SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහපාරට බැස ඇති මධ්‍යම-පන්තිකයන්ගෙන් බහුතරය අවංක ය.

ඔවුන්ට අනුව, රටේ ආර්ථික අර්බුදයට මූලික වගකිවයුත්තා වන්නේ, රාජපක්ෂ පවුල ය. එම නිසා, ඔවුන්ව පලවා හැර, ඒ වෙනුවට සජිත් හෝ අනුර රට පාලනය කිරීමට තෝරාගත් පසුව ගැටලුව විසඳෙයි. පළමුව, අවංක මැදපන්තිකයා මෙතැන දී අහිංසක ය.

මේ මැද පන්තිකයා මෝඩයෙකු වන්නේ ඇයි? 

M2

  ප්‍රේමදාසගේ තාත්තා 87-89 යුගයේ දී පැවති ‘දේශපාලන අර්බුදය’ විසඳන ලද්දේ, හමුදා බලය යොදවමිනි. නමුත්, තියුණු ආර්ථික අර්බුදයක් පවතින විටෙක දී, හමුදාව යොදා තත්ත්වය පාලනය කළත් දිගු කලක් අල්ලාගෙන ඉන්නට බැරිය.රාජපක්ෂ පාලනය තමන්ට එරෙහිව එන බලවේග දෙකට ඔහේ එන්නට ඉඩ දුන්නේ, ආර්ථික අර්බුදයට විසඳුමක් ළග පාතක නැති නිසා ය.සාර්ව-ආර්ථික ගැටලුවලට කෙටිකාලීන විසඳුම් නැත.

              අප්‍රේල් මාසයෙන් පසුව තත්වය තවත් දරුණු අතට ගමන් කළ හැකි අතර ඉන්පසුව, ”රජයේ” රුපියල් ලක්ෂයට වැඩි වැටුප් කපා හැරීම සිදු විය හැකිය.

           අපට දැනට ඇත්තේ, විකල්ප දෙකකි. එකක් IMF විකල්පය යි. දෙවැන්න වන්නේ, චීන විකල්පය යි. විපක්ෂයේ ප්‍රධාන කොටස් දෙකටම දැන් ආධාර කරන්නේ, චීනය යි.

    මහින්ද රාජපක්ෂ හොඳින් දැන සිටි කාරණයක් වූයේ, ඉදිරි වසර දෙකක කාලය තුළ දී ඉතාම ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට ඕනෑම ආණ්ඩුවකට සිදු වන බවයි. ඉදිරියට බිහි වන්නේ, ‘ඇත්ත ආර්ථිකය’ (REAL ECONOMY) කි. සරලව ‘ඇත්ත ආර්ථිකය’ යනු, මිලට ගන්නා භාණ්ඩ සහ සේවා අඩුම වශයෙන් එම මිලටම ලබා දීමයි. උදාහරණයක් ලෙස, ඉදිරියේ දී පෙට්‍රල් සහ ඩීසල් කිසිදු සහනයකින් තොරව ලබා ගන්නා මිලට විකිණීමට සිදු වෙයි.

එම නිසා, මහින්ද කළ දේ සරලව මෙසේ ය.

  දරුවන් පස් දෙනෙක් සිටින ගැහැණියකගේ මිනිහා ඇයට පහරදෙන නිසා ඒ වෙනුවට, වෙනත් මිනිසෙකු ආදේශ කර ඇත. අලුත් මිනිසාට දරුවන් පස්දෙනාට සහ ගැහැණියට කන්නට දීමට සිදු වෙයි. 

එම නිසා, ඉදිරියට එන භාරකාර හෝ කුමන හෝ ආණ්ඩුවක් නන්නත්තාර වීමට වැඩි කලක් යන්නේ නැත. 18 වන බෲමරයේ දී, මාක්ස් කී පරිදි, රාජපක්ෂලා වෙනුවට වෙන පිරිසකට ආදේශ විය හැකි ය. මහජනයාට බටර් ගාන පාලකයන්ට වැඩි ආයුෂ නැත.

    නමුත්, ඒ ආණ්ඩුවට ‘රාජ්‍ය ගිණුම’ එහි පරතරය අවම කරමින් පවත්වාගෙන යාමට සිදු වෙයි. ඊට අමතරව, IMF විසින් නිර්දේශීත යෝජනා ක්‍රියාත්මක කිරීමට සිදු වෙයි. එවිට, ඉදිරි වර්ෂවල දී ගෙවීමට නියමිත වැටුප් වර්ධක ඇතුළුව කිසිදු වියදමක් දැරීමට නො හැකි ය. ලක්ෂ 19 ක් වන ව්‍යාජ සමෘද්ධි ලාභීන් අතරින් එම දීමනාව දිය යුතු නිවැරදි අගය වන ලක්ෂ 6 ක් තෝරාගත යුතු ය. දැනට, සමහරුන් මරුටි කාර් වලින් පැමිණ දීමනාව ලබා ගනියි. 

