SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය ඔක්තෝබර් 08 වැනිදා ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රැස්වූ

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ නෛතික පරිපාලන ව්‍යුහය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න කිරීම් මාලාවක් මතු විය.

 

 Port City Colombo project to add 13.8 bln USD to Sri Lankan economy: PwC – The Island

 

මෙහිදී ප්‍රධාන වශයෙන් තර්කයට ලක්වූයේ, කොමිසමේ වාණිජ මෙහෙයුම් අධ්‍යක්ෂවරිය වන රාධිකා ඔබේසේකර මහත්මිය විසින්ම නීති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කිරීමයි.

 

ඒ සඳහා පූර්ණකාලීන අධ්‍යක්ෂවරයෙකු පත් නොකර සංකීර්ණ නීතිමය කරුණු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මත යැපීමට කොමිසම ගෙන ඇති තීරණය එහිදී දැඩි විවේචනයට ලක් විය.

 

පරිපාලන නීතිය යටතේ මෙහිදී බරපතල ප්‍රශ්නයක් මතු වේ.

 

 

වාණිජ මෙහෙයුම් සඳහා අධ්‍යක්ෂවරයෙකුත්, නීති කටයුතු සඳහා අධ්‍යක්ෂවරයෙකුත් වශයෙන් ප්‍රධාන තනතුරු දෙකක් ආයතනික ව්‍යුහයට ඇතුළත් කර ඇත්තේ ඇයි?

 

 

යම් ආයතනයක තනතුරු ව්‍යූහයක් සකස් කරන්නේ නිකමටවත්, තවත් පිරිසකට රැකියා ලබා දිය යුතු නිසාවත් නොවේ.

 

එය සිදු කරන්නේ ඊට අදාළ පැහැදිලි පරිපාලනමය තර්කනයක් සහ අංශ දෙකක් අතර පැවතිය යුතු තුලනයක් පවතින බැවිනි.

 

අපට වරාය නගර කොමිසමේ සභාපතිවරයාගෙනුත්, මෙම ප්‍රශ්නය ගෑවී නොගෑවී පමණක් සාකච්ඡාවට ගත් මුදල් කමිටුවේ සභාපතිවරයාගෙනුත් ඇසීමට ඇති සරලම ප්‍රශ්නය වන්නේ එයයි.

 

මෙම ද්විත්ව භූමිකාව සහ නීතිපතිවරයා මත යැපීම කොමිසමේ සභාපති, ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර විසින් මුදල් කමිටුවේදී සාධාරණීකරණය කරනු ලැබීය.

 

 

ඔහු පෙන්වා දුන්නේ පෙර පැවති කොමිසම විසුරුවා හැරීමට පෙර මෙම තනතුරු දෙක සඳහාම අයදුම්පත් කැඳවා තිබුණද, නව කොමිසම පත්වීමෙන් පසු වෙනත් ක්‍රමවේදයක් අනුගමනය කළ බවයි. එසේ නම් අප ඉහත ප්‍රශ්නය ඇසිය යුත්තේ කොමිසම පාලනයේ බලය ඇති ජනාධිපතිවරයාගෙනි.

 

 

නීතිමය කරුණු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගැනීමේ ක්‍රමවේදයක් ඒ වන විටත් ක්‍රියාත්මක වෙමින් පැවති බව නව කොමිසම නිරීක්ෂණය කර තිබේ.

 

එබැවින්, එම ක්‍රමවේදයම ඉදිරියටත් පවත්වාගෙන යාමටත්, වැදගත් නෛතික කරුණු නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමටත් තීරණය කළ බැවින් නීති කටයුතු අධ්‍යක්ෂ තනතුර පුරප්පාඩුව පැවතුණු බව සභාපතිවරයා සඳහන් කළේය.

