SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ සටහන... දක්ශ ක්‍රීඩිකාවක්.. අම්ම කෙනෙක් වගේම ආදරණීය ගැහැණියක් වූ ඇලිසන් ෆෙලික්ස් වෙනුවෙන්.

මේ ලිපියේ මුල් කොටස මළල ක්‍රීඩාවට ආදරේ කරන අයටත් ....දෙවැනි කොටස ගැහැණියක් විදිහට නිහඬව ඉන්නෙ නැතුව "ලෝකයේ මග වෙනස් කරපු අය"ගැන දැන ගන්න කැමති අයටත්... වැදගත් වෙයි.

ඇලිසන් ෆීලික්ස් ලෝකෙ පුරාම ප්‍රසිද්ධයි.

විශේෂයෙන්ම සුසන්තිකා ලෝකඩ පදක්කමක් දිනාගත්ත 2007 ඔසාකා ලෝක ශූරතාවයේදී පහසුවෙන්ම රන් පදක්කම දිනාගත්තෙ ඇලිසන් නිසා ලංකාවෙ ක්‍රීඩා ලෝලීන් අතරත් එයා ප්‍රසිද්ධ ඇති.

 

ඇලිසන් 1

 

1985 නොවැම්බර් දහ අට වෙනිදා කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නගරයේ බොහොම සාමාන්‍ය පවුලක ඇලිසන් උපදින්නෙ.

එයාගෙ අම්ම පෙර පාසැල් ගුරුවරියක්.. තාත්ත කුඩා පල්ලියක පැස්ටර් කෙනෙක්. එහෙමත් නැත්නම් පාදිලි කෙනෙක්.

උපතේදිම බර අඩු මේ ලමය බොහොම කෙට්ටුයි. එයාගෙ එකම අයිය වගේම ඇලිසනුත් දුවන්න පනින්න හරි දක්ශයි.

පුංචි කාලෙ ගමේ බැප්ටිස්ට් ප්‍රාථමික පාසැලේ බාස්කට් බෝල් ගහන්න පුරුදුවුණු ඇලිසන් දවසක් ගෙදර එන්නෙ අඬාගෙන..

“අම්මෙ මට කකුල් වැහෙන දිගම දිග කලිසමක් ඕනෙ.. නැත්තං මං ආයෙ කවදාවත් ඉස්කෝලෙ යන්නෙ නෑ.. ආයෙ නම් මං කිසිම දවසක බාස්කට් බෝල් ගහන්න තියා මැච් එකක් බලන්නවත් පිට්ටනියට යන්නෙ නෑ.”

මේකට හේතුව තමයි ඉස්කෝලෙ හැමෝම ඇලිසන්ට නමක් පටබැඳීම. ඒ නම තමයි චිකන් ලෙග්ස්.( Chicken Legs) ඒකට හේතුව ඇලිසන්ගෙ ඇඟටත් වඩා කකුල් දෙක බොහෝම කෙට්ටු වීම.

පාන්ඩුව.. මන්ද පෝශනේ වගේ නම් මේ අතරෙ ඇහෙනව.

කොහොම නමුත් පොඩි ඈයො ගැන හොඳට දන්න කියන ඇලිසන්ගෙ අම්ම එයාව ආපහු සැරයක් ඉස්කෝලෙටයි පිට්ටනියටයි එක්කන් යනව.

ප්‍රථිපලය... බාස්කට් බෝල් ක්‍රීඩාවට විතරක් නෙමේ දුවන තරඟ වලිනුත් චිකන් ලෙග්ස්ව පරද්දන්න කාටවත් බැරි වෙනව.

අවුරුදු දාහතරෙදි මුළු ඇමරිකාවෙම ඉන්න වේගවත්වම කණිශ්ඨ ක්‍රීඩිකාව වෙන්නෙ මේ ඇලිසන් තමයි.

එතනින් නවතින්නෙ නැති චිකන් ලෙග්ස් ලෝක කණිශ්ඨ මළල ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගන්නෙ තත්පර 22 දශම 11 න්. සුසන්තිකා ඔලිම්පික් රිදී පදක්කම දිනුවෙ 22.28 න්.. දැනට ලංකාවෙ කණිශ්ඨ ශූරිය වූ මේධානි ජයමාන්න වාර්ථා කරන කාලය තත්පර 24.0 යි..

