SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රැඩිකල් ගැහැණු බැලූ බැල්මට ලස්සනයි...හැබැයි ටිකක් බලන් ඉන්නකොට අප්පිරියයි...

අපි මේ ඉන්නෙ 21 වෙනි සියවසේ මුල හරියෙ. ඉස්සර කාන්තාවන්ට සාපේක්ෂව බැලුවම වර්තමාන කාන්තාවන් ඉන්නේ හැතැප්ම ගානක් ඉස්සරහින්.

ඒ දියුණුව, ඒ රැඩිකල් බව කොච්චරද කිව්වොත් සමහරු බලෙන් රැඩිකල් වෙන්න හිතාගෙන ගැහැනුකමට ආවේණික සොඳුරු ගතියත් අභිබවා ගිහින්, නිකන් අමුතුම ජීවීන් කොටසක් වගේ හැසිරෙන්න අරන්.

ගැහැනු කියන්නෙ උපතින්ම මැජික්කාරයො. එක සැරේ දෙතුන් දෙයක් ගැන හිතන්න පුළුවන් වගේම එක සැරේ වැඩ දෙක තුනක් ගේමක් නැතුව කරන්නත් කාන්තාවන්ට පුළුවන්. පිරිමි ඇස් දෙක ටීවී එකේ ඔබාගෙන ටීවී බලනකොට, ඉරිච්ච ගවුමකට අන්ඩයක් දානගමන්, පොඩි එකාගෙ ඉස්කෝලේ හෝම් වර්ක් එකටත් උදව් කරලා ටීවී එකත් බලලා කතාවේ හෙට කොටසේ වෙන්න තියන දේත් බැලුවා වගේ කියන්න ගෑනු පුදුම දක්ෂයි.

අන්න ඒක තමයි ගැහැනුන්ට උපතින්ම ලැබිලා තියෙන සෞන්දර්යාත්මක සුන්දරත්වය, අසමසම හැකියාව.

ඒ වගේම ගැහැනු මටසිළුටුයි, ආදරණීයයි, බොළඳයි. එතන තමයි ගැහැනු පිරිමින්ට වඩා වෙනස් වෙන්නෙ.

 

ගැහැනු

මෙතනදී මටසිළුටු, බොළඳකම කියන්නේ, හුළඟක්වත් වදින් නැතුව ගෙයක් අස්සේ හැංගිලා ඉඳලා, කසාදයක් බැඳලා ඊටපස්සේ ස්වාමි පුරුෂයා දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලන් ඉන්න එක නෙවෙයි. කැරපොත්තෙක් දැක්කත් මුත්‍රා පහවෙන, කොන්ද කෙලින් තියාගෙන වචන දෙකක් කතා කරගන්න බැරි සීනිබෝල බබෙක් වෙනවා කියන එකත් නෙමෙයි.

ඉගෙනගන්න, රස්සාවක් කරන්න, ෆැෂන් කරන්න, මොඩ් වෙන්න, නටන්න, සමාජගත වෙන්න, දේශපාලනය කරන්න, පෞරුෂවත් වෙන්න මේ හැමදේම ගැහැනු කරන්න ඕනේ. හැබැයි ඒ අස්සෙ සොබාදහම මවලා දීපු මේ ගැහැනුකමත් ගැහැනියකට තියෙන්න ඕනේ.

සමහරු ගැහැනුකමේ සියලුම සීමාවන් පසුකරලා, තවත් දුර ගිහින් මහම මහ අමුතු විදිහකට රැඩිකල් වෙච්ච බවක් පේනවා.

එයාලා කොච්චර රැඩිකල්ද කියනවනම්,

මගෙ හස්බන්ඩ් මාර හොඳයි. හැබැයි එයාට මගෙන් බබෙක් ඕනෙලු. මම කැමති නැහැ ළමයි හදන්න. මට ඕනේ ලයිෆ් එක එන්ජෝයි කරන්න. ඒ නිසා මම ඩිවෝස් වුණා. දැන් ඉතින් මම මට ඕන විදිහට ලයිෆ් එක එන්ජෝයි කරනවා...

මගෙ අලුත් බෝයිෆ්‍රෙන්ඩ් හෙන ඕල්ඩ් ෆැෂන් අනේ. එයා කැමති නැහැ මම ex BF එක්ක චැට් කරනවට. මම කැමති මොඩර්න් ලයිෆ් එකකට. ඒ නිසා අපි බ්රේක් වුණා...

මම කැමති නැහැ ගෙදර වැඩ කරන්න. මේ කෝපි කාලේ නෙමේනේ අනේ. ගෙවල් අස් කරන්න, උයන්න, තේ හදන්න, ඕවා කරන්න පුළුවන් කාටද? nails කැඩිලා, skin ඩල් වුණහම වැඩක් තියනවද? ඒ නිසා මම මැරීඩ් ලයිෆ් එකකට කැමති නැහැ අනේ.

ඔන්න ඕකයි තත්ත්වය.

එයාලගෙ රැඩිකල් වීම කොච්චරක්ද කිව්වොත් එයාලා, ගැහැනුකම් පහුකරගෙන පිරිමිකම්වලටත් එහා ගොඩක් දුර ගිහිල්ලා.

