SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආදරය එහෙමත් නැත්නම් ප්‍රේමය ඔබට ජීවිතේ කවදාම හරි දවසක මුණගැහිලා තියෙනවද?

හුදෙක් ගැහැනියක් රැකවරණය වෙනුවෙන් පිරිමියෙක් තොරා ගැනීම හෝ පිරිමියෙක් තමන්ගේ දරුවන්ගේ අම්මා වෙන්න ගැලපෙන ගැහැනියක් කෙනෙක් තෝරා ගැනීමට එහායින් ප්‍රේමයක් තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවද? ජීවිතේ ඉදිරි ගමන පහසුවෙන් යන්න සහකරුවෙක් සහකාරියක් තෝරා ගෙන විවාහ පත් වෙන එක දරුවෝ හදන එක ප්‍රේමයම ද?

මම මේ අහන ප්‍රශ්න ජීවිතයේ ඔබ ඔබගෙන්ම අහලා තියෙන්නත් පුළුවන් එහෙම නොවෙන්නත් පුළුවන්. ප්‍රේමයට දෙන නිර්වචන පුද්ගලානුබද්දයි. කෙනෙක්ට ප්‍රේමය කියන්නේ පරිත්‍යාගයක්. තව කෙනෙක්ට ප්‍රේමය කියන්නේ අයිතිකර ගැනීමක්. තවත් කෙනෙක්ට බලා සිටීමක්. අත්හැරීමක්. ප්‍රතික්ෂේප වීමක්. මේ හැම තැනකම ප්‍රේමය තියෙනවා. මුළු ලෝකයේම ජනප්‍රිය වෙන්නේ අහිමි උන ප්‍රේම කතන්දර එහෙමත් නැත්නම් අසම්මත ප්‍රේම කතන්දර ඒ නිසාම බහුතරයක් ප්‍රේමයට වඩා විරහව විඳිනවා. කවදාවත් නොලැබෙන කෙනෙක්ට අසිමාන්තිකව ප්‍රේම කරන මිනිස්සු ඉන්නවා. තමන්ව එපා කියලා දාලා ගියපු කෙනෙක් කවදාම හරි දවසක නැවත තමන් ලඟට එයි කියලා ජීවිත කාලයක් බලාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා.

 

love 1

 

ප්‍රේමය කියන්නේ විරහව, වේදනවා, ප්‍රතික්ෂේප වීම, අත්හැරීම, අල්ලාගැනීම කියන හැමදේටම එහායින් හමුවන අවකාශයක තියෙන ස්පර්ශයකට කියලා මම විශ්වාස කරනවා. එකිනෙකාව නිරන්තරයෙන් කියවීම , එකිනෙකාව නැවත නැවත තෝරා ගැනීම සහ ස්වාධීන පුද්ගලයෙකු වශයෙන් අනෙකාට වැඩෙන්නට ඉඩ හසර දෙමින් සංසාර ගමන ඇවිදගෙන සුළුතරයකට ප්‍රේමය මුණගැහෙනවා. සිඳුහත් යසෝදරා වගේ ඔවුන් ජීවන ගමන එකට හිත් බැඳන් ඇවිදගෙන යනවා.

පුද්ගලයෙක් බිරිඳක්, සැමියෙක්, පෙම්වතෙක්, පෙම්වතියක් විදිහට කොයිතරම් සාර්ථකද කියන එක ජීවිතයේ සාර්ථකත්වය මනින තවත් එක නිර්ණායක්. සාර්ථකත්වය කියන්නේ වෘත්තීමය වශයෙන් එහෙමත් නැත්නම් මූල්‍යමය වශයෙන් ලඟා කරගන්නා දෙයක් පමණක් නොවේ. පුද්ගලයෙක්ගේ කායික මානසික සෞඛ්‍ය , සතුට, මානසික නිදහස, යහපත් සබඳතා මේ සියල්ලම සාර්ථකත්වයට අත්‍යවශ්‍යයි. යම් කිසි පුද්ගලයෙක් මූල්‍යමය වශයෙන් සාර්ථක වෙනකොට ඔහුගේ පවුල් ජීවිතය, සෞඛ්‍ය අයහපත් නම් ඔහු සාර්ථක පුද්ගලයෙක් කියලා හඳුන්වන්න බැහැ.

මනුස්සයෙක්ට සාර්ථකත්වය කරා ලඟා වෙන්න යහපත් පුද්ගල සබඳතා කියන්නේ අත්‍යවශ්‍ය කාරණයක්. ප්‍රේමය ඕනෑම මනුස්සයෙක්ගේ ජීවිතයේ සාර්ථකත්වයට සෘජුවම බලපානවා. ආදරය විවාහය කියන්නේ හුදෙක් මූල්‍යමය ප්‍රතිලාභ ලඟා කරගත හැකි පහසු මාර්ගයක් ලෙස ඇතැමුන් සලකනවා. ප්‍රේමය හැරුනු කොට වෙන්ත බාහිර සාධක මූලීක කරගෙන ආරම්භ කරන පෙම් සබඳතාවක් හෝ විවාහයක් කිසිම දවසක සාර්ථක වෙන්නේ නැහැ. එවැනි සබඳතා නිසා අඹුසැමියන්ගේ ජීවිත මෙන්ම අහිංසක කිරිකැටියන්ගේ ජීවිත පවා විනාශ වෙනවා.

 

love 2

 

 

ප්‍රේමය, විවාහය, පවුල කියන්නේ වෘත්තීමය වශයෙන් එහෙමත් නැත්නම් මූල්‍යමය වශයෙන් සාර්ථකත්වය කරා ලඟා වෙන්න බාධාවක් කියලා තවත් පිරිසක් සලකනවා. ඔවුන් හුදෙක් මුදල් ඇතුලු භෞතික වස්තු පසුපස හබායනවා. ජීවිතට භෞතික දෙවල් එකතු කරගැනීම එතරම් අපහසු කාරණාවක් නොවෙයි. උත්සහය සහ කැපවීම එක්ක ඕනෑම අරමුණක් කරා පහසුවෙන්ම ලඟා වෙන්න හැම කෙනෙක්ට ම පුළුවන්. නමුත් හුදෙක් භෞතික දේවල් පමණක් පසුපස යන උන් දවසක හති වැටෙනවා. මානසික පීඩනයෙන්, සෞඛ්‍ය ගැටළුවලින් හෙම්බත් වෙනවා. ජීවිතේ ආපස්සට හැරිලා බැලුවාම සතුට බෙදාගන්න, දුක කියන්න, වැටුනු වෙලාවක ලඟ ඉන්න කෙනෙක් නැති බව දැනෙන්න ගන්නවා. තනිකම හිතට වද දෙන්න ගන්නවා.

ජීවිතය කියන ඔරුව පැදගෙන යන්න ආදරය කියන්නේ රුවලක්. ඔබ මම අපි හැමෝම ආදරය හොයනවා. ආදරය මුණගැහෙන්නේ ආදරය කරන මිනිස්සුන්ට විතරයි. ආදරය හොයන හැම මනුස්සයෙක්ම ජීවිතයත් ආදරයත් අතරේ අතරමං වෙනවා. කවදාවත් ආදරය හොයාගෙන යන්න එපා. ඔබ හොයන ආදරය ඔබම වෙන්න. එතකොට දවසක ජීවිතයත් ආදරයත් ඔබට මුණගැහෙනවා.

 

@ පුබුදු හෑගොඩ

නවතම ලිපි