 

අැලිසන් 2

 

අවුරුදු දහ අට වෙන්නත් කලින් ඇමරිකාවේ මීටර් 200 සඳහා ඉන්න හොඳම ක්‍රීඩිකාව වෙන්නෙ මේ කෙසඟ ෆීලික්ස්. පුංචි කාලෙ අවමානයට කියපු නම මාධ්‍යවේදීන් පාවිච්චි කරන්නෙ බොහොම සැහැල්ලුවෙන්.

ඒකට ෆෙලික්ස් උනත් තරහ ගන්නෙ නෑ. ඇය කියන්නෙ.. “ඔව් මම තමයි චිකන් ලෙග්ස්” කියල හිනාවකුත් එක්කමයි.

උස අඩි පහයි අඟල් හයක් වෙද්දි එයාගෙ බර කිලෝ 52 යි.

මේ පුංචි ශරීරය තියාගෙන 2004 ඔලිම්පික් තරඟෙට යද්දි ඇලිසන්ට යන්තම් වයස දහ අට පහු වුනා විතරයි.

මුළු ලෝකෙම අවධානය දිනාගනිමින් මේ ළමය රිදී පදක්කම දිනා ගන්නව.

2004 ඔලිම්පික් තරඟ වලට යන ඇමරිකානු කණ්ඩායමේ ලාබාලම ක්‍රීඩිකාව තමයි ඇලිසන්.

(2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලට යන ඇමරිකානු කණ්ඩායමේ වයස්ගතම ක්‍රීඩිකාවත් ඇලිසන් ෆීලික්ස්මයි.)

2004 දි රන් පදක්කම නොලැබුනාට 2005, 2007 අවුරුදු දෙකේදිම ලෝක ශූරතා තරඟ වල මීටර් 200 ලෝක ශූරිය වෙන්නෙ ඇලිසන්.

2004 දි අහිමිවුණු රන්පදක්කම දිනාගන්න 2008 බෙයිජින් උළෙලට ගියත් ආයෙත් එයාට ලැබෙන්නෙ රිදී පදක්කම.

2008 දි බැරිවුනා, කමක් නෑ.. මං 2012 දි උත්සාහ කරනව .. ඇලිසන් මෙහෙම කියන්නෙ කඳුළු පිරුණු ඇස්වලින්.

තවත් අවුරුදු හතරක් මහන්සි වෙලා පුහුණුවීම් කරපු මේ ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩිකාව 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම් තුනක් දිනාගන්නව.

විශේෂයෙන්ම පිට පිට එයාව පරද්දපු ජැමෙයිකාවේ වෙරෝනිකා කැම්බල් බ්‍රවුන්ව (Veronica Camble Brown) පහසුවෙන්ම පරද්දමින්.

 

ඇලිසන් 2

අද වෙද්දි ලෝක මට්ටමේ ශූරතා වලදි ( ඔලිම්පික් හා ලෝක මළල ක්‍රීඩා ශූරතාවලදි ) වෙනත් කිසිම ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් ඇලිසන් ෆීලික්ස් තරම් පදක්කම් දිනාගෙන නෑ.

ඔලිම්පික් පදක්ක්කම් 9. (රන් පදක්කම් 6 ක් හා රිදී පදක්කම් 3)

ලෝක ශූරතා පදක්කම් 17 ( රන් පදක්කම් 12,රිදී පදක්කම් 3,ලෝකඩ පදක්කම් 2)

මේ පදක්කම් ගාණ ලෝක ඉතිහාසයේ ඔිනෑම ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් දිනූ වැඩිම පදක්කම් සංඛ්‍යාවයි.

තවත් විශේෂ දෙයක් තමයි ඇලිසන් ෆීලික්ස් තමයි ලෝක මට්ටමේ එකම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව කිසිම දවසක තහණම් උත්තේජක චෝදනා එල්ල නොවුණු ..ඒ වගේම එකම වරක්වත් කිසිම වෛද්‍ය පරීක්ෂණයක් අසමත් නොවුනු.

අනිත් දේ තමා මේ ක්‍රීඩිකාගෙ නිහතමානී කම.

කිසිම දවසක කට මැත දොඩවන්නෙ නැති ඇලිසන් ධාවන පථයෙත් ඉන් පිටතදීත් හැමෝගෙම ආදරේ දිනාගත් කෙනෙක්.

