ශ්‍රී ලාංකේය දේශපාලන කරළියේ මතුපිටින් පෙනෙන සන්සුන් බවට යටින්, 2029
ජනාධිපතිවරණය ඉලක්ක කරගත් දැවැන්ත බල අරගලයක පෙරනිමිති දැන් සිටම මතුවෙමින් තිබේ. පසුගිය නොවැම්බර් 14 වන දින, එනම් 2024 මහ මැතිවරණයෙන් වසර දෙකක් සපිරෙන මොහොතේ සහ සිය දිවංගත පියාණන්ගේ 84 වන ජන්ම දිනය නිමිත්තෙන් හිටපු බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සිය මුහුණු පොතේ තැබූ සංවේදී සටහන මෙම සැඟවුණු දේශපාලන සුළියේ එක් තීරණාත්මක කැඩපතකි.
තමා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව ආයතනික ලෝකයට (Corporate Sector) පිවිස ගතවූ මාස 23ක කාලය පිළිබඳව තෘප්තිමත් වන බවත්, අර්ධකාලීනව ඇරඹි එම වෘත්තීය ජීවිතය අද වන විට පූර්ණකාලීන තෘප්තිමත් ගමනක් බවට පත්ව ඇති බවත් ඔහු එහි සඳහන් කර තිබුණි. යළිත් කිසිදු දිනෙක දේශපාලනයට පැමිණීමේ අදහසක් හෝ උනන්දුවක් තමාට නොමැති බව ඔහු දැඩිව අවධාරණය කළේය.

හදිසි දේශපාලන නික්මීමේ සැබෑ පසුබිම
මෙරට දේශපාලන සංස්කෘතිය තුළ බලය අත්හැරීම යනු කලාතුරකින් සිදුවන්නකි. එවන් පසුබිමක කාංචන විජේසේකර වැනි තරුණ දේශපාලනඥයෙකු තමාට දේශපාලනය තවදුරටත් අවශ්‍ය නැතැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම හුදු පෞද්ගලික තීරණයක් ලෙස පමණක් ලඝු කළ නොහැක. මෙම ප්‍රකාශය පිටුපස ඇත්තේ වත්මන් විපක්ෂ දේශපාලනය මුහුණ දී සිටින උග්‍ර අර්බුදය සහ ඒ හරහා නිර්මාණය වී ඇති දේශපාලන දඩයමේ ස්වභාවයයි.
මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ක්‍රමයෙන් යළි හිස එසවීමට උත්සාහ කළ ද, එහි ප්රබලතම තරුණ නායකයා වන නාමල් රාජපක්ෂ සිටින්නේ දැඩි නීතිමය රාමුවකට කොටු වීය. 'ක්‍රිෂ්' ගනුදෙනුව හරහා බන්ධනාගාරගත වීමත්, ඇප ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගත වීමත් පමණක් නොව, ඉදිරියේදී මතුවිය හැකි තවත් නීතිමය කාරණා මත ඇප කොන්දේසි ගිලිහී ගොස් යළිත් රක්ෂිත බන්ධනාගාරගත වීමේ අවදානමක් ද ඔහු ඉදිරියේ පවතී. දේශපාලන විචාරකයින් පෙන්වා දෙන පරිදි, 2029 වසර පසුවන තෙක්ම නාමල් රාජපක්ෂට මෙම නීතිමය සහ දේශපාලනික බාධකවලින් මිදී ගොඩ ඒමක් බලාපොරොත්තු විය නොහැක.
[ඒ අතර නාමල් කෙරෙහි ඇති 'දේශපාලන අවදානය' වෙනතකට යොමුකිරීමද උපායකි. ඊට සුදුස්සෙක් තෝරා ගත යුතුය. කාංචන සාධකය පැන නගින්නේ එවිටය. විපක්ෂයේ සන්දානය යොදන විවිධ උප්පරවැට්ටි අතරමගින්ම විනාශව යන්නේ යෝජනාවන් ගෙන ඒමටත් පෙර රහස් පිටවන විපක්ෂ සන්දානයේ සාර්ථකත්වය හේතුවෙනි].
විපක්ෂයේ හිදැස සහ 'පොදු අපේක්ෂක' උගුල
අනෙක් පසින්, වත්මන් ආණ්ඩුව කොතරම් අසාර්ථක වුවද, ජනතාව තුළ මුල් බැසගෙන ඇති 'දූෂණ විරෝධී' ජනතා න්‍යාය පත්‍රයට ගැළපෙන පිරිසිදු නායකත්වයක් ඉදිරිපත් කිරීමට තරම් විපක්ෂය අද වන විට දේශපාලනිකව බංකොලොත් වී තිබේ.

