SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 
මේ පින්තූරවල ඉන්න සුන්දර ගැහැණු ළමයාව දකිද්දි ඔබට මොකද හිතෙන්නේ??
    WEB 17
       
 
web 08
 
 
      
මේ ක්ලෙයාර් වයින්ලන්ඩ්.. බැලූ බැල්මට ඔබට හැඟෙන්නේ ඇය ඉතාම සුන්දර සතුටින් සිටින කෙනෙක් විදියට. මම හරි නේද? ඒත් ඔබ දන්නවාද ඇය "Cystic Fibrosis" කියන රෝගයෙන් පෙළුණු බව? ඇය මීට කලකට පෙර මිය ගිය බව? මේ වෙද්දිත් ජීවතුන් අතර නැති ඇය වෙනුවෙන් ලොවක් හඬමින් සිටින වෙලාවේ ක්ලෙයාර් පිළිබඳ මතකය ඔබත් එක්ක බෙදා ගන්න මේ ඉඩකඩ වෙන් කර ගන්න හිතුවා.
1997 අප්රේල් 10 වැනිදාවක ඇමරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ ඔස්ටින් නගරයෙහි උපන් ක්ලෙයාර් උපතින්ම Cystic Fibrosis කියන රෝගී තත්ත්වයෙන් පෙළුණ පුංචි කෙල්ලෙක්. මේ රෝගය ජානගතව එන රෝගයක්. මෙය වැළඳුණ කෙනෙක් ගේ අපේක්ෂිත ආයුෂ ප්රමාණය උපරිම වශයෙන් අවුරුදු 37ක් වෙනවා කියලායි වෛද්යවරු සඳහන් කරන්නේ. ඉතින් ක්ලෙයාර් සංගීතයට උපන් හපන්කම් දක්වපු නිසාම වයස අවුරුදු 4 ඉඳලාම විවිධ ප්රසංගවලට ඇගේ ඉදිරිපත් කිරීම් කරවන්න මව්පියන් බොහෝ උනන්දු වුණා. වයස අවුරුදු 14දී ක්ලෙයාර් ගේ පෙනහලු දෙකම අක්රිය වෙන්න පටන් ගත්තා. ඒත් එක්කම ඇය කෝමා තත්වයට පත් වීමත් සමඟ වෛද්ය ප්රතිකාර සඳහා ඇයව යොමු කෙරුණා. ජීවත් වීමේ ප්රවණතාව 1%ක්ව තිබියදීත් දින 6කට පසුව ක්ලෙයාර් නැවත සුව අතට හැරෙන්න පටන් ගන්නේ ඇගේ මව්පියන් ගේ සිත්වල සතුටක් ඇති කරමින්. ක්ලෙයාර් ටිකෙන් ටික සුව වෙන්න පටන් ගත්තා.
 
web 2
 
ඇය යථා තත්වයට පත් වීමෙන් පස්සේ ඇය වගේම Cystic Fibrosis රෝගයෙන් පෙළෙන අය සහ ඔවුන්ගේ පවුලේ අය ද එක් කර ගනිමින් Claire’s Place Foundation නමින් සංවිධානයක් පිිහිටුවා ගන්නට ඇය කටයුතු කරනවා. එය මගින් මෙවැනි ජානගත රෝගාබාධවලට ගොදුරුව සිටින දරුවන්ගේ පවුල් සඳහා උපකාර කිරිම, ප්රතිකාර සඳහා අවශ්ය උපදේශයන් හා මානසික සහාය ලබා දීම ඇතුළු විශාල සේවාවන් රැසක් සිදු කිරීමට සමත් වෙනවා. ඒ වගේම දිගුකාලීනව රෝහල්ගතව සිට ප්රතිකාර ලබන දරුවන් වෙනුවෙන් මූල්යාධාර ලබා දීම ද මේ සේවාවන් අතර කරපී පෙනුණා.
 