2019 ලෝක මළල ක්‍රීඩා ශූරතාවයේදී මාධ්‍යවේදියෙක් අහනව ලෝක ප්‍රසිද්ධ උසේන් බෝල්ට්ව දෙවැනි තැනට ඇදල දාල ලෝකයේ වැඩිම පදක්කම් දිනූ පුද්ගලය විදිහට ඔබට දැනෙන්නෙ මොකද්ද කියල.

ඇලිසන් කියනව.. “මේ කිසිම දෙයක් බෝල්ට්ගෙ හැකියාව හා ලබාගත් දේවල් එක්ක සංසන්දනය කරන්න බැහැ. ඔහු මළල ක්‍රීඩාවට කරපු සේවය අද්විතීයයි. මම කිසිම විටක හිතන්නෙ නෑ මම බෝල්ට්ව පහු කරගෙන ගියා කියල. මේ ජයග්‍රහණ එකිනෙකට වෙනස්.”

“මං සන්තෝස වෙනව ඔහු වැනි ක්‍රීඩකයෙකුගේ සමකාලීනයකු වීමට ලැබීම ගැන.”

 

ඇලිසන් 9

 

ඇලිසන් තරඟ කරපු සහාය දිවීම් ඉසව් ( මීටර් 100x4, හා 400x4 ) ඇමරිකා එක්සත් ජනපදය පරාද වුනා නම් ඒ බොහෝම කලාතුරකින්.

මීටර් 100, 200 හා 400 තරඟ තුනෙන්ම ලෝකයේ ඔලිම්පික් නියෝජනය කල ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් බිහි වන්නෙ ඉතාම කලාතුරකින්.

(අනූව දශකයේ මීටර් 100, 200, 400, 800 යන හතරේම ජාතික ශූරිය වූ ජයමිණි ඉලේපෙරුම ක්‍රීඩිකාව මතක් කිරීම එයාට කරන ගෞරවයක් වේවි.)

ඇලිසන්ගේ පෞද්ගලික දක්ශතා මෙහෙමයි

මීටර් 100. තත්පර 10.89

මීටර් 200 තත්පර 21.69

මීටර් 400. තත්පර 49.26

මේ වගේ ඉසව් වලින් ලෝක මට්ටමට ලඟා වෙන්න ඉතාම අසීරු කාර්යයක්.

 

ඇලිසන් 7

 

මීටර් සියය ඉසව්වට අවශ්‍ය ඉපිලීමේ ශක්තිය හා වේගය , මීටර් හාරසියයට අවශ්‍ය දරාගැනීමේ ශක්තිය ( speed, endurance, speed endurance) වගේ බොහෝ දේ උපරිමයෙන් වසර ගාණක් රඳවා ගැනීම ලේසි පහසු නෑ.

මළල ක්‍රීඩාවේ යෙදුනු අය දන්නව මීටර් 400 වැනි ඉසව්වක අවසන් මීටර් 60 හෝ 50 ට ලඟා වෙද්දි ලැක්ටික් අම්ලය ශරීරය ආක්‍රමණය කරන වේගය.

එයා තබපු වාර්ථා ගැන ලියන්න ගියොත් මේ පිටුවෙ ඉඩක් නැති වෙනව. නමුත් මීටර් 100 4 සහාය දිවීමේ තරඟයේ ලෝක වාර්ථාව වගේම ඔලිම්පික් වාර්ථාවත් ඇලිසන්ගෙ නමත් එක්කයි සටහන් වෙන්නෙ.

2005..2007..2009 පිට පිටම තෙවරක් මීටර් 200 ලෝක ශූරිය වෙන්නෙ මේ චිකන් ලෙග්ස් තමයි.

ඒ එයාගෙ ධාවන පතයේ තොරතුරු.

ඇලිසන් ගැහැණියක් විදිහට වැදගත් වෙන්නෙ කොහොමද.

මේ වගේ ක්‍රීඩිකාවක් වැටුපක් ලබන්නෙ අනුග්‍රාහකයන් මාර්ගයෙන්. ලංකාවෙ ක්‍රීඩිකාවන්ට නම් ක්‍රීඩාවෙ යෙදෙන්න සිද්ධ වෙන්නෙ වෙනත් රැකියාවක් කරන ගමන්.. එක්කො හමුදා තුනෙන් එකකට එකතු වෙන්න ඕනෙ. නැත්තං ශාරීරික අභ්‍යාස තනතුරක් දරන්න ඕනෙ.