විපක්ෂ සන්දානයේ පොදු අපේක්ෂක යෝජනාවක්
මෙම නායකත්ව රික්තකය පිරවීම සඳහා විපක්ෂයේ සන්ධාන මේ දිනවල දූෂණ චෝදනාවලට ලක් නොවූ 'පොදු අපේක්ෂකයෙකු' සොයමින් විවිධ අත්හදාබැලීම් සහ සාකච්ඡා සිදු කරමින් පවතී. එහෙත් මෙහි ඇති බරපතළම උත්ප්රාසය නම්, යම් පුද්ගලයෙකුගේ නම ඉදිරි අපේක්ෂකත්වයකට යෝජනා වූ සැණින්, ඔහුට එරෙහිව පැරණි හෝ නව චෝදනා ගොනු වී අධිකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබීමයි.
විපක්ෂ සන්ධාන අභ්‍යන්තරයේ 2029 ජනාධිපතිවරණ පොදු අපේක්ෂකත්වය සඳහා මේ වන විට ප්‍රධාන නම් දෙකක් කරළියට පැමිණ තිබේ.
-
ජ්‍යෙෂ්ඨ සහ රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් සහිත චරිතයක් ලෙස ප්‍රභූ දේශපාලනඥ මිලින්ද මොරගොඩ.
-
තරුණ සහ කාර්යක්ෂම නායකත්වයක් ලෙස දකුණේ කාංචන විජේසේකර.
නියපොත්තෙන් කැඩීම සහ ආත්ම ආරක්ෂාව
කාංචනගේ නම මෙලෙස විපක්ෂයේ ඉදිරි තුරුම්පුවක් ලෙස කියැවීමත් සමඟම, ඔහුට එරෙහිව නීතිමය හා දේශපාලනික බලවේග ක්‍රියාත්මක වීමේ ඉඟි පහළ වන්නට විය.

මෙහිදී ද්විත්ව දේශපාලන අරමුණක් ක්‍රියාත්මක වන බව පැහැදිලිය. එක් පසෙකින්, විපක්ෂය තුළම සිටින ප්‍රතිවාදී කණ්ඩායම්, කාංචනගේ නම හිතාමතාම කරළියට දමා ආණ්ඩුව ලවා ඔහුව නීතියේ රැහැනට හසු කර බන්ධනාගාරගත කිරීමේ සූක්ෂ්ම උපායක නිරත වනවා විය හැකිය. අනෙක් පසින්, "නියපොත්තෙන් කඩන්නට හැකි දේ පොරවෙන් කපන්නට තබා නොගත යුතුය" යන න්‍යාය අනුගමනය කරන ආණ්ඩු පාර්ශ්වය, 2029 දී තමන්ට අභියෝගයක් විය හැකි ඕනෑම චරිතයක් කල් තියාම දේශපාලනිකව අඩපණ කිරීමට ඇස ගසාගෙන සිටී.
කාංචන විජේසේකර සිය මුහුණු පොත හරහා "මම දේශපාලනයට නැවත නොඑමි" යනුවෙන් ලෝකයටම ඇසෙන්නට පණිවිඩයක් නිකුත් කරන්නේ මෙම අවදානම කල් තියාම හඳුනා ගැනීම නිසාය. එය හුදෙක් ආයතනික රැකියාවේ සතුට ප්‍රකාශ කිරීමක් නොව, තමා ඉදිරියේ නිර්මාණය වෙමින් පවතින දේශපාලන දඩයමෙන් සහ සිරගත වීමේ අවදානමෙන් ගැලවීම සඳහා අනුගමනය කළ උපක්‍රමශීලී පසුබැසීමකි. තමන් තවදුරටත් දේශපාලන තරගයේ නොමැති බව තහවුරු කරමින් ප්‍රතිවාදීන්ට ලබා දුන් 'සුදු කොඩියකි'.
ජනතා යථාර්ථය සහ දේශපාලන ගංගාව
රටේ සාමාන්‍ය ජනතාව අද ගෙවන්නේ අතිශය පීඩාකාරී ජීවිතයකි. දරාගත නොහැකි බදු බර, අහස උසට නැගි ජීවන වියදම සහ රටක් ලෙසත් පුද්ගලයන් ලෙසත් හිරවී සිටින ණය බර හමුවේ ජනතාව දෛනිකව හුස්ම ගැනීමේ අරගලයක නිරතව සිටිති.
එහෙත්, ජනතාවගේ මෙම කටුක යථාර්ථයට කිසිදු සම්බන්ධයක් නොමැතිව, ඊට පිටතින් ගලා යන මෙරට ප්‍රභූ දේශපාලන ගංගාවේ ස්වරූපය හාත්පසින්ම වෙනස්ය. එහි ඇත්තේ ජනතා ප්‍රශ්න විසඳීමේ උවමනාව නොව, 2029 බලය අල්ලා ගැනීම සහ රැක ගැනීම වෙනුවෙන් අපේක්ෂකයින් බිලිබා ගන්නා, නඩු පවරන සහ ඉන් ගැලවීමට සමාජ මාධ්‍ය පණිවිඩ නිකුත් කරන සීතල යුද්ධයකි. කාංචනගේ නික්ම යාමේ ප්‍රකාශය මගින් මතුපිටට පැමිණ ඇත්තේ එම බල දේශපාලන සුළියේ එක් තීරණාත්මක අවස්ථාවක් පමණි.
# සමාරා පරණවිතාන

