SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව තුළ මාර්ගගත සූදුව (Online Gambling) පාලනය කිරීම සඳහා රජය ගත් උත්සාහයන්

සහ ජනාධිපතිවරයාගේ තීරණයන් මේ වන විට මුළුමනින්ම අසාර්ථක වී ඇති බව පෙනෙන්නට තිබේ. සූදු නියාමන අධිකාරී පනත හරහා සියලුම භූමිගත සහ මාර්ගගත සූදු මධ්‍යස්ථාන තනි නියාමනයකට යටත් කිරීමට අපේක්ෂා කළද, බිම් මට්ටමේ යථාර්ථය ඊට හාත්පසින්ම වෙනස් වී ඇත. මෙම නියාමන ක්‍රියාවලිය අසාර්ථක වීමට බලපෑ ප්‍රධාන හේතු කිහිපයක් පහත පරිදි විග්‍රහ කළ හැකිය.

 

 

 

මාර්ගගත සූදු අවහිර කිරීමේ පළමු පියවර ලෙස විදුලිසන්දේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් ජාත්‍යන්තර සූදු වෙබ් අඩවි 146ක් අවහිර කරන ලදී. ඒ, ඔවුන්ට ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් සඳහා 'බලපත්‍ර නොමැති' බව පවසමිනි. එහෙත් මෙහි ඇති බරපතලම උත්ප්‍රාසය වන්නේ, ශ්‍රී ලංකාව තුළ මාර්ගගත සූදු සඳහා බලපත්‍ර ලබාගැනීමට තවමත් කිසිදු යාන්ත්‍රණයක් ස්ථාපිත කර නොමැති වීමයි.

 

ඇඩ්වොකාටා ආයතනයේ පර්යේෂක සුදාරක ආරියරත්න පෙන්වා දෙන පරිදි, රජය විසින් බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී නොමැති පසුබිමක ආයතන තහනම් කිරීම නීතිමය හා සදාචාරාත්මක ගැටලුවකි. එපමණක් නොව, දේශීය භූමිගත කැසිනෝ ව්‍යාපාරිකයින්ට (උදා: Bellagio, Bally’s) සිය මාර්ගගත මෙහෙයුම් බාධාවකින් තොරව කරගෙන යාමට රජය ඉඩ දී ඇත. ඒ ඔවුන් "ලියාපදිංචි සමාගම්" යන හුදු පදනම මත පමණි. කොවිඩ්-19 සමයේදී ආරම්භ වූ මෙම දේශීය මාර්ගගත සූදු ජාලයන් ද නීතිය අනුව "බලපත්‍ර රහිත" ඒවා වන නමුත්, නීතිය ක්‍රියාත්මක කිරීමේදී රජය අනුගමනය කරන්නේ ද්විත්ව ප්‍රමිතියකි .

 

 

තාක්ෂණික අසාර්ථකත්වය සහ වක්‍ර ප්‍රචාරණය

 

වෙබ් අඩවි අවහිර කිරීමට TRCSL ගත් ක්‍රියාමාර්ගය තාක්ෂණික වශයෙන් ද මුළුමනින්ම අසාර්ථක වී ඇත. සමාජ මාධ්‍ය පර්යේෂක ආචාර්ය සංජන හත්තොටුව මහතාගේ විමර්ශනවලට අනුව, තහනම් කරන ලද 1xBet වැනි වෙබ් අඩවි ඩයිනමික් ඩොමේන් තාක්ෂණය භාවිත කරමින් රජයේ බාධක පහසුවෙන් මඟහැර ඇත. අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ SLT සහ Dialog ජාල හරහා ප්‍රවේශ විය හැකි තහනම් ලිපින සංඛ්‍යාව දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබීමෙන් මෙය තහවුරු වේ.

 

 

අනෙක් අතට, මෙම ජාත්‍යන්තර සමාගම් සිය වෙළඳ නාමය ප්‍රවර්ධනය කිරීම සඳහා "වක්‍ර ප්‍රචාරණ" උපක්‍රම භාවිත කරති. 1xBet සමාගම ලංකා ප්‍රිමියර් ලීග් (LPL) සහ ශ්‍රී ලංකා-ඉන්දියා ටෙස්ට් තරඟාවලිය තුළ "1xBAT" නමින් ක්‍රීඩා පුවත් අඩවියක් ලෙස පෙනී සිටිමින් රූපවාහිනී තිරයේ 9%ක පමණ කාලයක් සිය සන්නාමය ප්‍රදර්ශනය කළේය. නීතිය ක්‍රියාත්මක කරන ආයතන මේ හමුවේ නිහඬව සිටීම බරපතල තත්ත්වයකි.