ඇලිසන්ගෙ අනුග්‍රාහකයා තමයි ලෝක ප්‍රසිද්ධ නයික් ( Nike) සමාගම.

මේ වගේ ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩිකාවකට ලොකු වියදමක් යනව. නමුත් නයික් වගේ සමාගමකට මේක බොහොම සුළු මුදලක්.

හැබැයි කුමන හේතුවකට හෝ ක්‍රීඩා කරන එක නැවැත්තුවොත් මේ අයට වැටුප නැතිවෙනව.

 

ඇලිසන් 4

2018 දී ඇලිසන් ෆීලික්ස් විවාහ වෙනව. ඒ අවුරුද්දෙ අප්‍රේල් මාසෙ වෙද්දි එයා දැනගන්නව එයාට දරුවෙක් ලැබෙන්න ඉන්න බව.

නමුත් ඇලිසන් මේක රහසක් විදිහට තියාගන්නෙ නයික් සමාගමට අයිතිය තියෙන හින්ද අනුග්‍රාහක ගිවිසුම අවලංගු කරන්න. එහෙමත් නැත්තං වැටුප් අඩු කරන්න.

මේ වගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කරුවන්ට, චිකිත්සකයන්ට, කළමණාකරුවන්ට වැටුප් ගෙවන්නෙ වගේම පුහුණු වීම් වියදම් වගේම අනෙකුත් සියළුම වියදම් දරන්නෙ මේ අනුග්‍රාහකය ගෙවන මුදලින්ම තමා.

සිව් මස් ගැබිනියක්ව සිටියදීත් ඇලිසන් තරඟ වලට සහභාගි වෙනව.

කොයිතරම් ධනවත් හෝ ප්‍රසිද්ධ වුනත් ඇමරිකානු කලු ජාතික කාන්තාවන් තවමත් දෙවනි පංති‍යේ වැසියන්.

ඒ නොසැලකිලිමත් කම නිසාදෝ එයාගෙ දොස්තර මහත්තයාට මගෑරෙනව සමහර පරීක්ෂණ. අන්තිමේදී පරක්කු වෙලා හොයා ගන්නව ඇලිසන්ගෙ උපදින්න ඉන්න දරුව ඉතාම දුර්වල බව. ඒ වගේම අඩු හෘද ස්පන්දනයෙන් පෙළෙනව කියල. මේ වෙද්දි එයාගෙ දරු ගැබට මාස අටක්වත් නෑ.

දොස්තරවරුන්ගේ නිගමනය හැකි ඉක්මනුන් දරු ගැබ ඉවත් නොකලොත් අම්මගෙ හා දරුවගෙ ජීවිතේ දෙකම අණතුරේ කියල.

ඇලිසන්ට මේ තීරණේ දරාගන්න බෑ. ඒ එක්කම හිතා ගන්න බෑ දොස්තරවරු මේ තරම් පරක්කු වෙනකල් මොකද කලේ කියල.

එයා තීරණය කරනව තව දවස් කීපයක් ඉඳල සීසර් සැත්කමක් කරල දරුවව බේරගත යුතුයි කියල.

ඒ එක්කම ඇලිසන් ෆීලික්ස්ගෙ රහස මාධ්‍ය පුරාම ප්‍රසිද්ධ වෙනව.

ප්‍රථිඵලය මොකද්ද... නයික් සමාගම ඇලිසන්ගෙ වැටුපෙන් සීයට 60 ක් කපා හරිනව දඩ මුදලුත් එක්ක.

වාසනාවට සීසර් සැත්කම සාර්ථක උනත් අඩු වයසින් ඉපදෙන පොඩි කෙල්ල හරිම දුර්වලයි.

බර අඩුකම.. අඩු හෘද ස්පන්දනය, ප්‍රථිචාර නොදැක්වීම වගේ බොහොම රෝග ලක්ශන එක්කයි මේ දරුව ජීවත් වෙන්නෙ .

ඒ ජීවත් වෙන්නෙත් කෘතිම ස්වසනය දෙන යන්ත්‍ර උදව්වෙන්. හැම අම්ම කෙනෙක්ම වගේ ඇලිසන් බලාපොරොත්තු අතාරින්නෙ නෑ. රෑ දවල් දෙකේම ඇලිසන් නෙවේ දරුවගෙ ලෙඩ ඇඳ ලගින් හෙලවෙන්නෙ.

