SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"අද අපේ රටේ සාමාන්‍ය පුරවැසියන් මේ මූල්‍ය සමාගම්වලට අහුවෙනවා.

දැන් අපි මොකද කරන්නේ? ඒ නිසා මූල්‍ය සමාගම් නියාමනය සහ අධීක්ෂණය ශක්තිමත් කිරීම, අනවසර මූල්‍ය ව්‍යාපාර විමර්ශනය කිරීම හා නඩු පැවරීම, ශක්‍යතාවයක් නොමැති මූල්‍ය ව්‍යාපාර වසා දැමීමේ අවශ්‍යතාව බලගැන්වීමට මුදල් ව්‍යාපාර පනත සංශෝධනය කරනවා. ඒක සංශෝධනය කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා."

- ජනාධිපති 2027 පාර්ලිමේන්තු අයවැය කතාව 

 

 

මහ බැංකුවේ මූල්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි නොවූ ආයතන අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක  2027 අයවැය ඉදිරිපත් කරමින් සිදු කළ ඉහත ප්‍රකාශය, මෙරට මූල්‍ය වංචාවලට හසුවන සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා ලද ප්‍රතිපත්තිමය ප්‍රවේශයකි. මේ වන විටත් එවැනි අනවසර මූල්‍ය සමාගම් කිහිපයක් තහනම් කර ඇති අතර, 'කසාගල' ඇතුළු තවත් වගා සමාගම් කිහිපයක බැංකු ගිණුම් අත්හිටුවා විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතී.

 

 

එහෙත් මේ මොහොතේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ එහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ගෙන් අප සෘජුවම අසන බරපතළ ප්‍රශ්නයක් තිබේ. සමාගම් කිහිපයක පමණක් ගිණුම් අත්හිටුවා විමර්ශන සිදු කරන විට, 'ඒෂියා ප්ලාන්ටේශන්' (Asia Plantations) වැනි සමාගම් සෘජුවම මූල්‍ය කටයුතු කළ බවට පැහැදිලි ඉඟි සහ සාක්ෂි සැපයෙද්දීත් ඒවායේ ගිණුම් අත්හිටුවීමක් හෝ විමර්ශනයක් සිදු නොකරන්නේ ඇයි? මහ බැංකුවේ නීතිය නොතකා නිදැල්ලේ යාමට තරම් බලවත් වූ මේ 'ඒෂියා ප්ලාන්ටේශන්' සැබැවින්ම කාගේද?

 

 

 

ගිණුම් හිස්වීමේ අභිරහස සහ සැඟවුණු හිමිකරුවන්

ශ්‍රී ලංකාවේ මූල්‍ය සහ ආයෝජන ක්ෂේත්‍රය තුළ නීතියේ හිඩැස් භාවිතා කරමින් සිදුකරන තවත් දැවැන්ත මූල්‍ය අර්බුදයක ඛේදවාචකය 'ඒෂියා ප්ලාන්ටේශන්' ව්‍යාපෘතිය හරහා මේ වන විට දිගහැරෙමින් තිබේ. අදාළ ආයතනයේ ගිණුම්වල මේ වන විට මුදල් නොමැති බවට තොරතුරු වාර්තා වන අතර, පළාත් මට්ටමින් පිහිටුවා ඇති ශාඛාවල සේවය කරන සේවකයින්ට මාසික වැටුප් පවා ගෙවීමට ආයතනය අපොහොසත් වී ඇත.

 

 

ගම්බද අහිංසක ජනතාවගෙන් මුදල් එකතු කර දුන් මෙම සේවකයින් අද වන විට දැඩි ලෙස අසරණ වී සිටින අතර, ඔවුන් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයෙන් අසන ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ "මහ බැංකුවෙන් අපගේ ගිණුම් අත්හිටුවා (Freeze) නැති පසුබිමක, අපි එකතු කරලා දුන්න සල්ලිවලට මොකද වුණේ?" යන්නයි.

 

 

 

ඒෂියා ප්ලාන්ටේශන් යනු හුදු වගා ආයෝජන ආයතනයක් පමණක් නොවන බවත්, ඔවුන් ‘කසාගල’ වැනි ආයතන අනුගමනය කරමින් ‘වගා ආයෝජන’ යන නාමයට මුවා වී මහජනතාවගෙන් ‘වගා තැන්පතු’ (Cultivation Deposits) ලෙස සෘජුවම මූල්‍ය තැන්පතු ලබාගෙන ඇති බවත් මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ.  එසේ නම්, මෙතරම් බරපතළ මූල්‍ය ක්‍රියාවලියක් සිදුවෙද්දී ඊට වගකිවයුතු සැබෑ හිමිකරුවන් සහ අධ්‍යක්ෂවරුන් කිසිදු බාධාවකින් තොරව නිදැල්ලේ සිටින්නේ කෙසේද?

 

 

නන්දලාල්ට මඟහැරුණු 'ඒෂියා ප්ලාන්ටේශන්' සහ මහ බැංකුවේ දෙබිඩි පිළිවෙත

මහජනතාවගේ මූල්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ පරම වගකීම පැවරී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ භූමිකාව මෙහිදී බරපතළ ප්‍රශ්න කිරීමකට ලක් වේ. මූල්‍ය තැන්පතු භාර නොගත්, හුදෙක් වගා ආයෝජන පමණක් සිදු කළ ඇතැම් ආයතනවල ගිණුම් විමර්ශන කටයුතු වෙනුවෙන් යැයි පවසමින් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මහ බැංකුව පියවර ගත්තේය. එහෙත්, ගිවිසුම් මඟින්ම පැහැදිලිවම මූල්‍ය තැන්පතු ලබාගත් 'ඒෂියා ප්ලාන්ටේශන්' වැනි ආයතනවලට තම ගිණුම් හිස් වන තුරුම නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලැබුණේ කෙසේද?

