SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’

(PSTB) ආණ්ඩුවේ විරුද්ධවාදීන්ට එරෙහිව භාවිත කළ හැකි බවට හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ඊයේ (03) අනතුරු ඇඟවීය. එමඟින් රජයට විරුද්ධ වන පිරිස් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසිය හැකි බව ප්‍රකාශ කළ හිටපු අගවිනිසුරුවරයා, මෙම යෝජිත නීතිය දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් කළ ප්‍රකාශය ද අනුමත කළේය.

 

 

 

හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔවුන් චෝදනා කළේ ආණ්ඩුව දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට උත්සාහ දරන බවයි.

 

 

මාධ්‍ය හමුව ආරම්භයේදීම මහාචාර්ය පීරිස් අවධාරණය කළේ, PSTB පනත මඟින් එල්ල වන තර්ජනය විමසා බැලිය යුත්තේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (POCB) ද සැලකිල්ලට ගනිමින් බවයි. මෙම පනත් කෙටුම්පත් දෙක එකට ක්‍රියාත්මක වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහමුලින්ම විනාශ වී යා හැකි බව ප්‍රකාශ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, ආණ්ඩුවට මේ හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි රජයට අනතුරු ඇඟවීය.

 

 

 

ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මෙන්ම ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සහ හියුමන් රයිට්ස් වොච් වැනි ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් මෙම යෝජිත පනත් කෙටුම්පත් දෙක දැඩි ලෙස හෙළා දැක ඇති බව පෙන්වා දුන් මහාචාර්ය පීරිස්, යුරෝපා සංගමය විසින් මෙරටට ලබාදී ඇති ජී.එස්.පී. ප්ලස් (GSP+) තීරුබදු සහනය ද මේ හරහා දැඩි අවදානමකට ලක්විය හැකි බව ප්‍රකාශ කළේය. මෙම යෝජිත පනත් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාව වෙත ලබාදී ඇති සහතිකයන්ට ද මුළුමනින්ම පටහැනි වේ.

 

 

 

ජාතික ජන බලවේගය (NPP) රජය වෙනුවෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් PSTB සහ POCB පනත් කෙටුම්පත් පිළිවෙළින් පසුගිය ඔක්තෝබර් 06 සහ 20 යන දිනවලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

 

 

 

PSTB පනත පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්ය පීරිස් චෝදනා කළේ, හදිසි නීතියක් ප්‍රකාශයට පත් නොකර වුවද නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට සහාය වීම පිණිස ත්‍රිවිධ හමුදාව කැඳවීමට ආණ්ඩුවට මේ හරහා හැකියාව ලැබෙන බවයි. ඒ අනුව රජයට දේශපාලනිකව විරුද්ධ වන පිරිස්, ආණ්ඩුවේ අභිමතය පරිදි ක්‍රියාත්මක වන පොලිස්-හමුදා ඒකාබද්ධ යාන්ත්‍රණයේ ගොදුරු බවට පත්වනු ඇත.

 

 

 

1976 දී බලාත්මක වූ, නීත්‍යානුකූලව බැඳී පවතින බහුපාර්ශ්වික ගිවිසුමක් වන ‘සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය’ (ICCPR) මෙන්ම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ද මෙම යෝජිත නීති මගින් උල්ලංඝනය වන ආකාරය හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ඔහුට අනුව පොලීසියේ සහභාගීත්වයකින් තොරව හමුදාවට සෘජුවම අත්අඩංගුවට ගැනීම් සිදුකළ හැකිය. “නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට භාරදීමට පෙර හමුදාවට පුද්ගලයෙකු පැය 24ක් රඳවා තබාගත හැකියි. ඉන්පසුව ඔවුන්ට තවත් පැය 48ක් රඳවා තබාගත හැකියි. මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් නොකර පැය 72ක් තිස්සේ රඳවා තබා ගන්නා පුද්ගලයින්ගේ මානසික තත්ත්වය කෙබඳු වේවිද?” යි හිටපු අගවිනිසුරුවරයා ප්‍රශ්න කළේය.

 

 

 

ආණ්ඩුව විසින්ම ත්‍රස්තවාදය පතුරවන බවට චෝදනා කළ හිටපු අගවිනිසුරුවරයා, “ආණ්ඩුව තමන් අනතුරේ සිටින බව වටහාගෙන තිබෙනවා. මෙම නව ආරක්ෂක නීති ගෙන එන්නේ ආණ්ඩුව ආරක්ෂා කරගැනීම සඳහායි” යනුවෙන් පැවසීය.

 

 

 

වත්මන් නීතිය යටතේ වලංගු නොවුණ ද, යෝජිත නීතියට අනුව පොලීසිය විසින් තර්ජනය කර හෝ පහර දී ලබා ගන්නා පාපෝච්චාරණයක් වුවද අධිකරණය හමුවේ සාක්ෂියක් ලෙස භාවිත කිරීමට ඉඩ සැලසෙන බව මහාචාර්ය පීරිස් සඳහන් කළේය. POCB පනතේ ඇති බරපතළම දෝෂය වන්නේ අධිකරණමය අධීක්ෂණයකින් තොරව පුද්ගලයන් රඳවා තබා ගැනීමට පොලීසියට සහ හමුදාවට අසීමිත බලතල පැවරීම බව ප්‍රකාශ කළ මහාචාර්ය පීරිස්, ජාතික ජන බලවේගයේ මෙම සැලසුම පරාජය කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රයත්නයක් සහ ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බව අවධාරණය කළේය.

 

 

(ද අයිලන්ඩ් / Shamindra Ferdinando ගේ ලිපිය ඇසුරිනි.)

නවතම ලිපි