ඇලිසන්ගෙ ප්‍රසිද්ධියටත් වඩා මනුස්සකම හා නිහතමානීකම නිසා ලෝකෙ පුරා ඉන්න විශේෂඥ්ඥ වෛද්‍යවරු එයාගෙ උදව්වට එන්නෙ බොහෝ අයගෙ ඇස්වලට කඳුළු එක් කරමින්.

ඒ එක්කෙනෙක් ජැමෙයිකානු වෛද්‍යවරයෙක්.. තව එක්කෙනෙක් ඇලිසන්ගෙ නිහතමානී කමට ආදරේ කරපු ජපන් ළමා වෛද්‍ය විශේෂඥයෙක්.

එයාගෙ කැපකිරීම වගේම, හැමෝගෙම උදව් මැද්දෙ අම්මයි දරුවයි දෙන්නම බේරෙනව.

 

ඇලිසන් 5

 

මාස කීපයකට පස්සෙ පොඩි එකාව ට්‍රොලි එකක දාගත්ත ඇලිසන් ධාවන පථයේ පුහුණුවීම් වලට එනව.

මේ වෙද්දි වෙනත් ප්‍රසිද්ධ ආයතන ඇලිසන්ට අනුග්‍රහය දක්වන්න ඉදිරිපත් වුනත් එයා තීරණය කරනව ලෝක ප්‍රසිද්ධ නයික් සමාගමට එරෙහිව නඩු පවරන්න.

මේක කලු ගලේ ඔලුව ගහ ගැනීමක් හැමෝම කියනව.

ඇලිසන් ඇමරිකානු කොන්ග්‍රසයට ලියුමක් ලියනව.. ඒ අතරෙම ෆෙඩරල් උසාවියේ නඩු දානව නයික් සමාගමට එරෙහිව. ඇමරිකානු කොන්ග්‍රසය හමුවේ ඇලිසන් කරන කතාව අහගන ඉන්න බොහෝ දෙනෙක්ට ශක්තිය නෑ.

ඇය කියනව...

“මහත්වරුනි මම නුඹලාගේ අනුකම්පාව අයදින්නෙ නෑ. ඒත් මට දැනගන්න ඕනෙ මම ගැහැණියෙක් වෙලා ඉපදුනු එක වරදක්ද? මම අම්ම කෙනෙක් වුණු එක වරදක්ද? මගේ වැටුප කප්පාදු කරල මට දඩ ගහන්න.”

“ඔව් මම බය උනා, මගෙ වැටුප නැති වෙනවට.. මගෙ අනුග්‍රාහකය නැති වෙනවට මම බය උනා.” “අනිත් හැම රැකියාවකම කාන්තාවක් ගැබ් ගත්තම වැටුප ගෙවනව.

ඇයි මට මගෙ වැටුප අහිමි වෙන්නෙ.? ඇයි මම දරු ගැබ හංග ගෙන පිට්ටනි ගානෙ දිව්වෙ.?

මහත්වරුනි නුඹලාට දුක හිතෙනවද..?

“මට ඒක අවශ්‍ය නෑ”. නුඹලට ලැජ්ජ හිතෙනවද?.. ඔව් අන්න එතනටයි මං කතා කරන්නෙ.”

 

“එදා ඉඳලම කලු ගැහැණියට නුඹලා දුන්නෙ කුඩම්මගෙ සැලකිලි”

“කලු ගැහැණියට විතරක් නෙවේ. ඔිනෑම ගැහැණියක් පහත් කරල සලකන්න උඹලා පසුබට වෙන්නෙ නෑ”

“උඹල කියන්නෙ මේ නීතිය කියලද? එහෙනම් නීතිය වෙනස් කරපල්ල. උඹලයි නීති හදන්නෙ .. ඒකයි මං උඹලට කතා කරන්නෙ.”

“මං කතා කරන්නෙ මං ගැන විතරක් නෙවේ... මගෙ දරුව වෙනුවෙන්. හෙට ඉපදෙන්නෙ ඉන්න ගෑණු දරුවන් වෙනුවෙන්. ඒකට කළු සුදු භේදයක් නෑ. අපිට දරුවෙක් ලැබෙන්න ඉන්නවනම් උඹල දඩ ගහනව. මේකද උඹලගෙ ශිෂ්ඨාචාරය..”