 

තවද, වාණිජ මෙහෙයුම් අධ්‍යක්ෂවරිය ලෙස තේරී පත්වූ රාධිකා ඔබේසේකරට නීතිමය පසුබිමක් ඇති බැවින්, මුදල් අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණ කටයුතු කිරීමට එය ප්‍රමාණවත් බව කොමිසමේ අදහස වී ඇත.

 

ඒ අනුව, නීති කටයුතු අධ්‍යක්ෂවරිය ලෙසද අත්සන් තැබීමේ බලය ඇයට පවරා ඇති බව කොමිසම විසින් තහවුරු කරන ලදී.

 

සමස්ත කතා වස්තුව තුළ අපගේ පොදු විචාරය වන්නේ, යම් පුද්ගලයෙකුගේ දක්ෂතා හඳුනාගෙන ඔවුන්ට ඊට නිසි අවස්ථාව ලබාදීම පිළිබඳව සභාපතිවරයාගේ ක්‍රියාව බෙහෙවින්ම අගය කළ යුතු බවයි.

 

තරුණ කාන්තාවන්ට හෝ පිරිමින්ට මෙතරම් කාරුණිකව සැලකීම සහ තනතුරු ප්‍රදානය කිරීම ලංකාවේ ආයතන තුළ අප බොහෝ සෙයින් දැක ඇති සුලභ දසුනකි. හැබැයි එවැනි ප්‍රදානයන් පිළිබඳව පසුකාලීනව කරුණු දැක්වීමට සිදුවීමද එවැනිම සුළභ සිද්ධීන්ය.

 

එහෙත් මෙහිදී අවධාරණය කළ යුතු සත්‍යය නම්, වෘත්තීයභාවය සහ ආයතනික වගකීම යනු කිසිවෙකුගේ පුද්ගලික සන්තෝසමක් හෝ වරප්‍රසාදයක් ලෙස පාවිච්චි කළ යුත්තක් නොවන බවයි.

 

 

මුදල් කමිටු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මෙම ක්‍රමවේදයේ ඇති අවදානම මනාව පෙන්වා දෙමින් ඊට ප්‍රබල ප්‍රති-තර්ක කිහිපයක් ඉදිරිපත් කළේය.

 

නීතිපති දෙපාර්තමේන්තුව යනු හුදෙක් වරාය නගර කොමිසමට පමණක් නොව, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයටම නීති උපදෙස් සපයන ආයතනයක් බව ඔහු අවධාරණය කළේය.

 

 

රාජ්‍ය ආයතන නිරන්තරයෙන් එහි උපදෙස් අපේක්ෂා කරන බැවින්, වරාය නගරය වැනි කඩිනම් සහ වාණිජමය වශයෙන් සංවේදී තීරණ ගත යුතු ආයතනයකට එය කෙතරම් ප්‍රායෝගිකද යන්න එහිදී මතු කළ ප්‍රධාන ගැටලුවකි.

 

බලපත්‍ර අයදුම්පත් සලකා බැලීම, නියාමන තීරණ ගැනීම සහ ඇතැම් භාණ්ඩ තීරුබදු රහිත ලෙස ගැසට් කිරීම වැනි අතිශය වැදගත් කාර්යයන් රැසක් කොමිසමට පැවරී ඇත.

 

මෙවැනි තීරණ වරාය නගරයේ මෙහෙයුම්වලට සෘජුවම බලපාන බැවින්, ඊට අභ්‍යන්තරික සහ දැඩි නෛතික අධීක්ෂණයක් අත්‍යවශ්‍ය බව කමිටුවේ අදහස විය.

 

 

හිටපු නීති කටයුතු අධ්‍යක්ෂවරයා කොමිසමේ රැස්වීම්වලට පවා සහභාගී වී නොමැති බව කමිටුවේදී අනාවරණය වූ අතර, එය කොමිසමේ අභ්‍යන්තර නීතිමය අධීක්ෂණයේ ඇති වූ බරපතල හිඩැසක් පෙන්නුම් කරයි.

