ඇඩ්වොකාටා (Advocata) ආයතනයට රට භාරදීමෙන් ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කළ හැකි යැයි
ධනනාත් ප්‍රනාන්දු විසින් ගෙන එන තර්කය හුදු දෘෂ්ටිවාදී සරලකරණයක් ද? ඓතිහාසික භූ දේශපාලනික සන්දර්භය සහ ගෝලීය ප්‍රාග්ධන සමුච්චය වීමේ සැබෑ ව්‍යුහය මඟහරිමින්, පර්යන්ත රටක් හුදෙක් බටහිර 'නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති' අනුකරණය කළ පමණින් ගොඩනැගිය හැකි යැයි පවසන මෙම මිථ්‍යාව මාධව රුවන්පතිරණ විසින් දැඩි විවේචනයකට ලක් කරයි.
පහත ඡායාරූපයේ දැක්වෙන "ආර්ථිකය කඩා වැටෙනවා" යන සිරස්තලය යටතේ ධනනාත් ප්‍රනාන්දු සිදුකරන ප්‍රකාශ වැනි අදහස් පසුබිම් කරගනිමින් මෙම ලිපිය රචනා වී ඇත. සිංගප්පූරුව යනු ඕනෑම රටකට අනුගමනය කළ හැකි විශ්වීය ආර්ථික සූත්‍රයක ප්‍රතිඵලයක් නොව, සීතල යුද්ධයේ ගෝලීය ප්‍රාග්ධන ව්‍යුහය සහ දරදඬු පාලනයන් තුළ ගොඩනැගුණු නිශ්චිත ඓතිහාසික-සංකේතීය සැකැස්මක් බව පෙන්වා දෙන මාධව රුවන්පතිරණගේ පහත ලිපිය මේ පිළිබඳ විශේෂ විග්‍රහයකි.

ධනනාත් ප්‍රනාන්දුලා පවසන්නේ ඔවුන් යෝජනා කරන ආකාරයට ආර්ථිකය හැසිරවීමෙන් ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් බවට පත් කළ හැකි බවයි. කෙටියෙන් පවසන්නේ නම් Advocata ආයතනයට රට බාරදීමෙන් එම තත්වය උදා කරගත හැකිය (ඔවුන්ගේ එම තර්කයට අනුව ලෝකයේම ඇති ලංකාව වැනි රටවල් Advocata ආයතනයට බාරදීමෙන් ඒවා ඇමරිකාව බවට පත් කල හැකි වනු ඇත).
බටහිර ප්‍රාග්ධනයේ විශාල ප්‍රවාහයන්, විශේෂිත භූ දේශපාලනික තත්ත්වයන් සහ සීතල යුද්ධයේ ගෝලීය ආර්ථික ව්‍යුහය තුළ සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව සහ ජපානය වැනි රාජ්‍යයන් ගොඩනැගුණු ඓතිහාසික තත්ත්වය අද ලෝකයේ පවතින්නේ නැත.
විශේෂයෙන්ම පසුගිය දශක දෙක තුළ, එම පැරණි ආකෘතියම අනුගමනය කරමින් පර්යන්ත රටක් වේගයෙන් සිංගප්පූරු මට්ටමේ ආර්ථිකයක් බවට පත් වූ පැහැදිලි උදාහරණයක් නොමැත (අප ධනනාත්ට හෝ ඔහුගේ ලොක්කන්ට හෝ රොහාන් සමරජීවට අභියෝග කරනුයේ හැකි නම් එවැනි එක් රටක් හෝ පෙන්වන ලෙසය). ඒ සඳහා හේතුව හුදෙක් යම් රටක ආර්ථික ප්‍රතිපත්තිවල අඩුපාඩුවක් නොව, ගෝලීය ප්‍රාග්ධන සමුච්චය වීමේ රටාව, නිෂ්පාදන දාමයන්, තාක්ෂණික බලය, වෙළඳපොළ ව්‍යුහය සහ භූ දේශපාලනික සම්බන්ධතා වෙනස් වී තිබීමයි.
චීනය විසින් ලබා දෙන ණය සහ credit lines මත විශාල යටිතල පහසුකම් ආයෝජන සිදුකර ඇති අප්‍රිකානු රටවල් කිහිපයක ඇතැම් අංශවල වේගවත් ආර්ථික වර්ධනයක් හෝ ව්‍යුහාත්මක වෙනසක් දක්නට ලැබේ. නමුත් එයද සිංගප්පූරුව, දකුණු කොරියාව හෝ ජපානය ගොඩනැගුණු ඓතිහාසික ආකෘතියේ සරල පුනරාවර්තනයක් ලෙස සැලකිය නොහැක.
එබැවින් අද පවතින ලෝක ආර්ථික ව්‍යුහය තුළ, ඔවුන් පවසන “නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති” කිහිපයක් ක්‍රියාත්මක කළ පමණින් ඕනෑම පර්යන්ත රටකට සිංගප්පූරුවක් බවට පත්විය හැකිය යන අදහස, ආර්ථික ඉතිහාසය සහ වර්තමාන ගෝලීය ප්‍රාග්ධන ව්‍යුහය යන දෙකම නොසලකා හරින අතිශය සරලකරණයකි.
ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාවට සිංගප්පූරුව “අනුකරණය” කළ හැකිද යන්න පමණක් නොවේ. ප්‍රශ්නය වන්නේ සිංගප්පූරුව ගොඩනැගුණු ලෝකය අදත් පවතිනවාද? යන්නයි.
සිංගප්පූරුව යනු විශ්වීය ආර්ථික සූත්‍රයක ප්‍රතිඵලයක් නොව, නිශ්චිත ඓතිහාසික-සංකේතීය සැකැස්මක් තුළ ගොඩනැගුණු ආර්ථික ආකෘතියකි. එම නිසා එක් ඓතිහාසික මොහොතක නිශ්චිත බල සම්බන්ධතා, ගෝලීය ප්‍රාග්ධන ප්‍රවාහයන් සහ භූ දේශපාලනික කොන්දේසි යටතේ ඇති වූ ප්‍රතිඵලයක්, ඕනෑම රටකට ඕනෑම කාලයකදී අනුගමනය කළ හැකි “ආර්ථික සූත්‍රයක්” ලෙස ඉදිරිපත් කිරීම යනු ඉතිහාසයම දෘෂ්ටිවාදීව මකා දැමීමකි. ඔවුන් ඔය පෙන්වන කිසිඳු රටක් ඔවුන් පවසන ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදි තත්වයන් තුල ගොඩනැගුන රටවල් නොවේ. ඒවා දැඩි, දරදඬු මර්දනකාරී පාලනයන් තුලින් බටහිර ප්‍රාග්ධනයේ සහ ලෝක රටාවට අවශ්‍ය කාර්ය ඉටු කල රටවල්ය.
# මාධව රුවන්පතිරණ