මෙතන්දි තවත් ලස්සන දෙයක් වෙනව..

කොන්ග්‍රසය ඉස්සරහදිත්, අධික‍රණයෙදිත් පිහිටට එනව ඇගේ ධාවන සගය වගේම එදිරිවාදිනියෙක් වූ සානියා රිචර්ඩ්ස් රෝස්. (Sanya Richard Ross)

ඇය කියන කතාව කිසිම කෙනෙක්ට අහගෙන ඉන්න පුළුවන් එකක් නෙවේ.

 

සානියා

මළල ක්‍රීඩාවට ආදරේ අය දන්නව මේ කවුද කියන්න .. පහුගිය දශකයේ බිහිවුනු විශිෂ්ඨතම මීටර් 400 දුවන ක්‍රීඩිකාව වූ සානියා 2012 ඔලිම්පික් රන් පදක්කම දිනා ගත්ත.

ඇය කියනව..

“මහත්වරුනි නුඹලා මට සාප කරයි,නෝනාවරුනි නුඹලා මට ගල් ගහයි.. ඒත් ඇත්ත මේකයි .. ඔලිම්පික් දිනන්න තිබ්බ උවමනාව වගේම අනුග්‍රාහකයා නැති කරගන්න තියන බය නිසාම මං ඒ දේ කරා”

“2008 ඔලිම්පික් වලට මාස හයක් තියෙද්දි මං මගේ පලමු දරු ගැබ ගබ්සා කරා. ඒ වෙද්දි ලැබෙන්න හිටපු පොඩි එකාට මාස දෙකයි. මං දන්නව උඹල මට සාප කරන බව. මාත් මට සාප කරා.

(2008 ඔලිම්පික් නරඹපු අයට මතක ඇති සානියා රිචර්ඩ්ස් අන්තිම මොහොත කිට්ටුවට එනකල් ඉදිරියෙන්ම ඇවිත් පරාද වුණු විදිහ)

“නුඹල දකින්න ඇති මං පරාද උනු විදිහ. ඒ තමයි මං කරපු වරදට මං වන්දි ගෙවපු විදිහ.

 

මේ ඔක්කොම දරාගෙන මං තවත් අවුරුදු හතරක් ඉවසුවා රන් පදක්කම ගේනකල්.

ඒ මට විතරක් නෙවේ මේ රටට .. මළල ක්‍රීඩාවට වගේම මගේ ඉපදෙන්න ඉන්න දරුවටත්.

මහත්වරුනි නුඹලාට හිතා ගන්න බෑ ලෝක මට්ටමේ ක්‍රීඩිකාවක් වෙන්න කල යුතු කැපවීම හා පරිත්‍යාග”

“මේ දේ ඇලිසන්ටවත් තවත් ක්‍රීඩිකාවකටවත් වෙන්න දෙන්න එපා. අපි ලෝකය දිනුවට අපිත් සාමාන්‍ය ගැහැණු. අපි අනුකම්පාව ඉල්ලන්නෙ නැහැ. නමුත් අපේ තැන අපිට තියන්න කියලයි අපි ඉල්ලන්නෙ” ඒ සානියාගෙ වචන.

 

ඒ එක්කම මීටර් 800 ධාවන ශූරී ඇලිසියා මොන්ටානෝ (අට මස් ගැබිනියක්ව ඉද්දිත් තරඟ කරපු ක්‍රීඩිකාව) වගේම ලෝක ප්‍රසිද්ධ ශර්ලි ඈන් ෆ්‍රේසර් ඇලිසන්ගෙ සහයට එනව.

ප්‍රථිඵලය සුන්දරයි... නීති වෙනස් වෙනව. නයික් සමාගම ගැබිනි මව්වරුන්ට (ක්‍රීඩිකාවන්ට) එරෙහිව තිබ්බ නීති වෙනස් කරනව.

 

ඇලිසන් 6

 

ඒ එක්කම නීති වෙනස් කරපු නයික් සමාගම ඇලිසන්ට ආයෙත් ලොකු මුදලක් එක්ක ගිවිසුමක් පිරිනමනව.

