනා වෙමින් ඇත.

ආහාර හිගයට කොස් කෑම විසදුමක් යැයි කියැවේ. අටුකොස් හැදීම විසදුමක් යැයි කියැවේ. ඒවා ද විසදුම් නොවේ.

බැසිල් යාම, මහින්ද නොඑසේනම් නාකි මයිනා යෑම විසදුමක් යැයි බොහෝ අය සිතූහ. ඒත් පෝලිම් දිග වැඩි වුණා පමණි.

කෙසේවුවත් මේ තත්වයට හේතුව කාගෙවත් වරද නම් නොවේ. විසදුම් කියා දෙයක් නැතිවීම පමණි.

පොල් කටු අගුරු ලිප විසදුමක් නොවන්නේ කාරණා රැසක් නිසා ය. එකක් පොල් කටු ලිප්වල මිල ගණන්ය. එක එක ගණන්වලට ඇත. එසේ ම ප්‍රමිතිය ද විවිධ ය. ඇතැම් ලිප්වල වැඩියෙන් පොල් කටු අගුරු දහනය වේ. ඇතැම් අයට ලිප කොතරම් හොඳවුවත් ලිප අවුලුවා එය භාවිතාකිරීමේ හුරුබුහුටිකම නැත. එවිට පොල් කටු අගුරු වැඩියෙන් වැය වේ. තවත් සමහර විට පොල් කටු අගුරු බාලය. වතුර ගසා ඇත. හරියට නොඇවිලේ. සමහර අය පවසන්නේ පොල් කටු අගුරු භාවිතයට වඩා වැඩිමිල ගෑස් භාවිතය පවා ලාබ බව ය. එහෙත් සමහරු පොල් කටු අගුරු භාවිතයේ පැහැදිලි ලාභයක් දකිති. කෙසේවුවත් මෙයට ඇත්ත හේතුව පොල් කටු ලිප්වල හෝ අගුරුවල වැරැද්ද නොවේ. විසදුම් කියා දෙයක් නැතිවීමය.

බයිසිකල් පැදීම ද විසදුමක් නොවේ. ඉතා බාල තත්වයේ බයිසිකල් පවා වැඩිමිලට විකිණේ. මේ ඇතැම් බයිසිකල් පැදීම මී හරකුන් කරත්තෙට බැඳගෙන දැක්කීම වැනි අමාරු වැඩකි. අනිත් අතට දැන් දැන් තෙල් පෝලිම්වලට වඩා වින්කල්වල රස්තියාදු වීමට ද සිදුව ඇත. වින්කල්කරුවන්ගේ වැඩවල ද සමහර විට ප්‍රමිතියක් නැත. අමතර කොටස් ද ගිනි ගණන්ය. අනිත් අතට බයිසිකල් මිලට ගැනීමට ද නැත. කෙසේවුවත් මෙයට ද ඇත්ත හේතුව විසදුම් කියා දෙයක් නැති වීමය.

රනිල් විසදුමක් නොවන්නේ ද රනිල්ගේ වරදක් නිසා නොව විසදුම් කියා දෙයක් නැතිවීම නිසා ය.

එහෙත් විසදුම් කීමට ද ඉදිරිපත් කිරීමට ද දීමට ද කතා කිරීමට ඇත්තේ අසීමිත උන්නදුවකි. එයට ඇත්ත හේතුව ද විසදුම් කියා දෙයක් නොමැතිවීමමය.

නැති විසදුම් දෙන්නෝ බොහෝය. එහෙත් ඒවා එකක්වත් විසදුම් නොවේ. මේ නිසා විසදුම් දෙන්නන් ගැන හෝ විසදුම් ගැන හෝ මහා බලාපොරොත්තු තබාගැනීම තරම් මහා මෝඩකමක් තවත් නැත.

අපි එදා රටේ ප්‍රශ්නවලට ගෝටා විසදුමක් යැයි සිතුවෙමු. එහෙත් විසදුම් කියා දෙයක් නැති බව අපට කල්පනා වුයේ නැත. අපට තබා ගෝටා මහතාට ද කල්පනා වූයේ නැත. ගෝටා ද රටේ ප්‍රශ්නවලට තමා විසදුමක් යැයි කල්පනා කළේය. එහෙත් විසදුම් කියා දෙයක් නැති බව අපට දැන් කල්පනා වී ඇත. කොයි විසදුමක වුව ද අවසන් තත්වය එයයි.