මෙවැනි ක්රියා තුළින් ඇය කොතරම් ජනප්රියත්වයට පත් වුණාද කිවහොත් 2016 වසරේ ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බර්නි සැන්ඩර්ස් ට සහාය පළ කිරීමට ද ඇයට අවස්ථාව හිමි වෙනවා. ඒ අනුව ක්ලෙයාර් ඒ වෙද්දි ප්රතිකාර ලබමින් සිටි රෝහලෙන් බර්නි සැන්ඩර්ස් ගේ රැළියකට එක් වීම සඳහා පැමිණෙනවා.
ක්ලෙයාර් මේ පදනම හරහා පවුල් 26ට ආසන්න ප්රමාණයකට මූල්යමය වශයෙන් සහාය ලබා දීලා තිබෙනවා. මේ සියල්ල සිදුවන අතරේ 63වන අන්තර්ජාතික ශ්වසන සම්මුතිය හා ප්රදර්ශනය සහ AARC කොංග්රසයේ ප්රධාන කතාව සිදු කිරීමේ අවස්ථාව ක්ලෙයාර් හිමි කර ගන්නවා. ඇය TEDx ඇතුළු ලොව පුරා දේශන ගණනාවක් සඳහා එක් වෙනවා. 
 
web 03
 
 
හැබැයි ක්ලෙයාර් ඉතාම පුංචි වයසකදී තේරුම් ගන්නවා තමන් කොයි වෙලාවක හෝ මිය යනවා කියලා. ඒ නිසාම ඇය ඇයට ඉතිරි වෙලා තියෙන පුංචිම කාලය ලෝකය වෙනුවෙන් හැකි උපරිමය කරන්න වෙන් කරනවා. ඇය මහන්සි වනවා. අතිශය දුෂ්කර කාල පරිච්ඡේදයක් ගෙවමින් වුණත් ඇය තමන් වගේම රෝගාබාධයන් ට ගොදුරු වුණ අය වෙනුවෙන් කතා කරනවා. නැගීසිටිනවා. කැප වෙනවා. ඒත්… ඇය කොයිම මොහොතක හෝ මිය යනවා. ඒක ඇය දන්නවා…
 
web 04
 
 
 ක්ලෙයාර් කියන්නේ පිස්සු කෝච්චියක්
 
ඇය ප්රතිකාර ලබා ගත් රෝහල ඇයගේ නිවස වගේ වෙලා තිබුණේ. හැම කෙනෙක්ම ක්ලෙයාර්ට ආදරේ කළා. රෝහලේ හෙදියන් එක්ක හැංගි මුත්තං සෙල්ලම කරන්නත්, හැංගිලා ඉඳලා එළියට ආවම ඇස්වලින් කඳුළු පනිනතුරු හිනා වෙන්නත් ඇය අමතක කළේ නැහැ. ඒ විතරක් නෙවෙයි. තමන්ගේ රෝහල් කාමරය නිතරම සරසලා තියා ගන්නත් ක්ලෙයාර් වග බලා ගත්තා.
web 05
 
ක්ලෙයාර් ට වයස අවුරුදු 3ක් වෙද්දි ඇගේ අම්මා මෙලීසා නෝර්ඩ්කිස්ට් යේගර් සහ පියා ජෝන් වින්ලෑන්ඩ් වෙන් වුණත් ක්ලෙයාර් ගේ තත්වය වටහා ගත් ඔවුන් දෙපළ දිගටම ඇයගේ මිතුරන් හා හවුල්කරුවන් බවට පත්ව සිටියා. ජෝන් වින්ලන්ඩ් “හැම වෙලාවෙම තවමත් සිදු නොවූ දෙයක් ගැන හිතනවාට වඩා සිද්ධවෙන්නේ මොකක් වුණත් ඒකට ආදරය කරන්න කියලා” තමන්ගේ දුවට කියලා දුන්නා.
 
web 06
 
ක්ලෙයාර් වෙනුවෙන් සිය රැකියාවෙන් ද ඉවත් වන ඇගේ මව මරණය අභියස හිනැහෙන තමන් ගේ දියණියගේ ආත්ම ශක්තිය පිළිබඳව පුදුම වෙනවා. පුංචි වුණත් ක්ලෙයාර් තමන් ගේ ඉරණමට මුහුණ දෙන්න සූදානමින් සිටියා. 2017 වසරේ එක්තරා දිනයක මෙලීසා නෝර්ඩ්කිස්ට් යේගර් එයගේ දියණිය ක්ලෙයාර් වයින්ලන්ඩ් එක්ක සංවාදයක නියැළෙනවා. මාතෘකාව තමයි “මරණය”…
web 07
 
මේ සංවාදයේ එක තැනකදී ක්ලෙයාර් ඇගේ අම්මාට මෙහෙම කියනවා..
 