ඒ මිලියන ගණනක කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කරමින් ඇලිසන් කියන්නෙ, “එදා අම්ම කෙනෙක් වුණු නිසා නුඹල මාව ප්‍රතික්ෂේප කරේ කෙසේද ඒ විදිහටම මම අද නුඹලාව ප්‍රතික්ශේප කරනව.

ඒ විතරක් නෙමේ උඹල ගැහැණියකගේ ශක්තිය හෑල්ලු කරා. ඒ නිසාම මම අලුත් ක්‍රීඩා ඇඳුම් සමාගමක් පිහිටුවනව කියල”

ඇත්තටම ඇය ඒක කරා. ඒ විතරක් නෙමේ .. ජීවිතේ බේරගන්න සටන් කරල මාස ගණනකට පස්සෙ දෝහා ලෝක මළල ක්‍රීඩා ශූරතාවයේදී ඇලිසන් තවත් රන් පදක්කම් දෙකක් එකතු කරා සහාය දිවීමේ ඉසව් වලින්.

පහුගිය මාසෙ ඔරෙගන් ප්‍රාන්ථයේ තිබ්බ ඔලිම්පික් තේරීම් තරඟ වලදී ඇලිසන් මීටර් 400 ඉසව්වෙන් ඔලිම්පික් සුදුසුකම් ලැබුවේ දෙවැනි තැන ලබමින්. මුළු ක්‍රීඩාංගනය පුරාම ඇලිසන්ට ලැබුණු දිරිගැන්වීම පුදුමාකාරයි.

මේ තේරීම් තරඟ පැවැත්වුනු ඔරෙගන් හේවුඩ් ක්‍රීඩාංගනයට ඇලිසන් පැමිනෙද්දිත් , සමුගනිද්දිත් හැම දෙනාම ආසන වලින් නැගිට්ටා.

මේ පලාතෙන් බිහිවූ ලෝක මට්ටමේ ක්‍රීඩිකාවන් වූ ෆිලිස් ෆ්‍රැන්සිස්.. ඉන්ග්ලිශ් ගාඩ්නර් හෝ ජේනා ප්‍රැන්ඩිනිටවත් මෙතරම් පිලිගැනීමක් ලැබුනෙ නෑ.

හැමෝම දැනගෙන හිටියා ඇලිසන්ව ඇමරිකානු ධාවන පථයේ දකින අවසන් අවස්ථාව මෙය  බව.

ඒ එක්කම, ඇලිසන් දින්න මොහොතේ NBC ප්‍රවෘත්ති චැනලයේ නිවේදිකාවක් විදිහට නිවේදන කටයුතු කරමින් උන්නු සානියා රිචර්ඩ්ස් සංතෝසෙන් කෑ ගැහුවෙ උන් හිටි තැන් අමතක කරමිනුයි.

“මට මේ තරම් මිනිස්සු ආදරේ කරන එක ප්‍රාථිහාර්යයක් වගේ. කොහොමද මං නොදුව ඉන්නෙ..”

ඇලිසන් මාධ්‍යවේදියෙකුට උත්තර දෙමින් කියනව.

ඇලිසන්ගෙ වයස අවුරුදු 36 ට කිට්ටුයි.

ශෝන් මිලර් වගේ ක්‍රීඩිකාවන් එක්ක දුවල ඇලිසන්ට මෙවර ඔලිම්පික් දිනන්න බැරි වෙයි.

ඒත් ඉඩක් ලැබුනොත් එයාගෙ තරඟය බලන්න. මොකද මේ එයාගෙ අවසාන ධාවන තරඟයයි.

ඇලිසන් මෙතෙක් මේ ලෝකයේ බිහිවූ සාර්ථකම මළල ක්‍රීඩිකාවයි.

කෙට්ටුම කෙට්ටු චිකන් ලෙග්ස්.. ලෝකය දිනපු හැටි හරි අපූරුයි.

සමහර විට රූපවාහිනී තිරයේ ඇමරිකානු ක්‍රීඩිකාවන් දිනනව හැටි බලන අපිට කියන්න පුළුවන් ආ ඒ ඇමරිකානු කලු ගැහැනු .. හරියට මිනිස්සු වගේ කියල .. ඒත් ඒ පිටුපස තියන කඳුළු ..දහඩිය .. කැපකිරීම් අපිට පේන්නෙ නෑ.

 

@ Malcolm Sang

නවතම ලිපි