ලංකාවේ ජනප්‍රිය සහ සම්මානනීය රංගන ශිල්පියෙකු වන කළණ ගුණසේකර
2026 සැප්තැම්බර් මස 24 වන දින විවාහ දිවියට ඇතුළත් විය. ඔහු අතගත් මනාලිය වන්නේ රුචිනි විජේසුන්දර යි. මේ කළණගේ විවාහය වෙනුවෙන් මිහිරි ෆොන්සේකා මුහුණු පොතේ තැබූ සටහනක්.

කලණ ගුණසේකරත් දැන් ලංකාවේ ලොකුම දේශපාලන පවුල් ගහේ සාමාජිකයෙක්. ඒ ඊයේ ඔහු ඒ පවුලෙන් කසාද බැන්ද නිසාය. පවුල් පරම්පරා කියන්නේ මා කැමැති විෂයක්. ඒ නිසා බසයේ ගෙදර යද්දී මගේ මතකය ඇවිස්සුණා.
කලණ බැන්දේ රෝහාන් විජේසුන්දරගේ දුවයි. රෝහාන්ගේ පවුලේ දරුවන් හතරයි. දෙවැනියා කැලණිය පන්සලේ බස්නායක නිලමේවරයකු වූ ශාලිත. නංගිලා තමයි දීප්ති හා ලක්මිණි. ලක්මිණි බැන්දේ සාගල රත්නායක. පසුව ඔවුන් දෙන්නා වෙන් වුණා. මේ හතර දෙනාගේ අම්මා අනෝජා දේවි විජේසුන්දරය. තාත්තා ජවිපෙ විසින් මරා දැමූ කොළඹ සරසවියේ උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දරය. අනෝජා දේවිගේ සොයුරා තමයි උපාලි විජයවර්ධන. උපාලි බැන්දේ සිරිමාවෝ මැතිනියගේ සොයුරෙකු වූ සීවලි රත්වත්තේගේ දුව ලක්මිණිය. චන්ද්‍රිකා ඇගේ නෑනාය.
උපාලිගේ අනෙක් සොයුරිය අනුලා කල්‍යාණිය. ඈ බැන්දේ දොස්තර ගාමිණි ආටිගලය. ඔහුගේ ලොකු අයියා තමයි වැඩිම කලක් යුද හමුදාපති පුටුවේ සිටි ජෙනරාල් සේපාල ආටිගල. ගාමිණි ආටිගලගේ එකම පුතා තමයි ඔටෝ මෝබයිල් සංගමයේ සභාපති හා කැලණි පන්සලේ බස්නායක නිලමේ ධම්මික ආටිගල. ඒ එක පරම්පරාවක්.
කලණ ගුණසේකරගේ මාමණ්ඩිගේ අම්මාගේ තාත්තා තමයි දොන් වෝල්ටර් විජයවර්ධන. කැලණියේ මුල්ම බස්නායක නිලමේ දොන් වෝල්ටර්ය. දොන් රිචඩ්, දොන් චාල්ස්, දෝනා හෙලන් ඇග්නස් ඇතුළු තව පිරිසක් එක අම්මා තාත්තාගේ සොයුරු සොයුරියෝය. ඒ අයගේ තාත්තා දොන් පිලිප් තුඩුගල විජයවර්ධනය. උඩරට රජ දවස තුඩුගල මද්දුම රාළගෙන් තමයි මේ පරම්පරාව පැවත එන්නේ. තුඩුගලින් කොළඹ ආපු දොන් පිලිප් කොළඹ හදන්න ගොඩනැගිලි ද්‍රව්‍ය සපයලා ධනවතෙක් වුණා.
ඔහුගේ බිරිඳ තමයි කැලණි පන්සල අලුතෙන් හැදූ හෙලේනා රූපසිංහ. දොන් පිලිප්ගේ දුවෙක් වූ හෙලන් බැන්දේ ඊ.ඩබ්ලිව්. ජයවර්ධනය. ඒ පරම්පරාවේ ආදිකර්තෘ තම්බි මුදලි (දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන), ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලන්න ගිය පිරිසේ හිටියා. ඒ පාවා දීමට ඔහුට හලාවතින් සරුසාර පොල් අක්කර දහස් ගණන් ලැබුණා.