” අම්මේ, මැරුණම දැන් ඉන්නවාටත් වඩා තමන් ආදරේ කරන අයට සමීපව ඉන්න පුළුවන්. මොකද මරණයෙන් පස්සේ අපි කිසිම කෙනෙක් නෙවෙයි. හැබැයි හැම දෙයකම කොටසක් වෙනවා. ඒ නිසා..”
ක්ලෙයාර් ගේ අම්මාට මේ වචන වටිනා තෑග්ගක් වුණා. දැන් ඇය දන්නවා ක්ලෙයාර් ඉන්නේ ඇයගේ ළඟම බව. ඒ වගේම හුඟාක් ආදරේ කරන බව.
 
 
 මොකක්ද මේ Cystic Fibrosis කියන්නේ? 
ඇමරිකාවේ 30,000 ට අධික පිරිසකට ලොව පුරා 70,000 ට ආසන්න පිරිසකට Cystic Fibrosis රෝගය තිබෙන බව Cystic Fibrosis Foundation ආයතනය පවසනවා. ජාන හා පරවේණි රෝගයක් වන මේ රෝගය ශ්ලේෂ්මයේ සංකූලතා,ආසාදන වගේම පෙනහළු වල ස්වසන අවහිරතා ඇති කිරීම මේ රෝගයේ ස්වභාවයයි. එය ආහාර ජීර්ණ පද්ධතිය, අග්න්යාශය ඇතුළු අනෙකුත් ඉන්ද්රියයන්වල සංකූලතා ඇති කරන අතර අවසානයේ ස්වසනයට බාධා ඇති කරනවා. මේ රෝගය සම්පූර්ණයෙන් ම සුව කළ නොහැකි වන අතර පැයකට වරක් ආහාර ගැනීම, නිවැරදි හුස්ම ගැනීමේ ප්රතිකාර, ආදිය මගින් රෝග ලක්ෂණ හා සංකූලතා අඩු කර ගැනීමට හැකියාවක් පවතිනවා. නමුත් සාර්ථක පෙනහළු බද්ධයක් සිදු කළොත් රෝගියාගේ ආයු කාලයට තවත් වසර කිහිපයක් එක් කළ හැකි වෙනවා.
 
web 09
 
පවුලේ සහාය
 
ක්ලෙයාර්ගේ පවුලේ අය මේ නිදහස්, දඟකාර හා එඩිතර ජීවිතාවසානයකට සූදානම්ව සිටි තමන්ගේ දියණියව හොඳින් තේරුම් අරන් හිටියා. වයසින් වැඩෙද්දිම ක්ලෙයාර් ට තමන්ගේ ශරීරය ගැන හොඳින් අවබෝධ වුණා. තමන්ගේ රෝගයේ හොඳ නරක මොනවාද යන්න පිළිබඳව ඇයට හොඳින්ම තේරුම් ගියා. ඒ වගේම ඇයට තව කොයිතරම් දුරක් යා හැකිද යන්න ගැනත් ඇය දැනගෙන හිටියා. 
 
“ද්විත්ව පෙනහලු බද්ධයක් කරන්න මට කිසිම අදහසක් නැහැ”. මම ඇත්තට මුහුණ දෙන්න ඕනේ. මම දන්නවා පෙනහලු බද්ධයෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ කියලා.”
 
කාලය ගෙවිලා ගිහින් ක්ලෙයාර් වැඩිහිටියෙක් බවට පත් වූ පසු ඇය තමන්ගේ පවුලේ අයට කියලා තිබුණා. ක්ලෙයාර් තමන්ගේ ජීවිතය හා සෞඛ්යය තත්වය ගැන බොහොම තදින් සැළකිලිමත් වුණා. ඒත් ඇය කිසිම විටෙක එය තමන්ගේ ජීවිතයට බරක් කර ගත්තේ නැහැ. පවුලේ අය එක්ක රාත්රී ආහාරය සඳහා එළියට ගිය වෙලාවලදී අවන්හල් හිමියන් ඇයට පෝෂණය ගැන විකාර දොඩවනකොට ඇය හිනා වුණා.
ඇත්තටම ඒක විකාරයක් කියලා හිතුවේ මම නෙවෙයි..ක්ලෙයාර්…  හිත ඇත්නම් පත කුඩාද? 
ක්ලෙයාර් කියන්නේ බෞද්ධයෙක් නෙවෙයි. ඒත් බුද්ධ දර්ශනයේ එන අනිත්යය පිළිබඳ සංකල්පය ගැන ඇය හොඳින් අවබෝධ කරගෙන හිටියා. කවදා හරි තමන් මේ ලෝකෙට එද්දි අරගෙන ආව මේ ශරීරය මැරෙද්දි සදහටම නැති වෙලා යන බව ඇය අවබෝධ කර ගත්තා. පසුගිය වසරේ TEDx talk දේශනයේදී තමන්ට තිබෙන රෝගය ජීවිතයට මොනතරම් දේවල් එක් කළාද කියන කාරණාව ගැන ඇය සඳහන් කළා.
 
