ශ්‍රී ලංකාවේ පශ්චාත්-නිදහස් දේශපාලන ඉතිහාසය සහ රාජ්‍ය ගොඩනැඟීමේ ක්‍රියාවලිය තුළ
බුද්ධාගම සහ රාජ්‍ය යාන්ත්‍රණය අතර පවතින්නේ අතිශය සංකීර්ණ සබඳතාවකි.
එය හුදෙක් අනන්‍යෝන්‍ය බැඳීමක් පමණක්ම නොවේ. බොහෝ විට එය දේශපාලන පැවැත්ම උදෙසා ආගමික හැඟීම් සූරාකෑමේ ක්‍රියාවලියකි.
එහිදී භික්ෂූන් වහන්සේලා හුදෙක් අධ්‍යාත්මික මඟපෙන්වන්නන් පමණක් නොවීය. උන්වහන්සේලා දේශපාලන බලවේග මෙහෙයවන, මැතිවරණ ප්‍රතිඵල තීරණය කරන සහ බහුතර සිංහල-බෞද්ධ ජාතිකවාදී මතවාදයන් සමාජගත කරන ප්‍රබල බල කේන්ද්‍රයක් ලෙස ක්‍රියා කර ඇත.
මෙම ඓතිහාසික හා සංස්කෘතික පසුබිම තුළ, 2026 ඔක්තෝබර් මාසයේදී බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළි සිරගත වීම දැඩි කතාබහකට ලක්විය.
එහිදී බන්ධනාගාර බලධාරීන් විසින් උන්වහන්සේගේ සිවුර ඉවත් කර සාමාන්‍ය සිරකරු ඇඳුමින් (ජම්පරයෙන්) අධිකරණයට ඉදිරිපත් කිරීම සාමාන්‍ය නෛතික ක්‍රියාවක් පමණක් නොවේ.
එය දශක ගණනාවක් පුරා ගොඩනැඟී තිබූ 'ආගමික දණ්ඩ මුක්තිය' ඍජුවම අභියෝගයට ලක් කළ ගැඹුරු සමාජ-දේශපාලනික කම්පනයකි.
ඊට එරෙහිව ප්‍රධාන නිකාය හතරේම මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දැඩි විරෝධය පළ කරමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ඒකාබද්ධ ලිපියක් යොමු කළහ.
මෙම අර්බුදය සමනය කිරීමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක් අද (ඔක්තෝබර් 08) පැවැත්වීමට නියමිතය.
මෙම ලිපියෙන් විශ්ලේෂණය කෙරෙන්නේ, මෙය හුදු නෛතික අර්බුදයක් පමණක් ද, නැතහොත් ජාතිකවාදී දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සහ රජයට ඇටවූ දේශපාලනික උගුලක් ද යන්නයි.
නීතියේ ආධිපත්‍යය ද? ආගමික මුක්තිය ද?
ඥානසාර හිමියන්ව සිරකරු ඇඳුමින් ඉදිරිපත් කිරීම මූලික වශයෙන් දෘෂ්ටිවාදාත්මක ගැටුමකි. එය රාජ්‍යයේ 'නීතියේ ආධිපත්‍යය' සහ ආගමික සංස්ථාවේ 'සාම්ප්‍රදායික මුක්තිය' අතර ඇතිවූ සෘජු ඝට්ටනයකි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ වසර 3කට වැඩි බරපතළ දඬුවම් ලබන විට තරාතිරම නොබලා සිවිල් ඇඳුම් ඉවත් කළ යුතු බවයි. වෙනත් ආගමික පූජකවරුන් 63 දෙනෙකු ද කිසිදු විරෝධයකින් තොරව බන්ධනාගාර ඇඳුම් අඳින බව ඔවුහු පෙන්වා දෙති.
නමුත් මහා සංඝරත්නයේ ස්ථාවරය වන්නේ සිවුර යනු තවත් එක් ඇඳුමක් නොවන බවයි. එය පැවිදි භාවයේ සංකේතයක් බවත්, එය ගැලවිය හැක්කේ සංඝ සභාවකට පමණක් බවත් උන්වහන්සේලා තර්ක කරති.
දේශපාලනික උගුලක් සහ කෘත්‍රිම ආගමික ප්‍රබෝධයක්
මතුපිටින් බලන කල මෙය බටහිර ලෞකික නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමක් ලෙස පෙනී යා හැකිය. එහෙත් දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ මෙහි බරපතළ සැඟවුණු න්‍යාය පත්‍රයක් පැවතිය හැකි බවයි.
බන්ධනාගාරයේ 'අදිසි හස්තයක්' හරහා වෙනදා නොකළ යමක් කිරීමට යාමෙන්, අලුතින් පත් වූ රජයට මාරාන්තික දේශපාලන 'ලණුවක්' දී ඇති බවට මතයක් පවතී. මෙය ඥානසාර හිමියන්ගේම දේශපාලනික ව්‍යාපෘතියට සහ විපක්ෂයේ උවමනාවන්ට වක්‍රව 'උඩගෙඩි දීමක්' බවට පත්ව ඇත.