 

femail 7

ගෑනියෙක් වෙලා ඉපදිලා හූනෙක් ඇඟට වැටුනම මුත්‍රා යනවනම්, කොල්ලෙක් ජැක් ගැහුවම ඌට කණ ගැලවෙන්න දෙකක් කියන්න කට හයිය නැත්තම්, මිනිහා දාලා ගියොත් ජීවත් වෙන්න විදිහක් දන්නෙ නැත්තම්, ආර්ථිකව ස්ථාවර නැත්තම්, කවුරුහරි රවලා බැලුවම කඳුළු එනවනම්, මූණේ කුරුලෑවක් ආවම වහ බොන්න හිතෙනවනම්, ඒක ගැහැනුකම නෙමෙයි, ඒවා උපන්ගෙයි කරුම.

හැබැයි එහෙමයි කියලා, රැඩිකල් උණ සන්නිපාතේ හැදිලා, එක සැරේ කොල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක ඩේටින් කරන්න හිතෙනවනම්, ගෙදර වැඩට ඉන්න කෙනා ගමේ ගිය වෙලාවකවත් උයලා පිහලා, වලන් දෙක තුන හෝදලා ගෙදර අස් කරගන්න බැරි නම්, මහත්තයා කන්න ආස කෑමක් බීමක් ඉඳලා හිටලා හරි හදලා දෙන එක පවක් කියලා හිතෙනවනම්, මිනිහට දරුවන්ට හොරෙන් යාළුවොත් එක්ක බාර් එකකට ගිහින් වැටෙනකම් බීලා නටන්න හිතෙනවනම්, දරුවෝ වෙනුවෙන් එක රැයක් නිදිමරන්න බැරිනම්, උන්ගේ පස්ස හෝදලා නිදිකරවන්න බැරිනම්, ඉඳලා හිටලා හරි සැමියාට තුරුල්වෙලා හුරතල් වෙන එක මෝඩකමක් කියල හිතෙනවනම්, ඒක රැඩිකල්කම නෙමෙයි, ඒක නොලැබීම.

 

femail 4

 

ගෑනු අපි පිරිමින්ගෙන් සම තැනද මොකද්ද ඉල්ලලා බොරුවට කෑ ගැහුවට ඇත්තටම ගැහැනුන්ට නිසි තැන තියෙන්නේ පිරිමින්ට වඩා ගොඩක් ඉදිරියෙන්. ඒ නිසා තමයි ගෘහ මූලිකයා තාත්තා වෙන ගොඩක් පවුල්වල ප්‍රධාන තීරකයා අම්මා වෙලා තියෙන්නේ. දියුණුවෙච්ච, සමගියෙන් ඉන්න, ලස්සන පවුල් දිහා නිකමට බලන්න. ඒ හැමතැනම ගෘහණිය පිරිමියා අභිභවා ගිය ගැහැනුකම්වලින් පිරුණු හයිය ගැහැනු ආත්මයක්.

 

රැඩිකල් වෙන්න ගිහින් ගැහැනුන්ට අවේණික ඒ සුන්දර ලාලිත්‍ය, ආදරණීය දක්ෂකම්, වාසනාවන්ත බොළඳකම් නැතිකරගත්තොත් අන්තිමට ඉතුරුවෙන්නෙ පිරිමින්ටත් වඩා මෝරපු දරදඬු වෙච්ච ගස් වගේ ගැහැනු.

ලෝකේ දිනපු බොහෝ ගැහැනු එළියට පිරිමි වගේ හිටියට ගෙවල්වලදි ගැහැනුකම් උතුරන නියම ගැහැනු. රැඩිකල් වෙනවා කියන්නෙ අන්න ඒකට.

එහෙම නැතුව සොබාදහම මවපු ගැහැනුකම් ඔක්කොම මරලා දාලා අමුතු ජීවීන් කොටසක් වගේ හැසිරෙන ගැහැනු ළඟ ගොඩක් වෙලාවට අන්තිමට ඉතුරුවෙන්නෙ කඳුළු පිරිච්ච පශ්චත්තාපයක් විතරයි.

femail 1

 

ගැහැනු රැඩිකල් වෙන්න ඕනෙ ගෑනුකම් අස්සෙ මිසක් පිරිමිකම් අස්සෙ නෙමෙයි. ගැහැනුකම සම්පූර්ණයෙන්ම මරලා, ඕනවට වඩා රැඩිකල් වෙච්ච ගැහැනු දැක්කම ලස්සනයි, හැබැයි ටිකක් වෙලා බලන් ඉද්දී අප්පිරියයි.

ඕනවට වඩා බොරුවට පොෂ් වෙන්න, බොරුවට බිසී වෙන්න, අමුතු විදිහට රැඩිකල් වෙන්න ගිහිං ගැහැනු නැති කරගන්නේ, තමන්ට ජීවිතේ විඳින්න තියන රසවත්ම කොටස කියල තේරෙනකොට සමහරවිට ඔයා පරක්කු වැඩි වෙයි.

ඒ නිසා ඇති පදම් රැඩිකල් විදිහට අඳින්න, රැඩිකල් විදිහට හිතන්න, රැඩිකල් විදිහට හැසිරෙන්න, රැඩිකල් වෙලා ජීවත් වෙන්න. හැබැයි ඒ මොක නිසාවත් ඔයාට උපතින් ලැබුණු සුන්දර ගැහැනුකම නැති කරගන්න එපා. ගැහැනු ආත්ම ගොඩක් ලස්සනට පේන්නෙ, ගැහැනුකම් එක්ක රැඩිකල් වුණාම මිසක්, ආවේණික ගෑනුකම මරලා දාලා කසිකබල් විදිහට රැඩිකල් වුණහම නම් නෙමෙයි.

අනිශා ජයකොඩි

නවතම ලිපි