” ජීවිතය කියන්නේ ඔබ සතුටින් සිටීම හෝ තත්පරයෙන් තත්පරයට ඔබට එය දැනෙන්නේ කොහොමද යන්න පමණක්ම නොවෙයි. ජීවිතය කියන්නේ ඔබ ඔබේ ජීවිතය වෙනුවෙන් කළ කී දේ මොනවාද යන්න ගැන ඔබව හිතන්නට පොළඹවන හා ඒ තුළින් ඔබ කවුද යන්න පිළිබඳව ආඩම්බර වෙන විදියට මේ ලෝකයට ඔබ ලබා දුන් හා ලබා දීමට බලාපොරොත්තු වන දේ මොකක්ද යන්නයි”.
 
2018 වසර උදා වෙද්දි ද්විත්ව පෙනහලු බද්ධය සම්බන්ධයෙන් ක්ලෙයාර් ගේ අදහස වෙනස් වෙන්න පටන් ගත්තා. ඒ ඇයගේ සෞඛ්ය තත්වය තව තවත් පිරිහෙන්නට පටන් ගැනීමත් සමඟයි. ඇයට ආදරය කළ අය , ඇයගේ මව්පියන් ඇයගේ හිත හැදුවා. ඇයව තව තවත් ශක්තිමත් කළා. අවසානයේ ද්විත්ව පෙනහලු බද්ධ කිරීමක් සිදු කර ගැනීමට ඇයට අවශ්ය වුණා.
 
 
web 11
 
 
සැත්කම..
 
පෙනහළු බද්ධ කිරීමේ සැත්කමක් කිරීමට නම් ඇයට එයට සුදුසු සෞඛ්ය තත්වයක් තිබිය යුතු වුණා. ඒ වගේම සැත්කමෙන් පසුව ඉක්මනින් සුව වීමට තරම් ප්රතිශක්තියක් තිබිය යුතු වුණා. කෙසේ වෙතත් මේ සැත්කමට ක්ලෙයාර් මේ තරම් කාලයක් ගැනීම පිළිබඳව බොහෝ අය දුක් වුණා. නමුත් ක්ලෙයාර් ලේසර් ප්රතිකාරවලට මුහුණ දෙමින් සැත්කම සඳහා සුදුසු සෞඛ්ය තත්වයක් ලබා ගත්තා. ඒ සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන වැඩමුළුවකට පවා ඇය මුහුණ දී සිටියා. එහිදී සැත්කමේ බරපතලභාවය සහ ඉන් ඇති විය හැකි අතුරු ආබාධ සම්බන්ධයෙන් පවා ඇය දැනුවත් වුණා.
ඒ කිසිම දෙයකට මාව මානසිකව බිඳ හෙළන්න හැකියාවක් නැහැ. දැන් මම සූදානම් මම කළ යුුතුම දෙයක් වෙනුවෙන් කැප වෙන්න. මම සූදානම් මගේ ඉදිරියට එන හැම අභියෝගයක් ම භාර ගන්න ”.
 
ක්ලෙයාර් ඒ ගැන කියලා තිබුණේ එහෙම දෙයක්.
 