 

 

 

දැඩි තීරණ ගන්නා බවට ප්‍රකාශයන් සිදුකරන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ උකුසු ඇසට මේ තරම් දැවැන්ත 'මූල්‍ය තැන්පතු' ජාලයක් මඟහැරුණේ කෙසේද යන්න බරපතළ සැකයට කරුණකි. සාමාන්‍ය ව්‍යාපාරිකයින්ගේ සහ සෙසු සමාගම්වල ගිණුම් එක රැයින් අත්හිටුවීමට සමත් මහ බැංකුව, ඒෂියා ප්ලාන්ටේශන් ආයතනයට පමණක් නිදැල්ලේ යන්නට ඉඩ හැරියේ ඇයි? මේ පසුපස සිටින්නේ මහ බැංකුවට පවා අත තැබිය නොහැකි තරමේ බලවතෙක්ද, නැතහොත් මහ බැංකුව යම්කිසි අදෘශ්‍යමාන හස්තයක බලපෑමට යටත් වූයේද යන්න රට හමුවේ ඇති ප්‍රධානතම ගැටලුවයි.

 

 

 

මුදල් එළියට ඇදීමේ කූටෝපාය

මහ බැංකුව මඟින් ගිණුම් අත්හිටුවීමක් සිදු කර නොමැති නම්, සේවකයින්ට පඩි ගෙවීමට පවා නොහැකි වන තරමට ආයතනයේ ගිණුම් හිස් වූයේ කෙසේද? මෙහිදී මතුවන බරපතළම සැකය නම්, මහ බැංකුවේ මැදිහත්වීම ප්‍රමාද වන අතරතුර එකතු කළ මහජන මුදල් ආයතනයේ ගිණුම්වලින් ඉතා සූක්ෂම ලෙස එළියට ඇද්දේද යන්නයි.

 

ආයතනයක් බිඳ වැටෙන විට හෝ විමර්ශන ආරම්භ වීමට පෙර ඊට නීතිමය ආවරණයක් සපයා ගනිමින් මුදල් ඉවත් කරගැනීම ඉහළ පෙළේ ආයතනික අපරාධවල සුලබ ලක්ෂණයකි. මෙම ක්‍රියාවලිය සඳහා ඒෂියා ප්ලාන්ටේශන් හිමිකරුවන් ප්‍රමුඛ පෙළේ නීති උපදේශන ලබා ගත්තේද? ඉහළ පෙළේ නීතිවේදීන්ගේ උපදෙස් හෝ උපාය මාර්ග මෙම මුදල් අතුරුදන් කිරීමේ ක්‍රියාවලිය පසුපස ක්‍රියාත්මක වූයේද යන සාධාරණ සැකය මේ වන විට මතුවෙමින් තිබේ. මහ බැංකුව ගිණුම් අත්හිටුවීමට පෙර, නීතියේ ඇති හිඩැස් සහ අර්ථකථන භාවිතා කරමින් ආයෝජකයින්ගේ මුදල් ආරක්ෂිත තැන්වලට හෝ වෙනත් ගිණුම් ජාල හරහා පිටමන් කිරීමට තරම් කාලයක් ඔවුන්ට ලබා දුන්නේ කවුරුන්ද යන්න වහාම විමර්ශනය කළ යුතුව ඇත.

 

 

ඒෂියා ප්ලාන්ටේශන් යනු තවත් එක් වගා ව්‍යාපෘතියක් බිඳ වැටීමක් පමණක් නොවේ; එය මෙරට මූල්‍ය නියාමනයේ ඇති තෝරාගත් නිහඬතාව සහ නීතියේ සිදුරු භාවිතා කරමින් මහජන මුදල් කොල්ලකෑමේ සංකේතයකි. අනවසර මූල්‍ය ව්‍යාපාර වැටලීමට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රතිඥා දෙන පසුබිමක, මහ බැංකුව වහාම මෙම ද්විත්ව ප්‍රමිතිය නතර කළ යුතුය.

 

 

ඒෂියා ප්ලාන්ටේශන් පසුපස සිටින සැබෑ බලවතුන් කවුරුන්ද යන්න රටට හෙළි කරමින්, අතුරුදන් වූ මුදල්වලට සිදුවූයේ කුමක්දැයි සෙවීමට වෝහාරික මූල්‍ය විගණනයක් වහාම සිදු කළ යුතුය. එසේ නොමැති වුවහොත්, නීතියේ රැකවරණය මධ්‍යයේ සිදුවන මෙවැනි "සුදු කරපටි මංකොල්ලකෑම්" ඉදිරියටත් නිර්බාධිතව සිදුවනු ඇති අතර, අවසානයේ ඊට වන්දි ගෙවීමට සිදුවන්නේ සිය දහදිය මහන්සියෙන් මුදල් උපයාගත් අහිංසක තැන්පත්කරුවන්ට සහ ගම්බද සේවකයින්ට පමණි.

 

 

නවතම ලිපි