දොන් පිලිප්ගේ පුතෙකු වූ ඩී.ආර්. බැන්දේ රුවන්වැල්ලේ මීදෙණිය වලව්වේ රූබිය. ඇගේ වැඩිමහලු සොයුරිය තමයි ලංකාවේ මුල්ම මන්ත්‍රීවරිය වූ ඇඩ්ලින්. ඇගේ සැමියා මුල්ම කතානායක සර් ෆ්‍රැන්සිස් මොලමුරේය. රූබිගේ සොයුරාගේ එක දුවෙක් තමයි අයිරාංගනී සේරසිංහ. ඇගේ සොයුරියක වූ කාමිනී බැන්දේ මහාචාර්ය තිස්ස විතාරණය.
රූබිගේ දුව නාලිනි බැන්දේ එස්මන්ඩ් වික්‍රමසිංහය. රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ එක් පුතෙකි. රනිල්ගේ නැන්දා, ඒ කියන්නේ එස්මන්ඩ්ගේ සොයුරිය මුක්තා බැන්දේ පාර්ලිමේන්තුවේ මහ ලේකම් සෑම් විජේසිංහය. ඔවුන්ගේ පුතා තමයි මහාචාර්ය රජීව විජේසිංහ.
රනිල්ගේ අම්මාගේ සොයුරා වූ රංජිත්ගේ බාල පුතා තමයි රුවන් විජයවර්ධන. රුවන්ගේ අම්මා රංජනී, ඩී.එස්. සේනානායකගේ බාල පුතා වූ රොබට්ගේ දුවෙකි. රුක්මන් ඇගේ සහෝදරයෙකි.
ඩී.එස්.ගේ සොයුරු එෆ්.ආර්. බැන්දේ ආටිගල පවුලෙනි. සර් ජෝන් කොතලාවල කියන්නේ එෆ්.ආර්.ගේ බිරිඳගේ එක සොයුරියකගේ පුතෙකි. බිරිඳගේ අනෙක් සොයුරිය බැන්දේ ජේ.ආර්.ගේ බාප්පා වූ ටී.ජී. ජයවර්ධනය. ජේ.ආර්. තව පැත්තකින් මේ පවුලට සම්බන්ධයි. ජේ.ආර්.ගේ අම්මා, ඒ කියන්නේ ඉහත කී හෙලන් ඇග්නස් කලණගේ මාමණ්ඩිගේ මිත්තණියකි.
කලණ ඊයේ ඉඳන් නෑකම් කියන විජයවර්ධන පවුලේ දොන් චාල්ස් බැන්දේ විමලාය. ඈ තමයි ලංකාවේ මුල්ම කැබිනට් ඇමැතිනිය.
එහෙම බලන විට ජයවර්ධන, විජයවර්ධන, රත්වත්තේ, මීදෙණිය, කොතලාවල, බණ්ඩාරනායක, විජේසුන්දර, සේනානායක කියන්නේ එකම පවුලක්. ලංකාවේ ලොකුම දේශපාලන පවුල් ගහ අඩසියවසක් රට පාලනය කළා. දශක හතක ශාපය එළවන්න ගෝල්ෆේස් අරගලයට එක් වූ කලණත් දැන් ඒ පවුලේ අයෙක්. කොටින්ම කියනවා නම් අරගලකාරයෝ එළවන්න හදපු රනිල් වික්‍රමසිංහත් ඊයේ මඟුල් ගෙදරට ගිහින් නව යුවළට සුබ පැතුවා.
ජීවිතේ කියන්නේ මහ පුදුම හමුවීම්, බැඳීම්, වෙන්වීම්. මම නම් මේ කතා රස විඳිනවා. දේශපාලන මත මොනවා වුණත් මේවා රස කතා.
උපුටාගැනීම -
මිහිරි ෆොන්සේකාගේ මුහුණු පොතිනි.