web12
 
 
අවසානයේ සැත්කම සඳහා දින නියම වුණා. අගෝස්තු 26!!!!! 
It’s a GO!!!” ඇය සැන්ඩියේගෝ හි සැත්කම් කාමරය සඳහා යාමට පෙර ට්විටර් පණිවුඩයකින් එසේ කියා සිටියා. ඇගේ හිතවතුන් ඇය වෙනුවෙන් පෙරමඟ බලා සිටියා. පැය 9ක සැත්කමක් අවසනදී ඇගේ නව පෙනහළු හොඳින් ක්රියාත්මක වන බව ඇගේ මව පවසා තිබුණා. සතුට වැඩිකමට තමන්ගේ මිතුරියන් සමඟ විනෝදයෙන් නර්තනයේ යෙදෙන වීඩියෝවක් ඇය අන්තර්ජාලයට එක් කර තිබුණා. හැබැයි ඒ සතුට තවදුරටත් විඳින්න අවස්ථාව ලැබුණේ නැහැ. බලාපොරොත්තුව “බිය” බවට පෙරළෙන්න පටන් ගත්තා. සැත්කමෙන් පසුව රුධිර කැටියක් හිරවීම නිසා ක්ලෙයාර්ගේ මොළයේ දකුණු පැත්ත අක්රිය වෙන්නට පටන් ගත්තා. අවසානයේ ඇය කෝමා තත්වයට පත් වුණා.
 
web 13
 
මේ හදිසි තත්වය පිළිබඳව ක්ලෙයාර් ගේ මව කිව්වේ මෙහෙම දෙයක්.
 
” ක්ලෙයාර්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා හැම කෙනෙක්ම බොහෝ ප්රයත්න දැරුවා. ඒත් මම දැනගෙන සිටියා ඉක්මනින්ම ඇයව මට අහිමි වන බව”.  අවසානයේ සියලු උත්සාහයන් අසාර්ථක කරමින් ක්ලෙයාර් අවුරුදු 21ක තමන්ගේ අසීරු ජීවන ගමනට සමු දුන්නා. ඔව්.. ජීවත් වෙන්න බලාපොරොත්තුවක් පුංචියට හරි තියාගෙන හිටපු මේ පුංචි කෙල්ල සදහටම සමු ගත්තා. සමු ගන්න වෙලාවේ ක්ලෙයාර් ගේ දෙමව්පියන් සහ නෑ හිත මිතුරන් ඇය සමීපයේම හිටියා. ” ඔවුන් දැක්කා ඇය මේ ලෝකයට එන විට ගත් පළමු හුස්ම. ඒ වගේම ඇය මේ ලෝකයෙන් සමු ගන්නා විට ඇය හෙළු අවසන් හුස්මත් ඔවුන් දැක්කා.”
 
ක්ලෙයාර් පදනමේ අධ්යක්ෂ මණ්ඩල සභාපතිනිය වන ලෝරා මැක්හෝම් කියා සිටියා.
 
 අවසනට පෙර
 
ඉන්ද්රියයන් පරිත්යාග කිරීමේ වැදගත්කම ගැන ක්ලෙයාර් හොඳින්ම වටහාගෙන හිටියා. ඒ නිසාම ඇය කල් තියාම දෙයක් සූදානම් කර තිබුණා. ක්ලෙයාර් ඇයගේ වකුගඩු පරිත්යාග කිරීම සඳහා ලියකියවිලි කලින්ම සූදානම් කරගෙන තිබුණා. ක්ලෙයාර්ගේ මරණයෙන් පසුව ඇගේ දකුණු වකුගඩුව සැන්දියේගෝ හි වෙසෙන 44 හැවිරිදි කාන්තාවකට පරිත්යාග කර තිබුණා. ඒ වගේම ඇගේ වම් වකුගඩුව උතුරු කැලිෆෝනියාවේ 55 හැවිරිදි පුද්ගලයෙකුට පරිත්යාග කර තිබුණා. ඒ වගේම ඇගේ අස්ථි හා පටක බද්ධයෙන් පුද්ගලයන් 50ට වැඩි පිරිසකට සරණක් විය හැකි වුණා.
web 14
 
” ක්ලෙයාර් ලබා දුන් ත්යාගය අති විශාලයි. මට ඔබේ පවුලේ සැමට කියන්න ඕනෙ දේ තමයි, ඔබේ දියණිය වීරවරියක් බව.”
 
ක්ලෙයාර් ගේ පවුලේ වෛද්යවරයා ඇගේ මවට දන්වා තිබුණා. තමන්ගේ මරණයෙන් පසුවත් ක්ලෙයාර් පදනම පවතිනු දැකීම ඇගේ සිහිනය බව ක්ලෙයාර් පවසා තිබුණා. ඒ සිහිනය වෙනුවෙන් සියලු දෙනා කැප වන බව එම පදනම පවසා සිටියා. අවසන් කාලයේ ඇය අන්තර්ජාලයට වීඩියෝ පටයක් මුදා හැර තිබුණා. ඒ ඔස්සේ ඇය පළමු වතාවට හඬා වැටෙනවා.
 