 

 

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ වත්මන් සභාපති ඒ.කේ.ඩී.ඩී. දිමල් ආරන්දර කොමිසමේ පනත සහ නියාමන රාමුවට අදාළ කරුණු මුදල් අමාත්‍යාංශය හරහා මෙහෙයවීම ද තවත් ගැටලුවකි.

 

 

අර්බුදකාරී ගුවන් සේවයක් මෙහෙයවන සභාපතිවරයෙකුට, වරාය නගරය වැනි දැවැන්ත ව්‍යාපෘතියක සංකීර්ණ නීතිමය කරුණු හැසිරවීමට ප්‍රමාණවත් කාලයක් තිබේද යන්න ආචාර්ය ද සිල්වා එහිදී ප්‍රශ්න කළේය.

 

 

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් මෙහිදී මතු කළේ මෙම ක්‍රියාවලියේ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රශ්නයකි.

 

නීතිපති දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිචාර දැක්වීම බොහෝ විට ප්‍රමාද වන බැවින්, කොමිසමේ කටයුතුවලට ඉන් බාධාවක් වන්නේදැයි ඔහු කොමිසමෙන් විමසා සිටියේය.

 

සභාපති අමරසේකර මහතා කොමිසමේ කටයුතුවලට බාධාවක් වන තරමේ ප්‍රමාදයක් නීතිපතිවරයාගෙන් සිදුවී නොමැති බව පවසමින් එයට පිළිතුරු ලබා දුන්නේය.

 

එහෙත් රාසමාණික්කම් මන්ත්‍රීවරයාගේ අවසන් ප්‍රකාශය වූයේ, අනෙකුත් ආයතනවලටත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් මෙවැනිම කඩිනම් අවධානයක් සහ ප්‍රතිචාර ලැබෙන්නේ නම් එය කෙතරම් අගනේද යන්නයි.

 

මෙය හුදෙක් උපහාසයක් පමණක් නොව, ඇතැම් ව්‍යාපෘති සඳහා පමණක් රාජ්‍ය යාන්ත්‍රණය කඩිනම් වීම පිළිබඳව මතුකළ දැඩි දේශපාලනික හා සමාජීය විවේචනයකි.

 

වරාය නගරය යනු ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යයක් වන අතර විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ඊට ශක්තිමත්, විනිවිදභාවයෙන් යුත් සහ කඩිනම් නෛතික රාමුවක් තිබිය යුතුය.

 

 

නීති කටයුතු සහ වාණිජ මෙහෙයුම් යන අංශ දෙකම එක් අයෙකු යටතට පත් කිරීම මඟින් වාණිජමය අරමුණු සහ නෛතික අනුකූලතාවය අතර බරපතල ගැටුමක් නිර්මාණය වීමේ අවදානමක් පවතී.

 

 

පූර්ණකාලීන නීති අධ්‍යක්ෂවරයෙකු නොමැතිව රජයේ කාර්යබහුලම නීති ආයතනයක් මත සම්පූර්ණයෙන් යැපීම, දිගුකාලීන වශයෙන් වරාය නගරයේ මෙහෙයුම් කාර්යක්ෂමතාවයට දැඩි තර්ජනයක් විය හැක.

 

 

එසේම මේ වනවිට අදාළ තනතුර සඳහා පළපුරුදු සහ සුදුසුකම් සහිත අයදුම්කළ පිරිස අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසම වෙතට යෑමට සූදානම්ව බවටත් ලැබී ඇති ආරංචිමාර්ග අනුව වරාය නගරයේ මුලික කාර්යයට එය බාධාවක්ද විය හැකිය.

 

 

එබැවින් රජයේ මුදල් කමිටුව මතු කළ කරුණු හුදු විවේචනයක් ලෙස නොගෙන, කොමිසමේ අනාගත ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා පාදක කර ගැනීම අත්‍යවශ්‍ය බව පැහැදිලිය.

 

 

 

 

# නිරෝමි සුබ්‍රමනියම්

නවතම ලිපි