 

 

ආර්ථික පාඩුව සහ බදු අහිමි වීම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉලක්ක සපුරාලීම සඳහා රජය භූමිගත කැසිනෝ මත පනවා ඇති බදු 15% සිට 18% දක්වා ඉහළ නංවා, ප්‍රවේශ ගාස්තුද දෙගුණ කළේය. එහෙත් සැබෑ ගැටලුව වන්නේ ශ්‍රී ලංකාවේ සමස්ත සූදු වෙළඳපොළෙන් 60% - 70%ක්ම නියෝජනය කරන්නේ කිසිදු බද්දක් නොගෙවන අන්තර්ජාල සූදුව වීමයි. ලක්ෂ 3කට අධික පිරිසක් මාර්ගගතව ඔට්ටු තබන අතර, නියාමනයක් නොමැතිකම හේතුවෙන් රජයට ලැබිය යුතු දැවැන්ත බදු ආදායමක් විදේශයන්ට ඇදී යයි.

 

මාර්ගගත සූදුව පාලනය නොවීම ජාතික ආරක්ෂාවට ද තර්ජනයකි. බැංකු පද්ධතියෙන් බැහැරව උණ්ඩියල්, හවාලා සහ ක්‍රිප්ටෝ මුදල් හරහා මෙහි ගනුදෙනු සිදුවන බැවින් මුදල් විශුද්ධිකරණයට (Money Laundering) මෙය කදිම තෝතැන්නක් වී ඇත. 2026 වසරේදී ජාත්‍යන්තර මූල්‍ය කාර්ය සාධක බලකායේ (FATF) ඇගයීමට ශ්‍රී ලංකාව මුහුණ දීමට නියමිත අතර, මෙම තත්ත්වය පාලනය නොකළහොත් ශ්‍රී ලංකාව නැවතත් "අළු ලැයිස්තුවට" (Grey List) ඇතුළත් වීමේ දැඩි අවදානමක් පවතී.

මෙම අර්බුදය පිටුපස ඇති ප්‍රධානතම පරිපාලනමය ගැටලුව වන්නේ මාස 15ක් තිස්සේ නීතිපති දෙපාර්තමේන්තුව තුළ අදාළ රෙගුලාසි හිරවී තිබීම සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් කිසිදු උපදේශනයක් නොලබා නීති කෙටුම්පත් කිරීමයි. එසේම, ඇඩ්වොකාටා ආයතනය පෙන්වා දෙන පරිදි, යෝජිත සූදු නියාමන අධිකාරියට ස්වාධීනත්වයක් නොමැත. එහි පූර්ණ පාලනය මුදල් අමාත්‍යවරයා සතු වන අතර, දූෂණයෙන් තොර ස්වාධීන ආයතනයක් වෙනුවට එය දේශපාලන අවශ්‍යතා මත ක්‍රියාකරන ආයතනයක් බවට පත්වීමේ අවදානමක් ඇත.

 

 

විසඳුම කුමක්ද?

මෙම ගැටලුවට සාර්ථකව මුහුණ දීම සඳහා සිංගප්පූරුවේ සූදු පාලන පනත (Gambling Control Act 2022) කදිම ආදර්ශයකි. ශ්‍රී ලංකාවේ නීතියෙන් සූදුවෙහි නිරත වන 'පාරිභෝගිකයාට' දඬුවම් නොකරන අතර, සිංගප්පූරු නීතියෙන් නීතිවිරෝධී සූදුවල නිරත වන්නන්ට ඩොලර් 10,000ක දඩයක් හා සිරදඬුවම් නියම කරනු ලබයි. මෙය පාරිභෝගිකයින් සූදුවෙන් ඈත් කිරීමට ඇති ප්‍රබලතම මානසික බාධකයකි.

 

එමෙන්ම, හුදෙක් වෙබ් අඩවි ඩොමේන් අවහිර කිරීම වෙනුවට, සිංගප්පූරුවේ මෙන් බැංකු සහ මූල්‍ය ආයතන හරහා නීතිවිරෝධී සූදු අඩවි වෙත මුදල් ගලායාම අවහිර කිරීමේ සෘජු නීතිමය බලතල  ශ්‍රී ලංකාවේ නියාමන ආයතනවලට ලබා දිය යුතුය.

 

 

ජනාධිපතිවරයාගේ තීරණය යථාර්ථයක් වීමට නම්, හුදෙක් අකාර්යක්ෂම වෙබ් අඩවි තහනමකින් ඔබ්බට ගොස්, තාක්ෂණය පදනම් කරගත් ස්වාධීන නියාමන රාමුවක්, සාධාරණ බලපත්‍ර ක්‍රමවේදයක් සහ දැඩි මූල්‍ය අවහිර කිරීමේ නීති කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුව ඇත. එසේ නොමැති වුවහොත් ඔන්ලයින් සූදුව නතර කිරීම හුදු දේශපාලන සටන් පාඨයක් පමණක්ම වනු ඇත.

 

 

#NiromiSubramaniyam

නවතම ලිපි