 
” මේ වගේ වීඩියෝ පටයක් ඔබට ඉදිරිපත් කිරීමට වීම මගේ හදවත පාරන දෙයක්. මම කවදාවත් අවබෝධ කරගෙන තිබුණේ නැහැ තවත් කාලයක් මම ජීවත් විය යුතුද? නැද්ද? කියන කාරණාව ගැන. ඒ වගේම මට ඒ වෙනුවෙන් හිතන්න අවස්ථාවක් ලැබෙයි කියලා හිතුවෙත් නැහැ. හැමදෙයක්ම මට තනියෙන් කරගන්න පුළුවන් කියලා අවුරුදු ගාණක් මම මටම කියා ගත්ත කාලය දැන් “ඉවරයි”.
 
 
ක්ලෙයාර් කවදාවත් කඩා වැටුණු චරිතයක් නෙවෙයි. මැරෙන බව දැන දැනම ජීවත් වුණ චරිතයක්. ක්ලෙයාර්ට තිබුණා අපූරු ආත්ම විශ්වාසයක්. නොසැළෙන හිතක්. ඒත් මරණය ඉදිරියේ ජීවත් විය යුතුයි කියන පැතුම ඇයට අවසානයේ තදින්ම දැනුණා. නව යොවුන් වියට එළඹෙනවාත් එක්කම ඇයට ජීවිතය ගැන වෙනස් විදියට දකින්න අවශ්ය වුණා. ඒ වෙනුවෙන් ඇගේ හදවත ගැහෙන තුරුම ඇය කැප වුණා.
 
 
මේ වීඩියෝ පටය අවසන් කරද්දි ක්ලෙයාර් කියපු වචනත් සඳහන් නොකළොත් එය මේ ලියමනට විශාල අඩුවක් වේවි.
 
“යන්න.. ඔබේ ජීවිතය විඳින්න. මම මේක කියන්නේ ඉතාම ඕනෑකමින්. ජීවිතය සතුටින් විඳින්න. මොකද එහෙම විඳින්න බැරි මිනිස්සු පිස්සුවෙන් වගේ ඒ සතුට ලබා ගන්න සටන් කරනවා”.
 
ජීවිතේ ආපහු සැරයක් විඳින්න ක්ලෙයාර් එයාගෙ තීන්දු තීරණ වෙනස් කළා. සැත්කමට මුහුණ දුන්නා. ඒත්… දෛවය ඇයට නැවත ඇස් අරින්න ඉඩ දුන්නේ නැහැ. ඔබට මොකද හිතෙන්නේ?? ඇයට අත් වුණේ හරිම සුවදායී මරණයක්.
WEB 16
 
තමන්ගේ ආදරේ තමන්ට පිටුපෑවා කියලා මරාගෙන මැරෙන මිනිස්සු, කැම්පස් එකේ රැග් එක කියලා ලියුම් ලියලා පණ නහගන්න මිනිස්සු, විභාගය අසමත් කියලා කෝච්චියට පනින මිනිස්සු විතරක් නෙවෙයි, පොඩි දෙයටත් “මම මැරෙනවා” කියලා හිතන මිනිස්සු ඉන්න ලෝකයක අපි ජීවත් වෙන්නේ. එහෙම මිනිස්සුු අතරේ ජීවිතය යදින ක්ලෙයාර් වගේ සිනහා මුසුව ජීවත් වෙන අය ඕනෑ තරම් ඉන්නවා.
 
web 15
 
ක්ලෙයාර් ගේ මරණය ගැන කම්පනයෙන් මරණයේ අඳුරු සෙවණැලි අතර දෝලනය වෙන මිනිස්සුන් ගේ හිත් කියවන්න ඔබට අවස්ථාවක් දෙන්නයි මෙය සටහන් කරන්නේ.. දැන් මේ හොඳටම ඇති......  මම ඔබෙන් අහනවා… ” ඔබට තවමත් මැරෙන්න හිතෙනවාද?” එහෙම නම් ආපහු මේ ලියමනේ උඩටම ගිහින් හොඳින් අකුරක් නෑර කියවන්න.
 
ක්ලෙයාර්..
සුභ ගමන්!!!!
 
               
-භාග්‍යා වීරකෝන් -   
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

නවතම ලිපි