2022 අරගලයෙන් පසු විසිරී ගිය ජාතිකවාදී කඳවුර යළි අවදි කිරීමට ප්‍රබල 'සිදුවීමක්' (Event) අවශ්‍යව තිබුණි. සිවුර ගැලවීම නැමැති අතිශය සංවේදී දෘශ්‍ය රූපය හරහා එම කෘත්‍රිම කතිකාවත සහ කම්පනය දැන් සාර්ථකව ගොඩනැගී ඇත.
භික්ෂු විවේචන යටපත් වීම සහ බෝන් අගේන් චෝදනා
පසුගිය කාලය පුරාවට, විවිධ සමාජ මාධ්‍ය හැසිරීම් සහ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් භික්ෂු සමාජය දැඩි මහජන විවේචනයකට ලක්ව තිබුණි. නමුත් 'සිවුර ගැලවීම' පිළිබඳ සිදුවීම හරහා එම සියලුම විවේචන ක්ෂණිකව යටපත් කර දැමීමට ජාතිකවාදීන්ට හැකි විය.
"බුදු දහම අනතුරේ" යන තේමාව යටතේ ජනතාව තුළ යළිත් බෞද්ධ භික්ෂුව කෙරෙහි අනුකම්පාවක් සහ ආගමික ප්‍රබෝධයක් නිර්මාණය කර ඇත.
අනෙක් අතට, නව රජයට එරෙහිව මැතිවරණ සමයේදී එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ ඔවුන් 'බෝන් අගේන්' න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන බවයි. බහුතර බෞද්ධ රටක ප්‍රසිද්ධ භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම, එම චෝදනාවන්ට "සජීවී සාක්ෂියක්" ලෙස සමාජගත කිරීමට විපක්ෂයට හැකි වී තිබේ.
පාස්කු ප්‍රහාරය සහ ඉස්ලාම් භීතිකාව යළි පණ ගැන්වීම
ඥානසාර හිමියන් යළි සිරගත වූයේ ඉස්ලාම් දහමට අපහාස කිරීමේ නඩුවකිනි. මේ හරහා පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් සෙවීම පසෙක ලා වෙනත් මතවාදයක් නිර්මාණය වෙමින් පවතී.
"ඉස්ලාම් අන්තවාදීන් සතුටු කිරීමට සිවුරු ගලවන බව" පවසමින් ජනතාව යළිත් වරක් පැරණි ජාතිවාදී ආස්ථානයකට තල්ලු කෙරෙමින් පවතී. නීතිය ක්‍රියාත්මක කිරීමේ පටු කෝණයෙන් රජය මෙය දෙස බැලුවද, විරුද්ධ පාර්ශවය එය සාර්ථක දේශපාලන ප්‍රාග්ධනයක් කරගෙන ඇත.
රාජ්‍යයේ ප්‍රතිචාරය සහ බිඳවැටුණු දණ්ඩ මුක්තිය
මෙම සියලු දේශපාලන උගුල් සහ දැඩි විරෝධය මැද වුවද, ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව 'නීතිය සැමට සමානයි' යන ස්ථාවරය අත්නොහැරීම සුවිශේෂී තත්ත්වයකි. අතීතයේදී මහානායක හිමිවරුන්ගේ එක් නිවේදනයක් යනු රජයේ තීරණ ක්ෂණිකව වෙනස් කළ හැකි නිෂේධ බලයක් විය.
එහෙත් අද වන විට, පන්සලේ ආගමික අධිකාරියට සිවිල් නීතිය අභිබවා යා නොහැකි බව නව රාජ්‍ය තන්ත්‍රය ස්ථාපිත කරමින් සිටියි. මෙය දේශපාලන භික්ෂුව "අද්භූතකරණයෙන්" මුදාගැනීමේ පැහැදිලි සලකුණකි.
කෙතරම් අන්තවාදී අනුගාමිකයින් සිටියද, රාජ්‍ය බලයේ සෘජු අනුග්‍රහය නොමැති නම්, ඕනෑම ආගමික නායකයෙකු නීතියට යටත් විය යුතු බව මින් තහවුරු වේ.
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම හුදෙක් පරිපාලනමය ක්‍රියාවලියක ප්‍රතිඵලයක් පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ දේශපාලන දේහය තුළ ඔඩුදුවා තිබූ ආයතනගත දණ්ඩ මුක්තියේ දැවැන්ත බිඳවැටීමක් සංකේතවත් කරයි.
අනෙක් පසින්, එය විසිරී ගිය අන්තවාදී බලවේගවලට යළි සංවිධානය වීමට රජය විසින්ම සපයා දුන් දේශපාලනික ඔක්සිජන් සැපයුමක් ද වේ.
අද දින ජනාධිපතිවරයා සහ මහානායක හිමිවරුන් අතර පැවැත්වෙන සාකච්ඡාවේ ප්‍රතිඵලය කුමක් වුවත්, එක් දෙයක් පැහැදිලිය. ඒ ශ්‍රී ලංකාවේ රාජ්‍ය-සංඝ සබඳතාවය පූර්ව-2022 යුගයේ පැවති ප්‍රශ්න කළ නොහැකි වරප්‍රසාදිත තත්ත්වයෙන් සදහටම මිදී ඇති බවයි.
නීතිය සහ යුක්තිය ඉදිරියේ ආගමික වරප්‍රසාද සදාකාලික පලිහක් නොවන බව ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ දැන් තහවුරු වෙමින් පවතී.
#නිරෝමි සුබ්‍රමනියම්