ප්‍රභාකරන් නැති කිරීම ද විසදුමක් වී නැති බව දැන් අපට වැටහේ. කෙසේවුවත් වැරැද්ද ප්‍රභාකරන් විනාශ කිරීම විසදුමක් යැයි සිතීමය.

රතන හිමි ද විසදුම් කප්පිත්තෙක් ලෙස සිටියේය. තවත් විසදුම් කප්පිත්තෝ බොහෝ වූහ. එහෙත් විසදුම් කියා දෙයක් නැති බව දැන් අපි දනිමු.

කිසියම් දෙයක් විසදුමක් යැයි සිතීම තුළ ම එය විසදුමක් වීම අවසන් වේ. එය ප්‍රශ්නයක් බවට පත්වේ. 

ඇත්තටම විසදුම් කියා දෙයක් නැත. ප්‍රතිකර්ම කියා දෙයක් නම් පවතී. පිළියම් කියා දෙයක් නම් පවතියි. තාවකාලික පිළියම් යැයි ද කිව හැකිය. නොඑසේනම් පැලැස්තර යැයි ද කිව හැකිය.

අපට වරදින්නේ මේ සියලු පිළියම්, ප්‍රතිකර්ම, පැලැස්තර විසදුම් යැයි සිතීම තුළය. බයිසිකල් පැදීම විසදුමක් නොවේ. පැලැස්තරයකි. ප්‍රතිකර්මයකි. එය විසදුමක් ලෙස ගතහොත් ලෙඩකි.

පොල් කටු ලිප ද පිළියමකි. ප්‍රතිකර්මයකි. විසදුමක් නම් නොවේ. එය විසදුමක් යැයි සිතීම ම ප්‍රශ්න ගොඩක් හදාගැනීමකි.

විසදුම් කියා දෙයක් නැත. සමාජවාදය විසදුමක් යැයි එදා සිතූහ. ප්‍රජාතන්ත්‍රවාදය විසදුම් යැයි සිතූහ. කොමිෂන් සභා විසදුම් යැයි සිතූහ. 18, 19, 20 හා 21 විසදුම් යැයි සිතුහ. සිස්ටම් චේන්ජ් විසදුම් යැයි සිතූහ. ඒවා එකක්වත් විසදුම් නොවේ. විසදුම් කියා දෙයක් නැතිවීම ඊට හේතුවයි. ඒවා ප්‍රතිකර්ම විය හැකිය. පිළියම් වියහැකිය. පැලැස්තර විය හැකිය. පැලැස්තර හෝ තාවකාලික පිළියම් විසදුම් ලෙස ගැනීම ප්‍රශ්න වැඩිකරගැනීමකි. එහෙත් අප සැමවිටම කරන්නේ එයයි. එයට හේතුව විසදුම් නැති යැයි සිතාගැනීමට අපට නොහැකිවීමයි. අප දවසින් දවස ප්‍රශ්න මැද එරෙන්නේ මේ විසදුම් නැති බව නොදැන විසදුම් සොයන්නට යාම නිසා ය. නැති විසදුම් සෙවීම නිසා ය.

දැන් මම විසදුම සොයාගෙන ඇත. විසදුම් ඇත්තේ එකක් පමණි. ඒ නිවනය. නිවනින් මෙහා විසදුම් නැත. ඇත්තේ ප්‍රතිකර්ම පමණි. පිළියම් පමණි. පැලැස්තර පමණි.

එහෙත් ඒ පැලැස්තර විසදුම් යැයි සිතා ඒ්වාට ආලය බැදීම තුළ අප ප්‍රශ්න ඇතිකරගනිමු. ප්‍රතිකර්මවලට පැලැස්තරවලට විසදුම් යැයි සිතා ආලය නොකරන්න. නොබැඳෙන්න.

ප්‍රතිකර්ම ප්‍රතිකර්ම ලෙස ගැනීම තුළ නම් ප්‍රතිකර්මයක් ඇත. පැලැස්තර පැලැස්තර යැයි ගැනීම තුළ නම් පැලැස්තරයක් ඇත. එහෙත් පැලැස්තර විසදුම් ලෙස ගැනීම තුළ නම් විසදුමක් තබා පැලැස්තරයක්වත් නැත.

බයිසිකල් පැදීම විසදුමක් නොවන්නේ ඇයි ද යන්න දැන් ඔබට පැහැදිලි ය. එහෙත් එය ප්‍රතිකර්මයක්, පිළියමක්, පැලැස්තරයක් බව නම් පිළිගත හැකිය.

නවතම ලිපි