ඉතාම සරලව කිවහොත්, සමාජයේ වඩාත්ම අන්තරායට ලක් වන සමාජ කොටස් වලට සමාජ ආරක්ෂණ දැලක් නිර්මාණය කරනවා හැර වෙන කිසිදු සුභ සාධන කටයුත්තක් කිරීමට, අනාගතයේ එන කුමන හෝ රැඩිකල් ආණ්ඩුවකට නොහැකි වනු ඇත. අද රාජපක්ෂවාදයට විරුද්ධව ඇති වන උද්ඝෝෂණ, එවන් යුගයක දී කුමන නමකින් පිට වේ ද යන්න අපි නො දනිමු.

දැනට තිබෙන තත්ත්වය අනුව, රජයේ දැඩි ලෙස පාඩු ලබන ආයතන සමහරක් ප්‍රතිව්‍යුහගත කිරීමට බල කෙරෙන අතර රාජ්‍ය සම්පත් බොහොමයක් විකුණා දැමීමට සිදු වනු ඇත. (මෙය, ‘ජනතා විමුක්ති පෙරමුණ’ ආණ්ඩුවකට අදාළ නොවන්නේ, රටේ ආර්ථිකය කණපිට පෙරළිය හැකි නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළත්ව උසස් බුද්ධි මණ්ඩලයක් සිටින නිසා ය)

             දැන් ගැටලුව වන්නේ, ඩොලර් විනාශ කරන අය කවුද යන්න ය. 

විශ්ව විද්‍යාල ගුරුවරුන් සහ වෛද්‍යවරුන්ට ලැබෙන වාහන බලපත්‍රයක වටිනාකම ඩොලර් 22,000 යැයි සිතුවහොත්, එය රුපියල් කර නැවත එමගින් ඩොලර් 66,000 ක් පමණ මැවිය හැකි ය. පෙළපාලිවල මේ ඩොලර් විනාශ කරුවන්ද ඉදිරියෙන්ම සිටිති. ඊට අමතරව, නායකයන් නැති පෙළපාලිකරුවන්ට අප මතක් කරන්නේ, ”යහපාලනය” සහමුලින්ම විනාශ කළ හොරුන් දැන් ඉන්නේ සජිත් ප්‍රේමදාස සමඟ වන බවයි.

එබැවින්, 2024 දක්වා රට කරගෙන යාමට නියමිත ඕනෑම වර්ගයේ ආණ්ඩුවක ඉරණම තීන්දු වන්නේ, ඉම්රාන් ඛාන්ට අත්වූ ඉරණමේ ආකාරයට ය. ඉම්රාන් IMF නිර්දේශ මත බදු ප්‍රතිපත්තිය සංශෝධනය කළ අතර ඉන් ඔහුව ඉතා ඉක්මනින් විනාශ කරන ලදී.

සජිත් ප්‍රේමදාසට හෝ අනුර කුමාරට හැර, මේ මොහොතේ ඩොලර් සෙවීමට වෙන කිසිවෙකුට නො හැකි ය. මේ දෙදෙනාට හැර, රට ගොඩ දැමීමට හැකි වෙනත් ජගතුන් ද මෙලොව නැත.

පවතින ‘සමාජ-ක්‍රමය’ සහමුලින්ම වෙනස් නොකර මැජික්කාරයන්ට රට වෙනස් කළ නො හැකි ය. මහින්ද රාජපක්ෂ සකස් කළ තිර පිටපතට අනුව, සියලුදෙනාටම රඟපෑමට සිදු වීම දෛවයේ සරදමක් ද? නැතහොත්, මුග්ධ ජනප්‍රිය තීරණවල හේතු-ඵල සම්බන්ධයක් දැයි කීමට කාලය මදි ය.

මහින්ද රාජපක්ෂ තමන් අතේ තිබූ විලක්කුව විපක්ෂයට භාර දී ඇත. එම නිසා, සූට් මැසූ ඔලමොට්ටලයන්ට දැන් ආණ්ඩුව භාර ගැනීමට හැකි ය. 60% ක පීඩිතයන්ට සහන සපයාපල්ලා කියා අපට විපක්ෂයේ සිට සජිත්ගේ වැඩකාරයන්ට සහ ජවිපෙ බුද්ධි මණ්ඩලයට එරෙහිව කෑගැසීමට ද හැකි ය.

නවතම ලිපි